හිමගිරි අරණ – 6

“ඇයි අම්මේ?”

හිමාෂා ඇසුවේ අම්මාගේ අඳුරු මුහුණ දෙස විමසිලිමත් වන අතර ය.නොදුටුවා සේ හිඳින්නට හැකි නමුත් එය අම්මාගේ කෝපය තවත් උත්සන්න කරවන නිසා හිමාෂා ආලින්දයේ අසුනකින් හිඳ ගත්තා ය.

“පොඩි නැන්දා කතා කරලා දොස් කියනවා.මේ හැම එකම අහන්න වෙලා තියෙන්නෙ මටනෙ.”

මල්ලිකා හැකිතාක් රළු හඬකින් කීවා ය.හිමාෂා මුහුණ නපුරු කරගත්තා ය.ඕනෑවට වඩා මුදු වන්නටත් දරා ගන්නටත් වූ කල්හි සියල්ලන්ම තමන්ව රූකඩයක් කරගන්නට තැත් දරන වග දැන් ඇය දන්නී ය.

“මොකක්ද නැන්දා කියන්නේ?”

පිලිතුර කුමක්දැයි දැන දැනම හිමාෂා ඇසුවේ නුරුස්නා හඬකිනි.මල්ලිකා අමනාප බැල්මක් දියණිය වෙත දමා ගැසුවා ය.

“නැන්දලා ගෙනාපු අර යෝජනාවට කිසිම උත්තරයක් දෙන්නෙ නැතුවට ඒ මිනිස්සුන්ට කේන්ති ගිහින්.මට හරියට දොස් කිව්වා.ඒ මිනිස්සු හොඳක් කරන්න හදනකොට ගණං ඉස්සුවාම කේන්ති යන එක සාධාරණයි.”

අම්මාගේ අමනාපය දියණියට මහත් කෝපයක් ඇති කරන්නට සමත් ය.නැන්දා ගෙන ආ යෝජනාව හතළිස් වියැති මිනිසෙකුගෙනි. ආදරය කරන්නට වයස බාධාවක් නොවන මුත් විවාහ යෝජනා සොයමින් හිඳ බොහෝ කාලයක් විවාහ වන්නට නොහැකි වූ හිතවතෙකු තමන්ට ජෝඩු කරන නැන්දා ගැන හිමාෂාට බරපතල මට්ටමේ සැකයක් විණ.

“අම්මේ,මං එක වතාවක් කිව්වනෙ අම්මට.ඒ යෝජනාව නෙවෙයි කොයි යෝජනාවටත් මම අකමැතියි.මට කසාද තිත්ත වෙලා තියෙන්නේ.පාඩුවෙ ජීවත් වෙන්න මට බැරිකමක් නෑනෙ අම්මේ.එහෙම තියෙනකොට ඇයි මේ කෙළවරක් නැතුව කසාද හොයන්නේ.”

හිමාෂාගේ ඒ කෑගැසීම මල්ලිකාව දමනය කරන්නට සමත් නොවිණ.ඇය මුහුණේ නපුරුකම නොමකාම දියණිය දෙස බලා හුන්නා ය.

“අඩුම තරමේ මනුස්සයෙක්ව එකපාරක් මුණ ගැහෙන්නෙවත් නැතුව අකමැතියි කියන්නෙ කොහොමද ලොකු ළමයො? ඔහොම ගණන් උස්සන්න කලින් පොඩ්ඩක් මුණ ගැහිලා බලනව.”

අම්මාට පැහැදිලිව කියා දෙන්නට දෙයක් ඇති බව හිමාෂා සිතුවා ය. ඒ සත්‍යය පහදා දෙන්නට කල් ගැනීම ගැන ඇයට පසුතැවීමක් ද ඇති විණ.ඇය සන්සුන් හඬකින් අම්මා අමතන්නට වූවා ය.

“අම්මේ,මම කසාද බඳින්නයි බෑ කියන්නේ.එකපාරක් වැරදුණු දේ ආයේ හරියයි කියලා මට විශ්වාසයක් නෑ.එහෙම අවිශ්වාසෙන් ආයේ කසාදෙකට යන්න මට ඕනෑත් නෑ.ඒ නිසා මට කරදර කරන්න එපා.අම්මා මෙහෙම තිස්සෙම කරදර කරනකොට මට ඒක මානසික වදයක්.”

ඒ වචන මල්ලිකාව නිවා දැමුවේ නැත.ඇය වඩා සැරෙන් ඇවිළුණා ය.

“මම කරදර කරන්නේ හරි මොකක් හරි කරන්නෙ ඔහොම ඉන්නව මට බලන් ඉන්න බැරි නිසා.අම්මෙක්ගෙ හිතේ තියන වේදනාව තේරුම් ගන්න බැරිද ලොකු පුතේ? තමුනුත් අම්මෙක් නේද? දරුවෙක් තනි වෙලා කියන එක අම්මෙක්ට මහා ලොකු වේදනාවක්.මං ඉන්නෙ ඒ වේදනාවෙන් ගොඩ එන්න පාරක් හොයන ගමන්.දරුවො මං කියන එක නාහා ඉන්නකොට මට මොන දුකක්ද ඒක.තාත්තා වගේ මාත් මැරිලා ගියානම් මොකුත් නෑ.”

හැඟීම්බර වී අම්මා පවසන සියල්ලම හිතට ගෙන තමන්ගේ ඇතුළාන්ත සාමය අහිමි කරගත යුතු නැතැයි හිමාෂා සිතුවා ය.එනිසාම ඇය නිවස තුළට යන්නට සැරසුණේ කියන්නට ඇති අන්තිම කතාව ද අම්මාට පැහැදිලිව පැවසීමෙන් පසුව ය.

“අම්මේ,කසාදයක් නෑ කියලා මං තනි වෙලා නෑ.මට රස්සාවක් තියනවා.මට මං ගැන බලා ගන්නයි දරුවව හදා ගන්නයි ඒ රස්සාව හොඳටම ඇති.අම්මායි නංගියි ගාව ඉන්නකොට හිත සැහැල්ලු නිසා මෙහෙ ඉන්නවා මිසක් මට තනියම ඉන්න බැරිකමකුත් නෑ.අම්මලා එක වතාවක් යෝජනා කරපු මනුස්සයා මම කසාද බැන්දනෙ.ඒ වුණාට මම දරුවෙකුත් එක්ක තනි වුණා.ඊළඟ මිනිස්සු ගැන විශ්වාස කරන්න පුලුවන් කියලා ස්ථිරවම කියන්නෙ කොහොමද අම්මේ?”

ඒ ප්‍රශ්නයට දෙන්නට පිළිතුරක් නැතැයි සිතූ මල්ලිකා කරබා ගත්තා ය.විවාහය සම්බන්ධයෙන් ඇති විශ්වාසය හිමාෂාගේ හදවතින් ගිලිහී අවසන් ය.දැන් ඇයට පිරිමින් ගැන හෝ විවාහය ගැන විශ්වාසයක් ඇති කිරීම පහසු නොවන බව මල්ලිකා සිතුවේ වේදනාවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles