හිමගිරි අරණ -33

“ඒක කොච්චර හොඳයිද අක්කේ”

අමායාගේ කටහඬෙහි තැවරී තිබුණේ සන්තෝෂයකි.අක්කා නැවතත් සැනසීමෙන් ජීවත් වෙන මාර්ගය තෝරා ගැනීමම ඇයට සතුටක් විය.නමුත් හිමාෂාගේ දෑසේ සැබෑ සතුටක් වූයේ නැත.ඇය කුමක් හෝ සඟවා ගෙන සිටින බව අමායාට වැටහිණි.

“මම එයාට ආදරේ උනාට එයා ඒ ගැන දන්නේ නෑ”

හිමාෂාගේ කට හඬෙහි වූයේ පසුතැවීමකි.කියන්නට දෙයක් සොයා ගන්නට නොහැකිව අමායා  ලතැවීමෙන් බලා හුන්නා ය.නමුත් ඒ කවුදැයි ඇයට යම් අනුමානයක් නො වූවා ද නොවේ.

“මම හිතන්නේ නෑ අම්මයි ඔයයි හිතන විදිහට ඒ ආදරේ කසාදෙකින් කෙළවර වෙයි කියලා.ඒ තියා එයා කවදාවත් ඒක දැනගන්න එකක්වත් නෑ.”

ජීවිතයේ බොහෝ දේවල් දරාගත් හිමාෂා එසේ පැවසුවේ ද දරාගත් හඬකිනි.නමුත් පහසුවෙන් පරාජය පිළි ගන්නට අක්කාට ඉඩ තැබිය යුතු නැති බව අමායා තීරණය කළා ය.ඇය සටන් කරන්නට කැමැති කෙනෙකු නොවේ.එසේ නොවුණා නම් සහන්ගේ මංගල යෝජනාව පවා නොපිළිගෙන ඉන්නට අක්කාට ඉඩ තිබූ බව අමායා විශ්වාස කරන්නී ය.ජීවිතය ලබා දෙන දෙයක් බාර ගන්නට හිමාෂා පුරුදුව හුන්නා ය.නමුත් මේ වතාවේ එසේ කරන්නට ඇයට ඉඩ දිය යුතු නොවේ.

“අපිට පුළුවන් එයාට ඒක කියන්න.”

හිමාෂා නැඟුවේ සීතලව ගිය සිනාවකි.ජීවිතයේ ලැබෙන ඕනෑම දෙයක් උපේක්ෂාවෙන් බාර ගැනීමට හුරු වී සිටි ඇය මේ සිහිනය ද වියැකී යන්නට ඉඩ හරින්නට සූදානම් ය.එහෙත් ඒ සැබෑ පරිත්‍යාගශීලි හැඟීමෙන් ද නොවේ.මේ ආදරය ගැන ඔහු දැනගන්නවා නම් යැයි ඇයට සිතේ.නමුත් එය හෙළි කරන්නට තරම් ශක්තියක් ද හිමාෂා සතු නොවේ.

“මම කසාදයක් බැඳලා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් නංගි.මොන් දේකටත් වඩා මම ඒක මතක තියාගන්න ඕනේ.”

හිමගිරක් වී තමන්ගේ සිතුවිලි ද සංවේදනා ද දරා ගන්නට පුරුදු වී සිටි ගැහැනිය මතුව ආයේ ය.සිතට එන සියළුම හැඟීම් වලට ඉඩ දෙන්නට උවමනා නැති බව හිමාෂාට සිතිණ.සමහර නොලැබෙන සිහින ජීවිතයට ලබා දෙන සතුටක් නොවේ.නමුත් ඒවා දිග ඕනෑවට වඩා ලුහුබඳින්නට යාම මරණීය වේදනාවක් අත් කරන බව ඇය තේරුම් ගෙන සිටියා ය.

“කෙටියෙන්ම කිව්වොත් ඉතින් මට එයාට ආදරෙයි නොකියන්න ඕනේ තරම් බාධක තියෙනවා.”

ජීවිතයට සිදු වෙන ඕනෑම දෙයක් නොසඟවා කතා කරන්නට සහෝදරියක් සිටීමම භාග්‍යයකි.හිමාෂා සතුව එය ඒ වාසනාව වේ.අමායා වටහා ගන්නා සුළු දෑසකින් අක්කා දෙස බලා සිටියා ය.

“එහෙම තියාගෙන නැති ප්‍රශ්න ඇති කරගන්න මට බෑ නංගී.මට ඔයාට කියන්න ඕන වුනේ මම හැඟීමක් දැනීමක් නැතිව ඔහේ ජීවත් වෙන්නේ නෑ කියලා.ඒත් සහන් තරම් ලේසියට මට දේවල් කරන්න බෑ.මම ප්‍රශ්න ඇතිකරගන්න ගියොත් ඒවා මගේ දරුවාටත් අනිවාර්තෙ බලපාන්න පුළුවන්.”

අක්කා කතා කරන්නේ කතාවෙන් කොටසක් සඟවමින් ය.සැඟවුණු කතාව පිටතට ගන්නට අමායට උවමනා විය.සමහර කතා සැඟවීම ඵල රහිත වේ.එනිසාම මේ සම්බන්ධයෙන් අක්කා සමඟ විවෘතව කතාබහ කරන්නට ඇය තීරණය කළාය.

“ඔයා ඔය කියන කතාවට තියෙන්න ඕන එකම බාධකේ පාරමී අක්කා.ඒ උනාට තමන්ට අයිති නැති දේවල් අතාරින්න එයා වුණත් ඉගෙන ගන්න ඕන.තමන්ට ආදරේ නොකරන කෙනෙක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගෙන ඉන්න එකෙන් පාරමී අක්කට කවදාවත් සෙතක් වෙන්නෙ නෑ.”

හිමාෂා තිගැස්සී ගියා ය.සදාකාලික රහසක් කර ගන්නට ගිය හැඟීම නංගි මෙතරම් ලෙහෙසියෙන් විස්තර කිරීම ගැන ඇයට ඇති වූයේ විස්තර කරන්නට අපහසු තරමේ හැඟීමකි.එය වඩාත් ලං වන්නේ ලැජ්ජාවටදැයි හිමාෂා සිතුවා ය.නමුත් අමායා හුන්නේ පිළිතුරු අපේක්ෂාවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles