(අ)හිමි සිහින -53

මම ජනප්‍රිය වෙන්නටත් මිනිසුන්ගේ සූපවේදිනියක වෙන්නටත් පටන් ගනිමින් තිබුණා.මගේ ආයතනයේ නමින් වැඩසටහන් වලට ගියත් මිනිස්සු මං වටේ රොක් වෙලා මගෙන් ඉගෙන ගන්න පටන් ගත්තා.

ඒ දේවල් මම ගොඩ නගා ගත්තේ ස්වෝත්සාහයෙන්.ආයතනයේ උපරිම සහයෝගය මට ලැබුණා.නමුත් මගේ කතා කිරීමේ හැකියාව,උද්දච්චකමක් නැතුව මිනිස්සු එක්ක හිතවත් වීම,සංවිධාන ශක්තිය වගේ දේවල් නිසා මගේ වැඩසටහන් උපරිම සාර්ථකත්වයට පත් වෙන්න පටන් ගත්තා.

“ලොකු මැඩම්ගේ දුව”

ආයතනය ඇතුළේ මාව ඒ විදියට හඳුන්වන්න පවා පටන් ගත්තා.මට ඉන්දීය ජාතික හිමිකාරිනිය පුදුමාකාර ආදරයක් දෙමින් හිටියා.ඇය මට හොඳින් සැලකුවා.මාව අගය කළා.වෙන එකක් තියා ඔෆිස් එකේ අයට තහනම් වෙලා තිබුණු විදුලි සෝපාන පවා පාවිච්චි කරන්න මට ඉඩ දීලා තිබුණා.

ඒත් වැරැද්දක් සිද්ධ වෙමින් තිබුණා!

මොනතරම් දක්ෂයෙක්ව ලැබුණත් ලංකාවෙ හැම ආයතනයක්ම පාහේ කරන වැරැද්දක් තියෙනවා.ඒ තමයි ඒ චරිතය තමන්ගේ ආයතනය තුළ තදින් සිර කර ගැනීමත් ඉන් එහා ලෝකයක් වෙත යන්න කිසිම ලෙසකින් ඉඩ නොදී සිටීමත් කියන දේ.මටත් ඒ දේ සිද්ධ වෙමින් තිබුණා.මාව පිටත ලෝකයට නිරාවරණය කරන්න මගේ ආයතනයට බයක් තිබුණා.ලැබිය යුතු දේවල් ලබා නොදෙමින් මෙයා මෙතැන දාලා යන එකක් නෑ කියලා තදබල පීඩනයක් එල්ල කරන්න පටන් ගන්නකොට බොහෝ අයට සිද්ධ වෙන්නේ තමන්ගේ ආයතනය එපා වෙලා යන එකයි.

දක්ෂයෙකුට ප්‍රමෝෂන් එකක්, වැටුප් වර්ධකයක්,තව වගකීම් දීලා ඒ ආයතනයට ඒ පුද්ගලයා මොනතරම් වැදගත් ද කියලා දැනෙන්න ඇරියොත් සමහර විට එයා එතන දාලා යන එකක් නැහැ.ඒත් බහුතරයක් ආයතන කවමදාවත් නොකරන්නෙත් ඒ දේ තමයි.හපලා හපලා හපලා සාරය අරගෙන අවසාන රොඩ්ඩ පිටතට දැමීම තමයි බොහෝ ආයතන කරන්න කැමති දේ.දක්ෂයෙක් රඳවා ගන්නා ක්‍රමවේදයක් ලංකාවේ බොහෝ ආයතනවලට තාමත් නෑ.අඩන්තේට්ටම් කිරීම බියගැන්වීම බියගැන්වීම තාමත් හරි ක්‍රමය කියලා හිතාගෙන ඉන්න අය බහුලයි.ඒත් ඒක හැම වෙලාවෙම සාධාරණ නෑ කඩාගෙන යන්න හිතන කෙනා නොයා ඉන්නෙත් නැහැ.

ඒ සෑහෙන්න වැරදෙන සහ වරද්දා ගන්නා තැනක්.

මගේ වැඩසටහන් ජනප්‍රිය වීම නිසා මට රූපවාහිනි වැඩසටහන් සඳහා ඇරයුම් ලැබෙන්නට පටන් ගත්තා.පුවත්පත් වලට ලිපි ලියන්නට ආරාධනා ලැබෙන්නට ගත්තා.මේ සූපවේදිනිය වෙනස් බවත් ඇගේ අදහස් සමාජගත කළ යුතු බවත් මාධ්‍යකරුවන් තීරණය කරන්නට අරන් තිබුණා.

මම හිතන්නේ ඒ තමයි මම ක්ෂේත්‍රය තුළ ලැබූ ජයග්‍රහණය!

නමුත් මගේ ආයතනය ඒක තේරුම් ගත්තේ නැහැ.පුවත්පතකට ලිපියක් ලීවත් ඡායාරූපයක් පළ නොකරන්නට,වැඩසටහන් ප්‍රතික්ෂේප කරන්නට වගේ නීති මට ලැබෙන්න ගත්තා.ඒත් මම පිටත සමාජයේ ජනප්‍රිය වූවානම් එහි වාසියත් ඔවුන්ට.මම නිකම්ම නිකම් අනුරාධා නෙවෙයි.අහවල් ආයතනයේ සේවය කරන සූපවේදිනි අනුරාධා.නමුත් ඔවුන්ට මා ඔවුන් තුළම සඟවා ගන්නට ඕනෑ වෙන්න ඇති.

මෙහෙම වෙලාවට අඩියක් එළියෙන් තියා තදබල තීරණයකට එන්න අවශ්‍යමයි.ජීවිතේ ගැළපෙන්නේ නැති දේවල් අපි ඈත් කරනවා.ඒවගේම තමයි රැකියාව තුළත් කළ යුතු වෙන්නේ.” අනේ ඔන්නොහෙ මං ඉන්නව.මට මේ රස්සාව දාලා යන්න බෑ..මීට වඩා හොඳ එකක් හොයා ගන්න අමාරුයිනෙ..”වගේ ඒවා හිතුවොත් හැමදාම ඉතුරු පෙළෙමින් ජීවත් වීම විතරමයි.එහෙමයි කියලා රස්සාවට ටටා බායි කියලා යන්න හොඳ බව මම කියන්නෙත් නැහැ.එතන ඉඳිමින් තමන්ට සාධාරණයක් විය හැකි තැනක් හොයන්න ඕනෑ.

2012 වසරේ Singapore Food Asia තරඟයට යන්න මමම සුදුසුකම් ලැබුවා.ඒත් මට අවශ්‍ය දේවල් සකසා ගන්න වැඩකටයුතු වලට නිවාඩු ලබා දෙන්නේ නැහැ.මම සාමාන්‍යයෙන් නිවාඩු ලබා ගන්නා කෙනෙකුත් නෙවෙයි.නමුත් ප්‍රදර්ශනයට අවශ්‍ය දේවල් සූදානම් කරගන්න මට ඉඩක් නැහැ.මම මගේ රටත් ආයතනයත් නියෝජනය කරමින් මගේ මුදල් වියදම් කරගෙන යන්න හදන ගමනකටත් එවැනි බාධාවක් තියෙනකොට මම තීරණයකට ආවා.

මම ඉල්ලා අස්වීම ලබා දුන්නා!

රැකියාව සම්බන්ධ පෙරළියක් සිද්ධ වුණේ අන්න එහෙමයි.ඒත් මගේ පෞද්ගලික ජීවිතේ නම් වෙන වෙන හැලහැප්පීම් ඔය අස්සේ සිදු වුණා.එක සිදුවීමක් නම් ඔබ අහන්න මඟ බලාගෙන හිටපු කතාවක්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles