fbpx

සඳක් කළ සක්මන් -23

අම්මා කෙනෙක් කියන්නේ අහසක් සේ දොස් අහන කෙනෙකි. පොළොවක් සේ දරා ගන්නා කෙනෙකි. ආර්ථික හා සමාජ තත්වය කෙබඳු වී ද අම්මා කියන පදවිය මත පරටවෙනා එකී වගකීම් සම්භාරයෙන් ඇය ට නිදහස් වීමක් ලැබෙන්නේ නැත. නෙරංජලා ගුරුගේ ගේ ඇස් මත මේ මොහොතේ උනා ඇති කඳුළ ඊට මැනවින් සාක්ෂි දරයි.


“මොන හේතුවක් නිසා ද මන්දා ලොකු පුතාගෙ වයිෆ් පුදුම අකමැත්තක් තියෙන්නෙ පුතා අපිව ආශ්‍රය කරනවට. ඒ දරුවව විතරක් නෙවෙයි අර පොඩි දරුවො දෙන්නවත් වැඩිය අපේ ගෙදර එවන්නෙ නෑනෙ…වෙලාවකට හරිම හිතට දුකයි පූජා. ආත්තම්මල සීයල වුණාට පස්සෙ මුණුපුරු මිණිපිරියන්ගෙ දඟකාරකමුයි හුරතලෙයි දිහා බලං ඉන්න එක තමයි ජීවිතේ සතුට. මොන තරං දේවල් තිබුණත් අපිට ඒ සතුට අකැපයි. අපිත් ඉතිං වැඩිපුර එහෙ යන්නෙ එන්නෙ නෑ. අපි නිසා එයාල අතරෙ ප්‍රශ්න ඇති වෙන්න ඕන නෑනෙ”


මගෙන් සුසුමක් ගිළිහිණි. මුදල් අග හිඟ මිනිසුන්ට පමණක් ජීවිතය ප්‍රශ්නයක් හෝ අභියෝගයක් වී ඇතැයි අපි සිතමු. නමුත් ආර්ථික වශයෙන් ශක්තිමත් පුද්ගලයන් ට ද ජීවිතය මුළුමනින් සුව දායක තැනක් වන්නේ නැත.


මා ගුරුගේ මැදුරෙන් නික්ම ආවේ හිත සන්සුන් කර ගෙන ය. ඒ වෙලාවේ නංගී හිටියේ නැත. ඇය කොහි දැයි මම අම්මා ගෙන් අසන්නට ද නො ගියෙමි.
“තාත්තත් දැං ඉවසගෙන ඉන්නෙ පොඩ්ඩිගෙ අනාගතේ ගැන තියන බය නිසයි ලොක්කි. මොනා වුණත් දැං අර අජිත් ව තරහ කර ගෙන බෑනෙ. පොඩඩඩිගෙ වයස සම්පූර්ණ වෙලා කසාද බන්දල දෙනකල් ඒකාව ශේප් එකේ තියා ගන්න ඕනෙ. දාල ගියොත් එහෙම අපේ එකීට මොකද වෙන්නෙ…”
මීට මොහොතකට පෙර එක අම්මා කෙනෙකු ගේ කතාව ට මම සවන් දුන්නෙමි. දැන් තවත් අම්මා කෙනෙකු ගේ කතාව ය. ඔවුන් ගේ බිය දෙ අන්තයක පැවතී ද, ඒ, දරුවන් ගේ යහපත උදෙසා ම ය. මම සුසුමක් හෙළා ගෙන කාමරයට වැදුණෙමි. ගෙදර ඉන්නට ලැබෙන්නේ තව හෝරා කිහිපයකි. හෙට, ඉරිදා සන්ධ්‍යාවේ නැවතත් මා නේවාසිකාගාරය වෙත යා යුතු ය. ඉතින් ගෙදර ඉන්නට වන ටික කාලයේ දී හිත් රිදුම් ඇති කර නො ගෙන නික්ම යාම මැනවැයි මම අන්තිමට හිතා ගතිමි.
ගෙදර රැඳුණු දින දෙකෙහි දී මම තාත්තා ගේ යම් වෙනසක් දුටිමි. ඔහු ගේ මිතුරු පිරිවර වෙන දා සේ ම හැන්දෑ කාලයේ දී ගෙදරට රෝක් වූ බැව් සැබවි. නමුත් තාත්තා සැලකිය යුතු තරම් නිහඬ මිනිසෙකු වී සිටියේ ය. ඔහු ගේ කතා බහ අතිශය සීමා වූ අතර සිනහවක් විතරක් නිතරම ඔහු ගේ මුහුණේ මට දකිත හැකි විය.
නංගිගේ පැන යාමත් සමග ඔහු යම් කිසි කලකිරීමකට බඳුන් වී සිටී ද යන සැකය මා තුළ ඇති විය. ඔහු වඩාත් ම ප්‍රිය කළ දියණිය ගේ ජීවිත ඉරණම ඒ විදිහට විසඳීම තුළ තාත්තා අභ්‍යන්තර වශයෙන් කම්පනයකට ලක් වන්නට ඇත. නමුත් බාහිර වශයෙන් එය සිය ජීවිතයට ආදේශ කිරීමේ පසුබෑමක් ඔහු ට වන්නට ඇත. හවසට මිතුරන් ට ගෙදරට එන්න එපා කියන්නට තරම් දිරියක් ද ඔහු ට නැති වන්නට ඇත.
පිටකොටුවේ බස් නැවතුම තෙක් මා ගෙන ගොස් මහනුවර බසයකට ගොඩ කරන ලෙස මා තාත්තා ට දැනුම් දී තිබිණි. මහනුවරින් බැස ගත් පසු දැන් එය මට තරමක් හුරු පුරුදු නගරයකි. පසු ගිය මාසයකට වැඩි කාලයේ දී මාත් යෙහෙළියන් දෙදෙනාත් හැම හවසක ම වාගේ මහනුවර නගරය පුරා ඉබාගාතේ ඇවිදින්නට පුරුදු වී සිටියෙමු.
“මං ගිහිං දාන්නං බෝඩිමට”
තාත්තා කීවේ ය. මගේ නාසයෙහි දැවිල්ලක් ඇති විය.
“ඕන්නෑ තාත්තෙ. අපරාදෙ ඔච්චර දුර යන්න පෙට්‍රල් පුච්චන්නෙ. බස් එකේ යනව”
“කමක් නෑ මං එක්කං යන්නං. ඔය නොදන්න පාර වල තනියම යන්නෙ මොකටද….”
තාත්තා ගැන ඒ තරම් සෙනෙහස් හැඟීමකින් ඊට පෙර කිසි දා ක මගේ පපුව පිරී නැති බව විශ්වාස ය. තාත්තා ඒ විදිහේ රැකවරණය තනනා ස්වරූපයකින් මීට පෙර මා ගැන සිතා නැතිවා වන්නටත් පිළිවන. ඔහු ට සිය බිරිය ප්‍රවේසම් කර ගත නො හැකි විය. බාල දියණිය රැක ගත නො හැකි විය. එහෙව් එකේ ඉතිරි වූ එක ම ප්‍රාණියා වන මා ගැන බියකින් දැන් තාත්තා ගේ හදවත පිරී පවත්නේ ද? මාව හෝ රැක ගැනීමේ අසරණ වෙහෙසක් දැන් ඔහු දරමින් සිටිනවා ද?
“ඕන්නෑ තාත්තෙ. මාව බස් එකට දාන්නකො. යාළුවො දෙන්නා ඇවිත් ඉඳියි බස් ස්ටෑන්ඩ් එකට…මාව ගන්න…”
“ලොක්කි ඔච්චර කියනවනං එහෙම කරමුකො. හැබැයි ඉතිං ඔය පිච්චෙන තෙල් ටික ගැනනං හිතන්න ඕන නෑ. ඊට වඩා අපේ ඇඟේ ලේ පිච්චිලා තියෙනව ලොක්කි”
තාත්තා කතා කළේ සිනහ වෙවී ය. නමුත් ඒ සිනහව යට තැවරුණ කඳුළක් වන බව මට නො දැනුණා නොවේ.
