ඔබ දකින තුරා -28

වැස්ස දිගට ම තදින් වැස්සේ ය. මාවත් දිග බොර දිය ද මාස ගණනක් තිස්සේ එකතු වූ කුණු කසල ද ගලා යමින් තිබිණි. කාණු කැලතී දුගඳ හමා යන්නට විය. නමුත් වැස්ස කියන්නේ විශ්වයෙහි ව වන අසිරිමත් ම මොහොතකි. 

කතා කරන්නට හුඟක් දේවල් ඔවුන් ට තිබිණි. දිසත් සිය වසර කිහිපයක් වූ යුග දිවිය තුළ ඉවසා දරා ගන්නට වූ බොහෝ කටුක තැන් ගැන අමාරසී හා කීවේ ය. මහ කඳු වුණත් දරා ගත නොහී නාය යන මොහොතවල් උදා වන්නේ ය. ඒ තිත්ත රස ඔහු කාලයක් තිස්සේ නිහඬ ව වැළඳුවේ ය. නමුත් එතැනින් විනිර්මුක්ත වීමේ අවශ්‍යතාවය පැන නැගුණ කල්හි කිසිවෙකුට එය නතර කරලිය නො හැකි වනු ඇත. 

අමාරසී අසා උන්නේ නෙතග කඳුළක් එක්ක ය. ආදරය කරනා කෙනෙක් දුක් විඳිනා බව දකින්නට හෝ අසන්නට කිසිවෙකු රිසි නැත.

“මෙතනින් එහාට ගොඩක් දේවල් වෙයි. සමහර විට…ඔයාටයි ඔයාගෙ පවුලෙ අයටයි දරා ගන්නම බැරි දේවල් වුණත්…මාව විශ්වාස කරන් ඉන්න කියල විතරයි මට ඔයාට කියන්න පුළුවන්. ලොකු ගං වතුරක් වුණත්…සුනාමියක් වුණත්…බැහැල යනව. ආයෙ සාමාන්‍ය තත්වෙට පත් වෙනව. එතකල් ඒවට අහු වෙලා විනාස වෙන්නෙ නැතුව බලං ඉන්න එකයි අපි කරන්න ඕන හොඳම දේ. තේරුණාද ඔයාට…”

ඇය යන්තම් හිස සැලුවා ය. 

“ඩිවෝස් එක ගන්නකල්..මොන ප්‍රශ්න ආවත් මට ඔයාව මගෙ ළඟට ගන්න පුළුවන් කමක් නෑ. ඔයාට ගොඩක් දේවල් ඉවසගන්න වෙයි. හිත හුඟක් හයිය කරං ඉන්න වෙයි. ඒ හැම දේටම හිලව් වෙන්න මං ඔයාට ආදරෙයි කියලත් ඔයාට දැනෙයි”

සෝදා පාළුවට ගොස් තිබූ හදවතේ යම් පදාසයක් හදිසියේ සශ්‍රීක වූවා සේ ඇය ප්‍රබෝධවත් වූවා ය. දිසත් රිය පණ ගන්වා ගත්තේ “පරක්කු වුණොත් ඔයාව හොයයි නේ…” කියා අසමිනි. ජීවිතයේ හැම කුඩා අහු මුල්ලක් ගැන ම සංවේදී විය හැකි එහෙව් පිරිමියෙකු වෙනුවෙන් වසඟ නොවෙනා ගැහැනියක මෙලොව සිටිත නො හැකි ය!

වැස්ස තව දුරටත් වැඩි වූවා මිස අඩු වූයේ නැත. දිසත් අමාරසී ව ගෙදරට ම කැටිව යන්නට හැදුව ද, වෙනදා නො දැනුණ විදිහේ දෙගිඩියාවක් ඇය බියපත් කළේ ය.

“එපා එපා. මං මගින් බැහැල ත්‍රීවීලර් එකක නගින්නං”

ඒ අනුව ඔහු ඇගේ කැමැත්තට ඉඩ දුන්නේ ය. ජීවිතයේ අසීරු ම වූ සමු ගැනීම එය සේ අමාරසී ට දැනිණ. නමුත් ඈ යා යුතු ව තිබුණේ ය.

අජිත් බස් නැවතුමේ සිටිනු අමා දුටුවේ ත්‍රීරෝද රිය ගුරු පාරට හරවන්නට සිග්නල් ලයිට් දැමුවාටත් පසුව ය.

“අනේ චුට්ටක් නවත්තන්න. තාත්ත ඉන්නව බස් හෝල්ට් එකේ”

කියමින් ඇය රිය නතර කරවා ගත්තා ය. අජිත් බාගෙට තෙමී රියට ගොඩ වූවේ ය. අමාරසී ගේ පපුව පිච්චී ගියේ ය.

“අනේ ඇයි තාත්තෙ මෙතෙන්ට වෙලා තෙමි තෙමි හිටියෙ…මං එනවනෙ ගෙදරට…”

“වැස්ස තදයිනෙ”

“තාත්තත් වැඩ ඇරිල ආපු ගමන්නෙ”

“අම්ම කිව්ව රසී කුඩයක් ගෙනිච්චද දන්නෙත් නෑ කියල”

“ඒ වුණාට…මං ඉතිං ත්‍රීවීලර් එකක එනවනෙ”

අමා ගේ උගුරේ හිර වීමක් විය.

නිර්මලා කෝපි හැදුවා ය. දිය නාගෙන විත් තාත්තා ත් දුවත් කුස්සියේ පුටු වල බලා සිටියහ. තාත්තා ගේත් අම්මා ගේත් මූණු දෙස කෙළින් බලන්නට බැරි ලජ්ජාවක් බඳු හැඟීමක් අමා ට වද දුන්නේ ය. නමුත් ඇගේ හිතේ තැන් තැන් වල ප්‍රීතියක කුඩා කුසුම් පූදිමින් ද තිබිණ. අජිත් දොඩමළු ව සිටියා වී ද වෙනදා කතා කළ වචන ටික හෝ අමාරසී ට නම් අමතක ව තිබිණි.

දිසත් රෑ කෑමට යමක් ගෙන යන්නට ඇත්දැයි ඇය ට කල්පනා විය.  කන්නට ගත් බත් පිඬ උගුරේ හිර වූයේ ය. නිර්මලා ඉක්මනට වතුර කෝප්පයක් ලං කළා ය. කෑමෙන් පසු කාමරයට ගොස් ඇය ‘කෑම ගෙනිච්චද’ යනුවෙන් දිසත් ට පණිවිඩයක් තැබුවේ ය.

“ඔව්. ඒත් බඩගිනි නෑ තාම”

“දැං කන්න. රෑ වෙලා”

යනුවෙන් ලියා යවා අමා යළි මුළුතැන්ගෙට ගියා ය. නිර්මලා කුස්සිය අස් කරමින් සිටියා ය. ඉඳුල් භාජන සෝදා නිසි තැන් වල අසුරා, පසු දා උදයට පිළියෙල කරනා ආහාර කපා කොටා ශීතකරණයේ දමා, උදේට තාත්තාටත් දූටත් බෝතල වලට දමන්නට වතුර උතුරවා ගුරුලේත්තුවට දැමුවා ය. ගෑස් ලිප පිස දමා කුස්සිය අතු පතු ගා පිරිසිඳු කළා ය. අම්මා කෙනෙක්, බිරිඳක් වෙනවා කියන්නේ මොන තරම් වගකීම් සමුදායක් අතට ගන්නවා කියන එකටදැයි ජීවිතයේ ප්‍රථම වතාවට කුස්සියේ පුටුව උඩට වී අම්මා දෙස බලා ගෙන අමාරසී සිතුවා ය. අම්මා නිසාවෙන් ඇය ට කිසි දා ඈ ගැන වද වෙන්නට තබා සිතන්නට වුව උවමනා වී නැත. අජිත් ගේ තත්වය ද එසේ ය. ගෙදර සියලු රෙදි සේදුම් යන්ත්‍රයට දමා සේදුව ද ඒවා වේලා නවා අල්මාරි වලට පවා දැම්මේ නිර්මලා ය. උදේට ද අන්තිම මොහොත තෙක් නිදනා ඈ පමා වී කලබලේ කාර්යාලයට යන්නට සූදානම් වෙත්දී බත් මුල් දෙක හා වතුර බෝතලය පවා බෑග් එකට දමන්නේ නිර්මලා ය. ‘පර්ස් එක ගත්තද..ෆෝන් එක ගත්තද..බස් එකට මාරු සල්ලි තියෙනවද’ කියමින් මතක් කර කර අසන්නී ඈ ය. කඩේ යන්නේත් බඩු ගේන්නේත් උයන්නේත් ඈ ය. අම්මා සිටින නිසාවෙන් ජීවත් වෙනවා ය කියා රැකියාව පමණක් කරන්නටත්, අතීතයේදී නම් ඉගෙන ගන්නට පමණක් හිත යොමන්නටත් අමාට හැකි විය. අජිත් ගේ තත්වය ද එසේ ය. සැමට කලින් අවදි වන ඕ තොමෝ, ගෙදර දොර ජනෙල් වසා ඇත්ද කියා නැවත ද විමසා බලා අන්තිමට නිදන්නට යහනට යන්නී ය. 

ආදරය කරනවා කියන්නේ එයටයි කියා ප්‍රථම වතාවට අමා ට සිතිණි. මේ සියල් සිතිවිලි හිතට එබිකම් කරන්නට ගත්තේ දිසත් නිසා ය. නිර්මලා සිය සැමියාටත් දරුවන්ටත් ඔවුන් ගේ සියලු කටයුතු වලටත් ඇප කැප වී පේ වී ඇත්තා සේ දිසත් ට ද ආදරය කළ යුතු යයි ඇය සිතමින් සිටියා ය. නමුත් අම්මා වාගේ කරන්නට ඇය ට හැකි වනු ඇත් ද? මහත් සෙනෙහසකින් නිර්මලා වෙත ගිය යුවතිය පිටුපසින් ඇය ව වැළඳ ගත්තා ය.

“ආ..මේ මොකද මේ…”

නිර්මලා ගේ හඬේ වූයේ නෝක්කාඩුව මුසු වී ද දෝරෙ ගලනා ආදරයකි.

“ඔයා හරි පව් අම්මෙ. අපි නිසා ඔයා කොච්චර මහන්සි වෙනවද…”

“හප්පේ…මේං දෝණියන්දැට කවදාවත් නැතුව අම්ම ගැන කරුණාවක් පහල වෙලා”

කුස්සියේ දොරකඩට ආ අජිත් දෙස බලාන නිර්මලා  එසේ කීවේ ආඩම්බරයෙනි. වැටුපකින් තොර ව දවස පුරා ම ජීවිත කිහිපයක මෙහෙ කරන අම්මා කෙනෙකුට මෙහෙම ඇගයුමක් ඇසට කඳුළු නංවනා හේතුවක් වේ. 

“කියන්න බැරි වුණාට මං දන්නව අම්ම අපි නිසා කොච්චර වද වෙනවද කියල. ඔයා නිසා අපි හැමෝටම රස්සාව විතරක් කරන්න පුළුවන් වුණා. අම්ම මහන්සි නොබලා අපිව බලා ගත්ත නිසා”

“එතකොට අපි මුකුත් කරල නෑ…”

අජිත් නෝක්කාඩුවක් කීවේ ය. නිර්මලා සිනහවක් පෑවා ය. ඒ සිනහවේ වූයේ ආදරය මිස වෙන කිසිවක් ම නොවේ. ජීවිතයේ තව බොහෝ දවස් ඉදිරියට ගිය පසු, ඇයටත් මේ විදිහට දිසත් දෙස බලා සිනහ වෙන්නට තිබුණා නම් ඇති ය කියා අමාරසී ගේ හිත කීවේ ය.

“අපෝ නෑ නෑ. ඔයා තමයි ඔක්කොම කළේ”

නිර්මලා ගේ කතාවට අමාරසී හඬ නගා සිනහ වූවා ය.  

“ඔයා තමයි හොඳට ම කළේ”

අම්මා ගේ කතාවට ඕ අඩු වැඩිය ද එකතු කළා ය. මේ දවස් හරි පරෙස්සමෙන් හදවතේ සුරැකිය යුතු යයි සිතුණේ ඇයි ද කියා නම් අමාරසී ට තේරුණේ ම නැත. ඇතැම් විට ඉදිරියේ දී පැමිණිය හැකි කුණාටු සමයක් පිළිබඳව දැන් ම හිත අනතුරු අඟවනවා වන්නට පුළුවන. දිසත් කීවා සේ ඉස්සරහාට කිසිවක් ම පහසු නොවනු ඇත.

“මට වතුර බෝතල් දෙකක් ගෙනියන්න ඕන අම්මෙ”

කියමින් හදිසියේ ම අමාරසී පැන්ට්‍රි කබඩ් එකක් ඇරගෙන වීදුරු බෝතලයක් පිටතට ගත්තා ය.

“ඇයි…”

නිර්මලා ගේ හිතේ සැකයක බිජුවට විය. 

“එකක් මදි. ඉවර වුණාම ආයෙ ටැප් වෝටර් ෆිල් කර ගන්න වෙන්නෙ”

එය බොරුවකි. ඇය ට බොරු කිව නො හැකි බව දන්නා අමාරසී අම්මා ගෙන් මූණ හංගා ගැනීමේ උත්සාහයක් ගත්තා ය. නිර්මලා ඉන් මත්තට ඒ ගැන කිසිත් කීවේ නැත.

ඒ වතුර බෝතලය ඕ කෑම පෙට්ටියත් එක්ක ම දිසත් වෙනුවෙන් කෑම ශාලාවේ තබා ඔහු ගේ කුටියට ගියා ය.

“ගුරුලේත්තුවෙන් දාන් ආපු උතුරෝල නිවපු වතුර බෝතලයක් ඇති. උදේට කාල එන ගමං ඒක ගෙනත් තියා ගන්න. ටැප් වතුර බොන්නෙපා”

නිල් විල් ජලාශයක් බඳු ගැහැනු හිතක් පත්ලේ පෑදෙන ආදරය දිසත් ඒ ඇස් වලින් දුටුවේ ය. ඔහු සුසුමක් හෙළුවා පමණකි. ශාරීරික වශයෙන් ගැහැනියකට අයිති ව සිටියා ට රන් මුදුවකට මුවහ කළ නොහැකි බොහෝ හිස් තැන් ජීවිතයක පැවතිය හැක. ලෝකය ඒවා දකින්නේ නැත. ඔවුන් ට පේන්නේ මුදු ඇඟිල්ලේ දිළිසෙනා රන් මුදුව පමණකි. 

“පරිස්සමෙන් අමා”

ඔහු ඉතා හෙමිහිට මිමිණුවේ ය. 

“මෙතන ඇස් ගාණක් ඔයා දිහා බලං ඉන්නව. මගෙ දිහා බලන් ඉන්නව. මං ආස නෑ ඔයාට නරක වචනයක් කියවෙනවට. ඒත් මෙහෙම වෙලාවක මිනිස්සු දකින හොඳක් නෑ. ඔයාට තේරෙනව නේද මං කියන දේ…කසාද බැඳපු මිනිහෙක්ට ලං වෙලා ඒ මිනිහගෙ පවුල කඩල දැම්ම කියලයි ඉස්සෙල්ලම මිනිස්සු ඔයාට චෝදනා කරන්නෙ. එදාට ඔයාට හිතෙයි මේ ආදරේ දාල දුවන්න. දුවල ගිහිං අමමයි තාත්තයි ළඟ හැංගෙන්න…”

අමාරසී සිය අසුන වෙත ගියේ බර සුසුමකින් පපුව පුරවා ගෙන ය. ඇය පරිගණක තිරයෙහි වන බිළිඳු රුව දෙස බලා ගෙන සිටියා ය. ඇගේ අතක් ඇගේ ම කුස වෙතට ගියේ ඇයත් නො දැනී ය. කිරි සුවඳ හාත්පස ඉහිර ගියේ ය. 

“මොකද…”

දිලිනි විමසුවා ය.

“කියන්න දෙයක් තියනව”

අමා මිමිනුවේ සිය දෙපසින් හිඳිනා මිතුරියන් දෙදෙනාට ම ය.

“මට දැනෙනව”

දිලිනි ගේ ස්වරයේ මඳ නොරිස්සුමක් විය.

“මොනාද..”

“කියන්න දෙයක් තියනව කියල”

එදා දිවා ආහාර විවේකයේදී ඒ අලුත් රහස මිතුරියන් දෙදෙනා එක්ක බෙදා ගන්නට අමාරසී ට සිදු විය. වසර කිහිපයක් තිස්සේ ජීවිතය බෙදා හදා ගැනීම තුළ ඔවුන් දෙදෙනා ම ඇය ට ආදරේ බව අමා දනී. ඇය බලාපොරොත්තු වූ පරිදි ම දිලිනි නම් මේ ආදරය අනුමත කළේ නැත.

“බැඳපු පිරිමි ඔය විදිහට කෙල්ලො ඉස්සරහ දුක කියල අනුකම්පාව දිනා ගන්න බලනව කියන එක දැන් ටිකක් පරණ මෙතඩ් එකක් හරිද රසී. මන්නං කියන්නෙ අහු වෙන්න එපා කියලයි. ආදරෙයි අනුකම්පාවයි නිසා ඊළඟට කෙල්ලො නොකරන දෙයක් නෑ කියල උන් දන්නව. පින් සිද්ද වෙයි එහෙ මෙහෙ යන්න අඬ ගැහුවට යන්නෙ එහෙම නෑ හරිද..”

“අනේ දිල්…ඔයා හිතන විදිහ වැරදියි…”

“එහෙම තමයි මුලදි කොයි කෙල්ලටත් හිතෙන්නෙ. කොල්ලා කියන දේ විතරයි විශ්වාස. ඇස් අන්ද කර ගන්නව ඒ ආදරෙං. බැඳපු එවුං දන්නව කෙල්ලංගෙ සෙන්සිටිව් නාඩි අල්ලන විදිහ. ස්කයි හෝල්ඩිංස් අයිති කාරයගෙ දුව වගේ සල්ලිකාර ෆැමිලි එකකිං බැඳපු කෙනෙක්…එක පාරටම මෙහෙම ඇක්ට් කරන්නෙ ඇයි කියල ඔයා ටිකක් කල්පනා කරනවනං මං කැමතියි. මං මෙහෙම කියන්නෙ ඔයා ට ආදරේ නිසා රසී. ඔයා මගෙ යාළුව නිසා. ඔයාට වරදිනව බලං ඉන්න මට ඕන නැති නිසා”

“එහෙමම කියන්න බෑ ඉතිං…”

තරුෂි දිලිනි ගේ අදහස හා එකඟ වූයේ නැත.

“මිස්ට දිසත් එහෙම කොල්ලෙක් කියල හිතන්න බෑ. අනික එහෙම සිද්දි මේ රටේ ඕන තරං වුණාට අපිට මේකත් ඒ මිම්මෙංම මනින්න බෑනෙ. මන්නං කියන්නෙ රසීට දැනෙන්න ඕන එයා ළඟ ඉද්දි…එයා කරන්නෙ ඇත්තක්ද බොරුවක්ද කියල…අපිට එක පාරටම චෝදනා කරන්න බෑ දිසත් බොරු කාරයෙක් කියල. හැබැයි ඔයා ෆීලිංස් වලින් ම නැතුව මොළෙං මේකට ෆේස් කරන්න..කොහොමත් ඔයා එයාට ආදරේ කරන්න පටන් අරං ඉවරනෙ. ආදරයක් ඇති වෙනවනං මරියානා අගාධෙ යට හැංගුනත් ඒක ඇති වෙන එක වලක්වන්නත් බෑ. මන්නං කියන්නෙ රසී මේකට ෆේස් කරන්න. මං ඔයාට විශ් කරනව. ඔයා හොය හොය හිටිය කොල්ලා ඔයාට ලැබුණයි කියල මං හිතනව”

“අනේ මන්දා රසී. මටනං ඔයා ගැන බයයි. දිසත් ඔයාගෙ හිත තුවාල කළොත් ඔයා ආයෙ කවදාවත් ඒ තුවාල සනීප කර ගන්න එකක් නෑ. මට තේරෙන්නෙ එච්චරයි”

අමාරසී ට දැනුණේ ඇය ප්‍රබල රළ පහරකට හසු ව ගසා ගෙන යන්නා පරිදි ය. නමුත් එදිය පහරට එරෙහි ව උඩු ගං බලා පිහිනන්නට ඇය වඩාත් රිසි වූවා ය. ලස්සන ම තැන් හමු වන්නේ චාරිකා වල ඇරඹුමේ දී ම නොවේ!

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...