සීත මාරුතේ -26

පාසල් සමයේ දී මා දඩබ්බර කෙල්ලකි. කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක දඩබ්බරකම් කරන්නේ කෙසේ දැයි දැන් කෙනෙකු තුළ ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන. ඉතා ඉහළින් විනය ගැන සැලකිලිමත් වෙන, යාන්තමින් නියපොතු වැවී දැයි බලන්නට ශිෂ්‍ය නායිකාවන් පන්ති වලට කඩා පනින, කොණ්ඩ කෑලි මූණට වැටීම ආනන්තරීය පාප කර්මයක් සේ සලකන, නිල ඇඳුමේ වාටිය ළමයින් උස යාම නිසා කොට වීම මත ඒ ළමයින් දෙස නගර සෝභනියන් සේ බලන්නට පොළඹවන, පාසලකින් කළ යුත්තේ දැරියකගේ බාහිර පෙනුම අධ්‍යාපනයටත් වඩා නඩත්තු කිරීමය කියා සලකන බාලිකා පාසල් පද්ධති තුළ ඊට අවකාශ ලැබෙන්නේ අඩුවෙන් බව ඇත්ත ය. ඒ විනය නීති පද්ධති වලට ම අනුගත, ඒවා වෙනුවෙන් ම උපන් ‘හරි හොඳ ළමයින්’ අතරේ මා බැලුවේ ම නරක යයි සම්මත වැඩක් කොට කුරිරු සතුටක් විඳින්නට ය. 

ඒ නරක වැඩ මෙසේ ලයිස්තු ගත කළ හැක. යාබද පන්තියක් විසින් අපේ පන්තියේ කොස්ස හොරකම් කොට ඇති වෙලාවක සේනා සන්නද්ධ ව ගොස්, නමුත් තනියම ඒ පන්තියට ඇතුල් වී කවුරු බලා සිටියත් තියන තැනකින් කොස්ස ගන්නට මම දෙවරක් නො සිතුවෙමි.

“අතුගෑවනං කොස්ස අදාල පන්තියෙන් ගෙනත් තියන්න හොඳේ”

මා ඔවුන්ට කීවේ මැරයෙකු ගේ දියණියක සේ ය. එතකොට අපේ පන්තියේ කෙල්ලන්  මාව කර පිටින් නො ගෙනාවා විතර ය. පන්තියේ මල් බඳුනක් හෝ වෙනත් යමක් අස්ථාන ගත ව ඇති වෙලාවක වුව කොතැනක හෝ එය තිබුණොත් කෙල්ලන් දැනුම් දුන්නේ මට ය.

මේ වාගේ සරල කාරණා වලට අමතර ව උපකාරක පන්තියකට එන පිරිමි ළමයෙකු සමග කවරාකාරයක හෝ ඇසුරක් පවත්වන මගේ හිතවතියක ගේ හිත බිඳෙන යමක් වෙනත් කෙල්ලක අතින් සිදු ව ඇත්නම් මම කෙලින් ම ඇය හමු වී ඒ ගැන කතා කොට ඇතැම් විට තර්ජනය ද කළෙමි. ගුරුවරියක පන්තියට නො පැමිණි කාල පරිච්ඡේදයක කෑ ගසා යාබද පන්තියේ ගුරුවරිය ගේ දඬුවමට ලක් වූයේ ද වැඩිපුර මා ය. ඒ දඬුවමින් නො නැවතී ඇය පසු දින අපේ පන්ති භාර ගුරුතුමියට කේලම ද කීවා ය.

“මොකද්ද මන්දාකිණී ඔයා මේ හැසිරෙන විදිහ…ඔයාගෙ තාත්ත ප්‍රින්සිපල් කෙනෙක් නේද..”

වැරදි කළ විට මා අකමැති ම අන්න ඒ කනේ පහරට ය. 

පාසල් සිසුවියක ලෙස එවැනි දඩබ්බරකම් කළ ද වයසින් අඩු ළමා වියේ දී මා සතු භීතිකා කිහිපයක් ද තිබිණ. අප කුඩා කාලේ දී අම්මා ද ගුරු වෘත්තියෙහි යෙදුනෙන්, පාසල් යාමට පෙර ද ප්‍රාථමික පන්ති වල දී වසර කිහිපයක් පාසලෙන් පසු ද මා හා නංගී රැඳුණේ ආත්තම්මලා ගේ ගෙදර ය. ඒ ගෙවත්ත ලොකු ය. මිදුලේ පොල් ගස් කිහිපයක් තිබිණ. වත්ත පුරා තණ පලසකි. හිතේ හැටියට සෙල්ලම් කරන්නට ද බයිසිකල් පදින්නට ද ඉඩ තිබේ. නමුත් සුළඟ සමග වැස්ස එන දින වල ආත්තම්මලා ගේ ගෙදර ඉන්නට මම අතිශය බිය වීමි. ඒ, ගෙට යාබද ව තිබූ උස සරුසාර පොල් ගසක් සුළඟට කැරකෙනු දැකිය හැකි නිසා ය. විශාල පත්‍ර ගොඩක් ද පොල් වලු කිහිපයක් ද සහිත ගහේ කරටිය බඹරයක් සේ කැරකෙනු මා බලා සිටින්නේ ගැහෙනා හදිනි. ඒ පොල් ගස ඊළඟ මොහොතේ ගේ උඩට කඩා ගෙන වැටෙන හැටි මම මනසින් මවා ගමි. ඒ වෙලාවට කෑ ගසා හඬමින් අප දෙදෙනා ව ගෙදර ගොස් දමන්නැයි මම අත්තම්මා ගේ ඇඟේ එල්ලෙමි.

“ඒක මාර කතාවක්නෙ. එතකොට උඹල දෙන්න විතරක් බේරුණහම ඇතිද…පොල් ගහ කඩං වැටිල අපි මැරුණට කමක් නැද්ද..”

ආත්තම්මා සන්සුන් සිනහවකින් එසේ අසනු, ඇය පරලොව ගොස් ද දශකයක් ඉක්ම තිබුණ ද අද ඊයේ සේ මට සිහි කර ගත හැක.

ආතම්මලාගේ ගෙදර පිරිමි කිහිප දෙනෙකු ම සිටියහ. ඒ තාත්තා ගේ මල්ලිලා හා අයියලා ය. ඔවුන් නිතර ම රණ්ඩු වලට පැටලෙන්නට බලා සිටියහ. ඒ රණ්ඩු වලට හේතුව බොහෝ විට එක්කෙනෙකු ගේ ඇඳුමක් හොර රහසේ අනෙකා ඇඳ ගෙන යාම ය. නැත්නම් පර්ස් එකේ මුදලක් අතුරුදන් වී තිබීම ය. රණ්ඩු කිරීමක් සිදු වන්නට පෙර ඔවුන් ඒ ගැන උස් හඬින් වාද කරන්නට ගන්නා විට ම මගේ හෘද ස්ඵන්දනය වේගවත් වේ. මම අත ගසමින් පිළිකන්න ට වී ඒ මේ අත සක්මන් කරමි. උස් පිරිමි හඬ වලට  බිය සෑහෙන වයසක් වන තුරු ම මා තුළ තිබිණ.

ආත්තම්මලා ගේ ගෙවල් පැත්තේ ගොළු ගැහැනියක සිටියා ය. මගේ ළමා වියේ මතක අතරේ මා වඩාත් බිය පත් කළ තැනැත්තියක ලෙස ඇය තවමත් හිතේ සිටින්නී ය. උන් හිටි ගමන් ඇය ආත්තම්මලා ගේ ගෙදරට කඩා පාත් වන්නී ය. ගොළු වූවාට ඝෝෂාකාරී භාෂාවක් ඇය ට තිබිණ. ආත්තම්මලා ගේ ගෙදර අයට ඇය කියනා දේවල් තේරුණ ද මට නම් වැටහුණේ එක ම එක වචනයක් පමණි. ඒ ‘ලාත්තනයි’ යන්න ය. එයින් අදහස් කෙරෙන්නේ ලස්සනයි යන්න බව මම දැන සිටියෙමි. නමුත් මා දකිත්දී එසේ කියමින් ඇය මවෙත කඩා පනිත්දී මම ගිරිය යටින් කෑ ගසමින් කාගේ හෝ ඇඟේ එල්ලෙමි. ඇය මට ලස්සනයි කියන්නට ඕනෑ ම නැත. මට ලස්සන වෙන්නටත් ඕනෑ ම නැත. මා සිතුවේ එසේ ය.

‘ප්‍රේමසිරි’ නමැති උමතු මිනිසෙකු ද මගේ ළමා වියෙහි මතක අතරේ සරයි. ආතම්මලාගේ ගෙවල් පැත්තේ තාර පාර අයිනක පින් ළිඳක් තිබිණ. එය සිමෙන්තියෙන් වට තාප්ප දමා පිරිමි හා ගැහැනු ලෙස දෙපැත්තට බෙදා සැකසූ ලොකු තනි ළිඳකි. මිනිසුන් එතැන නාන්නේ කෙසේ දැයි, එය පසු කොට යන මට බොහෝ වාර ගණනක් සිතී තිබේ. ඒ මා පාරට දුටු, ළිඳේ වට බැමි මත බැඳී තිබි තද කොළ පාටින් දිළිසෙන දිය සෙවල නිසා ය. ළමා වියේදී මට අප්පිරියාවන් ගොඩක් තිබිණි. කෙසේ වෙතත් ඒ ළිඳ ළඟදී මා ඉවත බලා ගත් ප්‍රධාන ම හේතුවක් නම් බොහෝ විට එතැන බිම ඇන තියා ගෙන ප්‍රේමසිරි සිටීම ය. ඔහු ඇන්දේ කාකි පාට කකුල් ලොකු කොට කලිසමක් හා අපිරිසිඳු කමිසයක් බව මට මතක ය. කලිසමේ ඉණ රෙදි පටි වලින් ගැට ගසා තිබුණේ ය. ‘නංගි ඉස්කෝලෙ ගියාද…නංගි ඉස්කෝලෙ ගියාද…හෙට ඉස්කෝලෙ නිවාඩුද…’ යන එක ම ප්‍රශ්න පෙළ, පාසල් ළමයෙකු දකිනා ඔහු නො කඩවා ඇසුවේ ය. කවදාවත් ඔහු ගෙන් හිංසාවක් සිදුව නැති වී ද නො දන්නා හේතුවක් මත මම ඔහු ට බිය වීමි. මහරගම හන්දියේ දී මැදි වියේ පිස්සෙකු මට කන හරහා පහරක් එල්ල කොට ද තිබුණේ ය. ඒ වෙලාවේ අප හිටියේ ඔරලෝසු කනුව ළඟින් පොළ පාරට හැරෙන මන් සන්ධියේ තිබුණ තොරොම්බල් කඩයක් ළඟ නැවතී මට වීදුරු වළළු තෝරමිනි. පිස්සා මගේ කම්මුලට ගසා ගියේ මන්දැයි මා දන්නේ නැත.අප්පච්චි මා සිය සිරුර ට තුරුළු කර ගෙන සැනසුවේ ය. ඒ වුණත් ඒ පහරේ සැරට ද මගේ හිත හෙළවුණු ගැස්මට ද මන්දා එදා මට උණ ගත්තේ ය. ඊට පස්සේ නුගේගොඩ හන්දියේ දී උසස් පෙළ පන්තියකට ගොස් එන විට ද මම උමතු ගැහැනියක ගේ තර්ජනයට ලක් වීමි. ඒ වන විට ඔය වගේ ලාමක කාරණා ගැන මා තුළ බියක් නොවී ද, කෙල්ලන් පිරිස අතරින් ඒ ගැහැනිය බණිමින් පහර දෙන්නට හැදුවේ මට ම වීම මා තුළ ගැස්මක් සහිත මවිතයක් ඇති කරනා ලදී. ඒ වෙලාවේ මම අතීතයේ දී පිස්සන් ගෙන් මට වූ බලපෑම් ගැන යෙහෙළියන් ට කීවෙමි. ඔවුන් කීවේ එසේ නම් එය ‘පිස්සු දිෂ්ඨියක්’ විය හැකි බවයි.

මේ මොහොතේ මට ඔය වගේ යටි හිතේ හැංගී තිබි කාරණා සිහි වන්නට වූයේ ඇයි ද කියා මම නො දනිමි. මා තුළ බියගුළු කෙල්ලක ද අසාධාරණයට එරෙහි ව අරගල කරනා මුරණ්ඩු කෙල්ලක ද ජීවත් වෙන බව සිහිපත් කොට දෙන්න ද? 

අපට නොවන තාක් ඕනෑ ම දෙයක් අනිත් අයට වුණාට කම් නැතැයි සිතා හිඳිනා මිනිසුන් ලොව ගහන බව මම දන්නෙමි. ඕනෑ තැන වගේ ම ඕනෑ නැති තැන ද පාඩුවේ ඉන්නේ එහෙම මිනිසුන් ය. නමුත් පාසල් කාලයේ පටන් ම පාඩුවේ ඉන්නට බැරිව අනුන්ගේ දේකට හෝ නලියනා පුරුද්දක් මට තිබිණ. කිසි දා ක ඒ නරක පුරුද්දක් යයි මට සිතී නැත. මුණිවර වෙනුවෙන් ද මා යමක් කළ යුතු යයි මගේ යටි හිත මට මතක් කරමින් සිටී. කෙනෙකුට මා පණ්ඩිත කෙල්ලක සේ දැනෙන්නට පුළුවන. පරම්පරා ගත කෝන්තරයක්, මිණීමැරුම් කිහිපයකින් පවා යටපත් වූවා මිස මුලිනුපුටා නො දැමුණු කෝන්තරයක් මැද්දට ගිහින් මා වන් කජු කිරි කෙල්ලක කුමක් කරන්න ද? නමුත් අපට ඕනේ නම් කළ නො හැක්කක් නො මැත!

කෙල්ලන් හතර දෙනෙකුට හසු වන තනි කොල්ලෙකු ඉතිරි නොවෙනා බව පාසල් සමයේ පටන් මම දැන සිටියෙමි. මුණිවර ගේ රිය නතර වෙත්දී කෙල්ලන් ගේ තිබුණ දඟකාර කරච්චලය ඔහු ගේ රියට නැගුණු පසු ද නතර වූයේ නැත. මම වරින් වර පසුපස අසුන දෙස හැරී බැලුවෙමි. ඒ ඔවුන්ට නිහඬ වන ලෙස හඟවන්නට ය. මුණිවර ගෑනු ළමයින් විෂයේ දක්වන ආකල්පය තරමක් වෙනස් බව දන්නා නිසා මා එසේ කරන්නට ඇත. මට ඒ වෙලාවේ දැනුණේ කුඩා සාවියෙහි දී හුළඟක් ආ වෙලාවක ආත්තම්මලා ගේ ගේ ඉදිරියේ තිබූ පොල් ගසේ මුදුණ සුළඟත් එක්ක කැරකෙත්දී දැනුණ අසහනකාරී හැඟීම ය. නමුත් මුණිවර ගේ මුහුණ මත දිගට ම තිබුණ මඳහස මගේ නො සන්සුන් බව තුනී කොට හරිනා ලදී. බෝඹුරු ඇල්ල රථ ගාලේ දී රියෙන් බැස ගත්දී මුණිවර හා ගෑනු ළමයින් අතරේ සැලකිය යුතු සුහද කමක් ඇති වී තිබිණ.

ඇල්ල ට සමීප වනු පිණිස එතැන සිට කිලෝ මීටර එක හමාරක දෙකක පමණ දුරක් කන්ද නැගිය යුතු ය. එය වගා ඇලක් ඔස්සේ වැටුණ අඩි පාරකි. අඩි පාරේ සමහර තැන් සිමෙන්තියෙන් පඩි බැඳ යකඩ අත්වැට දමා තිබුණේ ය. සමහර තැන් ස්වභාවික ගල් වලින් හැදුණු පඩි ය. සමහර තැන් එබඳු පඩි නොමැති ව ගල් මුල් මතින් ගමන් කළ යුතු ස්ථාන වේ. එය අතිශය දුෂ්කර ගමනක් වන මුත් ඒ ගමන පුරා දැකිය හැකි මග දෙපස සුන්දරත්වය නිසා විඩාවක් දැනුණේ ම නැත. කන්ද පහල කොටසේ හෙල්මැළි ක්‍රමයට වගා කළ නිල්වන් කුඹුරු යායකි. එළවළු වගාවන් ද කන්දේ යම් කිසි දුරක් තෙක් දැකිය හැකි වේ. ඉන්පසු වන්නේ වනාන්තරයයි. 

අඩි පාරේ ගමන් කළ හැක්කේ එක පෙළට එක්කෙනා බැගිනි. ඉදිරියෙන් හංසිකා, නංගි හා කසුනි ගමන් කළ අතර ඉන් පසු මා ද පිටුපසින් ම මුණිවර ද ගමන් කළේ ය. පරිසරයේ සුන්දරත්වයෙන් මම මත් ව සිටියෙමි. පා ඇඟිලි අතරේ සීතලක් දැනුණේ එසේ යමින් සිටියදී ය. ඇවිදිමින් ම මම පාදය දෙස බැලුවෙමි. ඇඟිලි පුරුක් දෙකක් අතරේ වක් වූ කූඩැල්ලෙකු දුටුවේ ඒ වෙලාවේ ය. මම යටි ගිරියෙන් කෑ ගැසුවෙමි. මුණිවර එසැනෙන් මවෙත පැන්නේ ය. මම අසිහියෙන් වාගේ ඔහු ගේ ගෙලෙහි එල්ලුණෙමි.

“ඇයි ඇයි මොකද වුණේ…”

“අනේ…අනේ…”

එසේ සිටිමින් ම මම කකුල ගැසුවෙමි. ගෑනු ළමයි ද ඒ වෙත්දී මා වට කර ගෙන සිටියහ.

“ආ..කකුලෙ කූඩැල්ලෙක්..”

“අයියෝ කූඩැල්ලටද මේ..”

“අලි කොටි වලස්සුටවත් බය නෑ මෙයා කූඩැල්ලට තරං”

“කෝ ඔහොම ඉන්න”

මුණිවර මගේ පාදය ඔසවා සියතට ගත්තේ ය. මම නංගී ගේ උරහිසේ එල්ලී ගෙන ඉවත බලා ගතිමි. දරා ගත නො හැකි හිරිකිතයක් මා තුළ දුවමින් තිබුණේ ය. මුණිවර මගේ කකුල අල්ලා ගෙන කූඩැල්ලා ව ඉවත් කොට දැමුවේ ය. 

“අනේ..මට බෑ යන්න”

“පිස්සුද අනේ…යං යං. ආ මං සබන් වතුර හදං ආව දෙන්න බැරි වුණානෙ කළබලේට”

“මොකද්ද කලබලේ…මෝඩය…”

“එපා එපා. සබන් ගෑවුණාම සෙරෙප්පුව ලිස්සනව. මේ අඩිපාරෙ සෑහෙන්න ලිස්සන තැන් තියනව. ඔහොම යමු”

මුණිවර සබන් දියර කකුලේ ගා ගන්නවාට විරුද්ධ වූයේ ය. යළි ගමන් ආරම්භ කළ පසු මගේ ඇස් වැඩිපුර තිබුණේ මගේ කකුල් මත ම ය. 

“දැං අර මිනී මරුවොත් එක්ක සාකච්චා කරන්න යන්නෙ මේ කූඩැල්ලටත් මැරෙන්න කෑගහපු ගෑනිද…”

මගේ ම හිතේ එක පැත්තක් ප්‍රශ්න කළේ ය. සිතේ අනිත් පැත්ත ලැජ්ජාවෙන් සිනහ වූයේ ය.

ගමනේ යම් දුරක් ගමන් කළ පසු ඉඳගෙන ගිමන් නිවනු වස් සවි කළ ලෑලි බංකු සහිත තැනක් තිබේ. අපි එතැන ඉඳ ගෙන හංසිකා උණුවතුර බෝතලයකට දමා ගෙන විත් තිබූ තේ බොමින් පාරෙන් ගත් වඩේ කෑවෙමු. මුණිවර සිටියේ සතුටෙන් ය කියා සිතමි. ඔහු මදෙස බැලුවේ නැත. නමුත් මම ඔහු ගේ මූණ දෙස හැකි හැම විට ම බලා සිටියෙමි. මගේ පාදය අල්ලා ගෙන ඇඟිලි පුරුක් අතරේ සිටි කූඩැල්ලා ව ඉවත් කළ මොහොතේ මා ඔහු ට තව තවත් හදවතින් බැඳී යන්නට ඇත. බැඳීම් කියන්නේ එහෙම දෙයකි. ඉතා ම කුඩා, ඇතැම් විට නො ගිනිය හැකි තරම් දේවල් වලට අපි මිනිසුන් කෙරේ බැඳෙමු. ආකර්ෂණය වෙමු. වසඟ වෙමු. නමුත් දවසක ඒ බැඳුණු කුඩා හේතු වල සුන්දරත්වය අමතක කොට ඊටත් වඩා කුඩා හේතු වලට බිඳෙමු.

“ඔය කොල්ලව ගිලින්න හදන්න එපා”

කසුනි මගේ කනට කොට කීවා ය. 

“මේ ටිකට මෙහෙමනං මිස්ට් ෆීල්ඩ් එකේදි කොහොම ඇද්ද..”

නංගී ද ඇය ට එක් වූවා ය. ඒ කතා මුණිවර ට ඇසේවියි මම බිය වීමි.

“ඒ කොල්ලට වොශ් රූම් යන්නත් බැරුව ඇති නිදහසේ. ඇයි ඉතිං මේ ඇස් දෙක කොල්ල වටේමනෙ”

“අනේ මට එච්චර පිස්සු නෑ”

“පිස්සුව පිස්සට පේන්නෑනෙ කොහොමත්”

අප රහසේ කරන කතා ඔහු ගැන යයි මුණිවර අනුමාන කරන්නට ඇත.ඒ නිසා දෝ ඔහු සිටියේ හිතා මතා ම අප කෙරේ අවධානයක් නො දක්වමින් වෙනතක් බලා ගෙන ය.

ලස්සන ම තැන් වෙත සමීප වීම පහසු නැත. ඒ වූ කලී සොබා දහමේ නියතයකි. ඒ දුෂ්කර ගමනේ කෙලවර මම ඒ බව වැඩි වැඩියෙන් පසක් කොට ගතිමි. සුවිසල් හරිත වර්ණ තණ පලසකට ඉදිරියෙන්, ලංකාවේ ලස්සන ම හා  පළල් ම දිය ඇල්ල මනාලියක සේ ගලා ගෙන හැලුණා ය. ඒ තරම් අයස්කාන්ත දිය ඇල්ලක් ඊට පෙර මා දැක නැති බව ඉඳුරා කිව හැක. මීටර විස්සක තිහක පමණ ඈතට ම ඒ දිය කඳ කඩා වැටෙත්දී පින්න විසි වූයේ ය. ඈතට පවා ඇසෙමින් තිබි දිය ඇල්ලේ හඬ ලංවූ විට මහා හඬකි. ඒ පින්නත් සිසිලත් තණ පලසේ හරිත පැහැයත් වන පියසේ රූස්ස වනස්පතියනුත් එක්ව ගත් කල මැවෙනා හැඟීම වෙනස් ම එකකි.

“නිව්සීලන්ඩ් ගියා වගේ”

“දෙයියනේ මගෙ රට කොච්චර ලස්සනද…”

“කැත හිත් තියන මිනිස්සු නැත්තං”

මා ඒ අන්තිම ටික කියත්දී මගේ හිතේ රූප පෙළක් මැවෙමින් තිබිණි. පුහුල්පොල හන්දියේ කඩු පහරකින් මිය ගිය මුණිවර ගේ සීයා…රිය අනතුරකින් මිය ගිය පියා..බාප්පා…

“අන්න අතන කොළපාට හරියෙ කූඩාරමක් ගහං රෑට ඉන්න මට ආසයි”

ඒ ද්වේශී සිතිවිලි වලින් මේ මොහොත විනාශ වී යතැයි බියෙන් මම තණ පලස දෙස බලාන කීවෙමි.

“කලින් කූඩාරං ගහං හිටිය කට්ටිය. පස්සෙ ඒක නතර කළා. ඇයි මෙතන කාල බීල ජරා කරනවනෙ…”

“වලාවකින් හැඩ දමා…කූඩාරමක් එහි තනා…ආසා නැද්ද මාත් එක්ක තනිව ඉන්න…මීදුම් දුමාරයේ…”

හංසිකා ගේ ඒ ගැයුම මුණිවරට ද පහු ගිය දවසක් සිහි කරන්නට ඇත..ඔහු සිය ජංගම දුරකතනයෙන් බෝඹුුරු ඇල්ල කාච ගත කර ගන්නට වූයේ ගෑනු ළමයින් ගේ කරදරකාරී බවින් මිදෙනු වස් යයි හඟිමි.

“මෙතනට එන්න ඕන අඩි සලකුණක්වත් ඉතුරු කරල යන්න නො හිතන මිනිස්සු…දෙයියනේ මෙච්චර ලස්සනක්…”

නංගිත් කසුනිලාත් ගල් තලාව දිගේ තවත් ටිකක් ඇල්ල ට ළඟා වෙන්නට ගියහ. නමුත් මම මෑත සිට බලා සිටියෙමි. මුණිවර මා ද හසු වන සේ දිය ඇල්ල පසුබිම් කොට ඔහු ගේ සේයාරුවක් ගත්තේ ය. ඒ තරම් ලස්සනට මම කිසි දා පින්තූරයකට සිනා සී නැත ය කියා සිතමි. එසැනෙන් ඔහු මට ඒ පින්තූරය වට්සැප් කළේ ය. හුළඟේ යන කොණ්ඩය අත් දෙකෙන් සකසමින් සිනා සී උන් මගේ ඇස් වල වූයේ ආදරය විතර ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...