වීදුරු සුදු පාට ගන්වමින් හිරු කිරණ ඇබිත්තක් කාමරයට එබිකම් කරමින් තිබිණ. අපරාජිතා සීරුවට නැගිට ඇතිරිල්ල නවා තබා යහනින් බිමට බැස්සා ය. අනන්‍යා තවමත් ගුලි වී නිදන්නී ය. මොහොතක් ඇදෙස බලා උන් අපරාජිතා දියණිය ගේ පොරෝනාව සකසා වීදුරු බිත්තිය වසා ලූ තිර රෙදි දෙපසට කළා ය. මහනුවර නගරය උදා හිරු එළියෙන් බබළමින් තිබිණ.
අපරාජිතා මුව දොවා ඇඳුම් මාරු කර ගන්නා විට කාමරයට තේ පැමිණියේ ය. ඇය තේ කෝප්පය ද ගෙන සඳරල්ලට යනු වස් වීදුරු දොර විවර කළා ය. ඒ මොහොතේ ම සිය කාමරයේ වීදුරු දොර විවර කරමින් සසංක සඳැල්ලට එමින් සිටියේ ය. ඔහු ගේ අතේ ද තේ කෝප්පය විය.
“ගුඩ් මෝනිං”
උනුන් දෙස බලා ගෙන ඔවුන් ට කියවුණේ එකට ම ය. ඉනික්බිති දෙදෙනාට ම සිනහ නැගුණු අතර ඒ සිනහවන් උනුන් ගෙන් වසන් කරනු වස් ඔවුහු මඳක් ඉවත බැලූහ.
ලස්සන උදාසනක් ඔවුන් ඉදිරියේ දීප්තිමත් වෙමින් තිබිණ. දළදා මාලිගාවේ පත්තිරිප්පුව පැහැදිලිව එතැනට දර්ශනය විය. ගිනි පෙට්ටි වලටත් වඩා කුඩාවට ඈත ගොඩනැගිලි දිස් වේ. සසංක ගේ ඇස් මොහොතකට ඒ දර්ශනයෙහි ඇලී තිබිණ. ඔහු ගේ හිත තුළ වන සිහින චිත්‍රපටයේ දර්ශන පෙළක් ද ඔහු ට මැවි මැවී පෙනෙන්නට විය. තඹ පාට හිරු කිරණක පහස ලබන ඔහු ගේ මුහුණේ පැත්තට පෙනෙනා ඉරියව්ව දෙස ඒ මඳ වෙලාවේ අපරාජිතා බලා සිටියා ය.
“මං හිතුව අද දහය වෙනකල්වත් දෙන්නම නැගටින එකක් නෑ කියල”
ඔහු තේ උගුරක් තොල ගාමින් ම ඇස් මඳක් හරවා ඇදෙස බැලුවේ ය.
“මමනෙ තේත් ඕඩර් කළේ”
“අනන්‍යානං දැන්ම නැගිටින පාටක් නෑ”
“ඔහෙ නිදාගත්තාවෙ. යන්න කලබලයක් නෑනෙ”
“තෑන්ක් යූ”
තවත් ටිකක් හොඳට මූණ හැරවූ සසංක අපරාජිතා ගේ සියුමැළි වත දෙස තත්පර කිහිපයක් වෙනස් නො කර ගත් බැල්මෙන් බලා සිටියේ ය.
“එක්කං ආවටද…ඕගොල්ලන්ටත් තෑන්ක්ස්…මාව මේ ගමනට ජොයින් කර ගත්තට”
“ඒ ගැන නෙවෙයි මං කිව්වෙ”
සසංක වෙතින් මුදා ගත් බැල්ම ඈත මහනුවර නගරය සිසාරා විදා ලන ගමන් අපරාජිතා මුදු හඬකින් තෙපළා ය. සසංක ඇගේ බාධාවකින් තොර ව ම ඒ මුහුණ දෙස බලා සිටියේ ය.
“දුවට ඇඩ්වයිස් කරපු එක ගැන…මං හිතන්නෙ ඒක එයාගෙ හිතට හුඟාක් වැදුණා. ඒ ගැන මොනාත් කිව්වෙ නැතිව බිත්තිය පැත්තට හැරිල නිදා ගත්තා. ඒ වුණාට මං එයාව හොඳට දන්නවනෙ…අනන්‍යා නිදා ගත්තෙත් ඒ ගැන හිත හිත”
“ඒක ලොකු දෙයක්”
ඔහු සුසුමකින් පපුව පුරවා ගත්තේ ය.
“කොහොමත්…මොකක් හරි හේතුවක් උඩ සැරයක් වැරදුණා කියල එයා දිගටම වරද්දගන්න ළමයෙක් වෙන්න බෑ. මොකද එයා ඔයාගෙ දුවනෙ”
“ඔයා මාව මුරුංගා අත්තට නග්ගනව වැඩියි”
“කඩාගෙන වැටෙනව කියල දැන දැන ඔයා මුරුංගා අතු වලට නගී කියලනං මං හිතන්නෑ”
අපරාජිතා සැහැල්ලුවෙන් තරමක් හඬ නගා සිනහ වූවා ය. ඇගේ වත කෙතරම් නම් ප්‍රභාවත් ද? මුුදු හිරු කිරණ වැද විකසිත වන සුදු නෙළුමක් වාගේ ය. ඇය කෙරේ බැඳුණ සිය පිරිමි හදවත වන හැඟුම් ගැන තව දුරටත් හෙළි නොකර සිටීම පහසු නැත. නමුත් ඔහු මේ විදිහට උදව් කරන්නේ ඈ ගැන යටි අදහසක් හිතේ ඇතිව බව අපරාජිතා සිතනා එක හොඳ නැත. අනිත් අතට අනන්‍යා යළි විදේශීය විශ්ව විද්‍යාලය බලා පිටව යාමට තිබෙනුයේ දින තුන හතරක කාලයකි. ඒ දින කිහිපය ඇය සිත සන්සුන් ව සිටිත යුතු ය.
ආපසු එන ගමන නුවර ගිය එකට වඩා ප්‍රීතිමත් වූවා කියා කිව යුතු ය. කාගේත් හිත් වල වෙනදාට වැඩි සැහැල්ලුවක් ද, සාමූහික ඒකකයක් වශයෙන් බැඳීමක් ද වන බව දැනිණ. විශේෂයෙන් ම අනන්‍යා සතුටෙන් සිටියා ය. ඇය සසංක සමග දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රය ගැන ද වෙළෙඳ දැන්වීම් නිර්මාණය ගැන ද ඈ නො දැන සිටි බොහෝ දේවල් විමසා දැන ගත්තා ය.
“ඇත්තටම දැන් මිනිස්සුන්ට කාලයක් මතක හිටිය ක්‍රියේටිව් කමර්ශල්ස් හැදෙන්නෙ හරි අඩුවෙන්. මන් දන්නෑ ක්ලයන්ට්ස්ල වුණත් වැඩිපුර බලාපොරොත්තු වෙන්නෙ මෙලෝ රහක් නැති දේවල්. ඔයාට මතකද අපූ අපි පොඩි කාලෙ ටීවී එකෙයි රේඩියෝ එකෙයි ගිය ඇඩ්ස්…ඒව තාම කට පාඩං සයිස්නෙ”
“අර ලංකා බැංකුවයි මේ ඔබේ..වාසනා නිධානයයි ජාතියේ..ඒක මතකද…”
අපරාජිතා සිනහ වෙමින් ඒ වෙළෙඳ දැන්වීම සිහිපත් කළා ය. සසංක එහි අපර කොටසට තාල ඇල්ලුවේ ය.
“ඇයි තව මතකද අර ප්ලාසිටික් බඩු ගැන කතා කරමු දැන් වට්ටන්නටපෙරලන්නට පුළුවන් නමුත් බිඳින්නට නොහැකියි…”
සසංකත් අපරාජිතාත් දෙදෙනා ම එක්ව ඒ පැරණි වෙළෙඳ දැන්වීම සම්පූර්ණයෙන් ම තාලයට කීහ. එහි අවසානයේ අනන්‍යා සිනහ වෙමින් අත්පුඩි ගැසුවා ය.
“ශෝක් අනේ ඒව”
“තව අවුරුදු කීයක් ගියත් ඒව අහල තියෙන මිනිස්සුන්ට ඒව අමතක වෙන්නෙ නෑ. අන්න ඒකයි ඒ කමර්ශල්ස් වල තියන වටිනාකම”
“දැන් තියෙන ඒවයෙ වචනයක් මතක තියෙන්නෙත් නෑනෙ”
“මං ඕගොල්ලන්ට දෙයක් කියන්නද….”
අනන්‍යා එසේ අසත්දී අපරාජිතා ට දැනුණේ සිය හදවත මැද්දේ කාල බෝම්බයක් ඇටවූවා සේ ය. සිය දියණිය අසන්නට යන පැනය කුමක් වනු ඇත්ද? ඒ ඇය හා සසංක ගැන යමක් විය නො හැකි ද? බෝම්බය පුපුරන්නට ඇති කාලය තත්පර වලින් ගණනය කරන්නට සිදු වෙත්දී අපේක්ෂා කළ හැකි ගැස්ම අපරාජිතා ගේ හදෙහි විය.
“කියන්න”
තත්පර කිහිපයකට පසු එසේ කීවේ සසංක ය. අපරාජිතා සිටිනුයේ ගැස්මකින් බව ඔහු ට විශ්වාස ය. නමුත් එසේ කියා අනන්‍යා මගහැර යා නො හැකි ය. ඇය කියනා ඕනෑ ම දෙයකට මුහුණ දිය යුතු යයි ඔහු සිතා ගත්තේ ය.
“දැන් මට හිතෙනෝ…කැම්පස් නොගිහින් මෙහෙම ඉන්න”
අපරාජිතා ක්ෂණික ව ගින්නකින් නිවුණා ය. ඉන්පසු ඕ පිටුපස අසුන දෙසට හැරී අනන්‍යා දෙස බැලුවා ය.
“අනේ පුතේ…ඩිග්‍රි එක කම්ප්ලීට් කරනකල් එහෙම හිතන්න එපා. ජීවිතේකට කොච්චර වුණත් උගත් කමින් වටිනාකමක් එකතු වෙනව. දැන් කාලෙ වෙන රටක හිටියත් ගෙදරින් දුර කියල නොහිතෙන තරං තාක්ෂණයෙන් ළඟනෙ පුතේ”
“නෑ නෑ මං නොයා ඉන්නෙ නෑ. ඒත් මෙහෙම ඕගොල්ලො එක්කම ඉන්න තිබුණනං හොඳයි අප්ප”
ඒ ගමනේ අවසාන කොටසේ දී අරවින්ද අනන්‍යා ට කතා කළේ ය. ඔහු තරමක අසනීප තත්වයෙන් පසු වන බවත්, ඇය ට අවශ්‍ය කරන ඕනෑ ම දෙයක් දැනුම් දෙන ලෙසත් ඔහු දන්වා සිටියේ ය.
“මොකද්ද පුතේ තාත්තිගෙ අසනීපෙ…”
අපරාජිතා ගේ සිත්හි මඳ ගැස්මක් නොවූවා ම නොවේ. සසංක රිය පදවන ගමන් ම නෙතගින් ඇදෙස බැලුවේ ය.
“ටිකක් අසනීපයි කියල විතරයි කිව්වෙ. මොකද්ද අසනීපෙ කියලනං කිව්වෙ නෑ. මං ඇහුවෙත් නෑ ඉතිං. සමහර විට වයිරල් ෆ්ලූ එක වෙන්න ඇති. ඒක මේ දවස් වල හැම තැනමනෙ”
එය එසේයි අපරාජිතා ද සිතා ගත්තා ය. අරවින්ද කියන්නේ වයස තිස් ගණන් වල සිට ම දිවැඩියාව ද අධි රුධිර පීඩනය ද රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටමක් ද තිබූ අයෙකි. ඔහු වෙනුවෙන් ඇය ආහාර පිසීම කළේ ප්‍රවේසමෙනි. අරවින්ද ගේ රෝග වලට නුසුදුසු ආහාර වර්ග කිසි සේත් ඇය ඔහු ගේ බත් පතට එක් නොකළා ය. නමුත් අරවින්ද පිටතින් කෑම ගත්තේ ඒ කිසිදු රෝගයක් ගැන කිසිදු වගක් නැතිව ය. රුධිර පරෘක්ෂාවන් වල වාර්තා දකිත්දී ඇතැම් විට අපරාජිතා පුදුම වූවා ය. ඒ තරම් ප්‍රවේසමෙන්, තෙල්, ලුණු, මිරිස්, යන සියල්ල අඩු කරමින් ඇය ආහාර පිළියෙල කළේ වී ද ඔහු ගේ රෝග වල පාලනයක් සිදු වූයේ නැත. දිනපතා රාත්‍රියෙහි බෙහෙත් පෙති ටික පවා ඇය මතක් කළේ නැත්නම් ඔහු ට බොන්නට සිහි වූයේත් නැති තරම ය. දැන් ඔහු ගැන රොෂෙල් ඒ සොයා බැලීම කරනවා ඇත්ද යන පැනය දික්කසාදයෙන් ප්‍රථම වතාවට අපරාජිතා ගේ සිත් හි ඇති විය. නැවත වතාවක් ඇයට කතා කරන්නට ලැබුණොත් ඔහු ගේ ආහාර වලට මේධය හා ලුණු අඩුවෙන් එකතු කරනා ලෙසත්, දිනපතා බෙහෙත් ටික බොන්නට ඔහු ට සිහිපත් කරනා ලෙසත් කිව යුතු යයි ඇය සිතා ගත්තා ය.
අපරාජිතා ගේ මුවින් දිගු සුසුමක් බැහැර වූයේත්, සසංක ඇදෙස බැලුවේත් එකට ය. ඔහු දෙස බැලූ අපරාජිතා මලානික මඳහසක් නගා ගත්තා ය.
“තමන් ගැන කිසි පරිස්සමක් තියන කෙනෙක් නෙවේ. කෑම ගැනනං කිසිම පාලනයක් නෑ. නරකයි කියන ජාතියි මසුයි ඇල්කොහොලුයි…අනේ මන්දා ඉතිං…”
“වයිෆ් කෙනෙක් ඉන්නවනෙ ඒව ගැන හොයල බලන්න”
පසු පස අසුනේ සිට අනන්‍යා මුමුණා කීවා ය. ඉන් පසු ටික දුරක් එන තුරු තුන් දෙනා ම සිටියේ ඔවුන් ගේ කල්පනා ලෝක වල ය.
“ඔයා ඉතින් කෝල් එකක් අරං බැලුවනං හරිනෙ…මොකද්ද අසනීපෙ කියල”
ඒ නිහඬ බව බින්දේ සෑහෙන වෙලාවකට පස්සේ සසංක ය. ඒ වන තුරු ම ඔහු හිඳ ඇත්තේ ඒ සිදුවීම් ගැන කල්පනා කරමින් බවත්, ඒ කතා බහ සිදු වී සැලකිය යුතු වෙලාවක් ගත වී ඇති බවත් ඔහු ට කල්පනා වූයේ ද ඒ මොහොතේ ය. අපරාජිතා දෑස් විසල් කොට සසංක දෙස බැලුවා ය.
“නෑ මං කිව්වෙ…තනියම ඒ ගැන කල්පනා කර කර ඉන්නවට වැඩිය හොඳයිනෙ”
අපරාජිතා වදනකුදු නො බිනුවා ය. කිසිවෙකුට මේ තත්වය පහදා කිව නොහැකිය කියා ඇය ට සිතේ. ඇය ඔහු ගෙන් බිඳී සිටියේ කුළ ගෙහි සිටියදී ම ය. නමුත් සිය දියණිය ගේ පියා වශයෙන් අරවින්ද වෙනුවෙන් කළ යුතු යුතුකම් නො පිරිහෙලා ඉටු කළා ය. ඔහු ව ලෙඩ දුකින් හැකි තාක් ඈත් කොට තැබීම ද ඒ පරමාර්ථයෙන් ම කළ දෙයකි. දියණිය වෙනුවෙන් ඇගේ ආයුෂ ද ගෙන ඔහු චිරාත් කාලයක් ජීවත් විය යුතු යයි ඇය සිතින් පැතුවා ය.
දැනුදු එහෙම ය. අරවින්ද අසනීපයෙන් යයි අසත්දී ඇගේ සිත සසැලී ගියේ ඒ බැඳීම මත ය. ඇතැම් විට ආහාර පාලනයක් නැති කම මත ඔහු නැවතත් දියවැඩියාව වැඩි කරගෙන ඇතිවා විය යුතු ය.
යළි ගෙදර එන විට රෑ බෝ වී තිබිණ. ඔවුහු මගින් රෑ කෑම ලබා ගත්හ. රියෙන් බැස බඩු මලු කිහිපයද ගෙන මතු මහලට නැගෙන්නට පෙර අනන්‍යා සසංක ව වැළඳ ගත්තා ය.
“තෑන්ක් යූ සසංක අංකල්”
ඇය ඔහු ට අංකල් කියා ආමන්ත්‍රණය කළ ප්‍රථම වතාව ඒ ය. අමුතු රිදුමක් අපරාජිතා ගේ උගුරේ ඇති විය. සසංක තරුණිය ගේ හිස ද පිට ද පිරිමැද්දේ ය.
“යුවා වෙල්කම් පුතා. ඔයා වෙනුවෙන් ඕන දේකට මාත් ඉන්නව කියල මතක තියා ගන්න. ම්…”
අනන්‍යා හිස සලා පිය ගැට පෙළ දෙසට පිය නැගුවා ය. ගොළු වී බලා උන් අපරාජිතා සසංක වෙනුවෙන් කිව යුතුව තිබූ සියල්ල කීවේ කතා කරන ඇස් දෙකෙනි. සසංක යන්තම් සිනහවකට අරඇන්දා විතර ය.