“මං කැන්ඩි වලින් ඩ්‍රොප් කරන්නං”
කියා ආකාශ් කෙටි පණිවිඩයක් එවා තිබුණේ ය.
“තාත්තා පිටකොටුවෙන් බස් එකට නග්ගන්නයි ඉන්නෙ”
මම එසේ කියා යැව්වෙමි. ඉරිදා නිසා ඔහු ගෙදර සිටින බව මම දැන සිටියෙමි. නමුත් ආකාශ් සමගින් ඒ ගමන යා නො හැකි ය. ඒ තරම් බිය සැක නැතිව ඔහු ඇසුරු කරන්න ට තරම් ශක්තියක් මට ඇත්තේ නැත.
දවල් ට කෑම කා මම යන්නට සූදානම් වුණෙමි. නෙරංජලා දොරකඩ ට විත් ලොකු බත් මුලක් මා අත තැබුවා ය.
“යාළුවොත් එක්ක රෑට කන්න”
නංගී දෙතොල් උල් කර ඉවත බලා ගනු මට පෙනිණ. ඇයට බත් මුල දී යන්නට මම හිතා ගතිමි.
“අනේ මට එපා”
නෙරංජලා ගුරුගේ නික්ම ගිය පසු මා බත් මුල නංගී වෙත පාත්දී ඇය මට ගස්සා ප්‍රතික්ෂේප කළා ය.
“හිතුවද මං හිඟන්නෙක් කියල…එක එක්කෙනා පිං තකා දෙන ඒව කන්න”
මට දැනුණේ මා එතැන පොළොව පළා ගෙන ගිලා බසින්නට හදනවා සේ ය. නංගී ඔය තරම් කුරිරු ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ කෙසේ ද? අජිත් සමග යන්නට පෙර ඇය මෙතරම් ම නපුරු නැත.
“ඔයා කනව නෙරංජලා ගෙ පිං බත්”
සමච්චල් සිනහවකින් ඇය යළිත් කීවා ය.
“උඹේ කට වැඩියි…”
තාත්තා නංගී වෙතට දබරැඟිල්ල දිගු කළේ මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙසට ය. මම ඒ බත් මුල මගේ බෑග් එකට ඔබා ගතිමි.
“තාත්තටත් දැං එයා ලොකු වෙලානෙ…රස්සාවක් කරන්න ගත්තට පස්සෙ”
නංගී එකට එක කීවා ය.
“පොඩ්ඩි කට වහ ගන්නව. එයා තමයිනෙ කොහොමත් ලොකු එක්කෙනා”
අම්මා මැදිහත් වූයේ මේ යන්නට සූදානම් වන ගමන අතරේ තාත්තා හා නංගී අතරේ වචන හුවමාරුවක් සිදු වෙතැයි බියෙන් වන්නට ඇත. මා තුළත් ඇති ව තිබුණේ සංකා සිතිවිල්ලකි. අම්මා හා තාත්තා කවදත් මට වඩා නංගී ට ආදරය කළහ. අප කුඩා ම කාලයේ දීත්, කන්නට වුව වැඩිපුර යමක් ලැබුණේ නංගීට ය.
“එයා පොඩියිනෙ”
ඔවුන් ඒ සඳහා සාධාරණ හේතුවක් ද සකසා ගෙන සිටියහ. පවුලේ ලොකු ළමයා වීම නිසා මවු පියන්ගේ හුරතලය සේ ම කරුණාව ද මට අහිමි වී ගියේ ය. අවුරුදු හය හතේ සිට ම අම්මා මට කියා ගෙදර වැඩ කරවා ගත්තා ය. නමුත් නංගී ඒ වයසට පැමිණි විටත් ඇය ‘පොඩි’ වූවා ය. හැමදාමත් ලොක්කී වූයෙන් මට අහිමි වූ වරප්‍රසාද, පොඩ්ඩී වීම නිසා නංගී හිමි කර ගත්තා ය. මුදල් අපහසුතා වැඩි ම වූ සිංහල අලුත් අවුරුද්දකදී මට නොමැති ව පොඩි නිසා නංගී ට පමණක් අලුත් ගවුමක් හිමි වූ අවස්ථාවක් මට මතක ය. එදා මගේ හිත බෙහෙවින් ම රිදුණේ ය. අසල්වැසි නිවෙස් වල හැම ළමයෙක් ම අලුත් ඇඳුමක් ඇඳ ගෙන පාරේ සෙල්ලම් කරත්දී මම ගෙට වැදී රහසින් හැඬුවෙමි.
ලොකු වීම නිසා මේ ගෙදර මට අහිමි වී තිබූ යමක්, වචනයෙන් හෝ හිමි වූයේ අද මේ මොහොතේ ය. එය මා ගොළු කරවන්නට තරම් හැඟීම්බර අවස්ථාවක් විය.
“ලොක්කිගෙ බෑග් ඔක්කොම දා ගත්ත නේද…”
තාත්තා ත්‍රීරෝද රියට ගොඩ වෙමින් ඇසුවේ ය. මම ඉක්මනට අම්මා ගේ දෙපා නමැද රිය වෙත නැගෙන්නට හැරුණෙමි. එතකොට ම ආකාශ් ගේ රිය ත්‍රීරෝද රියට ඉදිරියෙන් නැවතිණ. ආකාශ් රිය කවුළුවෙන් එබී ගෙන ම කතා කළේ ය.
“පූජා කැන්ඩි වලටම අංකල් එක්ක යන්නද හදන්නෙ…”
මා ගොළු ගැසී සිටියදී උත්තර දුන්නේ තාත්තා ය.
“අනේ නෑ සර්. ලොක්කි කියනවනෙ පිටකොටුවෙං බස් එකට දැම්මහම ඇති කියල”
“ආ ඉතිං එහෙනං මාත් එක්ක යමු. මාත් යන්නෙ කොටුවට. පූජාව බස් ස්ටෑන්ඩ් එකට දාන්නං”
නංගී සමච්චල් සිනහවක් පෑවා ය. කුමක් කරන්න ද කියා නිශ්චය කර ගත නො හැකි ව මම ඔහේ බලා සිටියෙමි.
“අනේ සර්ට කරදරේනෙ. මං එක්කං යන්නං”
“රංජි අංකල් ඉතිං තකහනියෙ ඕකටම යන්න ඕනනෙ. මං ඉතිං කොහොමත් ඒ පැත්තට යන එකනෙ. යමු පූජා”
මම තාත්තා ත් අම්මා ත් දෙස මාරුවෙන් මාරුවට බැලුවෙමි. ඔවුන් සිටියේත් තීරණයක් ගත නො හැකි ව ය.
“අයියෝ මං ඔයාව මග දාලා යන්නෑ. බස් එකටම නග්ගන්නං”
ආකාශ් ගේ ඇස් වල වූයේ ඉල්ලා සිටීමකි. නමුත් මේ මොහොතේ මම අතීරණාත්මක ව ද අසරණ ව ද සිටියෙමි.
“හරි එහෙනං…ලොක්කි සර් එක්ක යන්නකො. ගිහිං මට කෝල් එකක් දෙන්න හොඳද…”
තාත්තා රියෙන් බැස මගේ බෑග් දෙක තුන ගෙන ආකාශ් ගේ රියට දැමුවේ ය. මම නිහඬ ව ගොස් ඉදිරි අසුනට නැගුණෙමි. නංගීව මට රියෙහි කැඩපතින් පෙනේ. ඇගේ ඇස් වල වන්නේ ‘ඒක මරු ප්ලෑන් එක’ වැනි කතාවකි. මගෙන් සුසුමක් ගිළිහිණ.
රිය ඉදිරියට ඇදෙත්දී තාත්තා ඒ හා සමග අඩි කිහිපයක් තබා ආවේ ය. මම පිටුපස ද හැරී තාත්තා දෙස බැලුවෙමි. තාත්තා දමා යා නො හැකි ය වැනි දුක්බර කල්පනාවකින් මා ආතුර වන්නට වූයේ ය.
ටික දුරක් යන තෙක් මා සිටියේ ඒ දුක තුළ දිය වෙමිනි. අතුරු පාරෙන් උප ප්‍රධාන පාරට රිය හැරවෙත්දී ආකාශ් මගේ උකුල මත වූ අත අල්ලා ගත්තේ ය.
“ඇයි…”
ඔහු විමසූයේ තාත්තා කෙනෙකු ගේ දයාවෙනි.
“මට තාත්තා ගැන මහ අමුතු දුකක් දැනුණා අයියෙ අද. මීට කලිං කවදාවත් මං එයා ගැන කරුණාවකින් හිතල නැද්ද මන්දා”
“තාත්තත් ඔයා ගැන හරියට හිතන්න ඇත්තෙ ඔයා ගෙදර නැති වුණාට පස්සෙ “
ආකාශ් මුදු හඬකින් තෙපළේ ය. ඔහු මා ව සේ ම තාත්තා ව ද නිවැරදි ව වටහා ගත් සෙයක් මට දැනිණ. මම ඒ මූණ බැලුවෙමි. ඔහු එක වරක් මදෙස හැරී බලා රියෙහි ඉදිරිය බලා ගත්තේ ය. ඒ එක මොහොතට මම මුළුමනින් ඔහු ගේ නෙත්සර පහර විඳ ගතිමි. ඒ ඇස් මත වූයේ පළිඟු එළියකි. ඒ එළිය සමන්විත වී තිබුණේ ආදරය, කරුණාව, දයාව, මිනිස් කම වැනි මානුෂ ගුණාංග වලින් ද කියා හිතෙන තරම් විය.
“අයියේ…”
මම ඉතා පහළ ස්වරයකින් කතා කළෙමි.
“ම්…”
“ආන්ටි මොනා හිතුවද දන්නෑ. ඔයා මේ වෙලාවටම එළියට යන්න ලෑස්ති වුණහම”
“එහෙමයි කියල ඔයාව බස් එකේ යවන්නද මට කියන්නෙ…”
පපුව පිරෙන්නට හුස්මක් ගෙන ඇසිල්ලකින් මම එය පිට කොට හළෙමි. ආකාශ් ගේ අතේ ග්‍රහණය දැඩි විය.
“මැරි කරමුද…”
“ආ…”
මට ඒ හඬ ඇසුණේ දුර ඈත චක්‍රාවාටකින් සේ ය. මේ තරම් ළඟින් හිඳින ආකාශ් එවැනි කතාවක් කීවා නම් මට එය ළඟ පාතකින් නෑසුණේ මන්ද? මා මුළුමනින් කැළඹී ගිය බව ඔහු පවා වටහා ගන්නට ඇත.
“මට හිතෙනව ඔයා මං ළඟ හිටියනං හොඳයි කියල”
“අයියෙ…”
“කැම්පස් යන්න…ඉගෙන ගන්න…කිසී අවුලක් නෑ…ඔයාට ඔයා විදිහට හැමදාම ජීවත් වෙන්න පුළුවන්. ඒත් ඔයා මං ළඟ ඉන්න ඕනෙ පූජා. මං ළඟ පරිස්සං වෙන්න ඕනෙ. හැම වෙලේම මට මහ අමුතු බයක් දැනෙනව ඔයා ගැන. ඔයාගෙ ආරක්ෂාව ගැන”
“මං මාව බලා ගන්නව. බය වෙන්න එපා”
මම හෙමිහිට කොඳුළෙමි.
“කලබල වෙන්න ගිහිං මේ විදිහටවත් මට ඔයා ළඟ ඉන්න බැරි වෙයි”
“නංගිල වගේ පැනල යමුද…ඊට පස්සෙ කොහොමත් කැමති වෙනවනෙ”
ඔහු එය කීවේ සිනහ වෙවී ය. මගේ මුවටත් සිනහවක් ආවේ ය. එක අතකට ජීවිතය ඒ තරම් සරල ලෙස පිළි ගන්නට හැකි වීමත් වාසනාවකි.
“පූජා…මං අම්මට කියන්නද…මං ඔයාට ආදරෙයි කියල…ඊට පස්සෙ එන විදිහකට ෆේස් කරමු”
අහසින් පොළොවට වැටුණා සේ මා කම්පිත විය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x