(අ)හිමි සිහින -150

සුධාරකගේ මොළයේ යළි සැකසීම වෙනුවෙන් ඔහුට ප්‍රතිකාර කිරීම ඇරඹී තිබූ බව මම ඔබට පැවසුවා මතක ඇති.ඒ වෙනුවෙන් ඔහු වඩාත් ආදරය කරන අයගේ කටහඬවල් ඔහුට අසන්නට සැලැස්වීම වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ක්‍රමයක් වී තිබුණා.සුදාරක මේ  ලෝකයේ වඩාත්ම වඩාත් ම ආදරය කළ කෙනා රෝහලට රැගෙන එන්නට මට නොහැකි වී තිබුණා.

ඒ අපේ ආදරණීය දියණිය!

ඇයව එවැනි අසීරු දවස්වල දැකබලා ගන්නට කාලය යෙදවීම නැති නිසා මා කළේ ඇය මගේ අම්මත් තාත්තත් සමග නවත්වා ඒම.නමුත් ඇය සුරතල් හඬින් විවිධ දේ කියන වීඩියෝ පට රාශියක් මගේ ජංගම දුරකථනයේ තිබුණා.

“අප්පච්චී..අප්පච්චි.අප්පච්චි..”

කියමින් ඇය සුදාරකට කුමක්දෝ කියන්නට උත්සාහ ගන්නා වීඩියෝ පටයක් නිරන්තරයෙන්ම සුදාරක අසල වාදනය කරන්නට මම වග බලාගත්තා.ඔහු ප්‍රතිචාර දැක්වූ අන්දම මට මේ මොහොතේ ද සිහි වන්නේ ඇස කඳුළු උනමින්.නොකඩවා ඇසෙන දියණියගේ කට හඬට ඔහු හැකි පරිදි චලනය වෙමින් ප්‍රතිචාර දක්වන්නට වූවා.ඔහුගේ කුඩා දියණිය වැළඳ ගෙන සුරතල් කරන අතීතය ඔහුට සිහි වන්නට ඇති.මට හොරා විවිධ රහස් වැඩ කර,දඟ වැඩ සැලසුම් කරමින් මගෙන් බැනුම් අසා ගත් අතීත දවස් සිහි වන්නට ඇති.ඔහුගේ රුධිරය ඇගේ සිරුරෙන් නොදිව්වත් දියණිය සසර හුරුව පරිදි ඔහුගේම දියණිය බවට පත්ව තිබුණා.ඒ ආදරය ඉදිරියේ මගේ ආදරය පවා පරාජය වන බව මා හොඳින් දන්නවා.

“අනේ මගේ බේබි.මට ඔයාව දකින්න ඕන මගේ පුතේ.මට ඔයාව වඩාගන්න ඕනි.අපි දෙන්නට වෙනදා වගේ ස්විමින් කරන්න පුළුවන් වෙන්න ඕන.අම්මට හොරෙන් ෆ්‍රිජ් එකේ කියන එක එක ජාති කන්න පුළුවන් වෙන්න ඕන.”

දියණියගේ කටහඬ රෝහල් කුටියේ නින්නාද නැංවෙන විට හැකි පරිදි දඟලමින් මගේ සුදාරක කියන්නට උත්සාහ ගන්නට ඇත්තේ ඒවා බව මට හොඳින්ම විශ්වාසයි.

ඔහු කොහොමටත් අභිමානවත් මිනිසෙක්.සමහර අවස්ථාවන්වලදී වෛද්‍ය කණ්ඩායම් ඔහු වටා රොක් වී “මිස්ට සුධාරක අත හොලවන්න,කකුලක් හොලවන්න” වැනි දේ පැවසුවාට ඔහු ප්‍රතිචාර දැක්වූයේම නැහැ.ඒ විධාන ස්වරූපයට ඔහුගේ කීයක් අකැමැත්ත බව මා හොඳින්ම දන්නවා.

“මහත්තයා ඔයාට මාව ඇහෙනවද? මටයි දුවටයි ඔයාව ඕනේ.ඒ නිසා ඔයා ඉක්මනින් සනීප වෙන්න ඕනේ.ඔයාට මාව ඇහෙනවනම් මේ කකුල හොල්ලන්න.කෝ මට අතක් හොලවලා පෙන්නන්න.”

වැනි දේ මා ආදරයෙන් පවසද්දී ඔහු හැකි උපරිම ලෙස ප්‍රතිචාර දැක්වූ අන්දම මට කිසි දවසක අමතක වී යන්නේ නැහැ. මා සහ දියණිය අතැර යන්නට නොහැකි බව ඔහුට සිතෙන්නට ඇති.වෛද්‍ය කණ්ඩායම් හැකි උපරිමය කරද්දී අප වෙනුවෙන් සුව වන්නට ඔහු ද ඔහුගේ මුළු ශක්තියම වැය කළ බව මං හොඳින් දන්නේ ඒ නිසාමයි.

අපේ ආදරය ඔහු සුවපත් කරමින් තිබෙන බව වැටහෙද්දි මටත් දියණියටත් ඔහුගේ සුවවීමේ තනි අයිතිය නොපවරන්නට දෙපාර්ශවයකට උවමනා වෙමින් තිබුණා.ඒ සුදාරකගේ අම්මාට සහ දිල්හානිට.සුදාරකගේ අම්මා දියණියගේ සහ මගේ හඬට සුදාරක ප්‍රතිචාර දක්වන අන්දම දෑසින්ම දුටු අතර කවුරුන් හෝ කේලම් කාරයෙක් ඒ පණිවිඩය දිල්හානිට ලබාදී තිබුණා.ඒ නිසා තමන්ගේ හඬ ද සුදාරක  ඇසෙන්නට සලස්වන්නට  ඔවුන්ට උවමනා වී තිබුණා.

බැඳීමක් හරියට පවත්වාගන්නට නොදන්නා මිනිසුන් ගැන ඒ කතාව මම හෙට ඔබට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles