(අ)හිමි සිහින -208

මේ කතාව මම ඔබට එක සිදුවීමක් නෑර පවසන්නේ මා කළ කී දේ සාධාරණීකරණය කරන්නට වත් ඒ ගැන යම් විනිශ්චයක් බලාපොරොත්තුවෙන් වත් නොවෙයි.මගේ කතාව කවුරු කෙසේ දැක්කත් එය මා අත්විඳ අවසන්.ඒ නිසා ඔබ මෙය තක්සේරුකරන්නට යනවාට වඩා මෙයින් අඩුතරමේ මා කල යම් වරදක් හෝ ඔබේ ජීවිතයේදී ඔබට නොවන තැනට වග බලාගන්නවානම් මගේ අපේක්ෂාව වන්නේ එයයි .

මෙය කියවන ඔබට යම් යම් ගැටලු ඇති තැන් තිබෙන බව මට වැටහෙනවා.නමුත් මට අනුන්ගේ ජීවිත විවේචනය කරන්නට බැහැ.ඒ නිසා අවශේෂ චරිත විසින් කරන්නට යෙදුණු දෑ ඔබට පැවසීමට මට නොහැකියි.මා මෙහි කියන්නේ මගේ ජීවිතයේ මට සිදුවූ සත්‍ය අත්දැකීම්. ඒ නිසා සිදුවීම් වලින් කිරාමැන බලනවා විනා චරිත තුලින් මේ කතාව මනින්නට යන්න එපා යැයි ද ඉල්ලා සිටින්න කැමතියි.

දිල්හානිට ලංකාවටවත් එන්නට නොහැකි නම් ඇය කියන දේවල් නිලධාරීන් ඇහුවේ ඇයි දැයි ඔබ අසා තිබුණා. එයට පමණක් මම පිලිතුරු දෙන්නම්.

දිල්හානි එසේ සරණාගතයින් ලෙස රැකවරණ පතා දමපු බොරු ලියුම් අප අත තිබුණාට ඒවා කිසිවෙක් අතට යනවාට සුධාරක කැමති වූයේ නැහැ.පලවෙනි කාරණාව නම් ඔහුට ලැජ්ජාවක් ඇතිව එය කිසිවෙකුට කියන්නට බැරි වීමයි.

විශිෂ්ඨ සහ ජේෂ්ඨ නිලධාරියෙකුගේ බිරිඳක් සතුරන්ට පක්ෂව මානව හිමිකම් කොමිසම හමුවේ සාක්ෂි දෙනවා යැයි කෙසේ පවසන්නද? එයම ඔහුගේ රැකියාවට මරුපහරක්.සුධාරක සිය නිකැලැල් සේවයට පවා පදක්කම් ලැබූවෙක්.ඒ නිසා එය ඔහුට එලියට දමන්නට හැකියාවක් තිබුණේ නැහැ.

අනෙක් කරුණ නම් දිල්හානිගේ ඒ ලිපි ගොනුවේ තිබූ බොරු සාක්ෂි ඒ රටට ඉදිරිපත් කළහොත් ඇය බ්‍රිතාන්‍ය රජයට කල වංචාවට අනිවාර්යයෙන්ම සිරගත වෙනවා. එවිට දරුවන් පරිවාසයට යවනවාට ඔහු බිය වූ නිසා ඔහු එය හෙලි කලේ නෑ.දරුවන් අම්මා ගේ කීමට තාත්තා ගැන මොනවා කීවත් ඒ තාත්තා දරුවන් කෙරෙහි තිබූ ආදරයයි ඒ. තමාගේ නොවුණු මගේ දියණියට පණ සේ ආදරය කළ ඒ අහිංසක පියා තමන්ගේ දරුවන්ට ද ආදරය කළ බව මා හොඳින්ම දන්නවා.

ඒ නිසාම සමාජයට රහසක් ව පැවති ඒ ලිපි ගොනුව අදාළ අංශ වෙත මා බාරදුන්නේ සුධාරක ගිලන්වූ පසුවයි. ආරක්ෂක අංශ වල උසස්ම නිලයන් ද ඈඳාගෙන ඇය සකසා තිබූ ඒ ව්‍යාජ ලේඛන ගැන ඔවුන් දැනගත්තේ ද මා දැන්වූවාට පසුවයි. එහෙත් ඇයට විරුද්ධව ක්‍රියා කර තීන්දුවක් ගෙන යමක් කරන්නට අපට කාලයක් තිබුණේ නැහැ. අප සටන් කළේ ජීවිතයත් මරණයත් අතර සිටි අසාධ්‍ය රෝගියෙකු වෙනුවෙන් බව අමතක කරන්නට එපා.ඒ වගේම ලංකාවේ නීතියේ හැටියට දික්කසාදය උසාවියේ නියත තීන්දුවකින් අවසන් වනතුරු නඩුවක් ගොනුකර තිබුණත් විවාහයේ අයිතිවාසිකම කෙනෙකුට තිබෙනවා.මේ නීති ගැටලු ගැන පවා දැන සිටීම ඔබට කවදා හෝ ප්‍රයොජනවත් වේවි. දේපල වුණත් සැමියා මියගිය පමණින් බිරිඳට ලැබෙන්නේ නැහැ..මේවා ගැන සොයාබලා දැනුවත් වෙන්න

ඉතින් දිල්හානි කුමන තත්වයක සිටියත් ඇගේ විවාහ සහතිකයට තිබූ බලයට ඒ අවස්ථාවේදී කාටවත් විරුද්ධ වන්නට හැකියාව තිබුණේ නැහැ.නමුත් ඔබ අද මේ කතාව කියවන අවස්ථාව වනවිට සුධාරක මියගොස් වසර දෙකකට ආසන්න වන්නට ආවත් දිල්හානිට තමා කළ කී දෑ පාරාවළල්ලක් වී හැමතැනින්ම සිරවී හැංගී සිටිනවා.

ඔබ සමහර දෙනා අසා තිබුණ එක් පැනයක් ඒ.දිල්හානි ගේ අද වන විට තත්වය.ඇයට සුධාරකගේ අනත්දරු වේතනයට හෝ හිමිකම් කියන්නට බැරිව මේ රටට එන්නටත් බැරිව සුධාරකගේ කිසිම වත්කමකට හෝ හිමිකමක් කියාගන්නට බැරිව තමා අටවාගත් වලේ තමාම වැටී සිටිනවා.විවාහ සහතිකයට හෝ මරණ සහතිකයට ඇය පැතූ කිසිවක්ම ඉටුකර දෙන්නට නොහැකි වී තිබෙනවා.සොබාදහම නීතියටත් උඩින් හිඳ සාපරාධී මනුෂ්‍ය ඝාතනයකට දඬුවම් කරමින් සිටිනවා.මගේ නිර්දෝෂීභාවයට එයම පමණක් මට ඇති.

දිල්හානි නිවැරදි බව කියන දිල්හානිගේ පලිගැනීම සාධාරණය කියන කොටසකුත් ඉන්නා බව මම නොදන්නවා නොවේ.කාට කාටත් බෙදෙන විට ඒ ඒ හැන්දෙන් කර්මය ප්‍රතිපල බෙදාදේවි. එතෙක් මේ කතාව ඉවසීමෙන් අසා සිටින්න.එයයි මගේ එකම ඉල්ලීම.

දිල්හානිගේ නිවස බලන්නට ගිය නිලධාරියා එහි නිලධාරියෙකුගේ මරණ කටයුතු සිදුකරන්නට නොහැකි බවත්, ආචාර වෙඩිමුර සහිත අවමංගල පෙලපාලිය ලබාදීමට අසීරු බවත් ආයතන ප්‍රධානී ජ්‍යේෂ්ඨ නිලධාරියාට පවසා තිබුනා.එහෙත් දැඩිව බලපෑමක් කර තිබූ දිල්හානි මරණය එම නිවසේම තැබිය යුතුයැයි තරයේම පවසා තිබුණා. විවාහ සහතිකය මත එම තීරණයට පිටුපෑමට නොහැකි වීම නිසා මරණය එම නිවසේ තබන්නටත් අවසන් කටයුතු සිදුවනදා දේහය බොරැල්ල මල්ශාලාවකට ගෙනවිත් පූර්ණ ගෞරව සහිතව ආදාහනය එහිදී කරන්නත් ඔහු තීරණය කර තිබුණා.

සුධාරක යන්නට හෝ පිලිකුල් කල තැනකට ඔහුගේ දේහය ගෙනගියාට ඔහුගේ අධ්‍යාත්මය ඔහුගේ නිවසේ මා සමග ඒ මොහොතේදීත් ඉන්නට ඇති.ඒ වනවිටත් මා සුධාරක නොදැක මාස තුනකුත් දින විස්සක් ගතවී තිබුණා.

ඔහු නිසල සිරුරින් දකිනවාට වඩා ඔහු මේ නිවසට පැමිණ මගේ හිස අත ගා මා සනසන බව විශ්වාස කිරීම මට එක්තරා ආකාරයක සතුටක්.නමුත් ඒ විශිෂ්ඨ මිනිසාට ආදරය කළ කාටත් ඔහු දකින්නට පැමිණෙන්නට වඩා පහසු වූයේ අප ජීවත් වෙන මේ නිවස.අපේ නිවස අගනුවරට ආසන්න නගරයක පිහිටා ඇති බව මා පවසා ඇති අන්දම ඔබට මතක ඇති.රාජ්‍ය නායකයන්ගේ පටන් සාමාන්‍ය සිවිල් වැසියෙකුට පවා නිදහසේ පැමිණෙන්නට හැකි තැනක ඔහු නිවස තනා තිබුණා.ඔහු ඉතා වෙහෙස මහන්සි වී මුදල් වියදම් කළ ඔහුගේ මාලිගාව මම ඉතා හොඳින් නඩත්තු කළ නිසා අපට හොඳ නිවසක් තිබුණා.ඉතින් ජරාවාස වූ ජනෙල් ගැලවී ගිය නිවසක අවසන් පැය කිහිපය ගත කරන්නට ඔහුට සිදුවීම මට දරා ගන්නට හැකි වුණේ නැහැ.

එහෙත් ප්‍රතාපවත් අඩි තබමින් ඔහු ඇවිද ගිය ඔහුගේ නිවසේ නිසලව වැතිර සිටින්නට දෛවය ඔහුට ඉඩ නොදෙන්නට ඇති.ඔහු උස් හඬින් හිනැහුණු,ගී ගැයූ,දියණිය සුරතල් කළ,මට පෙම්බස් මිමිණූ මතක දරා ගන්නට මේ නිවසේ බිත්තිවලට උවමනා වන්නට ඇති.

එහෙත් මට එකම එක ප්‍රශ්නයක් තිබුණා.ඔහු දවා හළු කරන්නට පෙර මට ඔහු දකින්නට ලැබෙන එකක් නැද්ද?යලි මේ ජීවිතයේ කිසිදාක සුධාරකව දකින්නට අනුරාධාට නොහැකි වේවිද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles