පෙමාතුර -33

මගේ දොරකඩ ඉෂිනි සිටියේ බීර කෑන් දෙක තුනක් තුරුලු කර ගෙන ය. ඒ දුටු මගේ ඇස් විසල් විය. සාමාන්‍යයෙන් අපේ ශීතකරණයේ බීර හිඟ වන්නේ නොවේ. නදීරා නිතර ද සනෝජා පුංචි ඉඳ හිට ද බීර බීහ. අම්මා එසේ කරනු මා දැක නැත ද ඇය එවැන්නක් අනුමත නොකරන්නියක ලෙස මම පූර්ව නිගමනයකට විත් නො සිටියෙමි. මා නො දැක්කාට සමහර විට අම්මා හිත රිදුණු කැවුණු වෙලා වල එවැන්නකින් සැනහුණා වන්නට ද පුළුවන. ඔවුන් ගේ සමාජය එවැනි සමාජානුයෝජනයන් ප්‍රතික්ෂේප කරන්නා වූ එකක් නොවේ.

වැඩිහිටියෙකු වශයෙන් මට ද අපෙ ගෙදර එවන් තහනමක් වූයේ නැත. නදීරා කට ගැස්මක් සමග බීර කෑන් එකක් ගෙන මිදුලේ බංකුවක් වෙත යන වෙලාවක “කිසා බියර් එකක් බොනවද” කියා අසන අවස්ථා ඕනෑ කරම් ය. නමුත් අම්මා වචනයකින් තබා බැල්මකින් හෝ ඒ යෝජනාවට එරෙහි වී නැත. ඒ කියන්නේ මට එවැන්නකට අපේ ගෙදරින් විරෝධයක් නොවන්නේ ය. නමුත් මොකක්දෝ හේතුවකට මට කිසි දා මත් වන්නට සිතී නැත. අඩු තරමින් ඔවුන් රස විඳිනා ඒ රසය යන්තම් දිව ගා බලන්නට හෝ සිතී නැත. 

මා මෙන් නොව ඉෂිනි වූ කලී නුවර සම්ප්‍රදායික පවුලකට අයත්, සම්ප්‍රදායික ලෙස ඇති දැඩි වූ ගෑනු ළමයෙකි. ඇය බීර කෑන් කිහිපයක් ම තුරුලු කර ගෙන එනු දැක මගේ ඇස් උඩ ගියේ ඒක ය.

“මට බොන්න ඕන කිසා. වෙරි වෙනකල්ම බොන්න ඕන”

ඇය බීර කෑන් තුන මගේ ලියන මේසය මතින් තැබුවා ය. මා හිටියේ අනියත ගැස්මකිනි. එක අතකට ඊට අනියත කියා කිව හැකි දැයි නො දනිමි. ඇය මේ සැදී පැහැදී කතා කරන්නට එන්නේ විසල් ගැන ය යන සිතිවිල්ල මගේ සිත තැන් තැන් හිර කරයි.

‘පොප්’ ගා කෑන් එකක් අරිනා ගමන් ඇය තවෙකක් මවෙත දිගු කළා ය. මම හිස සලා ප්‍රතික්ෂේප කළෙමි.

“ඔයාට නිදි මතයිද කිසා..මං වදයක්ද…”

මා ඊටත් කළේ හිස සලනා එක පමණකි.

“මන් දන්නෑ මට මොනාද ඔයා එක්ක කතා කරන්න තියෙන්නෙ කියල. මට දැනෙන්නෙ මං මොනා හරි කතා කරන්න ඕන කියල විතරයි. මං වැරදිද කිසා…ඔයා කියන්න මං මොකද්ද කරපු වැරැද්ද කියල…මං මේ යකාට ආදරේ කළේ නෑ කියලද ඔයා හිතන්නෙ…මන් දන්නෑ ඕගොල්ලො හිතන්නෙ ඉතින් වෙනස් විදිහට. මට ඒව තේරෙන්නෑ. දවසක කසාද බඳින්න ඉන්න මිනිහට මීට වැඩිය ආදරේ කරන විදිහක් තියනවද කියල මන් දන්නෑ. දැන්නං මට පිස්සු වගේ කිසා”

මම දැවැන්ත වූ අනුකම්පාපකින් වැහී යමින් සිටියෙමි. ඒ වූ කලී ඇය කෙරේ උපන් අනුකම්පාවක් පමණක් නොවේ. ආත්මානුකම්පාවක් සමග ද පැටළුණකි. අපි එක වගේ නොවුණාට එක ම පිරිමියෙකුට පෙම් කරනා හා ඔහු කෙරේ බැඳුණු ගැහැනුන් වන්නෙමු. 

“ඔයාට විරංග ආදරෙයි. ඒත් ඔයා විරංගට ආදරේ නෑ. මං විසල්ට ආදරෙයි. ඒත් ඒ යකා මට ආදරේ නෑ. එතකොට අපි දෙන්න එක බෝට්ටුවෙ නේද…ආ..නෑ නෑ..අපි දෙන්න නෙවෙයි. මායි විරංගයි”

මීට පෙර බීර බී නැති නිසා ද මන්දා ඇය ඉක්මනින් මත් වෙමින් හෝ සිතිවිලි පැටලන තත්වයකට පත් වෙමින් හිඳිනා බවක් මට දැනිණ. මගෙන් සුසුමක් ගිලිහුණේ ය.

“මට ඔය ගෑනිව අහු වුණොත් කිසා…මට ඒකිගෙ කම්මුල කිස්කන්න ගහන්න ඕන..දෙයියම්ප මං ගහනව..විසල් මං බඳින්න ඉන්න කෙනා. ඒකි පවුල් කඩන කොහෙවත් යන වල් ගෑනියෙක්”

ඇය කී කම්මුල් පහර වැදුණා සේ මගේ කම්මුලක කිස්කෑමක් දැනිණ..මගේ අත මටත් නොදැනී ම කම්මුල වෙත ගොස් තිබිණ.

“මං වැරදිද කියල ඔයා කියන්න. කතා කරන්න කිසා”

“ඔ..යා…හරි…”

“ඒකි වල් ගෑන්යෙක් නේද..”

“ඉෂී..එයත් විසල්ට ආදරේ කරනවනං..”

“කෙහෙල්මල. අනුංගෙ මිනිහෙක්ට ආදරේ කරන්න පුළුවන්ද…ඒක වල් කම. මට ඕකි අහු වුණොත්නං ඉතුරු කරන්නෑ”

බීර කෑන් එකේ අන්තිම ටික බී ගෙන බී ගෙන ගිය ඕ තවත් එකක් කැඩුවා ය. ඒ ‘පොප්’ හඬ මට පැහැදිලි ව ම ඇසිණ. ඈ මත් වී සිටින්නේ බීර වලට ය. නමුත් හැම දා ම සේ මම මගේ උමතු ප්‍රේමයෙන් මත් ව හිඳිමි.

“මට උදව්වක් කරන්න කිසා..”

“උදව්වක්…”

“විසල්ගෙන් ශේප් එකේ දැනගන්න ඒ ගෑනි කව්ද කියල”

“දැන..ගෙන…”

මගේ උගුර කට වියළී යමින් තිබිණ. 

“මං ඒකිව හොයං ගිහිං කතා කරන්නං. ඒකිට තිබුණෙ අප් අතරට එන්නෙ නැතුව ඉන්න. මේක මාර ලොකු වැරැද්දක්. ඒකි දඬුවං විඳින්න ඕන. ඒකි විඳවන්න ඕන”

“ඒ..ත්..”

“මං මහ නපුරු කෙල්ලෙක්ද කිසා”

මේ වෙත්දී ඇය ඇය ගේ පාලනයෙන් ගිලිහී යන තරමට මත් වී සිටියා ය. එක් වර ම හඬන්නට පටන් ගත් ඕ මගේ උරහිස මතට කඩා වැටුණා ය.

“නෑ. ඔයා හරි. එයා දඬුවං විඳිනව. එයාගෙ හිතෙං..”

“ආ..ඔයා කොහොමද දන්නෙ…”

ඇය ට නැගිට මගේ මුහුණ දෙස බලන්නට උවමනා වී ද එසේ කිරීමට තරම් පාලනයක් සිරුර හා ස්නායු පද්ධතිය අතරේ තිබුණේ නැත. එසේ වීම ගැන මම දෙවියන්ට පින් දුන්නෙමි. මට ඇගේ මුහුණ දෙස බලන්නට පුළුවන් කමක් නැත!

“මං කිව්වෙ…එහෙම වෙන්නැති. එයත් හිතෙන් දුක් විඳිනව ඇති…”

“හ්ම්…”

ටික වෙලාවක් ඕ මගේ උරහිස බදා ගෙන හැඬුවා ය.මම දැවෙමින් පිළිස්සෙමින් සිටියෙමි. ඇය කෙතරම් ඔහු ට ආදරය කරනවා ඇත්ද? ඇය ගෙන් ඔහු උදුරා ගැනීමක් ගැන මට සිතත හැකි ද? දැනටමත් මට සමාව දෙන්නට මා හට පුළුවන් කමක් තිබේ ද?

“මට දුකයි. මට මැරෙන්න දුකයි”

‘ඒත් විසල් ඔයාට ආදරේ නැත්නං..එයාව තේරුං ගන්න බලන්න’ කියා කියන්නට ඕන වුණත් එහෙම දිරියක් ශක්තියක් ළඟා කර ගන්නට මම අපොහොසත් වීමි. මම වරද කාරියක වෙමි. අනුන්ගේ වස්කුවකට අත තැබීම පාප කර්මයක් බව දැන දැන ම මම එසේ කළෙමි. සෑම පාපයකට ම විඳවීමක් හිමි ය. දඬුවම කියන්නේ එයට ය.

ඉෂිනි තෙවන බීර කෑන් එකට ද අත තැබුවා ය. මම වහා එය මේසයේ ඈතට කළෙමි.

“මට බොන්න ඕන”

“ඔය ඇති. සිහි නැති කර ගත්ත කියල ප්‍රශ්න ඉවර වෙන්නෙ නෑ. ප්‍රශ්න එතනම තියනව”

“එහෙනං ඔයා විසල්ට කතා කරන්න”

“ඉෂිනි විකාර කියන්න එපා. විසල් දැන් නිදි ඇති”

“එහෙනං මට බොන්න ඕන”

ඇය බලයෙන් ම තෙවන බීර කෑන් එක ද බී ගෙන බී ගෙන ගියා ය. ඉන් අනතුරු ව හිස කෙලින් තබා ගන්නට හෝ ඇය ට හැකි වූයේ නැත. එහෙම ම මගේ යහනෙහි වැතිර ඕ මට නොපැහැදිලි මොනවා ද දොඩමින් හිඳ නිසල වූවා ය. මම කොට්ටයක් බිමින් දමා ගෙන එහි වැතිරුණෙමි.

මා යළි අවදි වූයේ වේගයෙන් දොරට ගසනා හඬට ය. දොරකඩ සිටියේ නදීරා ය.

“ඉෂිනි ගෙදර නෑ”

මම යහන දෙස හැරී බැලුවෙමි. ඒ අනුව නදීරා ගේ දෑස් මුළු කාමරය සිසාරා විහිද ගියේ ය. බිම වන මගේ කොට්ටය හා ඇතිරිල්ල ද මේසය මත වන හිස් බීර කෑන් තුන ද ඇගේ නෙත ගැටෙන්නට ඇත.

“කට්ටිය නිදා ගන්න ගියාට පස්සෙ මගෙ රූම් එකේ දොරට ගැහුව. බියර් තුනක් බිබී කියවල එහෙම ම නිදා ගත්ත”

පිය ගැට පෙළ බහිනා ගමන් මම කීවෙමි.නදීරා මා විනිවිද බැලුවා ය. දැන් දැන් ඇය යමක් අසාවියි මම බලාපොරොත්තු වුණෙමි. නමුත් එවැන්නක් වූයේ නැත. 

රැය පහන් වූවා ට ඒ සිදුවීම මගේ මනසට වද දෙන එක නිමා වූයේ නැත. විරංග හමු වන්නට මට ඕනෑ විය. නමුත් ඇඳිරි නීතිය බල පැවැත්වෙන බැවින් මට පිටතට යා හැකි වූයේ නැත.

“මං එන්නං. මට ක’ෆිව් පාස් එක තියෙනව”

මා එපා කියන්නට පෙර ඔහු දුරකතන සම්බන්ධය බිඳ තිබිණ. විරංග ඒ විදිහට මා හමු වන්නට පැමිණෙන එක විසල් කොයි විදිහට බාර ගනීවිද යන කරදරකාරී සිතිවිල්ල මට වද දුන්න ද ගැලවීමක් තිබුණේ ද නැත. විරංග ට තදින් එපා කියන්නට බැරි මා නොදන්නා හේතුවක් ද වූයේ ය. ඒ වනාහි ප්‍රේමය කරා සමීප විය නො හැකි වී ද මිත්‍රත්වය ඉක්මවා ගිය තැනක රැඳුණ හැඟීමකි.

“අවුලෙං නේ…”

අපේ ගෙමිදුල කුඩා කොංක්‍රීට් මේසය වට හිඳ ගන්නා ගමන් විරංග මගේ ඇස් විල් වල කිමිදුණේ ය. මම බිම බැලුවෙමි.

“මොන මගුලක් ද…ඔයා දුක් විඳිනව. ආදරේ කියන්නෙ එහෙම බම්බුවක් නෙවෙයි කිසා”

“ඔය ඉතිං…”

කොංක්‍රීට් මේස තලාව මත්තෙහි මම නිකට තියා ගතිමි.

“මට මහ බයක් දැනෙනව විරංග. මට මේ හැම දේකින්ම ඈතට දුවං ගිහිං දන්න කියන කිසි කෙනෙක් නැති තැනක හැංගෙන්න ඕන කියල හිතෙනව. මෙහෙම ඉඳං මුළු ලෝකෙටම වැරදිකාරියෙක් වෙන්න වෙයි. ඒත් මං වරදක් කරනවද විරංග…ආදරේ කරනව කියන එක වරදක්ද විරංග..”

“අඬන්න හදන්න එපා. ඔයා දන්නව මං කැමති නෑ ඔයාගෙ ඇස් වල කඳුළු දකින්න”

“මට විසල් නැතුව ඉන්න බෑ වගේත් දැනෙනව විරංග”

උගුර හිර කර ගෙන ඉහළට ආ වේදනාවක් අතරින් මම ඒ ටිකත් කියා ගතිමි. විරංග නො සන්සුන් ලෙස ඒ මේ අත බලා මේසයට තදින් පහරක් ගසමින් නැගී සිටියේ ය.

“විසල්ට දැං මෙතනට එන්න කියන්නං මං. මේක විසඳගන්නැතුව බෑ”

ඔහු මගේ ජංගම දුරකතනය උදුරා ගෙන එහි විසල් ගේ අංකය සොයන්නට වූයේ ය. 

“එපා…ප්ලීස්…”

මම දුරකතන තිරය අතින් වසමින් බැගෑපත් වීමි. විරංග මදෙස බලා දීර්ඝ වූ සුසුමකින් මිදුණේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles