“පාරමී මොකක්ද?”
හිමාෂා එසේ ඇසුවේ නැගණියගේ කතාව ඇත්තක් නොවන වග තහවුරු කරන්නට ය.නමුත් මව්කුස බෙදාගෙන මේ ලෝකයට පැමිණ ඉනික්බිති එක නිවසේ එකට බැඳී ජීවත් වූ නැගණියට යමක් සැඟවීම පහසු නොවන බව ඇය ඉන් අනතුරුව වටහා ගත්තා ය.
“පාරමී අක්කා ඔය ගැන දැන ගත්තම රියැක්ට් කරන විදිය ගැන ඔයා බයයි නේද?”
ඒකපාර්ශවික ප්‍රේමයෙන් උමතුව ගිය පසු සමහර දේ කරන්නේ අන්ධයෙකු සේ වග අමායා දනියි.ඇයට කිසිම දවසක ඒක පාර්ශ්වික ප්‍රේමයක් තිබී නැත. තිරයේ දකින සමහර තරුණයන් ගැන ඇතිවන්නේ ද ආකර්ෂණයක් බව ඇය දැන සිටියා ය.නමුත් ද්විපාර්ශවිකව ප්‍රේම කතා වලට වඩා ඒක පාර්ශවිකව බැඳෙන තරුණියන්ගේ ආදරය ප්‍රේමය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමේ අභියෝගය භාරගන්නා වග ද අමායා දන්නී ය.ඒ ඇගේම මිතුරියන්ගේ අත්දැකීම් මත ය.
“මම දන්නව ඔයා ඔය කියන්නෙ රවිඳු අයියා ගැන කියලා.”
නොනවත්වාම කියවාගෙන යන නැගණිය දෙස හිමාෂා බැලුවේ පුදුමයට පත් වූ මුහුණකිනි.නැගණිය මෙතරම් ඉක්මනින් තමන් කියවා ගැනීම ම ඇයට අපහසුවකි.
“මං ඒක දන්නවා අක්කා.”
අමායා නැවතත් අවධාරණය කළා ය.
“ඒක මේ හදිස්සියේ ආපු හැඟීමක්.මට තේරෙන්නේ නැත්තේ මං එයාව සෑහෙන කාලයක් දැනගෙන ඉඳලා එයා කරන සමහර වැඩවලට සෑහෙන්න කේන්ති පවා අරගෙන මේ එකපාරටම එයා ගැන මෙච්චර ආදරයක් මට දැනෙන්නේ ඇයි කියලා.”
මේ වචන කීපය පිට වූයේ සරසවි මිතුරියකගේ මුවින් නම් අමායාට එය හඬනගා හිනා වෙන්නට කාරණාවකි.නමුත් මේ වචන පැවසූයේ අක්කා ය.ජීවිතයේ බොහෝ දුක් කම්කටොලු හැඬුමකින් හෝ නොපෙන්වා විඳ දරාගත් අක්කා ය.ඇයට හොඳම දේ ලැබිය යුතු බව අමායා තරයේම විශ්වාස කළා ය.
“එහෙම තමයි.දැක්ක හැටියේ ආදරේ හිතෙන්න ඒ හේමාල් රණසිංහ නෙවෙයිනෙ.රවිඳු අයියනෙ.”
නැගණියගේ සරදමට උස් හඬින් හිනැහෙන්නට හිමාෂා ට සිත් විය.දැනෙමින් තිබූ මානසික පීඩාව අවසන් කරන්නට ඒ සිනාවට නොහැකි බව ඇයට ඉන්පසු හැඟිණ.
“ඔයාලා දැනගෙන ටිකක් කල් උනාට ලඟින් ආස්සරේ කරන්න පටන් අරගත්තේ මේ මෑතකදී නේ.ඒකයි ඒ.”
අමායාට පැවසීමට තවත් කාරණාවක් හිමාෂා සතු විය.එය නොපවසා හිඳින්නට කෙසේවත් නොහැකි ය.
“මං හිතන්නෙ නම් නෑ නංගි එදා රවිඳු දුවට බෝනික්කෙක් අරගෙන ආව හින්දා ආපු හැඟීමක් මේ කියලා.මම මගේ හිතට එන දේවල් හංගගෙන හිටියේ.එදා වෙච්ච දෙයින් සමහරවිට ඒ හැඟීම ටිකක් වැඩි වෙන්න ඇති.ඒත් මට සහතික කරලා කියන්න පුළුවන් ඒක ඇති වුණේ එදා නම් නෙමෙයි.”
ආදරය කවදා කොතැනකදී කෙසේ ඇතිවේදැයි පැවසීමට හැකියාවක් නොවේ.නොසිතනා මොහොතක නොදන්නා තැන්වල ඒ හැඟීම පිපී එන්නට හැකි ය. එවැනි මිහිරිතම හැඟීමක් කල් බලා සැලසුම් කළ හැකි නොවේ.තමන් දන්නා ලස්සනම වචන ශබ්ද කෝෂයෙන් පිටතට ගත් අමායා අක්කාට ඒ වග විස්තර කරන්නට වූවා ය.
“මං දන්නේ එකම එක දෙයයි.මේ මට තේරෙන දේ.මට පෙනුණු දේ.ඔයා එයාට ආදරේ කරනවත්ද නොදැන රවිඳු අයියනම් ඔයාට ආදරෙයි.”
හිස මත අකුණක් පුපුරා ගිය තරමේ හැඟීමකින් හිමාෂා නැගණිය දෙස බැලුවා ය.ඒ ඇය කිසිසේත්ම අපේක්ෂා නොකළ අන්දමේ කතාවකි.ඇය සිතා හුන්නේ ජීවිතය පුරා මේ ආදරය සඟවා ගන්නට ය.
“ඉස්සරලම එයාව කියවා ගන්න අක්කා.එයා ඔයාට ආදරෙයි.”
අමායාගේ වචනවල දැඩි ස්ථිර බවක් විය.