සිතිජ ඈතින් පෙනෙන රළ පෙළ දෙස බලමින් ඇමතුමට සමු දුන්නේ ය.ඇමතුම ලැබුණේ ඇයගෙනි.අහසේ දීප්තිමත් ව බබළන චණ්ඩ රැස් පොළොවට එවන හිරු සමඟ හිනැහුණු ඔහු නැවත දුරකථනය දෙස බැලී ය.ඇගේ හඬ සෞම්‍ය ය.
“හිරූ..”
ඇය හිරු තරමට දීප්තිමත් නොවේ.සඳක් මෙන් සෞම්‍ය ය.ඇගේ හඬ තුළ රට වෙනුවෙන් යමක් කිරීමේ උවමනාව බුර බුරා නැඟුණු අන්දම ඔහු සිහි කළේ ය.
“ඔයා අමුතු කෙල්ලක්..”
මේ කතා කරන්නේ වික්ටර් දේවතිලකගේ ලේලිය බව හාංකවිසියක් නොදන්නා ඔහු ඔහුටම මුමුණා ගත්තේ ය.ප්‍රේමයෙන් ආතුරව ගිය හදවතකට රූමත් කෙල්ලකට යම් තිගැස්මක් ඇති කරන්නට හැකි බව ඔහු නොදන්නා කාරණාවක් නොවේ.අංජලීගේ මඟ හැරීම ඔහුව බොහෝ රිදවා අවසන් ය.නමුත් ඒ හදවතෙහි ඇවිද යන්නට මේ නොදන්නා තරුණියට ඉඩ දිය යුතු නොවේ.
“ඔයා ඔය රට හැදිල්ල නවත්තන්නෙම නැද්ද?”
අංජලි එවැනි පණිවිඩයක් එවූයේ හිරුදිගේ ඇමතුමට මොහොතකට පෙර ය.ඒ පණිවිඩය හන්දා සිතිජට රිදීමක් ඇති නොවන්නට ඉඩ තිබිණ.නමුත් ඇය දෑසින් කදුළු පනින තුරු හිනැහෙන මුහුණු කිහිපයක් ද එයට එක් කර තිබිණ.විවාහ වී විදෙස් ගත වූ ඈට යහපතම පැතූ සිතිජ හැකි ඕනෑම අවස්ථාවක රිදවන්නට අංජලී පසුබට නොවේ.ඒ ඇගේ සාමාන්‍ය ස්වභාවය ය.
“මේ රට හදන්න පුලුවන් රටක් තමයි අංජලී.ඒක හදන්න බෑ කියලා ඔහේ හිටියොත් තමයි අපි පැරදෙන්නෙ.ඔයා වගේ රට අත් ඇරපු අයට ගාණක් නැති වුණාට මට දුකයි.මං වගේම දුක් වෙන දාස් ගාණක් එකතු වෙලයි ඉන්නේ.අපි මේ රට හදනවා. “
එයට පිළිතුරු ලෙස අංජලී මොනවාදෝ එවූ බව ඔහු දුටුවේ ය.නමුත් ඔහුට කිසිවක්ම කියන්නට ඉඩ නොලැබිණ.හිරුදිගේ ඇමතුම පැමිණියේ ය.
“පේන හැටියට ඔයාටත් ලොකු ආවේගයක් තියනව මේ හොරු ගැන..”
ඔහු සිතුවේ ජන ගඟ දෙස බලමිනි.කුහුඹුවන් මෙන් රැස් කන ජනතාව හිඳින්නේ අප්‍රමාණ දේශ ප්‍රේමී බවකිනි.හිරුදිට ඇත්තේ එය පමණක්ම නොවන බව ඔහුට දැනේ.ඒ කුමක් විය හැකි ද?
“එයා දේවතිලකලාගෙ ලේලිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ගැන කතා කරා නේද? එහෙනම් මේ ඒ කොල්ලගෙ නෑයෙක් යාලුවෙක් වෙන්න බැරිද?”
ඈ කතාබහ කරන්නේ අඩුවෙනි.කතාබහ කළ ද මෙතැනට එන්නට හේතුව විමසන්නට අසීරු ය.හැම කෙනෙකුටම මෙතැනට එන්නට සිදුව ඇති හේතුව ඉවසීම අවසන්ව යාම ය.ඇයට ද එය පොදු විය යුතු වේ.
“නොදන්න ගෑනු ළමයෙක් ගැන හිත හිතා කාලේ කන්න නෙවෙයිනෙ තියෙන්නෙ..”
පුස්තකාලයට පොත් රැගෙන ආ මිනිසුන් වේ.ඈත ගමක තරුණ ගොවියන් පිරිසක් අරගලයේ යෙදෙන තරුණයන්ට ලොරියක් පිරෙන්නට තැඹිලි ගෙනවිත් තිබේ.ඒ අය හා කතාබහ කර ස්තූතිය පිරිනමන්නට ඇති වෙලාව කල්පනාවට ගෙවන්නට සිතිජට නොහැකි ය.ඔහු වැඩෙහි යෙදෙන්නට වූයේ හිරුදි අමතක කිරීම පිණිස ය.
“දැන් ඔයා කියන්නේ අපි හවස ගෝල්ෆේස් යන්න ඕන කියලද?”
නිපුනි ඇසුවේ ගුලිවී නිදා සිටින මිතුරියගෙනි.ගර්භනී අපහසුතා පෙන්වමින් සයනයෙහිම හිඳින්නට හිරුදි වග බලාගෙන තිබේ.එවිට ඇයට ළසඳාගේ සමාජ සේවායැයි කියා ගන්නා ව්‍යාජයන්ට එක් නොවී හිඳින්නට පුලුවන.
“මං සිතිජට පොරොන්දු වුණා ස්නැක්ස් මොනවාහරි ගේන්න..”
හිරුදි එසේ කියා නෙත් පියා ගත්තා ය.ඇයට සිතිජව මැවී පෙනේ.කාලවර්ණ ඇඳුමින් සැරසී සටන් පාඨ කියමින් මොරදෙන ඔහුගේ වීඩියෝවක් සමාජ ජාලා වල ව්‍යාප්ත වෙද්දී එය නැවත නැවත නරඹන්නට සිත් වෙන කාරණාව කිමක්දැයි ඇය සිතුවා ය.
ඒ ආදරය වග සිතන්නට ඇය නොකැමති ය.එයට දෙන්නට වෙනත් නමක් ඇය කල්පනා කරන්නට වූවා ය.