ශරදාකාසේ -08

පංචලී දොර උළුවස්සට හේත්තු වී මඳක් බලා සිටියා ය. තාත්තා ගේ සිහින් කෙඳිරිලි හඬ ඇය ට ඇසෙනවා ද නැත්නම් දැනෙනවා ද කියා ඇය ම නො දත්තා ය. තෙල් බෙහෙත් සුවඳ පැතිර යයි. අම්මා මොහොතක පමාවක් නො කොට තාත්තා ගේ බෙහෙත් සාත්තුව හරියට ම කරයි. 

පංචලී ගේ පපුවෙහි සන්තාප සුසුමක් පිරී තිබිණ. ඇය ඒ සුසුම හිර කර ගෙන ම කාමරයට ආවා ය. මහා බරක් හදවතෙහි පැටවී තියේ. ඕ අත් බෑගය එල්ලා ගෙන යළිත් කාමරයෙන් පිටතට ආවා ය.

“මං යනව අම්මෙ”

තිස්ස ගේ බෙහෙත් සාත්තුව මොහොතකට නතර කළ ප්‍රියානි හැරී බැලුවා ය.

“යනවද පුතේ…කෑම එක දාගත්ත නේද..”

“ඔව්. මං ගිහිං එන්නං තාත්තෙ. හවසට එනකොට තාත්තට මොනාද ගේන්න ඕන…”

“මුකුත් නෑ පුතේ. රත්නත්තරේ පිහිටෙන් ගිහින් එන්න”

පංචලී පියා ගේ හිස අත ගා ගෙන් පිට වූවා ය. මීට වසර කිහිපයකට පෙර තාත්තා ගෙදරින් පිට ව ගියේ ඔවුන් ගේ හිස් පිරිමැද බව සිහි වීමෙන් ඇගේ පපුව පිච්චී ගියේ ය. 

තිස්ස ට තවම වයස හැට පිරුණේත් නැත. ඔහු ගේ අත පය වාරු නැති ව ගිහින් වැඩ කරමින් සිටිනා ගමන් ආයතනයෙන් රෝහලට ගෙන ගොස් මාස කිහිපයකි. ඔහු ගේ රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් අංශභාග තත්වයට පත් ව තිබේ. බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් පසු ගෙදර පැමිණියත් නිට්ටාවට සුවයක් වූයේ නැත. අංශභාගය සුව කරන වෙද හාමුදුරු නමක් වෙත ඔහු ව කැටිව ගියේ ඉන් පසු ය. තෙල් බෙහෙත් වලින් යම් ගුණයක් පෙනේ. කෙසේ හෝ සිය සැමියා ව යථා තත්වයට පත් කර ගැනීමේ අරමුණෙන් ප්‍රියානි වෙහෙසී කැප වී සත්කාර කිරීමෙහි නිරත වේ. 

තාත්තා ව සේ ම අම්මා ව දකිත්දී පංචාලි නො දන්නා බියකින් වෙළී යන්නී ය. සාමාන්‍ය විවාපත් වන වයස වන විසි ගණන් ඉක්මවා, තිස්ස විවා පත් ව තිබෙන්නේ ජීවිතයේ හතර වන දශකයේ දී ය. දැන් ඔහු අඩු වයසින් ම රෝගියෙකු වී තිබේ. ප්‍රියානි තිස්ස ට වඩා අස වසරකින් බාල වී ද එකට ජීවන ගමන යත්දී දෙදෙනා සමාන වයසක බාහිර පෙනුමක් අත් පත් කර ගැනීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ නැත ද ඔවුන් ට ජීවිතය ඒ තරමට ම සුමට වූවා නොවේ. තිස්ස ගේ රැකියාවෙන් ගෙදර සියලු වියදම් දරා ගෙන  පංචලී ට ඉගැන්වීම පහසු නැති නිසා ප්‍රියානි ද ගෙදර සිට කළ හැකි වැඩක හැම කලක ම නිරත වූවා ය. කාලයක් ඇය පාපිසි මැසුවා ය. කාලයක් ඇඳුම් ඕඩර මහන්නට දෙන තැනකින් ගෙන කෑලි ගණනට මැසුවා ය. ළඟ පාත ෆැක්ට්‍රියක සේවකයන් ට බත් මුල් දුන්නා ය. ඔවුන් දෙදෙනා ම වෙහෙසුණේ තමන් ට වඩා යහපත් හෙටක් ඔවුන් ගේ එක ම දියණිය වන පංචාලි ට තනා දීම වෙනුවෙනි.

ඒ සියල් දුක් කරදර දකිමින් පංචලී උස් මහත් වූයේ කාගේත් ආදරය දිනා ගත් හොඳ දැරියක සේ ය. ඇය සීමිත සම්පත් පාවිච්චි කරමින් ඉගෙන ගත්තා ය. උසස් පෙළින් පසු විශ්ව විද්‍යාල සිහිනය අමතක කොට දමා රැකියාවක් තෝරා ගත්තේ ද දෙමාපියන් උහුලා ගෙන හිඳිනා බර ට උර දී ඔවුන් සැහැල්ලුවට පත් කළ යුතු යයි සිතූ නිසා ම ය. 

නමුත් ඔවුන් දෙදෙනා ගැන දැන් ඇය ට දැනෙන්නේ බියකි. තාත්තා ලෙඩ ඇඳේ ය. අම්මා තවමත් වෙහෙසෙන්නී ය. තාත්තා ව සුව කර ගත නො හැකි වේවිද යන බිය හැම මොහොතක ම ඇය ට වද දෙයි. මහත් අවිනිශ්චිත අඳුරක් ඇය වට කොට ගෙන සිටී. 

ජීවිතයේ අඳුරු දවස් වල ඇගේ අහසේ පෑයූ දේදුන්න ශාරද ය. පංචලී ඔහු ව මුලින් ම දකින්නේ ප්‍රථම රැකියා පත්වීම ලද මූල්‍ය ආයතනයේ දී ය. දිවයින පුරා ශාකා බොහොමයක් වන එහි කොළඹ ප්‍රධාන ශාකාවේ පුහුණු වන ගිනුම් තබන්නියක ලෙස රැකියාවට එක් වන පංචලී ට ආයතනික පුහුණුවක් ලබා දෙන්නට බාර වන්නේ ශාරද ට ය. ඒ සමීප ඇසුර ප්‍රේමයක් දක්වා වර්ධනය වන එක නතර කරන්නට තරම් හැකියාවක් ඇය ට වූවා නොවේ. නමුත් ශාරද අඩියක් පෙරට නො තබන්නට ඇය සිය ප්‍රේමය කිසි දා සිය හදවතින් පිටතට නො දමන්නට තිබිණ.

“මනුස්සයෙකුට ආදරේ කරන එක ආනන්තරීය පාප කර්මයක් කියල හිතන්නෙපා පංචලී”

ඔහු එදා කී හැටි මරණ මංචකයේ දී වුව ඇය ට අමතක කළ නො හැකි ය. ප්‍රථම ප්‍රේමය කියන්නේ ගෑනු ළමයෙකුට සිය ජීවිතය මත්තෙහි වදිනා සදා කාලික සලකුණකි. පංචලී ට ද එහි වෙනසක් නැත්තේ ය. ආදරයක් හිතට එන්නේ වෙන කිසිත් නිසාවෙන් නොව ආදරය පමණක් හේතු කොට ගෙන ය. නමුත් ශාරද විවාහක බව දැන සිටි නිසා පංචලී ඒ හැඟීම හදවත යට පරිස්සම් කළා ය. එනමුදු දිය යට එබූ රබර් බෝලයක් සේ ඒ හැඟීම මතුපිටට එන එක වළකන්නට තරම් ඇය අත්දැකීම් අතින් පරිනත වී සිටියේ නැත.

නිශාමනී ඉදිරියේ වීරයෙකු සේ රඟපෑවාට එදා ශාරද ගෙදරින් නික්ම ගියේ ශක්තිමත් හිතකින් නොවේ. ඔහු මනසින් ඉතා දුර්වල අඩියකට වැටී සිටියේ ය. නිශාමනී ඔහු ව අත් හළහොත් යන හැඟීම ඔහු තුළ භීතියක දිගු සෙවනැලි ඇඳ තිබිණි.

පංචලී සමගින් බැඳෙන්නට පෙර ද ශාරද ට සුළු සබඳකම් දෙක තුනක් තිබී ඇත. ඉන් දෙදෙනෙකු ම විවාහක කාන්තාවන් ය. ඔවුන් ට ප්‍රධාන ශාකාවෙන් මාරු වී යන්නට සිදු වූ නිසා ඒ සබඳකම් දුර දිග ඇදුණේ නැත. 

ශාරද සිටියේ ස්ථාවරත්වයකින් තොරව ය. නිශාමනී යනු ඔහු ට සරිලන බිරිඳ ද යන පැනය ඔහු තුළ ඉතිරි කළා වූ අවස්ථා බොහෝ විය. ඒ ඇගේ වරදක් නො වන බව ද ඔහු දැන සිටියේ ය. විශේෂයෙන් ම විවාහයෙන් අනතුරු ව වසරක් දෙකක් ගෙවෙත්දී වචන වලින් පහදන්නට බැරි හිස් කමක් ඔහු ට වද දෙන්නට ගත් බව ශාරද ට මතක ය. එය වූ කලී අත් හැර දැමීමක් වගේ එකකි. නිශාමනී ඉතාමත් හොඳ බිරිඳක ලෙස ගෙදර සියලු කටයුතු මෙහෙයවූවා ය. ඔහු ගේ යහනෙහි ද ඔහු ට අඩුවක් නො කළ බැව් සැබවි. නමුත් ඇය ට පිරවිය නො හැකි වූ හිස්කමක් හදවතේ විය. ඒ ගැන නිශාමනී ට අවබෝධයක් වූයේ නැත් ද නො එසේ නම් ඇය තැකීමක් කළේ නැත්ද කියා ඔහු නො දනී. ඔවුන් අතරේ රණ්ඩු දබර නොවූ බැව් සැබවි. ඔහු ඇය ට ගෞරව කළේ ය. නමුත් ඇය නො සිටි තැනක් හදවතේ විය. 

විවාහයෙන් පසු කිසි දිනක ශාරද ශරීර පහසක් පතා  මුදලට ලබා ගත හැකි ගැහැනියක වෙත ගොස් නැත. නමුත් ඔහු ගේ හිත යමක් සොයමින් සිටියේ ය. කාන්දමක් සේ ඔහු පංචලී ට ඇලුණේ ය. ඇය වෙත අති විශාල ප්‍රේමයක් වූ නිසා ඔහු ඒ ඇසුරට බැඳී ගියේ ය. නමුත් යම් යම් අවස්ථා වල මේ ඇසුර ගැන බියපත් වූ පංචලී සන්සුන් කරනු වස් ඔහු හිතා මතා ම යම් බොරු ගොතා කීවේ ය. නිශාමනී ගේ අවධානය හා ආදරය ඔහු කෙරේ නො වන බව කියත්දී පංචලී තව තවත් ඔහු ට අනුකම්පා කළා ය. වැඩි වැඩියෙන් ආදරය පෑවා ය. පොඩි දරුවෙකු සේ ශාරද ඒ ආදරයෙහි ගැලිණ. විටෙක ඔහු ට නිශාමනී සේ ම එසඳි ද අමතක ව ගිය තරම් ය. ඉතා විශාල මානසික සුවපත් බවක්, පංචලී නිසා හෙතෙම අත් විඳි බව සත්‍යයකි. නමුත් නිශාමනී අතැර පංචලී වෙත යන්නට ඔහු හැබැහින් සිතා නැත. ඇතැම් අවස්ථා වල පංචලී ව තවත් නතු කර ගනු වස් එවැනි කතා කීවා ට, පංචලී ගේ ඉරණම කෙසේ විසඳිය යුතු ද කියා හෝ අදහසක් ඔහු ට නො විණ. කාලය විසින් ලබා දෙන ඕනෑ ම තීරණයකට අනුගත වන එක පමණක් ඔහු ගේ සිතිවිල්ල විය.

“අම්මල මාව කාට හරි බන්දන්න හදනව. තාත්තත් අසනීපෙන් නිසා එයාලට මගෙ ජීවිතේ බරක් වගේ දැනෙනව ඇති”

පංචලී එසේ කියූ අවස්ථාවක ශාරද ට තිබුණේ පුදුම පිළිතුරකි.

“ඔච්චර හදිස්සි වෙන්නෙ මොකද…ඔයාට දැම්ම බඳින්න බෑ කියන්න”

නො එසේ ව දිනෙක ඇගේ ජීවිතය බාර ගන්නා බවක් කියන්නට තරම් පැහැදිලි අනාගත දැක්මක් ඔහු ට නො විණ. ඒ නීති බැම්ම ඔහු ව හිර කොට ඇති බව පමණක් ඔහු සිතුවේ ය. 

එදා ආකාස රැකියාවට නො ගිය නිසා නිශාමනී ට මානසික වශයෙන් නිදහසක් තිබිණි. ඒ එසඳි ගැන වගකීමෙන් ඇය ට තරමක් නිදහස් විය හැකි බැවිනි. සිත ගත වෙලා පැවති කෙඩෙත්තු අප්‍රාණිකත්වයෙන් මිදිය යුතු බව ඇය දැන සිටියා ය. නමුත් ඒ කොහොම දැයි වැටහුණේ නැත. දැන් ඉතින් මේ නරා වළෙහි ම වැටී සිටිය යුතු නැති බව ද ඇය දැන සිටියා ය. නමුත් නිශ්චිත සැලැස්මක් ඇගේ සිත්හි වූයේ නැත. බොර වූ කළල් දියක් වුණත් එහෙම ය. පෑදෙන්නට කාලය අවැසි වේ.

“පවුල් ඇතුළෙ තියන ප්‍රශ්න ඔයා දන්නෑ. අපි එළියෙ ඉන්න නිසා ඇහෙනව දකිනව. ප්‍රශ්න නැති පවුලක් නෑ. එහෙමයි කියල වෙන් වෙන්න ගියොත් මේ ලෝකෙ පවුල් කියල දෙයක් ඉතුරු වෙන එකකුත් නෑ”

එසඳි සමගින් සෙල්ලන් කරන ගමන්, බලා ගත් අත බලා ගෙන කල්පනා කරන එසඳි දෙස බලාගෙන ආකාස මිමිණුවේ ය. නිශාමනී අභිනික්මන් කරතැයි බියක් ඔහු ට වේ. පසු ගිය වසර හතර පහක කාලය වො ගන්නට ඔහු ට තිබූ එක ම අස්වැසිල්ල නිශාමනී ය. ඔහු සිය වැඩිමහල් සොයුරා ගේ බිරිඳ බව ඔහු දැන සිටියේ ය. නමුත් ඈ කෙරේ වන භක්තිය මුසු සව්මිය හැඟීම ඒ නෑ කම ඉක්ම ගිය එකක් බව ද ඔහු දැන සිටියේ ය. නමුත් ආකාස කිසි සේත් සිය සීමාව පන්වන උත්සාහයක් ගෙන නැත. දුර සිට බලා ගෙන සඳ කැල්ම විඳිනා කවියෙකු සේ, අයිති කර ගැනීමක් ගැන අදහසකින් තොර ව ඔහු ප්‍රේමයක් දරා සිටියේ ය. පෙම්වතියක ලෙස ඇසුරු කළ යුවතියක සිටියා ට, ඔහු ට කිසි දා ඇය අස පූර්ණ ප්‍රේමයක් නො දැනිණ. නමුත් දුරින් සිටි නිශාමනී නිසාවෙන් ඔහු ඒ පූර්ණත්වය අත් වින්දේ ය. 

“ඔයා මහ නරුම මිනිහෙක්. ඔයාට කවදාවත් මාව ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට සම්පූර්ණයෙන් බාර ගන්න බැරි වුණා. මන් දන්නෑ ඒකට හේතුව මොකද්ද කියල. මට දැනෙන්නෙ ඔයා වෙන කෙනෙක්ව හිතේ හිර කරං ඉන්නව කියලයි. හරියට කසාද බැඳපු පිරිමියෙක් වයිෆ් ගැන බර හිතේ තියං තව ගෑනියෙක් ළඟ හැසිරෙනව වගේ”

ආකාස ට ඍජුව ම චෝදනා කළ ඇය ඔහු ගේ ලෝකයෙන් ඈත් ව ගියා ය. ඔහු ට තුනී සංවේගයක් මිස බරපතල හිත් අමාරුවක් දැනුණේ නැත. ඇය නික්ම යනු ඔහු බලා සිටියේ උපේක්ෂාවෙනි. ඈ කීවා සේ ම තමන් නරුමයෙකු දැයි සිතන්නට ඔහු ට ඕනෑ විය. නමුත් ආකාස කිසි දා ඔහු ව ගැඹුරින් අධ්‍යයනය කරන්නට සිතුවේ නැත.

කෙසේ වෙතත්, ඇය ගිය දා නො දැනුණ සංවේගයකින් අද ආකාස ඔත්පල ව හිඳී. ඒ ශාරද ගෙන් වෙන් වී නිශාමනී ගේ අතැර යනු ඇකැයි හැඟීමෙනි.

“මල්ලි කියන්නෙ මට ශාරද එක්ක පරණ පුරුදු විදිහට ම ඉන්න කියලද…ඒකනං මට කවදාවත් කරන්න බැරි වෙයි”

“මං දන්න සමහර හස්බන් ඇන්ඩ් වයිෆ්ල ඉන්නව. දෙන්නට ම වෙන සම්බන්දයක් තියනව. සමහර විට දෙන්නම ඒ ගැන දන්නව. ඒත් නොදන්නව වගේ ඉන්නව”

“මල්ලි කියන්නෙ මටත් එහෙම ඉන්න කියලද…”

නිශාමනී ගේ දෙතොලතර අවඥාසහගත සිනහවක් ඇඳිණ.

“එකට ඉන්න බෑ කියල ඩිවෝස් වුණ අය ආයෙ දරුවො නිසා එකතු වුණ කතන්දර මං අහල තියනව”

“මගෙ හිත වෙනස් කරන්න හදන්න එපා මල්ලි. ඒක කරන්න පුළුවන් වෙන එකකුත් නෑ”

කෑ ගසා හැඬිය හැකි දුකක් ඔහු තුළ විය. නමුත් ආකාස සිටියේ හඬන්නට හෝ අවසර නොමැතිව ය. 

ගෘහස්ථ දුරකතනය හැඬවිණ. ඊට පිළිතුරු දෙන තරම් නිදහස් මනසක් නො වුණත් ඇය සිටියේ දුරකතනය ආසන්නයේ ම වන බැවින් නිශාමනී අත දිග හැර රිසීවරය ගත්තා ය.

“මැඩම්…ඇවිලිලා නේද ගින්න…මැඩම් ට ගින්දර දුන්නට හොඳ වැඩේ මැඩම්. මං මේ ආයෙත් කතා කළේ…අරකිට කන පැලෙන්න දෙකක් කියන්න දෙන්නද ටෙලිෆෝන් නොම්බරේ…මැඩම්ට අපි මෙහෙමවත් උදව්වක් කරන්නැත්තං වැඩක් නෑනෙ”

“දෙන්න”

නිශාමනී වහා එතැන වූ සටහන් පොත ගෙන පංචලී ගේ දුරකතන අංකය ලියා ගත්තා ය. ඇගේ අතින් රිසීවරය උදුරා ගැනුණේ ඒ වෙලාවේ ය.

“මොනාද ඕයි මේ කරන ජරා වැඩ…”

ආකාස, නිශාමනී කිසි දා දැක නැති ආවේගයකින් කෑ ගැසුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...