(අ)හිමි සිහින -71

එදා චමල්ගේ ඥාතීන් ඇවිත් මාව ගෙදර එක්කගෙන ගියා.ඒ මහා පාළු මොහොත වුණත් ධෛර්යමත්ව පහු කරගන්න මට මගේ කුසේ හිටිය පුංචි ජීවියා උදව් වෙන්න ඇති කියලා.එයත් මමත් බොහොම ආදරණීය තත්පර තමයි එයා මා ළඟට ආව දවසේ ඉඳන්ම බෙදා ගත්තේ.

ඇත්තටම එයා මා ළඟට ආවෙත් මම ජීවිතේ බොහොම වැදගත් කඩයිමක් ගැන සිහින දකිමින් හිටිය වෙලාවක.මට උවමනා වුණා Culinary Olympics තරගයට සහභාගී වෙන්න.ඒ සඳහා සෑහෙන දේවල් කරමින් සූදානම් වෙමින් ඉන්නකොට මට සිරුරේ අමුතු වෙනසක් දැනෙන්නට පටන් ගත්තා.

“මට පොඩි වෙනසක් දැනෙනවා.අපි චෙක් කරමුද? බබෙක් කියලාමයි මට හිතෙන්නේ.”

මම චමල්ට එහෙම කියනකොට ඔහු රෑ තිස්සේ පාටිවලට ගිහින් ඇවිත් ඇඳට වෙලා හොඳට නිදාගෙනයි හිටියේ.චමල් ඇඳෙන් නැගිටලා මහා සතුටකින් මාව වට කීපයක් කැරකෙව්වෙ නැහැ.මාත් එක්ක වෛද්‍යවරයෙක් හමුවට යන්න ආවෙත් නෑ.

“පස්සෙ බලන්න බැරියැ.”

ඔහු එහෙම කිව්වා.ඒත් ගැහැනියකට තමන්ගේ සිරුරේ වෙනසක් හොඳින් දැනෙනවා.මම වහාම අත ළඟ තිබුණු නර්සින් හෝම් එකට ගියේ ගර්භනී පරීක්ෂාවක් සඳහා.

“එයා ඇවිල්ලා..”

මට ලෝකයම දිනපු තරම් සතුටක් දැනුණා.ඔයා එක්ක ජීවිතේ හැම දෙයක්ම බෙදා ගන්නත් සන්තෝසයත් සැනසීමත් විතරක්ම ඔයාට දෙන්නත් මම හිතා ගත්තා.පරීක්ෂණය තහවුරු කරගෙන ආපහු එන ගමන් මම යමක් මිලට ගන්න තීරණය කළා.

“පොතක්!”

ඒ පොතේ හැමදෙයක්ම ලියන්න මම හිතාගත්තා.එයාගේ හැම වැදගත් සිදුවීමක්ම මම ඒ පොතේ ලියන්න පටන් ගත්තා.ඒ පොත ඇතුළේ මගේ බබාගේ පළමු ස්කෑන් පරීක්ෂණයේ විස්තර,එයාගේ පුංචි හද ගැස්ම මට මුලින්ම ඇහුණු දවස,එයාගේ ස්කෑන් පරීක්ෂණ හැම එකකම විස්තර ලියන්න මම අමතක කරේ නැහැ.

“දුවෙක්.”

ස්කෑන් පරීක්ෂණයක් අතරතුර වෛද්‍යවරයා එහෙම කියපු දවස මට ලෝකයක් ලැබුණු දවසක්.දුවෙකුගේ අම්මා කෙනෙක් වීම මට තිබුණු සුන්දරම හීනයක්.ඒ හීනේ ඉෂ්ට වෙලා.

“පුතෙක්ද කියලා ආයේ බලන්න ඩොක්ට..”

චමල් එහෙම කිව්වා මට මතකයි.පුළුවන් තරම් හයියෙන් හිනා වුණු වෛද්‍යවරයා චමල්ට කරේ අපූරු විහිළුවක්.

“ප්‍රයිවට් පාට්ස් මට එල්ලන්න තමයි වෙන්නෙ..මේ කෙල්ලෙක්.”

මගේ දූ! මොනතරම් මිහිරි කවියක් ද ඔයා මට! මහා වාලුකා කාන්තාරවලට මහා වැහි ඇද හැලෙන බව මම අහලා තිබුණා.මේ ඒ වගේ සිදුවීමක්.මගේ දූ කුස දැරීම මට යම්තාක් දුරකට අභියෝගයක් වුණා තමයි.ඒත් මම ඒ සුන්දර අත්දැකීම අභියෝගයක් කියලා හිතුවේ නැහැ.

මම අවුරුදු විසි ගණන්වල යෞවනියක් වුණේ නැහැ.අනිත් කාරණාව මට දියවැඩියාව.සීනි පාලනය කරන්න කියලා වෛද්‍යවරයා කිව්වට මම ඒක වැඩිය කරෙත් නෑ.

“අක්කා ඒ හොර වැඩ ටික කිව්වට අපි ඒවා ලියන්නෙනම් නෑ.”

කුසේ ඉන්න දූ එක්ක සංධානගත වෙලා හොඳටෝම පැණි රහ කාපු කතාව අහන් ඉන්න ලියන්නිය මට කියනවා.ඇත්ත තමයි! වගකීමක් සහිත කාන්තා වෙබ් අඩවියක ඒවා ලිව්වම පුංචි කෙල්ලො ඕවා ආදර්ශයට ගනීවි.ඒ නිසා ඒ පැණි රහ කතාව ඔයාලට මඟ ඇරෙනවා.හැබැයි ඉතින් මම එහෙම හොර වැඩත් කරා.

දූ කුසයේ ඉන්නකොට මම බණ භාවනා කරේ නම් නැහැ.අනේ ඇත්තටම මට රස්සාව එක්ක ඒවාට ලොකු කාලයක් තිබුණේ නැහැ.ගර්භනී අම්මලාට බිත්තර තම්බන්න කඩන්න හොඳ නෑ කිව්වට මම රස්සාවේ හැටියට දවසකට බිත්තර දහයක් විතර බිඳිනවා.

“අනේ මොන පව් වැඩක්ද අනේ ඔය..”

මගෙන් එහෙම අහපු අය හිටියා.පව පව කියලා රස්සාව මඟ අරින්න පුලුවන් ද?

“මගේ පුංචි මැණික කරන දේට අවංක වෙන්න.තමන් කරන ඕනෑම දෙයක් හරියටම කරන්න.”

මම අර දූගේ ඩයරියේ එතකොට එහෙම ලියනවා.මම ඒ දවස්වල ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනක සූපවේදිනිය.

“හැම කෙනෙකුටම වගේම මගේ කුසයේ ඉඳලා මේක අහන් හිටපු මට කිසිම කරදරයක් නොකරපු මගේ චූටි මැණික් කැටේටත් ස්තූතියි..”

මම එහෙම කිව්වම සමහරු පුදුමයට පත් වෙලා “අනේ ඔයා ප්‍රෙග්නන්ට් ද” අහනවා.සූපවේදී ඇඳුමට සහ මගේ සිරුරේ මහත නිසා ඇත්තටම මම ගැබිණියක් ද නැද්ද හොයන්න අමාරුයි.

ඒත් මම ඒ මාස දහය මගේ මැණික් කැටය පණ සේ රකිමින් සුන්දර කාලයක් ගත කළා.චමල්ගෙන් කිසිම ආදරයක් හෝ සැනසීමක් ලැබුණේ නැති බව ඇත්ත.ඒත් මගේ දූට මමත් මට ඇයත් ඉන්නවානම් තව මොනවද!

දූ එක්ක මගේ ජීවිතය පාටපාටින් වර්ණ ගැන්වෙන්නට පටන් ගත්තේ ඒ වගේ.කිසිම ගර්භනී අපහසුතාවයක් මට නැති වීම ගැනත් මට තිබුණේ හරි සැනසීමක්.ඒත් හැම කෙනෙකුටම වගේ වටේපිටේ ගොඩ උපදෙස්නම් මටත් අඩු නැතුවම ලැබුණා.

“කොන්දොස්තර උපදෙස් මට වැඩක් නෑ..මම අහන්නේ මගේ ඩොක්ට කියන දේවල් විතරයි.”

මම එහෙම හිතමින් මගේ කටයුතු කරගෙන ගියා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles