අවුරුදු කෑම වේලට රසවත් මැලේ අච්චාරුවක් හදමු

ළඟ ළඟම එන අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට, නෑදෑයින්ට, හිතමිතුරන්ට අලුත් රසවත් කෑම හදලා සංග්‍රහ කරන හැටි ඔබ මේ වනවිටත් සැලසුම් කරමින් ඇති. අවුරුදු ආහාර වේල රසවත් කරන්න අච්චාරුවක් එකතු කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන් ම හැම කෙනෙක් ම ටිකක් වැඩිපුර බත්කන්න පෙළඹේවි. අච්චාරුවල ඇති ලුණු රස, ඇඹුල් රස, අබ ගම්මිරිස්වල සැර ගතිය මිශ්‍ර වුණ අච්චාරු ටිකක් බත් වේලට එකතු වුණා ම කවුද බත් කන්න අකමැති වෙන්නේ. ඔබත් මෙච්චරකල් වෙන අය හදපු මැලේ අච්චාරුවල රස බලපු කෙනෙක් නම් මෙදාසැරේ තමන්ම අත්හදාබලන්න. මේ මැලේ අච්චාරුව ඕනම කෙනෙකුට ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන්

ඔබට අවශ්‍ය වෙන්නේ;

  • රට ලූනු  ග්‍රෑම්250
  • මාළු මිරිස් ග්‍රෑම් 200
  • අමු මිරිස් ග්‍රෑම් 100
  • රතු ළූනු ග්‍රෑම් 200
  • කැරට් ග්‍රෑම් 200
  • විනාකිරි බෝතල් 01
  • රටඉදි ග්‍රෑම් 250
  • හකුරු  පෙති 01
  • අමු ඉඟුරු, අබ, ගම්මිරිස්, ලුණු, සීනි, කුරුඳු පොතු
  • රස ප්‍රමාණවත්පමණට  බැදගත් මිරිස් කුඩු මේස හැන්දක්
  • එනසාල් ස්වල්පයක්

එක් රැස් කරගත් ද්‍රව්‍ය මේ විදියට පිළියෙල කරගන්න

අමුමිරිස්, රතු ලූනු, මාළු මිරිස්, රට ලූනු, කැරට් පිරිසිදු කර හොදින් සෝදා වතුර හි‍ඳෙන්නට හැර පැයක් පමණ මද පවනේ තබන්න.

රට ලූනු හතරට පලා ලොකු කැබලි කපාගන්න. රටඉඳිවලින් භාගයක් (ඒ කියන්නේ ග්‍රෑම් 100ක් පමණ) ඇට ඉවත් කර කෑලිවලට කපා ගන්න. ඉතිරි රට ඉඳි හා ගම්මිරිස්, අමු ඉඟුරු, අබ විනාකිරෙන් අඹරා ගන්න. තරමක් කුඩා ඉරි හැඩයේ කෑලිවලට හෝ කොටු හැඩයට  කපා ගත් කැරට් හා අමු මිරිස්, ලූණු , මාළුමිරිස් සියල්ලම අඹරාගත් තුනපහ හා ලූණු ද රට ඉඳි ද දමා මැටි භාජනයක කලවම් කරන්න.

බැදපු මිරිස්කුඩු මේස හැන්දක්  සීනි මේස හැන්දක් හා සිහින්ව ගා ගත් හකුරු ටිකද මෙයට එක් කරන්න.

දැන් වෙනත් මැටි භාජනයකට විනාකිරි ටිකක් ලිප තබා ගම්මිරිස් ඇට ටිකක් හා කුරුඳු පොතු කැබැල්ලක් දමා උතුරන්නට දෙන්න. උතුරන විනාකිරි පෙරා ඉහත කී ලුණු මිරිස් කලවම් කර ඇති භාජනයකට දමා වසා තබන්න. ලුණු, ගම්මිරිස්, සුදුලූණු ප්‍රමාණවත් රසට මිශ්‍ර වී ඇත්දැයි පරීක්ෂා කර බලන්න. සකස් කිරීමෙන් දිනකට පසුව ආහාරයට ගන්නා විට අච්චාරුවේ නියම රස ඔබට දැනේවි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles