හිමගිරි අරණ -48

පාරමීගේ මිත්‍රත්වය අතීතයට අයත්ව ගිය බව හිමාෂාට වැටහී ගියේ ඇගේ හැසිරීම් නිසා ය.පාරමී හිමාෂාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් සිටියා ය.ඇගේ වේදනා හිමාෂා අසා සිටි තරමටම ඇය හිමාෂාවද දරා සිටියා ය.

නමුත් දැන් සියල්ල වෙනස් වී තිබේ!

පාරමී හිඳින්නේ හිමාෂා යැයි කෙනෙකු කාර්යාලයේ නොමැති අයුරිනි.රජයේ ආයතනයක් වූ කාර්යාලයේ තරුණ ප්‍රජාව වුයේ අතේ ඇඟිලි තරමට ය.එතැනින් දෙදෙනෙකු මෙසේ වෙන් වී යාම සෑම කෙනෙකුගේ ම අවධානයට ලක් වී තිබිණි.

“ඔයා ඉන්නේ මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක පාරෝ”

පාරමී  හමුවට ගොස් එසේ කියන්නට අවසානයේදී හිමාෂා තීරණයක් ගත්තා ය.රවිඳුට දෙදෙනාම ආදරය කරන්නේ රහසිනි.ඔහු ඒ එක් ආදරයක්වත් පිළිගෙන නොමැත.පාරමීගේ ආදරය ඔහු ඍජුවම ප්‍රතික්ෂේප කළ අතර තම ප්‍රේමය ගැන හාංකවිසියක් නොදනී.එනිසා ඔහු වෙනුවෙන් මෙසේ අමනාප වීම කමකට නැති බව හිමාෂා සිතී ය.

“මං ආස නෑ රවිඳුයි ඔයයි ක්ලෝස් වෙනවට.”

පාරමී එකහෙලාම කියා සිටියා ය.හිමාෂා සුහද සිනාවක් තොල් මතට ගන්නට වෙර දැරුවා ය.බොහෝ රිදවුම් දැනෙන තැනක පවා ඒ සඟවා හිනැහීම දැන් ඇයට හුරුපුරුදු වී අවසන් ය.

“ඔයාට අමතක වෙන්න බෑ.මං එයාට ඇත්තටම කිට්ටු උනේ  ඔයාගේ හිතේ තියෙන දේවල් කියන්න.එහෙම නෑ කියලා ඔයාට හිතෙනවද?

ඒ එසේ වග පාරමී ද හොඳින් දැන සිටියා ය.නමුත් ඇය සසල කරන කාරණාවක් තිබේ.ඒ හිමාෂා ඉදිරියේ අමුතුම දීප්තියකින් බබලන ඔහුගේ දෑස් ය.ඔහු ආදරය කරන්නේ හිමාෂාට බව තදින්ම සිතෙන්නට පාරමීට ඒ සාක්ෂිය ප්‍රමාණවත් විය.

“ඔව් මම ඒක දන්නවා.හැබැයි එහෙනම් ඔයා මං ගැන විතරක් එයත් එක්ක කතා කරන්න පරිස්සම් වෙන්න තිබුණ.දැන් ඔයා ප්‍රශ්න ගැන කියලා අඬන්නෙත් එයත් එක්ක.අන්න ඒවා ඉවසගෙන බලාගෙන ඉන්න කියලද මට කියන්නේ?”

මිත්‍රත්වය කියන්නේ අනෙකාව වඩාත් හොඳින් වටහා ගැනීම ය.අනෙකාගේ සතුට තරමටම වේදනාව තේරුම් ගැනීම හොඳ මිතුරෙකුගේ ලක්ෂණයකි.වඩාත් සමීප මිතුරන් වෙද්දී තම බැල්මක පවා රැඳෙන වේදනාව තේරුම් ගන්නට රවිඳුට අපහසු නොවන බව හිමාෂා පාරමීට තේරුම් කර දුන්නා ය.

“නිතරම කතා කරනකොට එහෙම දේවල් හොයන්න පුදුම ලේසියි.සහන් ඇති කරපු ප්‍රශ්නයක් හින්ද මම හිටිය පොඩ්ඩක් අවුල් වෙලා.ඒ ගැන විපරම් කරලා රවිඳු මාත් එක්ක කතා කරා.ඒ ප්‍රශ්නෙට ගන්නවනං ගන්න තියෙන්නෙ නීතිමය විසඳුමක් විතරයි.ඒ නිසා රවිඳුට මගේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒත් මාව අහගෙන හිටිය.”

සහන් සම්බන්ධ සෑම කාරණාවක්ම මීට ඉහතදී දැන සිටියේ පාරමී ය.එනිසා හිමාෂාට ඇයට සඟවන්නට කිසිත් තිබුණේ නැත.නමුත් හිමාෂාව දැන් එතරමට විශ්වාස කරන්නට අකමැති පාරමීට ඇයට කියන්නට වඩා වැදගත් කාරණාවක් තිබිණ.මේ කාරණාව ඇසූ පසු හිමාෂාට රහස් බලාපොරොත්තුවක් වේ නම් එය විනාශ වී යා යුතුම බව ඇය සිතුවා ය.

“මං අපේ අම්මට රවිඳු ගැන කිව්වා.අපි අතර සම්බන්ධයක් තියෙනවා කියලාම කිව්වා.අම්මා රවිඳුලාගෙ ගෙදරට කතා කරලා.මං කොහොමහරි එයාව කසාද බැඳ ගන්නවා.”

හිමාෂා ඒ අසා ඇතුළාන්තයෙන් සෙලවී ගියා ය.රවිඳු ඉතා ඉක්මනින් තම සිහින වලින් පිටමන් කළ යුතු බව දැන් ඈ දනියි.නමුත් ඇගේ වේදනාව ඉතිරි වූයේ ඔහු මේ විවාහය කිසිසේත්ම අනුමත නොකරන බව දන්නා නිසා ය.

“වැඩි කැමැත්තක් නැතුව කරගන්න කසාද මහා නරක අවසාන අයිති කර ගන්නවා.ඒක මං තරම් දන්න කෙනෙක් නෑ.මං මේ ඔයාට හරි ආදරෙන් කියන්නේ.ඔහොම දෙයක් කරන්න කලින්නම් සිය පාරක්වත් හිතන්න.” 

නමුත් ඒ ගැන තවත් එක් වාරයක් වත් කම්පාවෙන් සිතිය යුතු නැතැයි පාරමී සිතුවා ය.ඇය හිඳින්නේ සතුටිනි.රවිඳු කෙසේ හෝ දිනාගන්නා මාවතට ඇය පිවිස තිබේ.අනෙක් කාරණාව ඇය ඒ මාවතට පිවිසි බව ඇය හිමාෂාට හෙළි කර අවසන් ය.කුමන බාධක පැමිණියත් මේ මාවතේ ඉදිරියටම යන්නට පාරමී ඉටා ගත්තා ය. ප්‍රේමය ද සටනකි.අනෙකා ගැන උවමනාවට වඩා සිතන්නට යාම තම ප්‍රේමය දිනාගන්නට බාධාවකි.ඇය එවැනි විකාර සිතුවිලි රාශියක පැටලී ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles