සුළි සුළඟක සුසුමක් – 10 වන කොටස

0
3209

මම මගේ සිනහව වෙනස් නො කර ම සංකල්ප දෙස බලා සිටියෙමි. ඔහු ඉඩ කඩ ඇති තණ නිල්ලක් අයිනට කොට රිය නතර කළේ ය.

“ඇයි ඔය බය වෙලා වගේ…”

මා එසේ ඇසුවේත් සිනහවෙන් ම ය.

“එතකොට ඇත්තද අර නීලා ඇන්ටි කියන කතාව…”

“මොනාද නීලම්ම කියන්නෙ…”

“ඔයාගෙ අම්ම බයෙං ඉන්නෙ කියල…ඔයා පැවිදි වෙයි කියල…”

“අයියෝ…”

මම හිසෙහි අතක් ගසා ගතිමි. සංකල්ප තව දුරටත් මදෙස බලා උන්නේ විපිළිසර ඇස් වලිනි.

“නීලම්ම ඕවත් ඔයත් එක්ක කියෙව්වද…”

“නෑ නෑ. මං උදේ ඔයා ගැන අහපු වෙලාවෙයි කිව්වෙ”

“එහෙම නෑ සංකල්ප. ඒත් අප්පච්චිගෙ මරණය මාව හුඟක් කම්පනය කරල තියනව කියන එකනං ඇත්ත. ඒ වෙන් වීම දරා ගන්න තාමත් මට අමාරුයි. අපි කාට ලං වුණත්…කාට බැඳුනත් අන්තිමට ඉතිං ඕකනෙ”

“උත්තරා”

ඔහු පහල ස්වරයකින් මා ඇමතුවේ ය. එය ලෝකය ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති මුණිවරයෙකු ගේ හඬට සමාන හඬකි.

“ඉපදෙන හැම කෙනෙකුටම දවසක යන්න වෙනව”

“මං ඒක දන්නව සංකල්ප. හැබැයි ඒක දරා ගන්න අමාරු වෙන්නෙ තමන්ගෙම කෙනෙක් යනකොට. නොයා යුතු වෙලාවක යනකොට. ජීවිතේ කියන්නෙ මොන විහිළුවක් ද කියල හිතෙනව”

ඔහු මගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියේ ය. ඒ බැල්ම විඳ ගත නො හැකි ව මම වෙනතක් බලා ගතිමි. තණ නිල්ලට පොද වැස්සක් ඉහිරෙමින් තිබුණේ ය. ලා හිරු කිරණක් ද ඒ හිරි පොදය අතරින් මම දුටිමි. ඇතැම් විට දැන් කොතැනක හෝ දේදුන්නක් පායා ඇතිවා විය හැක.

“විශාකා සුජාතා වගේ අය මාර්ග ඵලත් ලබා ගත්තා කියල අපි දන්නවනෙ. ගිහි ගෙයි ඉඳගෙනම. ජීවිතේ අතෑරල පැනල යන්න නෙවෙයි ඕනෙ උත්තරා. ජීවිතේ අවබෝධ කර ගෙන ජීවත් වෙන්න”

මම පිළිවදන් දෙන්නට නො ගියෙමි. මගේ නිහඬ බව නිසාම දෝ සංකල්ප යළි රිය පණ ගැන්වූයේ ය. මුල දී මවෙත වූ සැහැල්ලුව වැස්සට සේදී ගියා සේ විය. මට ඕනා වූයේ ඉක්මනින් ගෙදර යන්නට ය.

මා එපා කියත්දීත් සංකල්ප ගේ දොරකඩට ම රිය පැදවූයේ ය.

“සුදු බබා පයින් නෙවෙයිද ගියේ…”

රිය හඬට ඉක්මනින් ඉදිරියට දිව ආ නීලා ඇසුවා ය. මගදි සංකල්ප හම්බ වෙලා කා එකේ එක්කං ගියා”

“අනේ කොච්චර එකක්ද..මං බයේ හිටියෙ සුදු බබා තෙමිල මෙතන උණ හෙම්බිරිස්සාවක්වත් හදා ගනීද කියල”

“අන්න අරයනං තෙමුණා. මාව වදෙං පොරෙං කා එකට නග්ගන්න ගිහිං”

සංකල්ප අඩ සිනහවකින් යන්නට හැදුවේ ය.

“අනේ ඉතිං තෙමිල ඉන්න එකේ කෝපි එකක්වත් බීල යන්න පුතේ”

නීලා ඉක්මන් කොට කීවා ය.

“අන්න ඒකනං හොඳ අදහසක් නීලා ඇන්ටි”

කියා ගෙන සංකල්ප රියෙන් බැස්සේ ය. මම කාමරයට ගොස් සුදු අලුත් තුවායක් ගෙනැවිත් ඔහු අතට දුනිමි.

“ඕන්නෑ. මං දැං යනවනෙ”

“පැහෙන්නැතුව පිහිදගන්න”

කියමින් කාමරයට දිව ගිය මම තෙත ඇඳුම් මාරු කොට යළි වැරැන්ඩාවට ආවෙමි. ලූනා සංකල්ප එක්ක හුරතල් වෙමින් සිටියා ය. ආයේ ම අහස අඳුරු වෙමින් වැහි වළා නිමා වී නැති බව හැඟවී ය. මම කෙළවර පුටුවකට ගුලි වී මිදුල දෙස බලා ගතිමි. ෆොක්ස් ටේල් ගස් පෙළ තෙත් බරිත  අලස බවක කර වටක් ගිලී අතු පහත් කර ගෙන සිටියේ ය. සංකල්ප ගේ ඇස් මවෙත යොමු වී ඇති බව මට දැනිණ. ඒ නිසා හිතා මතා ම මා ඒ පැත්ත බැලුවේ නැත.

කෝපි සුවඳ ඉස්සර වී ආවේ ය. නීලම්මා කෝපි බන්දේසිය ද රැගෙන පැමිණියා ය.

“තණකොළත් වැවිල නේද නීලා ඇන්ටි…”

සංකල්ප කෝපි කෝප්පය අතට ගත්තේ එසේ අසමිනි.

“අනේ ඒකනෙ දරුවො. ලොකු මහත්තය ඉන්නකොටනං ආවෙ නැතත් කලට වෙලාවට ඔය ඔක්කෝම වැඩ කෙරෙව්ව. අපේ මනුස්සයට පුළුවන් හැටියකට ඔය කරනව. මේව ඉතිං වල් වැදිල යයි තව ඉස්සරහට”

“වල් වැදෙන්න අරින්නෙ මොකටද…ලොකු මහත්තය නැති වුණාට නීලා ඇන්ටිගෙ සුදු බබා ඉන්නෙ මේව නඩත්තු කරන්න”

නීලා මදෙස බැලුවේ බැගෑපත් සිනහවකින් වාගේ ය.

“සුදු බබාට ඉතිං මේවයෙ ආසාවක් නෑ කියනවනෙ”

“ආසාවක් නැති වුණාට තමුංගෙ දේවල් නැති නාස්ති වෙන්න නොදී බලා ගන්න එක වගකීමක්නෙ”

ඒ වචන ටික මගේ පපුවේ පත්ලට ම වැදුණා මෙනි. සංකල්ප කෝපි බී නික්ම ගිය පසු කාමරයට වැදුණ මම කල්පනාට වැටුණෙමි. මගේ අතින් යම් කිසිවක් මග හැරී ගියේ ද? හැම කෙනෙක් ම කියන්නේ එහෙම කතාවකි. මේ මහ ගේ අප්පච්චි ගේ පරම්පරාවට අයිති ව තිබුණකි. ඔහු ට පැවරීමෙන් පසු අප්පච්චි සිය වගකීමක් සේ සලකා මේ ගේත් වත්තත් බලා කියා ගත්තේ ය. ආදායමක් නාවත් මුදල් වියදම් කරමින් වුව නිසි පරිදි නඩත්තු කළේ ය. අදත් අපට මෙසේ ඇවිත් වැටී සිටිය හැක්කේ එනිසාවෙනි.

“අප්පච්චි ඉන්නකොට මේ ගාඩ්න් එක මේන්ටේන් කළේ කවුද නීලම්මා…මං කියන්නෙ මේ…තණකොළ කපල එහෙම….”

රාත්‍රියේ කෑම කන ගමන් මම නීලා ගෙන් ඇසුවෙමි.

“මුලින්නං ඔය කොයි වැඩෙත් කළේ අපේ මනුස්සය තමයි සුදු බබා. ඒත් එයයිට හතිය එන්න ගත්තට පස්සෙ ලොකු මහත්තය ඒ වැඩ වලට සල්ලි ගෙවල කාණ්ඩෙකට පැවරුව”

“ඉතිං අපි ඒ කට්ටියට කතා කරමුකො ආයෙත්. මේ ගෙදරයි වත්තෙයි මේන්ටේන් වලට ගිය වියදම අපිට දිගටම වෙන් කර ගන්න පුළුවන්”

මේ ගෙදර රැක ගත යුතු යයි හදිසි උවමනාවක් මා තුළ ඇති විය. කොහොමටත් මේ ගේ මගේ නමින් ලියා දෙන්නයි අයියා අම්මා ට කීවේ ය. අප්පච්චි සිටියදී මෙහි නඩත්තු වෙනුවෙන් වෙන් කර තිබූ මුදල දිගට ම ලබා ගන්නට පුළුවන.

“අපේ මනුස්සය ළඟ ඔය ටෙලිපෝන් නොම්මර ලියපු පොතක් තිබුණා මයෙ හිතේ. අනේ සුදු බබා මේව ගැන හොයල බලල කරන්න හිතපු එකනං ලොකු දෙයක් සුදු බබා”

නීලා ගේ ඇස් අලුත් බලාපොරොත්තුවකින් දිළිසුණේ ය. මම මේ ගැන අම්මා සමග කතා කළෙමි.

“ඔයාට කරන්න ඕන ඕනම දෙයක් කරන්න උත්තරා. මං සල්ලි එවන්නං”

අම්මා බෝ සතුටින් පිළිතුරු දුන්නා ය. ඒ අනුව මම උද්‍යාන සැකසුම්කරු ට කතා කොට කාරණාව දැනුම් දුන්නෙමි. පසු දා ම විත් ඔවුහු තණකොළ කපා, ක්‍රිස්ටිනා හා ගඟ වැරැල්ල වැටි නිසි පරිදි කප්පාදු කොට ,මල් වලට පොහොර දැමූහ. ඔවුන් වැඩ කොට ගිය පසු, මා මිදුලේ සිටියදී සංකල්ප අපේ සීමාවන් වෙන් කෙරෙන තන්බර්ජියා මල් වැටෙන් එබී කතා කළේ ය.

“දැං හොඳයි. පිළිවෙලයි”

“ඕක කර ගන්න බැරුවනෙ කට්ටිය කියෝ කියෝ හිටියෙ. මහ දෙයක් වගේ”

මම ආඩපාලි කීවෙමි. ඔහු අඩ සිනහවක් පෑවේ ය.

“ඒක තමයි ඉතිං අපිත් කියන්නෙ…ඕව මහ දේවල් නෙවෙයි කියල”

ඔහු ගේ සිනහවේ ජයග්‍රාහී ලීලාවක් තැවරී තිබිණි. මම ඉවත බලා ගත්තෙමි.

“අර ගමන යමුද…”

මා යළි බැලුවේ ඇස් දෙක හකුළා ගෙන ය.

“මොන ගමනද…”

“ඔයාට පොඩ්ඩක් ඇවිදින්න ඕන කිව්වෙ…මේ පැත්ත බලන්න…”

“ඔයා දැං ෆ්‍රී ද…”

මාත් නො දැන ම මගේ මුහුණ ප්‍රීතිමත් උද්‍යෝගයකින් සිනහ වෙමින් තිබිණ.

“හ්ම්. ලූනාවත් අරං එන්න”

මා සූදානම් වූයේ සතුටෙනි. නිල් පාට ඩෙනිම් කලිසමක් හා මල් වැටුණ අත් දිග සුදු සැහැල්ලු බ්ලවුසයක් හැඳ, පිට මැදට දිග සේද වරල උනා දැමුවෙමි. මට මතක හැටියට අප්පච්චි ගේ මරණයෙන් පසු ඒ තරම් සැලකිල්ලකින් මා ඇඳුම් තේරූ පළමු අවස්ථාව ඒ ය. යන්නේ ලොකු ගමනක් නොවුණා ට, ඉස්සර තිබුණ පිළිවෙල ගැන යළිත් මම සිතමින් සිටියෙමි.

“ඔන්න ගියාට දඟ වැඩ කරන්න බෑ ලූනා”

මම ඇයට  දම්වැල දමමින් කීවෙමි. ලූනා දඟකාර කලබලයක් පෙන්වූවා ය. අප පාර දෙසට ඇවිද යත්දී නීලා බලා සිටියේ ආඩම්බරකාර සිනහවකිනි.

“මිස් ලූනා…ලස්සනයි ආ”

රියෙහි පසු පස අසුනට බුලී ව නංවන ගමන් සංකල්ප කීවේ ය. මම ඉවත බලා ගතිමි.

“එන්න ඉතිං…රවුමක් ගහල එමු ආ”

වැඩිපුර කතා නැතිව සිටියාට මා සිටියේ සතුටෙන් බව කිව යුතු ය. සංකල්ප ළඟ දී මා කතා කරනවා වැඩි යයි සිතුණෙන්, ඒ නිහඬ බව මා හිතා මතා ඇති කර ගත්තකි.

ඔහු නම් ලූනා හා බුලී එක්ක කතා කරමින් ද සින්දු කෑලි කියමින් ද සතුටින් සිටියේ ය.

රත්නපුර නගරය මැද්දෙන් රිය ඇදෙමින් තිබිණ. එක්වර ම යුවතියක රිය ඉදිරියට අත දමා එය නවතන ලෙස සංඥා කළා ය. ඒ මල්ෂා බව මා හැඳින ගත්තේ රිය නැවතෙත්දී ය. ඇය රියදුරු අසුන වෙත දිවගෙන ගොස් එතැන පහත් වූයේ මා දෙස හොඳින් බලන ගමන් ය. මම මඳහසක් පෑවෙමි.

“අක්කි තාම ඉන්නවද…මං හිතුවෙ ගිහිං ඇති කියල”

දෙන්නට පිළිතුරක් සිහි නොවූයෙන් මා කළේ අර මුල් සිනහව ම තව ටිකක් පුළුල් කරනා එක ය.

“මාව දැකලත් නොදැක්කා වගේ යන්න නේ හදන්නෙ…”

ඇය සංකල්පට හුරතල් නෝක්කාඩුවක් පෑවා ය. මම රිය කවුළුවෙන් එපිට බලා ගතිමි.

“හරි වැඩක්නෙ.ඔහොම වාහන ඉස්සරහට පනින්න එපා. මේව යකඩ ගොඩවල්නෙ. බැරි වෙලාවත් බ්‍රේක් කර ගන්න බැරි වුණොත් එහෙම…”

“මං දන්නවනෙ ඔයා මාව හප්පන්නෑ කියල. කොහෙද මේ යන්නෙ…”

“පොඩි ගමනක්”

ඔහු එසේ කියමින් මදෙස බැලූ බව, කටහඬ උස් පහත් වූ ස්වරය අනුව මට සිතා ගත හැකි විය. නමුත් මම එදෙස නො බලා ම උන්නෙමි.

“හරි හරි. අපිට කියන්න බැරි ගමනක් වෙන්න ඇතිනෙ”

“මේ….මල්ෂා. අපි එහෙනං යන්නද නංගි “

රිය පෙරට වෙත්දී ය මා හැරී බැලුවේ. යුවතිය කෘතිම සිනහවක් පෑවා ය. මම ඇයට අතැඟිලි සෙලවීමි. නමුත් මල්ෂා මට පෙරළා ආචාර කළේ නැත.

“කා එකේ මං හිටපු නිසා…එයා අවුල් ගියා ද මන්දා”

මා එසේ කීවේ අප තවත් ටිකක් දුඑ ආ පසු ය. සංකල්ප හා හ්ම් කීවේ නැත.

“අපරාදෙත් හිතෙනව මේකෙ ආවෙ. මට මගෙ කා එකේ වෙනම එන්න තිබුණෙ”

ඔහු අඩ සිනහවක් ඇති වතින් වරක් හැරී බැලුවේ ය. ඒ සිනහව පපුවේ කොහේදෝ ඈතක පිච්චීමක් ඇති කරනවා මට දැනිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here