සැරිසරන්නී -03

ලොකු අයියා ගේ දුරකතනය කිහිප වතාවක් හැඬවී නිහඬ විය. ඔහු පිළිතුරු දුන්නේ නැත.

“ලොකු අයිය ආන්සර් කරන්නෑනෙ”

මා එසේ කී විට එතැන සිටි කිහිප දෙනෙකු ගේ ම දෙතොල් අතරේ අමුතු සිනහා නැගිණි. පවුල තුළ ලොකු අයියා ගොඩ නගා ගෙන තිබෙන ප්‍රතිරූපය එතරම් හොඳ නැත. 

“ඔය යකාට කියලත් වැඩක් නෑනෙ. මොකද දැං දුවගෙන තාත්ත ළඟට යයිද…මං ලොකු වැඩකයි ඉන්නෙ කියල කියයි”

දෙවෙනි මාමා හිස ගස්සා කීවේ ය. 

“බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියනවනෙ…හරියකට රස්සාවක් කියල කරන්නෙත් නෑ. කොයි වෙලාවෙත් අතේ සතේ නෑ. ඒ වුණාට නිකං ඉන්නවද බලනවකො. කොයි වෙලේත් වැඩ”

ලොකු අයියා ගැන කවුරු කොයි විදිහට කීවත් මම ඒවා ඒ තරම් ලොකුවට අනුමත නො කරමි. එසේ ම වැඩිපුර හිතට නො ගනිමි. ඔහු ගේ දුර්වලතා තියේ. එය සැබවි. නමුත් පවුලේ ළමයින් තුළ පමණකුදු නොව වැඩිහිටි අය අතරේ ද නැති ගුණ යහපත් කම් හා මනුස්ස කම් ඔහු ළඟ තිබෙනා බව මම දනිමි. 

“පිස්සු යකෙක්. අපේ පවුල් වලට ඔහොම එකෙකුත් හැදුණනෙ”

එතකොට ම මගේ දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. 

“ලොකු අයිය”

මම ඉක්මන් කොට දුරකතනය සවනට ගතිමි.

“තංගච්චි මොකෝ…”

“අයියෙ ඔයාට නයනි නැද්දා කතා කරන්න නැතුව ඇති නේද..”

“නෑ නංගි ඇයි…”

“අයියෙ ලොකු මාමට චෙස් පේන් එකක් ඇවිත් හොස්පිට්ල් අරං ගියා. නයනා නැන්දයි පොඩි අයියයි චූටි මාමයි ගියේ. දැං තරමක් වෙලා ගිහිං. තාම මුකුත් ආරංචියක් නං නෑ. අපි කෝල් කළෙත් නෑ ඉතිං”

“කොහොමද අරං ගියෙ…”

“දහ නවයයි අනූවක”

“හරි නංගි. මං ටාර් ගාල මොකක් හරි කරන්නං”

දුරකතන සම්බන්ධය එහා ඉමෙනු බිඳ දැමිණි.

“මොකද කියන්නෙ…”

“ටාර් ගාල මොකක් හරි කරන්නං කිව්ව”

පිරිස අතරින් සිනහවක් නැගිණි. මා වට පිට බැලුවේ ලොකු මාමා ගේ දියණිය වන කල්පි අසලක වේ දැයි සැක හැර දැන ගන්නට ය. මොනවා වුණත් කට්ටිය තැන් තැන් වලට වී ඔවුන් ගේ අයියා ව හාස්‍යයට ලක් කරනු අසන එක ඇයට වේදනාවක් විය හැකි බැවිනි. නමුත් කල්පි සිටියේ ඈතට වන්නට ගෑනු ළමයි දෙතුන් දෙනෙකු සමග ය.

එදා ගෙවල් වල වෙන වෙන ම රෑ බත පිසුණේ නැත. ගැහැනු කට්ටිය දෙවෙනි මාමා ගේ ගෙදර කුස්සියේ රැස් වී කෑම පිළියෙළ කළහ. තම තමන් ගේ ගෙවල් වල වැඩිපුර ඇති දෙයක් ගෙන විත් මේ සම්මාදම් බත සැකසුණේ ය. සහෝදර කැළ ගේ හිත් වල මොන විදිහේ ඊර්ෂ්‍යාකාරකම් පැවතුන ද, පවුලේ කෙනෙකුට විපතක් කරදයක් වන මේ වගේ වෙලාවකදී එකමුතු වීම, මේ පවුලේ  අය ගේ මා දැක ඇති ලක්ෂණයකි. අනිත් අතට සහෝදර පිරිස එක වත්තක ජීවත් වීම එහෙව් අවස්ථාවක මහත් ශක්තියක් වූයේ ය. විපතක දී කරදරයකදී කවදාවත් කවුරුන්වත් තනි වන්නේ නැත. 

මේ විදිහට ස්ත්‍රීන් හය දෙනෙකු වට වී උයන බතක් අපේ තාත්තා නම් කිසි දා කටේ තියන්නේ නැත. ගැහැනු වට වී කියවමින් ද සිනහ වෙමින් ද ආහාර පිසිනා විට ඒවාට කෙළ විසි වෙතැයි ඔහු පිළිකෙව් කරයි. ඉතින් මෙවන් අවස්ථා වලදී ගෙදර කෑම පිසීමට අවශ්‍ය නැතැයි අම්මා ට පහසුවක් දැනෙන්නේ නැත. ඇය තාත්තා ට පමණක් හාල් හුණ්ඩුවක් ලිප තබා ලුණු මිරිසක් හෝ තනා දිය යුතු ය. තාත්තා මෙවන් තත්වයකදී ව්‍යාංජන කිහිපයක් බලාපොරොත්තු වන්නේ නැත.

රෑ වන විට නයනා නැන්දා හා පොඩි අයියා ගෙදර පැමිණියේ ලොකු අයියා හා රවීන් සමග මෝටර් රථයකිනි. අනිත් ඥාතීන් හවස ලොකු අයියා ට දොස් කියත්දී ඔහු වෙනුවෙන් හදවතින් තනිව පෙනී සිටීම ගැන මට මහත් සතුටක් දැනිණ. ලොකු අයියා රෝහල අසලට ගොස් තිබේ. අනිත් අය කිසිවෙකු ඔහු එසේ කරතැයි විශ්වාස කළේ නැත. ඔහු ට දැනුම් දීම හෝ වැදගත් නොවෙතැයි සිතූහ.

“හාට් ඇටෑක් එකක් ඇවිත්. එහෙමම ගත්තෙ තියටර් එකට. බයිපාස් එකක් කරනව කිව්ව. අපි ඉඳල වැඩක් නෑ කියල යන්න කිව්ව. හෙට උදේම එන්න කිව්ව”

නයනා නැන්දා ඈ වට කර ගත් පිරිසට තොරතුරු සපයන්නට වූවා ය.

“දෙයියො බැලුව වගේ අපි ඉක්මනට අරං ගියේ. එහෙම අමාරු වෙලා ගෙනිච්ච නිසාලු ඔහොම ඔපරේශන් එක හරි කළේ..මට නර්ස් කෙනෙක් කිව්ව නැත්තං ලිස්ට් එකේ ඉන්න වෙනවලු සෑහෙන කාලයක්”

ලොකු මාමා ගැන තොරතුරු දැන ගන්නා අතරේ මගේ ඇස් තිබුණේ ලොකු අයියා වටා ය. ඇත්තට ම ඔහු නොව රවීන් වටා ය. මේ විශාල පවුලේ සාමාජිකයන් පිරිස අතරේ ඔහු ව මට පෙනුණේ හුදෙකලා වූ සරණාගතයෙකු සේ ය. 

“මං නැන්දලට තේ ටිකක් හදන්නද…”

ස්වේච්ඡාවෙන්ම මා එසේ ඉදිරිපත් වූයේ නැන්දාට තේ එකක් දීම වෙනුවෙන් නොව මේ වෙලාවේ රවීන් ගැන බලන්නට හොයන්නට මෙහි කිසිවෙකු නො වන බව පැහැදිලි ව පේන්නට තිබූ නිසා ය.

“අනේ පුළුවන් නං ලොකු දෙයක් සනූ”

නැන්දා මදෙස බලා බැගෑපත් ස්වරයකින් කීවා ය. නැන්දා ගේ දුවට හෝ ඇගේ අම්මා ගැන නො දැනුණ විදිහේ අනුකම්පාවක් මට දැනුණැයි යමෙකු සිතුවා වෙන්නටත් පුළුවන. සාමාන්‍යයෙන් මා පවුලේ හැම කෙනෙකුට ම කළ හැකි උදව්වක් කරන්නට දෙවරක් නො සිතන බව ඕනෑ ම කෙනෙක් දනිති. ඒ නිසා මා තේ හදන්නට ඉදිරිපත් වීම ගැන කිසිවෙකු පුදුම වන්නේ හෝ සැක හිතන්නේ නැත.

 අපේ ගෙදරට දිව ගොස් මම තේ කෝප්ප හයක් පිළියෙල කළෙමි. තුනක් රෝහලට ගිය අයට ය. දෙකක් ලොකු අයියා ට හා රවීන්ට ය. අනිත් එක තාත්තා ට ය. පැයක් ඇතුළත තේ දහයක් දුන්නත් තාත්තා එපා නො කියා බොයි!

තේ ගෙන යන විට රවීන් සිටියේ ලොකු අයියා සමගින් ඔහු ගේ ගේ ඉදිරියේ පාරේ ප්ලාස්ටික් පුටු දෙකක් තබා අසුන් ගෙන ය.

“අපිටද තේ ගෙනාවෙ…ඔයා මාරයිනෙ වස්තුව”

“අයිය එවෙලෙම හොස්පිට්ල් එකට ගියාද…”

“ගියා නේන්නං..අපේ ගෙදර එවුනුත් මාරයි බං. යකෝ ඔච්චර දෙයක් වෙලා මට කෝල් එකක් දෙන්න මතක් වුණෙ නෑනෙ මුන්ට”

රවීන් තේ එක ගත්තේ යන්තම් මගේ මුහුණ බලා ‘තෑන්ක් යූ’ කියමිනි. ඔහු යන්තම් බැලුවා ට මම නම් ඒ තත්පර කිහිපය තුළ හිතේ හැටියට ඔහු ව දැක බලා ගතිමි. අද ම පමණක් දුටු ඔහු ගැන මේ තරම් දැනෙනා හුරු පුරුදුකම කුමක් දැයි මට නම් සිතා ගත හැකි වූයේ නැත. 

“නැන්දා ඉතිං කලබල වෙලානෙ අයියෙ. ඒ වගේ වෙලාවක ඔය වගේ දේවල් අමතක වෙන්න පුළුවන්නෙ”

“හරි අම්මට අමතක වුණා කියමු. තව එවුං දෙන්නෙක් ඉන්නව නේද..මොකද අපේ මල්ලිට යන ගමං කෝල් එකක් ගහන්න බැරිද…හරි ඌටත්  බෑ කියමු. ගෙදර හිටපු එකීට අමතක වුණාද මේ අයියත් ඒ තාත්තගෙම පුතෙක් කියල…”

“ඕව ගණං ගන්නෙපා අයියෙ”

“මං එවෙලෙ ගියෙ මේ රවීනයගෙ කා එක ගරාජ් එකේ තිබුණෙ. ඒක ගන්න. මූ ටික දවසක් අපේ ගෙදර ඉන්නව නංගි. මූගෙ පොඩි පොඩි ප්‍රශ්න ට්කක් තියනව ඒව විසඳ ගන්නකල්.හොටේල් එකක රූම් එකක් අරං නවතින්න හැදුවෙ මූ. මං ඇදං ආව අපේ ගෙදර කාමරයක් දෙන්නං කියල. නැත්තං මූ බීල නහින්නෙ…බීල..”

මගේ ඇස් රවීන් මත නතර විය. ඔහු ලැජ්ජාශීලී සිනහවකින්, ලොකු අයියා හා එකඟ නොවෙමින් ඉවත බැලුවේ ය. ඒ කාන්දම් ඇස් වල මේ තරමින් මා ආකර්ශනය කර ගන්නා බලය කුමක් දැයි මම බලා සිටියෙමි. නමුත් මට හේතුවක් සොයා ගත හැකි වූයේ නැත.

ඔවුන් තේ බී නිම වූ පසු කෝප්ප දෙක නැවත බන්දේසියට ගෙන මම පහළට ගියෙමි. මට දැනුණේ රවීන් ගේ කාන්දම් ඇස් දිගට ම මා හඹා එන්නා මෙනි. 

ආච්චා එදා නිදා ගන්නට අපේ ගෙදර ආවා ය. සාමාන්‍යයෙන් ඇය සිටියේ ලොකු පුතා ගේ ගෙදර ය. මහ ගෙදර ආච්චා ගේ කාමරය හසු වූයේ ලොකු මාමා ගේ පැත්තට වන නිසාවෙන් ඈ එහි ම සිටියා ය. නමුත් අද නොසෑහෙන්නට ඇගේ හිත රිදී තිබේ. 

“මං ඉද්දි මගෙ බඩෙන් වදාපු දරුවෙක්ට නරකක් නපුරක් වෙනව බලන් ඉන්න බෑ මට”

එසේ කියමින්, ලොකු මාමා රෝහල් ගත කළ වෙලේ පටන් ආච්චා කඳුළු සැළුවා ය. ඔහු ට නැත්කමක් කළ බව අසා මඳක් සන්සුන් වූව ද, මා අපේ ගෙදර ඉමු යයි කළ ඉල්ලීම ඇය වහා පිළ්ගත්තා ය.

“එහෙනං මං අද එහෙ නිදියනව”

නයනා නැන්දා සිය නැන්දම්මා ට ඇනුම් පද එල්ල කරන බවත් ඇය එහි ම නැවතී සිට්නවා ට අකමැති බවත් කවුරුත් දනිති. නමුත් මහ ගේ දුන්නේ ලොකු මාමාට හා චූටි මාමාට නිසාවෙන්, අනිත් අය කියන්නේ ආච්චා ඒ ගෙවල් දෙකෙන් එකක සිටිත යුතු බවයි. ඒ නිසා ආච්චා හිත් තැවුල් තිබුණත් කිසිවෙකුට ඒ බවක් නො කියා ලොකු මාමා ගේ ගෙදරට ම වී සිටී. 

“අපේ ගෙදර ඉතිං කාමරයක් නෑනෙ. නැත්තං මං අම්මට කියනව මෙහෙ ඇවිත් ඉන්න”

අම්මා කිහිප වර එසේ කියනු මම අසා ඇත්තෙමි. 

“ආච්චම්ම ඉතිං අපේ කාමරේ ඉන්න”

මම ආච්චා ට දෙතුන් වර යෝජනා කර ඇත්තෙමි. එතකොට ඈ සිය දෑස් සිහින් කොට සිනහ වන්නී ය.

“අනේ තරුණ කෙල්ලො දෙන්නෙක් ඉන්න කාමරේකට මේ නාකි මං රිංගන එක හරි නෑ”

ආච්චා ගේ පිළිතුර එයයි. නමුත් දැන් දැන් ඇය ලොකු මාමාගේ ගෙදර ඉන්නේ හිතේ කැමැත්තකින් නොවන බව කවුරුත් දන්නා දෙයකි.

“නැත්තං මං දන්නව මගෙ ළමයි මාව දොට්ට දැම්මත් දුනුකේ එහෙම කරන්නෙ නෑ කියල”

ආච්චා ව අපේ ගෙදර ගෙනැවිත් ලොකු මාමා පිළිබඳව අපි ඇගේ හිත හැදුවෙමු. මාමා යළි ගෙදර එන්නේ තරුණයෙකු ගේ ජවය ලබා බව කීවෙමු. ආච්චා ටික ටික සන්සුන් වූවා ය.

“කොහොමත් එහෙ මට ඉන්න බැරි වෙන හැඩක් තමයි තියෙන්නෙ”

ආච්චා අප නො දන්නා කතාවකට මුල පිරුවා ය.

“ඒ මොකද අම්මෙ…”

“මලිත් යාළුවෙක් එක්කං ඇවිත් තියෙන්නෙ කාමරයක් කුළියට දෙන්න”

මගේ සිත් හි අනියත ගැස්මක් ඇති විය.

“ඔය ගෙයි කොහෙද අම්මෙ කුළියට දෙන්න කාමර තියෙන්නෙ…මලිත්ට පිස්සුද..”

“මලිත්ට නෙවෙයි අරකිටයි පිස්සුවයි තන්හාවයි තද වෙලා තියෙන්නෙ. මලිත් මං අහගෙන අහනව මේ කිට්ටුව කාමරයක් කුළියට ගන්න නැද්ද කියල යාළුවෙක්ට. මේකි කියපි අපි කාමරයක් දෙමුකො. ඒකෙං කීයක් හරි ලැබෙනවනෙ කියල”

“හනේ මන්දා නයනා අක්කගෙත් තන්හාවනං…”

මගේ හද තුළ කැළඹුමක් ඇති ව තිබිණි. ඒ කියන්නේ රවීන් ටික කලක් ලොකු අයියලා ගේ ගෙදර සිටිනු ඇත!

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

Easy breakfast recipes – part 2

කාර්‍යබහුල ඔබට උදෑසනට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වගේම පොඩ්ඩන්ට උනත් ආසාවෙන් කන්න පුළුවන් easy breakfast recipes ගැන තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ

දෑවැද්ද

" අම්මා කොහෙ යන්නද ලෑස්ති වෙන්නේ ? "සුජානි කාමරේට ආවේ ටික වෙලාවක ඉඳලා රම්‍යා පේන්න හිටියේ නැති නිසා.රම්‍යා...

සැරිසරන්නී – 13

මට මතක් වූයේ චමත්කා රවීන් ගැන උනන්දුවෙන් පසු වෙනවා කියා නංගී කී කතාව ය. චමත්කා නොව ලොව ඕනෑ ම ගැහැනියක එවන් පිරිමි...

නිලැසි -21

නොසැලකිලිමත් බැල්මක් අමුත්තන්ට වෙන් වූ කොටසේ ඒ මේ අත සක්මන් කරන තරුණයා දෙස නිම්න මොහොතක් බලා සිටියේ ය.වටිනා සන්නාම සහිත ඇඳුම් ඉතා...

අනුන්ගේ තීරණ.

"ඔයා කොහොමද අනේ තාරකා අඳුනන්නේ?"භාග්‍යා එහෙම අහනකොට නිමාලි කරමින් හිටිය වැඩෙත් නවත්තලා භාග්‍යා එක්ක හිනා වුණා.තාරකා එක්ක ෆේස්බුක්...