සීත මාරුතේ -21

ජීවිතය වූ කලී සතුට උර ගා බැලිය යුතු තැනෙකි. අප ජීවිතය මිටින් ගෙන උපදින්නේ ම තෝරා ගැනීම් සමූහයක් සමග ය. සමහර අවස්ථා අපට කියා දෙන්නේ අප වනාහි කිසිත් කර කියා ගත නො හැකි අබ්බගාතයන් බවයි. එපමණට ම තෝරා ගැනීම කියනා දේ අප වෙනුවෙන් අප වටා සිටිනා අය කරන්නට පෙළඹෙනා බැවිනි.

අපට අප කැමති ලිංගිකයෙකු වී උපදින්නට බැරි ය. අපේ ආගම බහුල ව තීරණය වන්නේ පරම්පරාවේ ආගම මත ය. අප වෙනුවෙන් පාසලක් තෝරා ගන්නේ දෙමව්පියන් ය. බොහෝ අවස්ථා වල අප වෙනුවෙන් සෞන්දර්ය විෂය තෝරන්නේ ද තාක්ෂණික විෂය තෝරන්නේ ද අපට ගැලපෙනවා යි කියන ක්‍රීඩාව තෝරන්නේ ද ඔවුන් ය. සාමාන්‍ය පෙළින් අනතුරු ව බොහෝ ළමයින් උසස් පෙළට හා ඉදිරි අනාගතය වෙනුවෙන් තෝරා ගත යුතු මාවත් ගැන තීන්දු තීරණ ද දෙමව්පියන් විසින් ම ගනු මම දැක ඇත්තෙමි.

මා වූ කලී පෙර පාසලේ සිට ම ඒ ක්‍රමයට එරෙහි ව ගේ ඇතුළේ අරගල කළ කෙල්ලකි. විදුහල්පති පියෙකු හා ගුරු මවක සිටිනා නිවෙසක් ඇතුළේ එහෙම අරගලයක් මැඩ පැවැත්වෙන සාහසික විලාශය ගැන ඔබ මවා ගෙන ඉන්නා චිත්‍රය ඒ අයුරින් ම තිබෙන්නට හරින්න. ඔවුන් මා වෙත බලය පාවිච්චි කරත්දී මම ද වෙනත් ආකාරයකින් ඔවුන් වෙත බලය පාවිච්චි කරන්න ට පුරුදු වුණෙමි.

උදාහරණ ලෙස ඇඳුම් ගන්නට කඩ සාප්පු වලට ගිය විට, යමක් කමක් තේරෙන දා පටන් මට ඕනෑ වූයේ මා ආසා ඇඳුම තෝරා ගන්නට ය. අම්මා තෝරනා ගවුමක් ගැන අකමැත්තක් නැති වී ද එය ප්‍රතික්ෂේප කොට මට ඕනෑ එකක් තෝරා ගැනීමේ මුරණ්ඩු කමක් මට තිබිණි. සමහර දිනෙක මගේ තෝරා ගැනීම තරයේ ප්‍රතික්ෂේප කරමින් අම්මා මා වෙනුවෙන් ඇඳුමක් තෝරා ගත්ත ද, බොහෝ විට සිදු වූයේ එය අල්මාරියට කොට වී යාමයි. ඒ මා එය හැඳීමෙන් වැළකී සිටියා වූ බැවිනි. මා කැමැත්තෙන් තෝරා ගත් ඇඳුමක් පට්ට ගසමින් පාට වියැකී ගොස් තිබියදී ද මම ඇන්දෙමි.

ඒ අනුව අම්මා හා අප්පච්චි වචන වලින් තොර ව යමක් වටහා ගන්නට ඇත. එහිදී ඊළඟට ඔවුන් මගේ කැමැත්ත නො සලකා හරිමින් මා මතින් සිය කැමැත්ත ඉටු කර ගන්නට ආවේ නැත. 

අප්පච්චි මා වෛද්‍යවරියක වෙනවා දකින්නට කැමැත්තෙන් සිටියේ ය. සාමාන්‍ය පෙළ සියලු විෂයන් අධි සම්මාන සහිත ව සමත් වී ද මා උසස් පෙළට ජීව විද්‍යාව තෝරා ගත්තේ නැත.

“අපරාදෙනෙ ආට්ස් කරන්නෙ”

අම්මා හීල්ලුවා ය.

“මං ආස දෙයක් ඉස්සරහට කරන්න පුළුවන් එතකොට. සයන්ස් කරල ඩොක්ටර් කෙනෙක් වෙලා හරි මැත්ස් කරල එන්ජිනියර් කෙනෙක් වෙලා හරි මගෙ ජීවිතේ කොටුවක හිර කරල තියන්න මට බැරි වෙයි”

ඒ වෙත්දී මා දැනුම් තේරුම් ඇති දැරියක ව සිටියෙන් අප්පච්චි වුව මගේ තෝරා ගැනීම ගැන මුණිවත රැක්කේ ය. 

මෙතෙක් මා දිවියේ මවිසින් තෝරා ගැනුණු හෝ මගේ හිත බැඳුණු දේ ගැන මට කිසිදු පසුතැවීමක් නැත්තේ ය. මම තෘප්තිමත් ගැහැනු ළමයෙකු වෙමි. අපේ ගෙදර ඇතුළේ තිබුණ නීති පද්ධතිය විටෙක අප අසහනයට ලක් කළ ද, වැඩෙන ළමුන් වශයෙන් අපට ගැටළු තිබුණේ නැත. අඩු පාඩු වූයේ නැත. එනයින් මම තෘප්තිමත් ගෑනු ළමයෙකු ලෙස වැඩිහිටි ලෝකයට අවතීර්ණ වූයෙමි. අපේ ගේ ඇතුළේ අර්බුධ වූයේ නැත. දෙමාපියන් ගේ ප්‍රශ්න තිබුණේ නැත. ඔවුහු හැම විට ම ආදර්ශමත් හා ආදරණීය දෙගුරුන් වූහ. ඒ නිසා මගේ ළමා විය සාමකාමී ය. අපට මානසික ප්‍රශ්න තිබුණේ නැත. ආර්ථික අවපාත තිබුණේ නැත. යහපත් සමාජ පසුබිමක් තුළ සංතෘප්තිමත් නිදහස් දැරියක ලෙස මම වැඩුණෙමි.

මගේ උපාධිය ද රැකියාව ද තනිකර ම  ස්ව කැමැත්තෙන් කෙරුණ මගේ තෝරා ගැනීම් ය. මා වරා මලක් මෙනැයි අද මට සිතේ. එය වූ කලී අතිශය නිදහස් හැඟීමක් පමණ ය. 

ඒ නිදහස් හැඟීමෙහි වර්ණ ගල්වනා චමත්කාරයක් සේ මුණිවර අභිෂේක් බණ්ඩාර මට දැනේ. මා කැමති වෙනත් ඕනෑ ම දෙයක් වෙනුවෙන් සේ ම ඔහු වෙනුවෙන් ද කොන්දේසි විරහිත ව බැඳෙන්නට මට හැකි වී තිබේ. ජීවිතය තුළ ඒ ආකාරයෙන් වසඟයකට නතු වීම ජීවිතාශාව දල්වන්නකි.

“මන්නං හිතන්නෙ අපිට ඔච්චරක් කිව්වට ඔයිට වැඩිය දේවල් සිද්ධ වෙලා ඇති”

රෑ බෝ වී ගෙන එත්දීත් පාසල් වත්තේ නිදහස් අවකාශයක වූ බංකු වල හිඳ ගෙන අපේ නුවර ගමන ගැන විස්තර අසා උන් හංසිකා කීවා ය.

“මාත් පිළිගන්නෑ. ඔච්චර ලස්සන පාළු පාර වල තනියම වාහනේ යද්දි…මුළු දවසක් පුරා ළඟ ඉද්දි…ආ…මොකද මුං තවුස්දම් පුරන මුණිවරයො නෙවෙයිනෙ. හරි මුණිවර එහෙමයි කියමු…මේකි වගේ නලියන එකියක් එහෙම පාඩුවෙ ඉන්න දෙයිද ඒ කොල්ලට”

“ඇරත් අර පරණ ලව් එක දැන් හිතකවත් නෑ කියන එක ඔය ගමනෙදිම හයිලයිට් කළේ නිකංයැ”

ඇඟිලි තුඩකිනුදු ස්පර්ශ නො කළ ද සංසාරයකට බැඳිය හැකි හැඟීම් දනවන්නට ඇස් දෙකකට පුළුවන් බව මම නො කියා සිටියෙමි.

“කොල්ල බය නැතුව වැල් පාලමේදි අතින් ඇල්ලුවෙ නිකංද…අපි ඉතිං කොණ්ඩ බැඳපු චීන්නු නෙවේනෙ මන්දි. කමන්නෑ කමන්නෑ. අපිට නොකිව්වට අපේ සුබ පැතුම්”

මා කළේ සිනහ වෙවී ඉන්නා එක විතර ය. ඊට වඩා යමක් මට කරන්නට තිබුණේ ද නැත. ඔවුන් ඇත්තට ම අප අතරේ ඊට වඩා යමක් සිදු ව ඇතැයි සිතනා බව මා තේරුම් ගත්තේ, රෑ නිදන්නට යහනට ගිය පසු නංගී විමසූ දෙයක් නිසා ය.

“ඇත්තටම ඔය දෙන්නා අතරෙ අෆෙයා එකක් නැද්ද දැං…”

මගේ මුව මත මලක් පිපෙනවා වන් සිනහවක් ඇඳෙන්නට ඇත.

“දැං ශුවර් නැද්ද මාව…”

“ඒකා ජූජක බමුණෙක්ම තමයි එහෙනං. බලනව ලාදුරුද කියල හැඟීම් දැනීම් නැත්තෙ…”

මා කිසිත් කියන්නට නො ගිය බව ඇත්ත ය. නමුත් මුණිවර වෙතින් විඳ ගත්තා වූ සියල් හැඟීම් හදවත තුළ ගුලි කර ගෙන ජීවිත කාලයක් පුරා සිඹ සිඹ ඉන්නට මට හැකි ය. 

මෝස්තර නිර්මාණය කිරීමේ පැත්තෙන් මට ලොකු වැඩ කොටසක් තිබුණේ නැත. මා ඇඳ දෙන මෝස්තර වල පතොරම් සකසා රෙදි කපා ඒවා මසනා අයට නම් බෙහෙවින් වැඩ තිබිණ. සාප්පුව විවෘත කිරීමේ දිනයට එහි සියලු ඇඳුම් හා වෙනත් නිර්මාණ තිබිය යුතු බැවිනි. ෆාම් එකේ වැඩ නිමවූ පසු මම කැපී ඉතිරි වන රෙදි කැබලි වලින් කළ හැකි නිර්මාණ ගැන වැඩි අවධානයක් යොමු කළෙමි. අන්තර්ජාලයේ සැරිසරා සැහැල්ලු සෙල්ලම් බඩු වල මූලික සැකසුම් විමසා ඒවා සකසන්නට පටන් ගතිමි.

අවසාන දින වල වැඩ වැඩි වූයේ ය. අපේ ඉලක්කය කරා යන්නට නම් පැය අටක සේවා කාලය ප්‍රමාණවත් නොවන බව පෙනෙනන්ට තිබිණි. මම මුණිවර සමග කතා කොට රෙදි වියන හා මහන අංශයේ සේවක සේවිකාවන් ට අතිකාල සහිත ව රාත්‍රී කාලයේ දී ද වැඩ කරන්නට පහසුකම් සලසා දුනිමි. ඔවුන් ව රාත්‍රියේ දී නිවෙස් වලට ම ගොස් ඇරලීමට රියදුරෙකු හා වාහනයක් ද සූදානම් කොට ගතිමි. රෑ වැඩ කරන අයට කෑම බීම මිස්ට් ෆීල්ඩ් කුස්සියෙන් සැපයිණ.

මුල් දින වල මා සිටියේ හවස හය පමණ වන තුරු පමණ ය. කොහොමත් මැහුම් කටයුතු කළේ මා නොවන නිසාවෙන්, මා අවශ්‍ය වූයේ වැඩ බලන්නට පමණකි. නමුත් එක දවසක, මල් කපනා ගෑනු ළමයින් අතරින් මැහුම් වලට හැකියාවක් ඇති ළමයින් හතර පස් දෙනෙකු ද රාත්‍රියේ වැඩට ගෙන්වා ගෙන මම ද රෑ වන තුරු මිස්ට් ෆීල්ඩ් හි රැඳෙන්නට තීරණය කළෙමි.

“ට්‍රාන්ස්පෝට් එකක් තියනවනෙ. බය වෙන්න එපා. ඔක්කොමල වගේ ගෑනු අය ඉන්නෙ. මාත් දවසක් දෙකක් හිටියෙ නැත්තං ටාගට් එකට යන්න බැරි වෙන නිසා ඉන්නං”

අම්මා ගේ දෙගිඩියාව තුරන් කරන්නට මට බෙහෙවින් වද වෙන්නට සිදු විය. කිකිළියක සිය දරුවන් වට කර ගෙන රැක බලා ගන්නවා සේ අප ඇගේ ඇස් මානයේ ම තියා ගෙන හැදු අම්මා ට මා රාත්‍රී කාලයේ ගෙදරින් පිට රැකියාවේ නිරත වෙනවා කියා ඇසීම ම දෙදරීමක් වන්නට ඇත.

“ඒ වුණාට…රෑ වැඩ කියන්නෙ වැදගත් ගෑනු ළමයින්ට ගැලපෙන දෙයක් නෙවෙයිනෙ”

“අම්ම. මොනාද මේ කියන්නෙ…රෑ දවල් දෙකේ තියන වෙනස ඉර පායන එකයි බැහැල තියන එකයි විතරයි. අම්ම දන්නවද මේ ලෝකෙ මොන තරං ගෑනු රෑට වැඩ කරනවද කියල…අම්ම ආසාවෙන් හිටියෙ මං ඩොක්ටර් කෙනෙක් වෙනව දකින්නනෙ. එහෙම වුණානං මං නයිට් ඩියුටි නැතුව වැඩ කරන්න ඕනද…එතකොට රෑට හොස්පිට්ල් එකේ වැඩ කරන ඩොක්ටර්ස්ල නර්ස්ල එහෙම වැදගත් ගෑනු කියන කැටගරි එකට අයිති වෙන්නෙ නැද්ද…”

“අනේ මන් දන්නෑ දුවා. අප්පච්චි කැමතිනං ඕන එකක්”

අන්තිමට ඇය එසේ කීවේ මගේ තර්ක කිරීම් එක්ක ඇගේ මත බිඳ වැටෙනා බව සක් සුදක් සේ පැහැදිලි නිසා ය. 

“ට්‍රාන්ස්පෝට් එක තියනවනං ලොකු ළමයට එන්න පුළුවන් නෙ ඒ කට්ටියත් එක්කම. එහෙම නැත්තං මට කතා කරන්නකො ඉවර වෙන වෙලාවට. ඒක ඉතිං ලොකු ළමයට පැවරිල තියන වගකීමක්නෙ දූලයි අම්මෙ. එයාට ඒකෙන් මිදෙන්න බෑනෙ”

අප්පච්චි වුව ඒ තරම් විවෘත මනසකින් ඒ ගැන සිතුවේ මුණිවර ගැන ඔහු තුළ වූ පැහැදීම නිසා කියා සිතමි. නංගී නම් මොනවා හෝ කියන්නට කට ඇද කළා ය. මම හැකි තාක් ඇය ට අනුබල නොදී සිටියෙමි.

“අනේ මන්දා නෑ නෑ කිව්වට…ඔය රෑ තිස්සෙ මොනා නොවෙන්න බැරිද…අර වගේ ෆාම් එකක…”

අන්තිමට ඇය කාමරයට විත් කෙඳිරුවා ය.

“අනේ මේ මෝඩයො. මිස්ට මුණිවර නයිට් කරන්නෙ නෑ. අපි ඉන්නෙ වීවින් මිල් එකයි ගාමන්ට් එකයි තියන සෙක්ෂන් එකේ”

එදා දිවා ආහාර ගැනීමෙන් පස්සේ ම මා හිටියේ ඇඳුම් හා රෙදි අතරේ ය. හවස හතරට සාමාන්‍ය සේවා මුරය නිම කිරීමෙන් පස්සේ මල් අංශයේ ගෑනු ළමයින් පස් දෙනා ද එහි පැමිණියහ. ඔවුන් ගෙන් ලබා ගත හැකි සේවය වූයේ සෙල්ලම් බඩු වලට පුළුන් පිරවීම, අතේ මැසීම, හා පසුම්බි මැසීම වැනි සරල කටයුතු ය. ඔවුන්ට ට ඒවා පවරා තියා මම ඉක්මනින් ගෙදර ගොස් දිය නා පිරිසිඳු වී අලුත් ඇඳුම් ඇඳ ගෙන යළි පැමිණියෙමි. 

“ෆ්‍රෙෂ් එකේ ඉන්න එපෑ නේ…”

නංගී ඇසක් ඉඟි මැරුවා ය.

“තමුසෙගෙ දැං කැත හිතමයි හොඳේ”

මම ඇය ට රැව්වෙමි. නංගී හඬ නගා නිදහස් ලෙස හිනැහුණා ය.

මා යළි එහි යන විට මුණිවර නික්ම ගොස් තිබිණ. අතින් මසන්නට ඇති තැන් උපරිමයෙන් කිරීම නිසා මගේ ඇඟිලි තුඩු රෝස පාට වී රිදුම් දුන්නේ ය. නමුත් මා ඒ සියල්ල කළේ පහ නොවූ සතුටකින් හා උද්‍යෝගයකිනි. වැඩ කළ කාන්තාවන් හැම කෙනෙකුට ම වාගේ ගෙවල් වල ආර්ථික ප්‍රශ්න තිබිණ. ස්වාමි පුරුෂ වරුන් ගේ සුරාවට හෝ සූදුවට හෝ පර ස්ත්‍රී සේවනයට හෝ ඇබ්බැහි වූ අයහපත් චර්යාවන් වූයේ ය.. ඔවුහු විවෘත ලෙස ඒවා ගැන කතා කරමින් වැඩ කළේ සිනහ වෙමිනි. මොන තරම් අර්බුධ තිබුණ ද මිනිසුන් ට සිනහ විය හැකි බවත්, සිනහව යනු තුවාල වලට ඉතා හොඳ ඔසුවක් බවත් මා තේරුම් ගත්තේ ඔවුන් ගෙනි.

නිදි වරන සේවිකාවන් වෙනුවෙන් වරින් වර ආහාර පාණ වර්ග සැපයිණ. කිසි කෙනෙකු හොර බොරු කළේ නැති බව සහතික ය. හැකි උපරිමය වෙහෙසෙමින් ද, නිර්මාණයක අවසන එහි හැඩ බලමින් තුටු පහටු වෙමින් ද හෝරා ගණනාවක් ගෙවී ගියේ ය.

“ෆාම් එකේ එම් ඩී මහත්තය වැඩ කරන අය එක්ක වැඩි කතා බහකට නාවට රත්තරං මහත්තය කියල කවුරුත් දන්නව. දැන් අලුතෙං ඇවිත් ඉන්න සුපර්වයිසර් මිස් ඊට එහා. මිස් වෙනුවෙන් නෙවෙන්න උදේ හිටං නැහිල නැහිල කීයක් හම්බ වුණත් රෑටත් වැඩ කරන්නෙ නෑ මිස්”

ඔවුන් එසේ කීවේ මූණිච්චාවට නොව හදවතින් ම බව ඔප්පු කරන්නට අමුතුවෙන් මට සාක්ෂි උවමනා නැත.

“මේක අපි කාගෙත් තැනනෙ. මේව ලෝකෙ කොහේ කොතනක කා ළඟ අන්තිමට තිබුණත් අපි කරපු දේවල්නෙ කියල අපිට සතුටු වෙන්න පුළුවන්නෙ..ඒ වෙනුවෙන් දවසක් දෙකක් මහන්සි වෙමු. ඊට පස්සෙ සාමාන්‍ය විදිහට වැඩ කරන් යන්න පුළුවන්”

“මිස් කියනවනං ඕන දෙයක්”

නිර්ව්‍යාජ මිනිස් කම් ගැන මා නිවැරදි ව හැඳින ගත්තේ ඒ කාන්තාවන් අතරේ වැඩ කිරීමෙනි. ඔවුන් ගේ සුභ සාධනය වෙනුවෙන් මුණිවර සමග කතා කොට යම් මෙහෙවරක් කළ යුතු යයි මම සිතා ගතිමි.

රාත්‍රී මැදිය ම පසු වී තිබිණ. නමුත් මිස්ට් ෆීල්ඩ් තුළ විදුලි පහන් දැල්වී ආලෝකවත් වූයේ ය.. වැඩ නිම වී නො තිබුණ ද මා කාර්යාලය වෙත පැමිණියේ එහි බඩු අස් පස් කොට නැති නිසා සේ ම පිරිසට වැඩ නිම වී යන්නට වෑන් රියෙහි රියදුරු ට කතා කළ යුතු නොම්මරය ද වන්නේ එහි නිසා ය.

“තනියට එන්න ඕනද මන්දාකිණී මිස්”

කියා තරුණියක විමසුවා ය.

“මොන තනියක්ද අනේ…ඔය දවල් වගේ එළිය තියෙන්නෙ”

කියා ගෙන මම ස්කූටියේ නැගී පැමිණියෙමි. කාර්යාලයේ ලොබියට ගොඩ වෙත්දී ය මා දුටුවේ. මුණිවර මේසය මත කකුල් දෙක දිගු කර ගෙන සිය සුව පහසු අසුනේ වැතිරී දෑස් පියා ගෙන නිදා සිටියේ ය. මම කුටිය දොරකඩ ට ගොස් බැලුවෙමි. ඔහු සිටියේ උදයේ කාර්යාලයට එත්දී සිටි ඇඳුමෙන් නොවේ. සැහැල්ලු සුදු කපු අත් දිග කමිසයක්, ඩෙනිම් කලිසමකට උඩින් දමා ගෙන ය. ඇස් පියා ගෙන උන් ඔහු ගේ මූණ කිරි දරුවෙකු ගේ සේ ය. ඔහු හුස්ම ගන්නා හඬ මට ඇසිණ. අප්‍රමාණ ස්නේහයක් බරක් ව පපුවේ පිරෙමින් තිබුණේ ය. ඒ හිස ගෙන මගේ ළයෙහි හොවා ගෙන සිප ගන්නට තරම් ප්‍රබල හැඟීමකි එය. අඩියක් දෙකක් මේසය වෙතට තබා, මම දෑසින් ඔහු විඳ ගන්නට වූයෙමි. මම ඔහු ගේ අසුන ළඟ ම සිටියෙමි. මුණිවර මගේ ළයෙහි හිස තියා ගත්තේ ය. මම අති මහත් වූ ආදරයකින් මගේ ඇඟිලි තුඩු ඔහු ගේ හිස කේ අතරේ යවන්නට පටන් ගතිමි. ගැස්සී ගිහින් ඒ සිහිනයෙන් ඇහැරී මම මේසය අල්ලා ගතිමි.

“මිස්ට මුණිවර”

මා කතා කළේ ඇහෙන නෑහෙන තරම් මුදු ස්වරයකිනි. නමුත් ඔහු වහා නෙතු හැරියේ ය.

“අනේ ඇයි මෙතන නිදි…අපරාදෙනෙ…ගෙදර ගිහින් නිදා ගන්න තිබුණනෙ…මං වැඩ ටික බලල ඔක්කොම වහල යනවනෙ ඉතිං”

කකුල් දෙක වහා මේසය මතින් බිමට ගෙන මුහුණ අතකින් පිසිමින් නැගිට ගත් හෙතෙම මා අසලට ම ඇවිත් යන්තමින් මේස කොනක හිඳ ගත්තේ ය. 

“සාමාන්‍යයෙන් මගේ දේවල් පරිස්සං කර ගන්නෙ මංමයි”

ඒ බැල්ම දරා ගත නො හැකි වූයේ ද කියා මා දන්නේ නැත. කෙසේ වෙතත් මට බිම බැලුණේ ය. මුණිවර ගේ බැල්ම මුළුමනින් මා මත වැතිර තිබෙනා බවක් මට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content