පෙමාතුර – 11

ආදරය හෝ ප්‍රේමය ගැන මා තුළ වූ හැඟීම, ඒ ගැන අදහසක් හෝ අවබෝධයක් ඇති වූ දා සිට එක ම හැඩයකින් තිබුණා යි සිතිය නො හැකි ය. එක එක කාල වලදී මම ආදරය ගැන එක එක විදිහට හිතුවෙමි. දඟකාර මිතුරියන් කණ්ඩායමක් උන් බාලිකාවේ දී, මේ විෂය ගැන අපට තිබූ විවිධාකාර අදහස්, වර්ණ හා හැඩ ලෙස පිටතට නිරාවරණය විය. ඒ කාලේ මට පෙම්වතෙකු සිටියේ නැත. පාසල් පෙම් කතා මගේ බොහෝ යෙහෙළියන් ට තිබි මුත්, එවැන්නකට පැටළෙන්නට මම නො පෙළඹුණෙමි. විශේෂයෙන් ම ඒ තාත්තා ට තිබූ බිය නිසා ය. එවැන්නක් හසු වුව හොත් ඔහු මා ඇහේ සිට පට්ට ගසනු ඇති බව දැන සිටියෙන් ඊට මගේ වූයේ අසාමාන්‍ය බියකි. නමුත් එය ආසයි බයයි වර්ගයේ බියක් බව ද යටි හිත අවුස්සා මා සොයා නො ගත්තා නොවේ. යෙහෙළියන් පෙම්වතියන් ව සිටියදීත් ඔවුන් ගේ පෙම් කතා මා ඉදිරියේ දිග හරිත්දීත් පෙම්වතියක වීමේ ආශාව මා ද පෙළන්නට විය.

ළමා වියේ සිට ම මා කියවූයේ වයසට වඩා බර සාර පොත් ය. සාමාන්‍ය පෙළින් පසු අනිත් ළමයින්ට සේ එක එක විදිහේ පාඨමාලා සඳහා ගෙදරින් පිට ව යන්නට ඉඩ තාත්තා මට දුන්නේ නැත. ඔහු අම්මා ව සේ ම මාවද හිර කොට තබන්නට හදනවායි ඉතා කුඩා අරගලයක් මේ කාලයේදී මවිසින් ගේ තුළ දියත් කර ගෙන යන ලදී. නමුත් ඒ තාත්තා ට නො දැනෙන්නට ය. අම්මා කිසි සේත් මා හොයනා නිදහස ගැන තාත්තා සමගින් කීවා යි නොසිතමි.

පිටතට යන්නට නො ලැබුණ නිසාවෙන් සාමාන්‍ය පෙළ කිරීමෙන් පසු උසස් පෙළ කරනා තෙක් ගන්ධබ්බ යුගයේදී මා කළේ අසීමිත ලෙස පොත් කියවනා එක ය. ඒවා දෙස් විදෙස් බරසාර නවකතා හා වෙනත් ග්‍රන්ථ වූයේ ය. මේ පොත්, ආදරය ගැන මගේ දර්ශනය වෙනස් කළා කියා සිතමි. මම මේ ලෝකේ නැති ආදරයක් සොයමින් සිටියා ය කියා සිතමි. පෞද්ගලික විශ්ව විද්‍යාලය තුළ දී සබඳතා දෙකකට පමණ මට මැදිහත් වන්නට සිදු වී ද ඒ තුළින් ඉතා කෙටි කලක් තුළ ඉවත් වන්නට මා පෙළඹුණේ, හදවත තුළ මවා ගෙන සිටියා වූ ප්‍රේමය එහි නොවූ නිසා ය.

ඒ ප්‍රේමයෙන් මා උමතු කළා වූ එක ම එක පුද්ගලයා විසල් ය!

මට දැනෙන්නේ ඔහු ත් මා කියවූ පොතක් සේ ය. අරුත් පසිඳ ගන්නට නම් තව තවත් ගැඹුරට ම කිඳා බැසිය යුතු වේ!

මේ කතාව උත්තම පුරුෂ කෝණයකින් කියවනා නිසා විසල් ගේ හැඟීම් හා අදහස් ගැන ඔබට වන්නේ කුහුලක් බව දනිමි. මට ද එය එසේ ම ය. ඔහු කවුද කියා හැඳින ගැනීම බෙහෙවින් අසීරු කාරියක් සේ නොයෙක වර මට දැනිණ. තේරුම් ගන්නට අසීරු දෑ අසීරුවෙන් වටහා ගන්නට නො යා ඉන්නා තරමට සුන්දර වනු ඇතැයි මා කියැවූ කොහේ හෝ තැනෙක තිබුණා මතක ය. එය ඇත්තය කියා සිතුණේ ඔහු ගැන අග මුල වටහා ගන්නට බැරි ව මා පඹ ගාලක පැටලෙත්දී ය.

මේ වෙත්දී ඔහු තුළ ද කැළඹිලි තරංග හට ගෙන තිබි බව මට නො දැනුණා නොවේ. අප කෙනෙකු සමග හදවතින් ඒකීය වත්දී ඔහු ගේ සිතිවිලි තරංග අප සමගින් සමපාත වන බව අප කවුරුත් එක වරකට හෝ අත්විඳ ඇතිය කියා සිතමි. එනයින්, මට ඔහු ගැන එසේ දැනුණේ ය. නමුත් මට වූ ප්‍රශ්නය නම්, ඔහු පෙම්වතෙකු ව සිටියදී එසේ වන්නේ කෙසේ ද කියා ය. එක් අයෙකු වෙත ප්‍රේමය පුද කිරීමෙන් පසු තවත් අතක සිත බැඳීම චපල කමක් සේ මම අසා ඇත්තෙමි. එතැන් සිට බලත්දී විසල් කියන්නේ චපලයෙකි. ඔහු මදෙස බලනා බැල්මක වූ බර අනුව, එය පෙම්වතෙකු තවත් කෙල්ලක වෙත හෙලනා සාමාන්‍ය බැල්මක් විය නො හැකි ය.

“දෙන්නෙකුට එක පාර ආදරේ කරන්න බැරිද…”

එවැනි ප්‍රශ්නයක් ගැන කතා කළ යුතු හොඳ ම කෙනා ලෙස මම නදීරා ව තෝරා ගතිමි. අම්මා සේ ම පුංචී සමගින් ද විවෘත ලෙස කතා බහ කළ හැකි ය. නමුත් මා ඇති දැඩි වූ සමාජ සංස්කෘතික වටාපිටාව අනුව, මගේ ම වූ ප්‍රේමයක් ගැන ඒ වගේ මාතෘකාවක් යටතේ ඔවුන් සමග කතා කරන්නට තරම් මට විවෘත විය නො හැකි වූයේ ය.

“මං හිතුවෙ උඹට ලව් කරන්න එකෙක්වත් නෑ කියලයි. එතකොට දැන් ප්‍රශ්නෙ ඕකද..”

මඳ වෙලාවක් එක එල්ලේ මදෙස බලා උන් නදීරා ප්‍රශ්න කළා ය. මම මුව මඳහසක් නගා ගතිමි.

“මං ගැන නෙවෙයි මං අහන්නෙ”

ප්‍රශ්නයේ හතර මායිම ඇයට පෙන්වා සිටින්නට මට ඕනෑ වූයේ ද නැත.

“ඔහොම කියනව තමයි ආදරේ ගැන දාර්ශනිකයො. ඒත් මට හිතෙන්නෙ එහෙම බැරි කමක් නෑ. හැබැයි මෙහෙම දේකුත් තියනව”

“කොහොමද…”

මම හරි බරි ගැසී ඇගේ නිර්වචනය අසා සිටින්නට පේ වුණෙමි.

“යක්කුන්ට හිතට රිංගන්න පුළුවන් වෙන්නෙ හිස් තැන් තිබුණොත් ය කියල ඔය එෆ් බී එකේ එහෙම ප්‍රේම විශාරදයො ලියල තියෙන්නෙ බං. ඒ කතාවෙ ඇත්තක් නැත්තෙම නෑ. මං කියන්නෙ මෙහෙමයි. අපි කාට හරි ලව්නං…ඒ ලව් එක ෆුල් ෆිල් නං…එහෙම තියෙද්දි වෙන කෙනෙක් ගැන ෆීලින් එකක් එයි කියල මං හිතන්නෑ. එහෙම ෆීලින් එකක් එනවනං අර ලව් එකේ කොතනක හරි පුංචි හරි හිලක් තියෙන්නම ඕන. සමහර විට ඒ අෆෙයා එක නතර කරල දාන්න තරං ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. එතකොට තමයි අපි හිතන්නෙ ඇයි දෙන්නෙක්ට එක පාර ලව් කරන්න බැරිද කියල. දහයකට වුණත් පුළුවන්. හැබැයි ඒ හැම එකකම මොකක් හරි වීක් තැනක් තියන නිසා. ආදරයක් සම්පූර්ණයෙන් ම අපිව වහ ගන්නවනං…වෙන තැනකට හිත ඇදෙන්නවත් හිත නතර වෙන්නවත් විදිහක් නෑ කියලයි මං හිතන්නෙ”

එය පරිපූර්ණ පිළිතුරක් සේ දැනිණ. නමුත් ඒ ඔස්සේ මා සිතිය යුතු දුර බොහෝ වූයේ ය.

“හැබැයි ඉතිං අරයගෙ හිනාවටයි මෙයාගෙ කතාවටයි අනිත් එක්කෙනාගෙ කොණ්ඩෙටයි තව එක්කෙනෙක්ගෙ බැල්මටයි ආසයි කියන්නෙනං ආදරේ කියල සරල විදිහට හිතන්න බෑ කිසා. අපි හුඟක් වෙලාවට ඔන්න ඔය ආසාව ආදරේ කියල වැරදි තැනකින් අල්ල ගන්නව”

විසල් ව පැහැදිලි ව නිරීක්ෂණය කිරීමේ උවමනාවකින් මම පෙළුණෙමි. නමුත් එය ඒ තරම් දුරකට සාර්ථක නොවුණේ ඇතැම් විට මට ඔහු තේරුම් ගත නො හැකි වූ නිසා ය.

ඔහු ට නො දැනී ප්‍රේම කරන්නට හේතුවක් මට තිබිණ. ඒ, ඔහු ට පෙම්වතියක ඉන්නා බව මා දැන සිටි නිසා ය. ඇහින් දැක තිබි නිසා ය. ගැහැනු ගෙදර ගැහැනුන් ඉදිරියේ, තමන් පෙම්වතෙකු බව ඔහු විසින් පිළිගනු ලැබ තිබූ නිසා ය. නමුත් ඔහු ගේ ඇස් වල ඒ ප්‍රේමය ඉක්මවා යන වෙනත් යමක් ද මට දකිත හැකි විය. එය ප්‍රේමය කියා සිතන්නට මගේ හිතේ කිසියම් කැමැත්තක් වන්නට ඇත. නමුත් මේ වෙත්දී මා සිටියේ සීනි බෝල ආදර කතා වයස පහු කර ගෙන විත් ය. දෙදෙනෙකුට එක වර පෙම් කළ හැකි ද යන පැනය මා තුළ උපත ලැබුවේ ඉනික්බිති ය.

ගැහැනු ගෙදර ගැහැනුන් සමග ඉක්මනින් ම විසල් ගේ බැඳීම දැඩි විය. අම්මා ට සේ ම පුංචී ට ද විසල් කියන්නේ නැතිව ම බැරි කෙනෙකු ගේ තත්වයට පත් වන්නට වැඩි කල් ගියේ නැත. මීට පෙර ගැහැනුන් වශයෙන් අප තනි ව කර ගත්, ගෙදර පිළිස්සුණ බල්බ් එකක් මාරු කර ගැනීම වැනි දේකට ද විසල් ගේ නම ඈඳා ගෙන ඔවුන් කතා කරනු මගේ කනට ඇසිණ.

‘විසල්ට කියල කරගමු. විසල් ඉන්න වෙලාවක කර ගමු. විසල්ට කිව්වනං කරල දෙයි’ වැනි කතා ඔවුන් ගේ මුවින් පිට වූයේ ඔහු කෙරේ අචල විශ්වාසයක් ඇතිව ය. එහෙව් විශ්වාසයක් ඔහු කෙරේ ඔවුන් තුළ ජනිත වෙන්නට හේතුවක් නම් මට සිතා ගත හැකි වූයේ නැත. එය, අම්මා අසනීප වූ වෙලේ ඔහු විසින් ඇය ව රෝහල කරා ගෙන යාම මත පදනම් වූ දෙයක් නොවේ. ඊට වඩා ගැඹුරක් ඔවුන් ගේ බැඳීමෙහි විය.

විසල් අම්මා ඇමතුවේ ආන්ටි කියා ය. පුංචී ට අක්කා කීවා ය. මා හා ඔහු අතරේ ලොකු කතා බහක් වාචික ව සිදු වූයේ නැත. කතා කළ වෙලාවක වුණත් එහි ආමන්ත්‍රණයක් නොවූ තරමි. කිහිප වරක් ඔහු කිසා කියනු මට මතක ය. කෙසේ වෙතත් අප දෙදෙනා අතරේ, වාචික ව ප්‍රකාශ නොවූ හැඟීම් සමුදායක් ඇතුළාන්තයෙන් හුවමාරු වෙමින් තිබි බවක් මට දැනී තිබේ.

“අනේ අර කොල්ලටත් බත් ටිකක් කන්න කතා කළානං හරි. කඩේ ජරාවනෙ හැමදාම කන්නෙ”

ඉරිදාවක කෑම බෙදා ගන්නට මුළුතැන් ගෙය වෙත ආ අම්මා එසේ කියනු, කෑම මේසයෙහි හිඳ ලැප් ටොප් එකෙන් කොරියානු පෙම් කතාවක් බලමින් සිටි මට ඇසිණ. මම වහා පරිගණක තිරය මත ඇඟිල්ල තබා කතාව නතර කළෙමි. රළ නගන සයුරු වෙරලක් සේ සිත මත සිතිවිලි පෙරළෙනවා මට දැනුණේ ය. අම්මා කොහොමටත් ඉතා ළෙංගතු තැනැත්තියකි. හද බැඳ ගත්තෙකුට ඕ සිය සන්තකය වුව දෙනු ඇත. තාත්තා ගේ මිය යාමෙන් අනතුරුව ඕ දාන පාරමිතාව ප්‍රගුණ කරන්නේ ද එනයිනි. නමුත් මේ බැඳීම ඊට වෙනස් ය.

“අද පොළොසකුත් තියනවනෙ. කතා කරමු එහෙනං. සන්ඩේ නිසා ගෙදර ඇතිනෙ”

පුංචා සිය ජංගම දුරකතනය අතට ගත්තා ය.

“කෙල්ලත් එක්ක රවුමක් ගිහින්ද දන්නෑ”

ඇය දුරකතනය සවනට ගත්තේ එසේ කියමින් පුංචි සිනහවකිනි.

“විසල් ගෙදරද ඉන්නෙ…ආ ගෙදරද…මං හිතුව ඒත් ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක එළියට ගිහින්ද දන්නෑ කියල සන්ඩේ නිසා”

එසේ කියා ඇය ඕනෑවටත් වඩා සිනහ වූවා ය. මම පුංචා දෙස ඇස් පිය නො සලා බලා සිටියෙමි.

“නෑ නෑ වැඩකට නෙවෙයි. පොළොස් උයල ගොටු කොළ සම්බෝල හදල මාළු කිරට උයල තියනව. බත් ටිකක් කනවනං එන්න”

නැවත ද පුංචී සිනහ වූවා ය. ඔහු මොනවා කීවා ද කියා ඇගෙන් අසන්නට නො හැකි වීමක මා හිටියේ හිර වී ගෙන ය.

“ඕව එකින් එකට කියනකොට එන්නැතුව ඉන්න පුළුවන්ද අහනව”

ඇය දුරකතනය තැබූවේ මගේ හිතේ තිබූ ප්‍රශ්නය ට පිළිතුරු දෙමිනි. නමුත් තව දුරටත් මා සිටියේ ගල් වී ගෙන ය. අනිත් අයට වෙනසක් නො දැනෙන සෙයින් මම හෙමිහිට පරිගණක තිරයට ඇඟිල්ල තබා යළි කොරියානු නාටකය විකාශය වන්නට හැරියෙමි. නමුත් පහලින් දැමෙනා ඉංග්‍රීසි උප සිරැසි එකක්වත් මා කියවූයේ නැත. කියවූවා නම් මනසේ රැඳුණේ නැත.

පුංචා ඇයට පුරුදු කඩිසර ලීලාවෙන් කෑම දීසි මේසය මතින් ගෙනැවිත් තැබුවා ය. පිඟන් ද වතුර වීදුරු ද තැබුවා ය. ඒ සියල්ල මට පෙනිණ. නමුත් මා සිටියේ පරිගණක තිරයෙහි ඇස් අලවා ගෙන ය.

“නදීරා මග කිව්වට තාම නෑනෙ”

කුස්සියත් කෑම කමෙරයත් අතරේ දුවන ගමන් පුංචි කීවා ය.

“විසිටර් කෙනෙකුත් අරංම ආව”

ඒ නදීරා ය. විසිටර් යන වචනය ඇසුණ ගමන් මම හිස නගා බැලුවෙමි. විසල් ගේත් මගේත් ඇස් එකිනෙක මත සමපාත විය. මගේ උදරයේ අතුණුබහන් පෙරළෙනවා වාගේ දැනිණ.

“විසිටර් නෙවෙයි…ඉන්වයිටී…”

ඔහු සිනහ වෙවී කීවේ මගේ නෙතු මගහරිමිනි.

“කිසා කන්නෙ නැද්ද…වරෙංකො ඕක තියල”

පුංචි මට ද ඇරයුම් කළා ය. මා ලැප්ටොප් එක ආලින්දයෙහි තබා එන විට කට්ටිය මේසයට හිඳ ගෙන සිටියහ.

“එක දවසක් මෙහෙම කෑවහම ආයෙ කඩෙං කන්න බෑ වගේ වෙනව ඉතිං…”

ඒ වචන වල වූයේ අවංක කම ය. එය වශීයක් සේ මට දැනිණ.  

“ඉතිං විසල් ඩිනර් වලට මෙහෙ එන්න. සන්ඩේනං ලන්ච් වලටත් එන්න පුළුවන්නෙ”

විදුලියක් සේ අපේ ඇස් හමු විය. එසැනෙන් වෙන් විය.

“ගර්ල් ෆ්‍රෙන්ඩ් ගනී කොස්ස නේ…”

මම බත් පත වෙත ම මුහුණ ඔබා ගතිමි. ඔහු හඬ නගා සිනහ වූයේ ය. ඒ සිනහව මා තුළ පිළිරැව් නැගෙනවා ටික වෙලාවක් යන තුරු මට දැනෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles