සීත මාරුතේ -22

මම හිම කන්දක් සේ දියවි දිය වී වැගිරෙමින් සිටියෙමි. සූර්යයන් දහසක් එක වර පෑයූ රශ්මියක් මුණිවර ගේ ඇස් දෙකේ විය. මගේ සිරුර ඇඩ්රිනලින් හෝමෝනය අධික ලෙස ශ්‍රාවය කරමින් තිබිණ. එක්කෝ මේ මොහොත සමග සටන් වැදිය යුතු ය. එක්කෝ මේ මොහොත මග හැර පලා යා යුතු ය. 

තනිකර ම මුරණ්ඩු කෙල්ලක සේ මිස්ට් ෆීල්ඩ් වෙත විත් මා බලයෙන් ම මෙහි රැකියාවක් ලබා ගත් බව ඇත්ත ය. මුණිවර ගේ අසීමිත අහංකාර කමට අභියෝග කිරීමේ සිතිවිල්ල පමණක් මට විය. නමුත් මේ නිමේශයේ ඔහු මට අභියෝග කරමින් හිඳී. කොල්ලෙකු ගේ ඇස් දෙකකට ගැහැනු ආත්මයක් දවා හළු කොට දැමිය හැකි බව මට ඔහු පසක් කරමින් හිඳී. 

මුරණ්ඩු හිතුවක්කාරකම් කියන්නේ මොනවාද කියා හෝ මේ මොහොතේ මා දන්නේ නැත. මගේ රතදර මත්තේ ඉසිහින් වෙව්ලීමක් දැනිණ. මම දෙතොල් දසන් අතරේ තද කොට ගතිමි. 

මේ වගේ සීතල පාළු රාත්‍රියක පේන තෙක් මානයක මිනිස් පුළුටක් නැති ඉසව්වක මා ප්‍රේමයෙන් උමතු කළ මිනිසා සමග මම තනි වී හිඳිමි. මෙතැන නො විය හැකි යමක් නොතිබිය හැක. උඩු හිත කෙබඳු රක්ෂණ සහතිකයක් දැරී ද යටි හිතේ බිය මුසු රසවත් ගැස්මක් නොවූවා කීවොත් මුසාවකි. 

“අම්…යමුද එහෙනං”

ඔහු මේසයෙන් බසිමින් මා මගැර ඉදිරියට යන්නට හැදුවේ ය. ඒ ඇඟිලි තුඩක් මගේ අතැඟිල්ලක යන්තම් ස්පර්ශ විය. ලැව් ගින්නක් හට ගත්තා වන් උණුහුමක් පැතිර ගියේ ය. හිම කඳු හිත දරා ගෙන මම ඔහු ගේ කුටියෙන් පිටතට විත් මගේ කුටියට ගියෙමි. ඊළඟට කළ යුත්තේ කුමක් දැයි නිවැරදි සිහියක් නොවන තරමට සිතිවිලි වල වියවුල් ස්වභාවයක් විය. නමුත් එහි චමත්කාරයක් ද වූයේ ය. මගේ දෙතොල් සිනහවකට ඇද වන්නට ද හැදුවේ ය. 

මම මගේ අඩුම කුඩුම ටික ගෙන දොර වසා ගෙන ස්කූටිය වෙත ගියෙමි. මුණිවර  ඇතුළත විදුලි පහන් නිවා තිබුණේ ය. මිදුලේ ඈතක ලොකු එළියක් ඇති බල්බයක් දැල්වෙමින් තිබිණි. ඝණ මිහිදුම නිසා ඒ වටා ආලෝක මණ්ඩලයක් හැදී තිබුණේ ය. නිශාචර කෘමියෙකු ඒ වටා කැරකෙමින් සිටියේ ය.

“මං එහෙනං අර පැත්තට යන්නං මිස්ට මුණිවර. එහෙටනෙ වෙහිකල් එක එන්නෙත්”

ඔහු හිටියේ ජංගම දුරකතනය කනේ තියා ගෙන ය. මේ හරියේ අඳුර ඉහිරී තියේ. මම ඔහු ට අඩියක් තරම් පරතරයක් ඇති ව නතර වීමි. ඔහු ළඟින් ලාවට සිය ආවේණික පිරිමි සුවඳ හමා ආවේ ය. මම ඔහු ට නොදැනෙන සෙයින් හුස්ම තුළ ඔහු සිර කොට ගතිමි.

“ඔයා කට්ටියව බස්සන්න එහෙනං. නෑ. මිස් මන්දාකිණීව මං ඩ්‍රොප් කරං යනව. ඔයා අනිත් අයව බස්සන්නකො”

මම සීතලට දෑත් බැඳ ගෙන මුව අයා බලා සිටියෙමි. මා ගැන තනියම තීරණ ගන්නට තරම් අයිතියක් මම මුණිවර ට දී ඇත්තෙම් ද? 

ඔහු අඩියක් දෙකක් තබා රිය වෙත ගියේ ය. මම හිටි පියවර සිටියෙමි. මොකක්දෝ හිතුවක්කාර ගැහැනු කමක් මා තුළ නො රිස්සුමක් දනවමින් ඉස්මතු වන්නට වූයේ ය. රියදුරු අසුනට යාබද අසුනෙහි දොර හරිමින් හෙතෙම හැරී පිටුපස බැලුවේ ය. මා තවමත් එතැන එහෙම ම ය. මුරණ්ඩු කෙල්ල ඔහු දෙස බලා ඉවත බලා ගත්තා ය.

“මටත් අනිත් අයට වගේ ට්‍රාන්ස්පෝට් එකේ යන්න පුළුවන්”

රිය දොර වසා ඔහු සුළි සුළඟක් සේ මවෙත ආවේ ය. බිමට හැරී තිබි මගේ ඇස් ඔහු වෙත හරවා ගත්තේ මඳක් පහත් වී ඒවා දෙස බැලීමෙනි.

“ඒකටද මං පැය ගාණක් මෙතන තැපං හිටියෙ…”

මම මගේ බෑග් එක හා අඩුම කුඩුම තුරුලු කර ගෙන ගොස් රියට ගොඩ වීමි. මා තරම් කඩි කුලප්පුවක් නොමැති ව හෙමිහිට විත් රියට ගොඩ වූ ඔහු මඳ වෙලාවක් රිය පණ ගන්වන්නේ නැතිව කල්පනා කරමින් සිටියේ ය. මම වීදුරුවෙන් පිටත සීතල අඳුර තුළ තව දුරටත් අංශුවක් බවට පත් වී ගෙන සිටියෙමි. සුසුමක් එක්ක මුණිවර රිය පණ ගැන්වී ය. 

මා දිගට ම හිටියේ බෑග් එක තදින් තුරුලු කර ගෙන ඉවත බලා ගෙන ය. මගේ නො සන්සුන් බව තුළ වන ගැහැනු කමට ආවේණික අයිතිය අසාධාරණයි කියා මට සිතුණේ නැත. ඔහු මට විශේෂ සැලකීමක් කරනවා නම් ඊට හේතුවක් මා දැන ගත යුතු නැති ද? නැත්නම් විශේෂයක් නැති ව අනිත් සේවකයන් ලෙසට ම මට ද වැඩ කළ හැකි ය. 

ගේ ළඟින් මා බැස ගන්නා තෙක් අපතර කතා බහක් සිදු වූයේ නැත. අප දෙදෙනා ගේ ම චිත්ත තරංග අතරේ වූයේ සමපාත බවකි. 

ගෙදොර හැරියේ නංගී ය.

“ඉස්කෝලෙ වැඩ වගයක් තිබුණ නිසා මං ඇහැරං හිටියෙ. කොහොමත් මං දන්නව ට්‍රාන්ස්පෝට් එකේනං නෙවෙයි ඔය කිව්වට එන්නෙ කියල. ඒකමයි අප්පච්චි දොර අරින්න කලින් ඇරියෙ”

අර එතෙක් තිබූ නො රිස්සුම් ගතිය දිය ව ගිහින් මුදු මොළොක් බවක් මා තුළ ඇති වන්නට විය. තවත් ටික වෙලාවකින් මම මුණිවර ගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යවමින් ගෙදර ගියේ දැයි විමසා සිටියෙමි. හෙතෙම ‘ඔව්’ කීවේ ය. ඉනික්බිති මම ‘තෑන්ක් යූ’ කියා යැව්වෙමි. ලා නිල් පැහැයෙන් හරි දෙක සලකුණු වී ඔහු එය දුටු බව මට දන්වා සිටිය ද මුණිවර ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. 

“ආඩම්බරකාරය. ඔයාටම දවසක ඒක කියන්න වෙයි. තව කල්පයක් හරි ඔයාටම මාව ඕන කියල කියනකල් මං ඉවසනව”

මා නින්දට වැටුණේ ඒ සීතල සිතිවිල්ල විසින් ජනිත කළා වූ මඳහසත් එක්ක ය.

තවත් දෙදිනක් මම රාත්‍රියේ වැඩ කළෙමි. මුණිවර ගොළුවෙකු සේ මා ගේ ළඟින් බස්වා ගියේ ය. නමුත් මුල් දිනයේ සේ මා මුරණ්ඩු වූයේ නැත. 

ඊළඟ දිනයේ තවත් තරුණියන් දෙදෙනෙකු සමග, අප මැසූ ඇඳුම්, තිර රෙදි, කොට්ටා උර, කුෂන් කවර, ඇඳ හා මේස ඇතිරිලි, සෙල්ලම් බඩු, අත් බෑග් හා පසුම්බි යනාදිය ද පටවා ගෙන මම නුවර ගියෙමි. පසු දා ට සාප්පුවේ විවෘත කිරීම යෙදී තිබුණෙන් සියලු දෙනා හිටියේ කාර්ය බහුල බවක ය. මම තරුණියන් දෙදෙනා ද එහි නිත්‍ය සේවයට බඳවා ගෙන තිබූ සේවිකාවන් ද සමග එක්ව සියලු ම දෑ අවශ්‍ය පරිදි ස්ථාන ගත කළෙමි. මගේ ඉල්ලීම පරිදි ඇඳ ඇතිරිලි හා කොට්ට උර ආදිය ස්ථානගත කරන තැන සඳහා පැරණි වියන් ඇඳක් ද කුෂන් කවර හා බිත්ති සැරසිලි තැන්පත් කරන ස්ථානය වෙනුවෙන් කුඩා කවිච්චියක් ද මුණිවර විසින් සපයා තිබිණි. එදා ඔහු ද කාර්ය බහුල ව සිටියෙන් උදේ ම මිස්ට් ෆීල්ඩ් හිදී එක වරක් හමු වූවා පමණකි. සිදු විය යුතු කටයුතු ගැන ඔහු මා දැනුවත් කළේ ඒ වෙලාවේ දී ය. 

දෙතුන් දිනක් එක දිගට නිදි වැරීමේ කෙඩෙත්තුව මට දැනෙමින් තිබිණ. නමුත් අදින් ඒ වෙහෙස නිමාවට පත් වන නිසා මා වැඩි පුර ඒ ගැන උනන්දු වූයේ නැත. දවල් වන විට දරුණු හිසරදයක් මා යට කර ගනිමින් තිබිණි. මම වේදනා නාශක පෙති දෙකක් ගිල දමා අවශ්‍ය සියල්ල පිළිවෙල කළෙමි. 

අවසානයේ එය මගේ සිහින සාප්පුව ම විය. ‘මිස්ට් ෆීල්ඩ් හෑන්ඩ්ලූම් පැරඩයිස්’ සදෙව් ලොවෙන් මිහි බට සුර පුරයක් සේ දිස් විය. මා ඉන් නික්ම ආවේ ආයේ කිසිවෙකුට එහි අඩුපාඩුවක් දකින්නට තැනක් ඉතිරි නොකරමිනි.

ගුරුතලාවට එන විට මගේ මුළු සිරුර ම මට අවසඟ නැති සෙයක් දැනෙමින් තිබිණ. තලා පෙළා දැමූ කලෙක සේ අත පය රිදුම් දුන්නේ ය. කොඳු නාරටිය දිගේ ඉවසා ගත නොහැකි වේදනාවක් ඔඩු දුවන්නට විය. රියෙන් බැස මා ගුරු නිවාසයේ පඩි පෙළ නැග ගත්තේ සිහිසන් වීමට ආසන්න හැඟීමක ය. එහෙම ම කාමරයට වැදී ඇඳට වැටුණා පමණි මට මතක. 

යළි මතකය නිරවුල් වෙත්දී ඕඩිකොලෝන් සුවඳ පැතිරෙමින් තිබිණ. නළල මත පැලැස්තරයක තෙත දැනිණ. මා අවදි වනු දැනී නංගී වහා යහනේ හිඳ ගත්තා ය.

“අක්කෙ…ඔයාට කොහොමද දැන්…”

ඇගේ හඬ සේ ම මා වෙත නැඹුරු වූ මුහුණ ද කරුණාවේ ප්‍රතිමූර්තියක් සේ ඒ වෙලාවේ මට පෙනිණ. ඇය නයිටින්ගේල් අතකින් මගේ හිස පිරිමදින්නට වූවා ය.

“මට මොකද වුණේ නංගි…”

“ඇවිත් ඇඳට වැටුණා විතරයි. ගිනි සහලෝල උණ. අප්පච්චි ගිහින් ඩොක්ට කෙනෙක් ගෙදරට එක්කං ඇවිල්ලයි පෙන්නුවෙ. බෙහෙත් පෙති ටික පොවා ගත්තෙ පුදුම අමාරුවකින්”

ඇඳ පා මුල දුම් කබලක් විය. උණ විකාරේ අවතීර්ණ වූ ගැඹුරු නින්දෙන් අවදි වී තිබිණි ද උණ බැස ගියේ නැත. වරින් වර ඇඟ සීතල කරමින් උණ ගත්තේ ය. ටික වෙලාවකින් දහඩිය දමමින් උණ බැස්සේ ය. ඔය චක්‍රය යළි යළි සිදු වෙනවා මට දැනිණ. මා සිටියේ සිහිනයත් හැබෑවත් අතරේ ය. ඒ මුළු අන්තර් අවධියෙහි මා දුටුවේ වෛවර්ණ අත් යන්ත්‍ර රෙදි ය. මගේ මෝස්තර දමා මැසුණු ඇඳුම් ය. අපේ අනෙකුත් විචිත්‍ර නිර්මාණයන් ය. 

විටින් විට අවදි වෙමින් ද එසැනෙන් නිදි ලොවට එළඹෙමින් ද කාලය ගත විය. නංගී වරින් වර හැන්දකින් දියර වර්ග පෙව්වා ය. බෙහෙත් පෙව්වා ය. 

“ඔරොත්තු දෙන තරමට නෙවෙයිනෙ දෙයියනේ මහන්සි වුණේ…මං කොච්චර කිව්වද..”

අම්මා ගේ විස්සෝප හඬ මා තුළ මහත් සන්තාපයක් ඇති කරවන ලදී. හැමදාමත් මම හිතුවක්කාර දියණිය වීමි. මා කළේ ම මට ඕනා යයි සිතුණ දේ ය. අප්පච්චි ගෙන් මගේ මුරණ්ඩුව සඟවා මුවහ කරමින් අම්මා සියල්ල තනි සිතකින් උහුලා ගත්තා ය.

“බෙහෙත් වේල් දෙක තුනක් වැටෙනකොට ඇරිල යයි දූලයි අම්මෙ”

මගේ නෙතගින් ගිලිහුණ කඳුළක් කොට්ටයට තෙත උරා ගත්තේ ය. අන්තිමට මට එහි යා නො හැකි වූ බව මතක් වූයේ ය. හෑන්ඩ්ලූම් පැරඩයිස් විවෘත කිරීම ආරාධිත අමුත්තා අතින් සිදු වෙන්නට ඇත. හිතේ කිසියම් බරක් ඉතිරි ව තිබිණ. මට ඒ මොහොතේ මුණිවර ගේ ඇස් වල වූ සතුට පියවි ඇසින් දැක විඳ ගන්නට නො හැකි විය.

“මිස්ට මුණිවර ඇවිත්”

නංගී හදිසි රහසිගත ස්වරයකින් මිමිණුවා ය. පපුව තුළ බෝම්බයක් පුපුරා ගියේ ය. නංගී මට නැගී සිටින්නට වාරු දුන්නා ය. මගේ ගිලන් බව නිසා ඇය අද පාසල් ගොස් තිබුණේ නැත.

ඔහු සිටියේ ආලින්දයේ ඔබ මොබ සක්මන් කරමිනි. ඒ නො සන්සුන් සක්මනෙහි සපත්තු අඩි මගේ පපුව මත දඩ දඩස් ගා වැදිණ. මම බරාඳ කුළුණක් බදා ගෙන සිට ගතිමි.

“ඉඳගන්නවද..”

නංගී ඇසුවා ය. මම යන්තම් හිස දෙපසට සැළුවෙමි. 

කලිසම් සාක්කු වල අත් දෙක ඔබා ගත් මුණිවර ගේ නො සන්සුන් මුහුණ දෙස මා බලා සිටියේ අඩ වශයෙන් විවර වන බර වූ ඇස් පිය ඇතිව ය. 

“එච්චර අමාරු තියං වැඩ කළේ ඇයි…”

ඔහු සක්මන මගේ ළඟ නවතා දුර්වල හඬකින් ඇසුවේ ය. මගේ අමාරු වලින් බාගයක් එසැනෙන් සුව ව ගියා සේ ය මට දැනුණේ.

“ඕපනින් එක ලස්සනට වුණා නේද…”

“බෙහෙත් වලට අඩුවක් දැනෙනවද…චැනල් එකක් දාන්නද…”

“අඩුයි. ඇරිල යයි…සෙනග ආවද ගොඩක්…”

“තේ එකක් බීල ඉමු අයිය”

නංගී තේ බන්දේසියක් අතැතිව අප ඉදිරියේ සිටියා ය. අම්මා බරාඳයත් ආලින්දයත් අතරේ උළුවස්සට හේත්තු වී ගෙන සිනහ මුහුණෙන් සිටියා ය.

“මං මෙයාට සුප් එකක් හද හදා හිටියෙ. කන්නෑනෙ මොනාත්…ටයර්ඩ් වැඩියි. ඒකයි මෙයාට මේ”

මුණිවර නංගී අතින් පීරිසි කෝප්ප කට්ටලය ගනිමින් දොර පුටුවෙහි අසුන් ගත්තේ ය.

“අම්..මං මන්දාකිණීට කිව්වෙ නෑ ඕනවට වඩා මහන්සි වෙන්න. එයානෙ නිදි මරා ගෙන…”

“මිස්ට මුණිවර කිව්වෙ නෑ තමා. ඒක ඒ වෙලාවෙ වෙන්න ඕන දේනෙ. මේ උණ ගැන ඔච්චර හිතන්න එපා අනේ කවුරුත්. මේක වෛරල් ෆ්ලූ එකක් වෙන්නැති”

“පණ ආවට පස්සෙ ඉතිං මුරණ්ඩු කම තමයි”

සිනහ වී කීවාට අම්මා තුළ වේදනාවක් වන බව මට දැනිණ. මම ඈ ළඟට ගොස් ඇගේ උරහිසේ නිකට තබා ගතිමි. අම්මා මගේ නළලත පිටි අත්ල තබා බැලුවා ය.

මුණිවර තේ එක බී පිටව යාමට මිදුලට බැස්සේ හිතේ තිබූ යමක් කියා ගත නො හැකිව ය කියා මම සිතමි. 

“මං හෙට වැඩට එනෝ…”

ඔහු රියට නැගෙන්නට පෙර මම කෑ ගැසුවෙමි. අර ලස්සන සිනහව ඔහු ගේ මූණේ පිපුණේ ය.

“හොඳටම සනීප වෙලා ඉන්න”

හොඳට ම සනීපයක් නැත ද මම පසු දා අම්මා ගේ විරෝධය මැද ම මිස්ට් ෆීල්ඩ් වෙත යාමට සූදානම් වුණෙමි.

“කවුද අර වැඩ ටික කරන්න ඉන්නෙ මං ගෙදර හිටියහම…”

නමුත් ඒ කිසිදු වැඩක් නො කර ම මුණිවර මා රියෙහි නංවා ගෙන නුවර ගියේ ය. සාප්පුව විවර ව තිබුණේ නැත.

“තාමත් ඇරල නෑනෙ. කීයටද කට්ටිය වැඩට එන්නෙ…”

හෑන්ඩ්ලූම් පැරඩයිස් ඉදිරියේ මා සිට ගත්තේ එසේ කියමිනි. මුණිවර රෝලර් වින්ඩෝ හැර දමමින් මගේ අතට කතුරක් දුන්නේ ය. මම විශ්මිත බවක සිටියෙමි. ඔහු මගේ බඳ මත යන්තම් අත තබා වීදුරු දොර දෙසට මා යොමු කළේ ය. එහි රිබන් පටි කපා දමා තිබුණේ නැත.

“ඇයි…ඊයෙ ඕපන් කළේ නැද්ද…”

“දවස් දෙකක් ඕපන් කරන්නෙ නෑනෙ. අම්..ඔය රිබන් එක කපන්න ඉතිං”

දොර හරහා ගැට ගසා තිබූ දම් පාට රිබන් එක අල්ලා, කතුර සහිත මගේ අත ඒ දෙසට කළේ ද ඔහු ය. උණ ගතිය මුළුමනින් පහ ව නො ගොස් තිබුණ තෝන්තු ගතියෙන් යුතුව ම මම රිබන් එක කපා දැමුවෙමි. එහි ඉහලින් සවි කොට තිබූ  විචිත්‍ර වර්ණ කඩදාසි කැබලි සහිත පුපුරනය මුණිවර විසින් පුපුරුවා හරින ලදී. මම ඒ කුඩා වර්ණ කැබලිති වැස්සෙන් නැහැවී යන්නට වූයෙමි. සතුට ද ඒ සමග ද සිනහවක් ව පුපුරා ගියේ ය. 

“කන්ග්‍රැජුලේශන්ස් ඇන්ඩ් ඕල් ද වෙරි බෙස්ට්. මේ ශොප් එක විතරක් නෙවෙයි තව හුඟක් තැන් වල හෑන්ඩ්ලූම් පැරඩයිස් ඕපන් කරන්න මිස්ට මුණිවරට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕන…උණු කැවුං වගේ මේ ඔක්කොම විකිණෙන්න ඕන. තව..ඔක්කොම හොඳ දේවල්ම වෙන්න ඕන..”

සිනහ වෙවී කතාව පටන් ගත්තා ට අග හරියේ දී මට දැනුණේ ඇස් තෙත් වේගෙන එන බවකි. ඔහු සිනහ පොදක් නැති තියුණු දෑසකින් මා විනිවිද බලා සිටියේ ය. මට ඕනෑ වී තිබුණේ සරල සැහැල්ලුවක් මිස ඕනෑවට වැඩි බරපතල බවක් නොවේ. නමුත් ඔහු හෙමිහිට පියවරක් දෙකක් තබා මවෙත ආවේ ද බරපතල බැල්මකිනි. 

“ඒ වුණාට ඊයෙ ඒ වැඩේ කරන්නනෙ තිබුණෙ…ඕපනින් එකට ඉන්වයිට් කරල තිබුණ කෙනා මොනා හිතන්න ඇද්ද…”

මම දුර්වල කියවීමක් තුළ අසරණ වෙමින් සිටියෙමි. ඒ අතරේ අනපේක්ෂිත මොහොතක ඔහු ඉතා තදින් මා වැළඳ ගනිමින් සිටියේ ය.

“කවද කළත් ඒක කරන්න හිටිය කෙනා තමයි ඕපන් කළේ”

එහෙම වැළඳ ගැනීමක උවමනාව දින කිහිපයක් තිස්සේ මගේ හදවතෙහි ද වූ බව මට දැනුණේ වඩ වඩාත් ඔහු ට ගුලි වෙමින් දෑත් තද කොට තව තවත් තදින් ඔහු වැළඳ ගත්දී ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles