සැරිසරන්නී – 01

දුර ඈත ශරදාකාශයේ වෛවර්ණ දේදුන්නක් පායා තිබේ. තවමත් හිරිකඩ වැස්සක් ඉතිරි ව තිබිණි ද මහ වැස්ස මුළුමනින් නතර වී, වැහි අඳුර පළවා හරිමින් බලයෙන් වාගේ හිරු ද අහසට ඇවිදිනි. තද වැස්සකට පසු නැගෙන හිරු ගේ එළිය මෙතරම් එළිය දැයි මට සිතිණි. 

දේදුන්නේ පාට ගණන් කරන්නට පොඩි කාලේ සිට ම මම කොතෙකුත් උත්සාහ කොට ඇත්තෙමි. නමුත් දම් හා ඉන්ඩිගෝ යන වර්ණ දෙක වෙන් කර ගන්නට එදත් මට බැරි විය. අදත් බැරි ය.

මා සිටින්නේ, මතු මහල නො තැනූ අපේ ගෙදර කොංක්‍රීට් තලාව මත්තේ ය. මෙතැනට වන් කල අම්මා ගේ සහෝදර කැළ ට අයිති, පර්චස් පහ බැගින් වෙන් කළ ඉඩම් කැබලි හයත්, ඒවායේ තැනුණු විවිධාකාර හැඩ තල වලින් යුත් නිවාස හයත් දකිත හැක. ඉන් ඔබ්බට තවත් අසල්වැසි නිවාස ගණනාවක් ද ඊටත් එපිටින් කොස් පොල් වැනි උස් ව වැඩෙන තුරු සමූහයක මුදුනුත් මෙතැනට දර්ශනය වේ. මා වඩාත් කැමති, තුරු මුදුන් හා ඊට ඉහළින් වන අනන්ත අහස දෙස බලා ඉන්නට ය. අහස තරම් විචිත්‍ර වූත්, වෙනස් වන සුළු වූත් වස්තුවක් සොබා දහම සතුව තවත් තිබෙනවා දැයි සැක සහිත ය. නමුත් අම්මා ගේ සහෝදර කැළ විවාහ කර ගෙන හිඳිනා නැන්දාවරුන් සිතන්නේ මා මෙතැනට වී ඔවුන් ගේ ගෙවල් වල ඔත්තු බලනා බවකි. 

අම්මා ට සහෝදරයන් සිව් දෙනෙකි. එක් සහෝදරියකි. කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොට්ටාව  නගරයෙහි සීයා මිලදී ගෙන තිබූ පර්චස් තිහක ඉඩම මෙසේ දරුවන් සය දෙනා අතරේ සම සේ බෙදා දෙන්නට, සීයා ගේ මරණින් මතු ආච්චා ට සිදු විය. ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතිය යටතේ, සැමියා සතු දේපල වලින් හරි අඩක අයිතිය හිමි වන්නේ බිරිඳට ය. දරුවන් අතරේ සම සේ බෙදී යා යුත්තේ ඉතිරි අඩ ය. නමුත් මාමලා එක හෙළා කියා සිටියේ ආච්චා ට දැන් ඉඩ කඩම් වලින් ඇති පලක් නොවන බවයි. ඇයට කාගෙ කාගේත් ගෙවල් වල සිටිත හැකි බවයි. පර්චස් පහළොවක් හයට බෙදූ විට කාටවත් ඉන් පළක් නොවන බවයි.

“මගෙ පුත්තුන්ගෙයි දූරුන්ගෙයි ලේලිලගෙයි බෑණලගෙයි ඔක්කෝගෙම හැටි මං නො දන්නව නෙවෙයි සනූ. ඒත් ඉතිං මේ කොයි වෙලේ වළ පල්ලට යන්නද කියල ඉන්න මට ඔය ඉඩ කඩං ගෙවල් දොරවල් වලිං ඇති වැඩක් නෑ. මැරෙනකල් ජීවත් වෙන්න අගු පිළක් හරි තිබුණනං ඇති”

ආච්චා මා සමගින් එසේ කියා තිබේ. මහ ඉඩම බෙදා වෙන් කරත්දී මහ ගේ මැද්දෙන් කම්බි වැටක් ගැසිණි. මහ ගේ දෙකට කැඩී ඉඩම් කෑලි දෙකකට අයිති විය. මාමාවරු ගේ කොටසක් සහිත ඉඩම් කෑලි දෙක ගන්නට කා කොටා ගන්නට සැරසුණහ.

“උඹල ඔහොම මරා ගන්න හදනවනං මං ගේ තියෙන කොටහ මට වෙන විදිහට ඉතිරි ටික උඹලට ලියනව. එහෙම වුණොත් එක එකාලට ලැබෙන පංගුව තවත් අඩු වෙයි”

ආච්චා එසේ තර්ජනය නො කරන්නට එදා ඉඩම් බෙදීම මරණයකින් කෙසේ වතුදු කෝලාහලයකින් කෙළවර වන්නට තිබිණි.

“උඹල කැමතිනං බාලයටයි වැඩිමලාටයි ගේ තියෙන කොටස් දෙන්නං. නැත්තං ඔය ගේත් ඩෝසර් කරල දාල හැමෝටම හිස් ඉඩං දෙන්නං”

බාලයා හා වැඩිමලා ඒ යෝජනාවට එකඟ වූවත් මැද දෙන්නා ප්‍රසාදයක් හැඟවූයේ නැත.

“එහෙනං ඉතිං අම්ම ගැනත් බාලයටයි වැඩිමලාටයිම බලා ගන්න කියන එකයි. ඒගොල්ලන්ටනෙ වැඩි කොටහ හම්බ වෙන්නෙ”

මැද දෙන්නා ගේ බිරින්දෑවරු දෙන්නා යුද්ද ප්‍රකාශ කළේ එහෙම ය. පුංචා ත් ගේ තිබෙන කොටසක් නො දීම ගැන ආච්චා එක්ක උරණ වූවා ය. පාඩුවේ බලා සිටියේ අම්මා පමණකි. ඒ තාත්තා නිසා බව මා සේ ම ආච්චා ත් දන්නී ය.

“මගෙ කොල්ලො හතරත් හරි මට දුනුකේත් හරි”

ආච්චා නිතර කියන කතාවකි ඒ. දුනුකේ කියන්නේ මගේ තාත්තා ය. නම නොව ඒ වාසගමේ කොටසකි. තාත්තා සිසිර දුනුකේබණ්ඩාර නම් වේ. ඔහු වැඩි කතා බහක් නැති ආඩම්බරකාරයෙක් ලෙස පවුලේ අය අතර ප්‍රකට ය. ආඩම්බර කමක් නොව ඒ තාත්තා ගේ හැටියක් බව මම නම් දනිමි. තාත්තා ගේ ඒ හැටියට මම බෙහෙවින් ඇල්ම ද කරමි. තාත්තා උගත් මිනිසෙකි. පවුලේ මගුල් තුලා කටයුතු වලදී ආච්චා ගේ සීයා ගේ ඉල්ලා සිටීම මත නිතර ම මූලාසනය හොබවන්නට සිදු වූයේ තාත්තා ට ය. මගුල් සේ ම මරණ වලදී ද පවුලේ අය වෙනුවෙන් ස්තූති කතාව කළේ තාත්තා ය. සිංහලයෙන් සේ ම ඉංග්‍රීසියෙන් ද චතුර ව කතා කළ ඔහු, සාමාන්‍ය ජීවිතයේ දී වැඩිපුර මුණිවත රකින්නේ ඇයි දැයි මා දන්නේ නැත. 

වැඩිපුර කතා නො කළා ට තාත්තා ගේ එක සැර කිරීමකට ඔහු ගේ බිරිඳ ද දියණිවරු දෙදෙනා ද ගොළු වී බිම බලා ගනිති. ඔහු ගේ වැඩිමහල් දියණිය සනුකි දුනුකේබණ්ඩාර නම් වන මම වෙමි. පොඩි දුව නෙතුකි දුනුකේබණ්ඩාර ය. ඔවුන් දෙදෙනා ද අහසට පොළොව සේ වෙනස් බව අපේ කතාව කියවා ගෙන යත්දී ඔබ වටහා ගනු නියත ය. 

ඉතින් තාත්තා හ්ම් කීවොත් අම්මා ඉන් එහාට ඒ ගැන හ්ම් නොකියන නිසාවෙන් ඉඩම් බෙදීමේ පලහිලව්වේ දී අම්මා ට පාඩුවේ ඉන්නට සිදු විය. නො එසේ වී නම් අම්මා ද නිකං නො සිටිනු ඇත. 

ආච්චා ලබා දුන් පර්චස් පහේ තාත්තා ලස්සන කුඩා දෙමහල් නිවසක් සැලසුම් කළේ ය. තවමත් එහි ඉදිකිරීම් නිම ව ඇත්තේ පළමු මහළෙහි පමණකි. පහළ මහලේ කාමර දෙකක් ද කුඩා ආලින්දයක් හා කෑම කන කොටස සහිත නවීන මුළුතැන්ගෙයක් ද එක් නාන කාමරයක් ද වේ. කුඩා වුණත් එය අපට සතුට සදනා කැදැල්ලකි.

තාත්තා රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරයෙකි. හවස් වරුවේ ද සති අන්තයේ ද ඔහු පෞද්ගලික පන්ති පවත්වයි. කුඩා ළමුන් ට උගන්වන්නට තාත්තා මැළි වන අතර, ඉහල පන්ති වල උගන්නා පාසල් සිසුන් හා රැකියා කරන තරුණ පිරිස් තාත්තා ගේ පන්ති වල බහුල ය. 

ආච්චා ගේ දරුවන් හය දෙනා අතරින් තුන් වැනියා හා හතර වැනියා ගැහැනු ය. ඒ අම්මා හා පුංචා වශයෙනි. අම්මා ජනරංජනී දුනුකේබණ්ඩාර ය. දුනුකේබණ්ඩාර නම අප ඇයට ලබා දී ඇත්තේ බලයෙන් වන අතර, ඇගේ සැබෑ නම ජනරංජනී ආරියදාස ය. ආරියදාස යනු සීයා ගේ පෙළපත් නාමයයි. 

“දාස වගේද බණ්ඩාර. අම්මත් අපේ සර්නේම් එක ගන්න ඕනෙ. මේ ගේ ඇතුළෙ ඉන්නෙ  දුනුකේබණ්ඩාරල”

මමත් නංගීත් අම්මා අවුස්සන්නට එහෙම කියමු. ඇය රෙදි මැෂිමෙන් නෙතු ඉවතට නොගෙන වුණත් ඇස් වල රැවුමක් ඇති ව හිඳින බව අපි දනිමු.

“ඉතිං ඔය දුනුකේබණ්ඩාරල දෙන්නටත් අන්තිමට වෙන්නෙ ඒ සන්තෑසිය තමයි”

එතකොට නම් සැබෑ දුකක් මසිත් හි ඇති වේ. තාත්තා මට දුන් නමට මගේ සිත්හි වන ආදරය අති මහත් ය. ඒ ඇයි ද කියන්නට මා  දන්නේ නැත. සනුකි දුනුකේබණ්ඩාර! මම ඇයට බෙහෙවින් ආදරය කරමි!

දැන් දේදුන්න පළා ගොසිනි. කොංක්‍රීට් තලාව වටා ගලින් බැඳි බැම්මට හේත්තු වී මම හිස කරකවා අහස දෙස බැලුවෙමි. අහස් ගඟ තද නිල් පැහැති ය. මීට ටික වෙලාවකට පෙර ගැබ්බර ව කඩා හැළුණා ද කියා හෝ වගක් නොමැති ව සිනහ වෙවී හිඳින්නී ය.

“ඒයි ලෙච්චමී”

ඒ හඬින් මම පහල පාර දෙස බැලුවෙමි. ලොකු මාමා ගේ ලොකු පුතා පාරේ යන ගමන් මට අත වැනුවේ ය. මමත් සිනහවකින් විකසිත ව පෙරලා අත වැනුවෙමි. දාංගලය පෑවා වැඩි යයි සිතුණේ ඔහු යන්නේ තනිව නොව තවත් කෙනෙකු සමගින් බව දුටු පසු ය.

“කොහෙද ගියේ ලොකු අයියෙ..දවස් ගාණකින් දැක්කෙ ඔයාව”

“පොඩි වැඩකට සෙට් වුණා නගා. දන්නැද්ද ඉතිං…”

අයියා ‘දන්නැද්ද ඉතිං’ කීවාට ඔහු අදහස් කළේ කුමක් දැයි මම සැබවින් නො දැන සිටියෙමි. ‘මං දන්නෙ කොහොමද මෝඩයො’ කියා කෑ ගසන්නට කටට ඇවිදිනුත්, ඔහු ත් එක්ක තවත් කෙනෙකු සිටිනා නිසාවෙන් මම කට පාලනය කර ගතිමි.

“මොකද තංගච්චි ඔතන කරන්නෙ…පාරෙ යන කොල්ලන්ට ලයින් දානව නේ…”

“හපෝ වැඩේමයි. මේ පාරෙ යන්නෙ ඉතිං ඔයා වගේ කොල්ලොනෙ”

මම අතින් කට වසාගෙන සිකහ වුණෙමි. අයියා ගේ මිතුරා ඔහු දෙස බලා සමච්චල් සිනහවක් පෑවේ ය.

“කිව්ව කියල හිතා ගනිං උඹට”

“මොනා කියන්නද ඉතිං…ඇත්තනෙ මං කිව්වෙ. මට ඉන්නව මාමල හතර දෙනෙක්. ඒ හතර දෙනාට පුත්තු ඉන්නව දුසිමක් විතර. ඒ වුණාට මස්සිනා කමට නිකං බලන්නවත් එකෙක් ඉන්නවද කියවනවකො”

“අඩෝ ටිකිරිමලී. උඹ මට අහු වෙයංකො ඈ”

කියා ගෙන ඔහු ඉතිරි කෙටි දුර පාරේ ඉදිරියට ඇවිද ගියේ ය. 

මහ ඉඩම කොටස් කර තිබෙන්නේ මැදින් පාරක් වැටෙන සේ ඉඩම් කැබලි තුන බැගින් ඒ පාර දෙපැත්තට සිටින්නට ය. මහ ගේ සහිත කොටස් දෙක ගත් මාමලා දෙන්නා, කම්බි වැට මැදි වන සේ බිත්ති දෙකක් බැඳ ගේ වෙන් කර ගත්තා විණා තවමත් ඒවායේ අලුතෙන් කොටස් එක් කිරීමක් කොට නැත. අනිත් බිම් කැබලි වල නම් අලුත් ගෙවල් ඉදි වූයේ ය. ලොකු මාමා ගේ ගේ පිහිටියේ කෙළවර ම ඉඩමේ නිසා අයියා ඒ දුර ඇවිද යා යුතු ය. ඔහු යන දෙස මම නිකමට බලා සිටියෙමි. ලොකු මාමා ගේ බිරිඳ වන නයනා නැන්දා අයියලා ගෙතුලට කැඳවූයේ, කෙටි බැම්මට බර වී බලා සිටි මදෙස හැරී ද බලමිනි. ඇගේ ඒ බැල්මෙහි වූයේ නො රිස්සුමක් බව මට දුරට වුව දැක ගත හැකි වූයෙන් මම ඉක්මන් කොට ඉවත බැලුවෙමි.

“සනූ…”

පහළින් අම්මා ගේ හඬ ඇසුණේ ය. මම දුවගෙන වාගේ පිය ගැට පෙළ බැස්සෙමි.

“කාත් එක්කද කියෝනව ඇහුණෙ…”

“අම්මෝ…අම්මද…මැෂින් එකෙන් ඔළුව උස්සන්නෑ වගේ හිටියට ඇන්ටනාව වටේට දාගෙන නේ ඉන්නෙ…”

“කතා කරන ලස්සන! තාත්තට ඇහුණනං එහෙම අහ ගන්න තිබුණ හොඳවයිං”

“ඉතිං ලස්සනනං අවුලක් නෑනෙ”

“නංගිට විතරයි ඔය කොලු භාෂාව තියෙන්නෙ කියල අපි හිතං හිටියෙ. දැං මෙයත් ගාණකට ඇවිත්”

“හරි හරි..දැං ඔය මට බණින්නෙ වාර්තාව සැපයුවෙ නෑ කියලනෙ. ලොකු අයිය කතා කළේ”

“මලිත් ඇවිත්ද..”

අම්මා මැස්ම නතර කොට මදෙස බැලුවා ය.

“ඔය ගියේ..මාත් දැක්කෙ දවස් ගාණකින්. දන්නැද්ද පොඩි වැඩකට සෙට් වුණා කිව්ව. කොහෙද අම්මෙ ලොකයිය ගිහිං තියෙන්නෙ…”

අම්මා මුණිවතින් නැවතත් මසන්නට පටන් ගත්තා ය. තාත්තා ගෙදරට කිසි අඩුපාඩුවක් නො කළ ද මා දන්නා දවසේ පටන් අම්මා කුළී ඇඳුම් මසන්නී ය. ‘කාන්තා ඇඳුම් මසනු ලැබේ’ යනුවෙන් ලියූ පුවරුවක් අපේ තාප්පය අයිනේ සිටුවා තිබේ. ඈ මේ වැඩේ කිරීම ගැන තාත්තා ගේ ඒ හැටි මනාපයක් නැත. 

“මිනිස්සු අපේ ගෙදරට මහන ගෙදර කියන නම දාන එකයි ඔය වැඩෙං වෙන්නෙ”

ඔහු සිය අමනාපය හැඟවූයේ ඒ වගේ වචන කිහිපයකිනි.

“අපෝ නෑ නෑ. ඔය අහල පහල හැම කෙනෙක්ම අපේ ගේ අඳුන්නන්නෙ දුනුකේ සර්ලගෙ ගෙදර කියල”

එතකොට අම්මා මඳ සිනහවකින් මුව සරසා ගෙන කියයි. අම්මා කියනා පරිදි ඈ ඇඳුම් මැසීම කරන්නේ ස්වයං රැකියාවක් වශයෙන් ම නොවේ. විනෝදාංශයක් වශයෙනි.

“අවුරුදු ගාණක් මැහුම් පන්ති එම්බ්‍රොයිඩර් පන්ති ගිහිං ඉගෙන ගත්ත සාස්තරේනෙ. නිකං අපතේ යන්න දෙන්නෙ මොකටද…”

ඇත්තටම අම්මා ඇඳුම් මැසීමෙන් සතුටක් ලැබුවා ය. අලුත් පන්නයේ විලාසිතා ගැන, මගේ හෝ නංගිගේ උදව් ඇති ව ගූගල් හෝ යූ ටියුබ් ඇසුරෙන් දැනුවත් වූවා ය. අම්මා මසන සාරි ජැකට් ඇඟට ම තබා මසා ඇතිවා සේ පෙනෙතැයි සාරි ඇඳ ඔෆිස් යන කාන්තාවෝ පවසති. මැසූ ඇඳුමක් සිය පාරිභෝගිකයෙකු වෙතින් ඇගයෙත්දී අම්මා ගේ මුහුණ මලක් සේ පිපෙනු මම දැක ඇත්තෙමි. ඈ සැබවින් ම ඇඳුම් මැසීමෙන් සතුටු වූවා ය. මහන්නට කොයි තරම් රෙදි ගොඩ ගැසුනත් මැසිවිලි නො නගා ඉවසීමෙන් ඒ කටයුතු කරගෙන ගියා ය. මා හෝ නංගී ඒ ගැන කිසිදු උනන්දුවක් හෝ ආශාවක් නො පෙන්වන නිසා, බොත්තම් කාස මැසීම, බොත්තම් ඇල්ලීම, නූල් කැපීම, වැරදුන තැන් ලෙහීම වැනි කටයුතු කර ගන්නට අම්මා ට ආච්චා ගේ සහාය පතන්නට සිදු වේ.

“දැක්ක නේද අම්මනං හරි නරකයි”

මැස්ම නතර නොකර ම අම්මා මදෙස ඇස් ඔසවා බැලුවා ය.

“මගෙං ඔක්කොම ඕපදූප ටික අහ ගත්තා ශේප් එකේ..මං ඇහුවහම ලොකයිය කොහෙද ගිහිං හිටියෙ කියල…සද්ද නෑ”

“කට කට. මේව ඕගොල්ලන්ට කියනවට වඩා හොඳයි අඬබෙර ගහන එක. මලිත් ව රිමාන්ඩ් කරල ඉඳල”

“මොකක්…ඇයි ඒ…”

“ෂ්….හෙමිං හෙමිං. මටත් කිව්වෙ එහෙං නෙවෙයි. ආච්චා…”

“මොකද්ද ලොකු අයිය කරල තියෙන වැරැද්ද…”

“රණ්ඩුවකට ගිහිංලු..යාළුවෙක්ගෙ මොකද්ද ප්‍රශ්නයක්. ඒ යාළුවගෙ වයිෆ් වෙන කෙනෙක් එක්ක පැනල ගිහිං…යාළුවගෙ ඕන කමට නෙමේලු…මෙයා තව කොල්ලෙක් එක්ක අර වයිෆ් පැනල ගිය කොල්ලට ගහල…මේ කොල්ල බිබී පිස්සු නටන නිසා. අන්තිමට මුන් දෙන්නව පොලීසියෙං අල්ලං ගිහිං. අර කොල්ල හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා ඉඳල අමාරුයි කිය කිය. ඒක නිසා මුං දෙන්නව රිමාන්ඩ් කරල තියල”

“දෙයියනේ…ඔච්චර දෙයක් වෙලා මේ එකෙක්වත් දන්නැද්ද එතකොට…”

“නයනා කාටවත් දැනගන්න තියල නෑ. ලැජ්ජයි කියල. ආච්චා මට කිව්වෙත් වෙන කාගෙවත් කනේ තියන්න එපා කියල”

“හරි ශෝක්..ඔය ඉතිං පොරොන්දු රැක්ක හැටි නේ…”

“පෙනේ නේද මේකි චාටුව දාල මගෙං ඔක්කොම අහගෙන එහෙම…”

මම සිනහ වෙවී කාමරයට දිව්වෙමි. ලොකු අයියා එක්ක එතකොට ඒ ආවේ බන්ධනාගාර ගත වූ මිතුරා ද නැත්නම් බිරිඳ පැන ගිය නිසා හුදෙකලා වූ මිතුරා ද යන පැනය මවෙත ඉතිරි විය. කවුරු වුණත් ඔහු ට වූයේ දුක්බර ඇස් දෙකක් බව මගේ මතකයේ රැඳිණි. 

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...