නතර නොවිය යුතු තැන්

තාරකා වැඩ ඇරිල ගෙදර ආපු ගමන් ඇඳේ හාන්සි වුණා .ඊට පස්සේ දුරකථනය අරගෙන ආපහු වතාවක් පරික්ෂා කළා.ගෙදර එන අතරමගත් සැරින් සැරේ දුරකථනය පරික්ෂා කළත් ඇය බලාපොරොත්තු වුණ ඇමතුම ඇවිත් තිබුණෙ නැහැ

නින්දත් නොනින්දත් අතරේ කල්පනා කර කර හිටපු තාරකා ගේ කල්පනාව බිඳ වැටුණේ දුරකතනය නාද වෙන හඩින්

” ගෙදර ආවා ද තාරකා ? “

දුරකථනය ඔස්සේ ගලාගෙන එන අනුෂ්ක ගේ හඬ තාරකාගේ හිතට ගෙනාවෙ නොරිස්සුමක්

” වෙනදට ඉතිං ගෙදර ආවා කියලා ඔයා කෝල් කරනවා නේ. අද සද්දයක් නැත්තෙ මොකද කියලා මං බැලුවේ. අද ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබුන නිසා හවස් වරුවේ ඔයාට කෝල් කරන්න බැරිවුණා තාරකා “

අනුෂ්ක කතා කළේ වෙච්ච වරදට සමාව ඉල්ලන්න වගේ

” මට මහන්සි නිසා පොඩ්ඩක් ඇල වෙලා හිටියා. මම පස්සෙ ගන්නම් අනුෂ්ක “

අනුශ්ක පිළිතුරක් දෙන්නත් කලින්ම තාරකා දුරකථන ඇමතුම අවසන් කළා.තාරකාගේත් අනුෂ්කගේත් විවාහයට තවත් මාස එක හමාරක පමණ කාලයක් ඉතිරි වෙලා තියෙන නිසා අනුශ්ක බොහෝ වේලාවට කාර්‍යබහුල උනා

” අනුශ්ක කතා කරලා ඇහුවා ඔයා අසනීපයෙන් ද කියලා “

තවත් විනාඩි කිහිපයකට පස්සේ යසෝමා , තාරකා ගේ කාමරයේ දොර ඇරගෙන ආවා

” මට ඇති අසනීපයක් නැහැ අම්මේ. පොඩ්ඩක් කෝල් එකක් දෙන්න බැරි උනහම එයත් බොරුවට කලබල වෙනවා නේ “

තාරකා ඇඳේ අනෙක් පසට හැරුනා.එතකොටම තාරකාගේ දුරකථනය නාද උනා.තාරකා දුරකථන තිරය දිහා බලලා ආයෙමත් යසෝමා ගේ මූණ දිහා බැලුවා.ඇමතුම අනුෂ්ක ගෙන් වෙන්න ඇති කියලා අනුමාන කරපු යසෝමා කාමරයේ දොර වහගෙන එලියට ගියා

” මෙනුක “

තාරකා මිමිණුවා

” සොරි තාරකා.මට මීටින් එකකට යන්න උනා. ඉතින් කවද්ද අපි මීට් වෙන්නේ ? “

කාලයකට කලින් ඇහුන මෙනුකගේ දයාබර ස්වරය ආයෙමත් ඇහෙනකොට තාරකා දෙලොවක් අතර තනි උනා

” මම ඇහුවේ උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්ද තාරකා ? “

” එහෙම එකක් නෙමෙයි මෙනුක.ඒත්….”

තාරකා නතර වුණා

” අනුෂ්ක දැනගනියි කියලා බයද ? එයා දැනගන්නවා නම් දැනගන්නේ එක්කෝ මගේන්, නැත්තං ඔයාගෙන් .නේද ? “

” ඒක නම් එහෙම තමයි. මම ඔයාට බලලා කියන්නම්කෝ “

දුරකථන සංවාදය අවසන් වෙලා ගියාට පස්සෙ තාරකා ගේ හිතට දැනුනේ අමුතුම මිහිරක්.හවස කාර්යාලයේ ඉන්නකොට හදිසියෙම ආව දුරකතන ඇමතුම ගැන තාරකා ආයෙමත් කල්පනා කරන්න පටන් ගත්තා

” ඔයා මැරි කරන්න යනවා කියලා මට ආරංචි වුණා තාරකා. wedding එක ජනවාරි ලු නේද ? “

” ඔව් මෙනුක.ඔයා කොහොමද දන්නේ ? “

” දන්නෙ ඉතිං මම තාමත් ඔයා ගැන හොයන නිසා “

පරන පෙම්වතා තවමත් තමන්ගේ විස්තර හොයන එක තාරකා ගේ හිතට අමුතුම හැඟීමක් එකතු කළා.හදිසියේ ඇරඹුන කතාබහ හවස් වරුව පූරාම කෙරුණු නිසා තාරකා හිටිය නොසන්සුන් වූ හිතින්.කාලෙකට කලින් මුහුණු පොත හරහා තමන්ව බ්ලොක් කරලා දාපු මෙනුක ආයෙමත් තාරකාට මිතුරු ඇරයුමක් එවලා තිබුණා

Working from home

” රෑට කන්නෙත් නැතුව නිදාගන්න ද හදන්නේ තාරකා ? “

යසෝමා ගේ නොරිස්සුම් සහගත මුහුණ ආයෙමත් කාමරයට එබුණා.

පහුවදා උදේ පාන්දරම අනුශ්ක ,තාරකාගේ ගෙදරට ආවේ තාරකාව කාර්යාලයට කැටුව යාමේ බලාපොරොත්තුවෙන්.

” මොකට කරදර උනාද මේ උදේ පාන්දර. මට බස් එකේ යන්න පුළුවන්නේ අනුශ්ක “

” ඉතින් අද වෙනසකටත් එක්ක මාත් එක්ක වාහනේ යමු “

අනුෂ්කගේ පැමිණීමෙන් තාරකා ඒ තරම් සතුටට පත් නොවුන වග අනුශ්කට වගේම තාරකාගේ ගෙදර අයටත් දැකගන්න පුලුවන් වුණා

” wedding එකේ වැඩයි ඔෆිස් එකේ වැඩයි නිසා දුව stress වෙලා ඇත්තේ කියලා තාත්තාත් කිව්වා පුතා. ඔයා ඕවා ගණන් ගන්න එපා.තව ටික දවසනේ “

යසෝමා හෙමින් සීරුවේ අනුශ්කට එහෙම කිව්වේ තාරකාගේ නොරිස්සුම ට හේතුවක් හිතාගන්න බැරිව

වාහනයේ යන අතරමගත් තාරකා වෙනදා වගේ කතා නොකරන එක ගැන අනුශ්කට දැනුනේ ලොකු අමුත්තක්.තාරකා වරින්වර දුරකතනය දිහා බලන හැටි ,පාර දිහා බලාගෙන මොකක්දෝ කල්පනාවක ගිලිලා ඉන්න හැටිත් අනුශ්ක නිරික්ශනය කලා.දුරකථනය කිහිප වරක්ම නාද වෙනකොට තාරකා තරමක් නොසන්සුන්ව ඇමතුම අක්‍රීය කරන හැටි අනුෂ්ක දැක්කෙ ඊටත් පස්සේ

” ඇයි තාරකා ඔයා කෝල් එක කට් කරන්නෙ ? “

” නෑ නැ මේ ඔෆිස් එකෙන්.උදේ මීටින් එකක් තියෙනවා කියලා කිව්වා .මට ඒක අමතක උනා .දැං ඒක පටන් අරගෙන නිසා වෙන්න ඇති ඔෆිස් එකෙන් මට කෝල් කරන්නෙ “

” ආ. තව ටික දුර නේ ඉතින් ඉක්මනට යමු “

එහෙම කියපු අනුෂ්ක වාහනයේ වේගය මඳක් වැඩි කළා. කඩිමුඩියේ කාර්යාලයට ඇතුළු වුන තාරකා තමන්ගේ ආසනයට ගිය ගමන්ම කළේ මෙනුකගේ අංකයට අමතන එක

” මම එන ගමන් හිටියේ මෙනුක “

” අනේ සොරි.ඔයා උදේට එන්නේ තනියමද ? “

” අද ආවෙ අනුෂ්ක එක්ක “

තාරකා සෘජුව පිළිතුරු දුන්නා

” ඉතින් එයා දැක්කේ නැද්ද මම කෝල් කරනවා ? “

” දැක්කා, මම කිව්වා ඔෆිස් එකෙන් කියලා “

” කෙල්ල දැන් බඳින්න ඉන්න කොල්ලට බොරුත් කියනවා වගේ “

දුරකථනයෙ අනෙක් පසින් ගලාගෙන එන මෙනුකගේ හිනා හඬ තාරකාගේ හිතට එකතු කළේ කෝපයක්

” හිනා නෙමෙයි මෙනුක . අනුෂ්ක දන්නවා නම් කතා කරන්නේ මගේ පරණ බෝයිෆ්‍රෙන්ඩ් කියලා එයාට මොනවා හිතෙයිද ? “

” ඕකේ ඕකේ මැඩම්. එහෙනම් මම ආපහු කතා නොකර ඉන්නම්කෝ “

” එහෙම නෙමෙයි .මට කියන්නකෝ ඔයා ආයෙමත් මට කතා කළේ ඇයි කියලා “

” ඔයාව මග ඇර ගත්තෙ අපරාදේ කියලා මට ඇත්තටම හිතෙනවා තාරකා. එත් මම හිතන්නේ මම දැන් පරක්කු වැඩියි “

දෙන්න ඕනේ උත්තරය මොකක්ද කියලා තාරකා හිතමින් ඉන්නකොට මෙනුක ආයෙමත් හඬ අවදි කලා

” ඔයාගේ අකමැත්තක් නැත්තං අපිට පුළුවන් යාළුවෝ වගේ ඉන්න “

මෙනුකගේ යෝජනාවට එකඟ නොවී ඉන්න තාරකාට බැරි වුණා.එතන ඉඳලා කාර්යාල වෙලාව අතරතුරදීත් මෙනුක නිතර නිතරම තාරකාට ඇමතුම් දෙන්න පටන් ගත්තා. තමන්ව මුණගැහෙන්න කියලා මෙනුක කරපු යෝජනාව තාරකා දවසින් දවස කල් දැම්මේ හිතට දැනුනු වරදකාරී හැඟීම නිසාමයි

” ඔයා මොකක් හරි ප්‍රශ්නෙක ද ඉන්න තාරකා ? “

දවසක් හවස තාරකාව කාර්යාලයෙන් ගන්න ආපු අනුෂ්ක එහෙම ඇහුවේ අතරමගදී

” නෑ අනුශ්ක .ඇයි ? “

වෙනසක් නොපෙන්වා ඉන්න තාරකා මොන තරම් උත්සාහ කළත් තාරකා තමන්ගේ ඇස් මගහරින බව අනුශ්කට දැනෙමින් තිබුණා

” ඔෆිස් එකේ මොකක් හරි අවුලක් ද ?”

” එහෙම එකක් නෑ “

” ඔයාගේ හිතේ මට නොකියන දෙයක් තියෙනවා කියලා ඔයා ඔය මගේ ඇස් මග ඇරලා කතා කරන එකෙන්ම මට තේරෙනවා තාරකා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වෙඩින් එකට කලින් ඒක විසඳ ගත්තා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ “

අනුෂ්ක වාහනය මඟ නතර කරලා තාරකා දිහා බැලුවා

” මොකක්ම හරි ප්‍රශ්නයක් නම් ඒක කියන්න මම මේ ඔයාට අවස්ථාවක් දෙන්නේ “

” එහෙම එකක් නැහැ ඉතින්.කිව්වට පිළිගන්නේ නැහැ නේ අනුශ්ක ඔයා “

දින කීපයක ඉඳලා තාරකා ගේ ෆේස්බුක් සටහන් වලට වගේම ඡායාරූප වලටත් ප්‍රතිචාර දක්වන පරණ පෙම්වතා සහ තාරකාගේ අමුතු හැසිරීම අතර සම්බන්ධයක් තියෙනවද කියලා අනුෂ්ක කල්පනා කරා.

” මොකක් උනත් , අතීතය කියන්නේ ගිහින් එන්න ඕන තැනක් මිසක් නතර වෙන්න ඕන තැනක් නෙමෙයි කියලත් මතක තියාගන්න තාරකා “

එහෙම කියපු අනුෂ්ක වාහනය ආපහු පණ ගැන්වුයේ තාරකා පුදුමයෙන් වගේ අනුෂ්ක දිහා බලනකොටයි

More Stories

Don't Miss


Latest Articles