(අ)හිමි සිහින -210

මේ කතාවේ ඉතාමත් අසාධාරණයට පත්වූයේ කිසිවකු නොව සුධාරකයි.ඔහුට ඔහුගේ කතාව දැන් පැවසිය නොහැකියි.ඕනෑ කෙනෙකුට ඔහුගේ කතාව විකෘති කර වුවද පැවසිය හැකියි. එනිසාම කෙනෙකු මියගිය පසු ඔවුන්ගේ ජීවිතය ගැන තීරණය කරන්නට පෙර කිහිපවරක් සිතන්න.

සුධාරක ගේ ආදාහනය සිදුකරන දිනය වෙබ් අඩවි තුල පුවත්පත් වල පවා පළ කෙරුනා.ආයතනයේ සියලුම කඳවුරු වලටද පණිවිඩ යවා තිබූණා.ඒත් දිනක් පමණ යනවිට මට දැනගන්නට ලැබුණේ දිල්හානි නැවතත් ප්‍රධානියාට කතාකොට ආදාහනය ඇගේ නිවස පිහිටි පෙදෙසේ සුසානභූමියේ සිදුකලයුතු බව කියා ඇති බවයි
එයට ඔවුන් කැමති වී තිබුනේ නැහැ මන්ද ආචාර වෙඩිමුර සහිත පූර්ණ ගෞරව සහිත පෙලපාලිය එවැනි කුඩා තැනක සිදුකිරීමට තිබූණ අපහසුවයි.නමුත් ඇය දැඩි ලෙස තම තීරණයේ එල්ලී ගෙන සිටියා.

අවසානයේ මෙම අවමංගල්‍යය ආයතනයට ද කරදරයක් වෙන තැනට පැමිණ තිබුණා. සුධාරකගේ ආදාහනය ගන්නා දිනය ස්ථානය වේලාව වැනි දේ සැරින් සැරේ වෙනස්කරමින් දිල්හානි හා පවුලේ අය කරන්නට යෙදුණු ක්‍රියා නිසා සහබාගී වීමට සිටි බොහෝ දෙනෙකුට ඔහුගේ දේහය හෝ අවසානයේ දැකගැනීමට ලැබුනේ නැහැ.දිල්හානිගේ නිවසට යන්නට අකමැතිකම නිසා නොගිය පිරිසක් ද සිටියා. දෙවෙනි දවසේ සුධාරක ගේ ආදාහනය සිදුවන තුරු පස් වතාවක් වෙබ් අඩවි දැන්වීම් සහ හමුදා පණිවිඩ වෙනස්කරන්නට සිදු වුණා.ඒ සියලු සාක්ෂි අදටත් මා සතුයි.

මේ සියලු දේ කර ඔවුන් සිතන්නට ඇත්තේ මා අවමංගල්‍යයට සහභාගී වීම වලකන්නටයි.සුධාරකගේ අයිතිවාසිකම කෙසේවෙතත් ඔහුට ලබාදෙන ගෞරව යකාට යන්නට ඉඩ දී දිල්හානිගේ නිවසේ මරණය තැබුවහොත් අනුරාධා ට සුධාරක ගේ මරණයට වත් සහභාගී වන්නට බැරිකරන්නටත් සිතන්නට ඇති. බොරැල්ලට දේහය ගෙනගියොත් සමහරවිට අනුරාධාට එතැයි කියා බිය වන්නටත් ඇති.

කෙසේ නමුත් සුධාරක ගේ දේහය අසල මා නොසිටියත් එතන සිටියා වාගේම අපේ හිතවතුන් මට හැම විස්තරයක්ම ලබා දුන්නා. ඒ අතරම මම තනිවම මා කරන්නට යන දේ හදවතින් සැලසුම් කරමින් සිටියා. මට මතක්වුනා අතීත මතකයක්..

එය ඔබටත් මතක ඇති.

ඒ මීට බොහෝ කලකට ඉහතදී මා සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ ලියන කාලයේ සුධාරකත් මමත් අතර ආදරය ඉතා කරදර මධ්‍යයයේ වුණත් සෙනෙහසින් ගලා ගිය හැටි. මා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට සූදානම් වෙද්දී මම සුධාරකගෙන් ඉල්ලූයේ එකම දෙයයි.

“අනේ මට ඔයාගේ කකුල්දෙක අල්ලලා වැඳලා විභාගයට යන්න ඕනෑ.”

ඒ දිනවල යුද්ධයේ දරුණු සටන් පැවති අතර අපට පණිවිඩ හුවමාරුවද බොහෝ දුෂ්කරව තිබුණා.සුධාරක කොහි ඉන්නවාද ඔහුට මගේ ලිපිය ලැබුණාද වත් මා දැන සිටියේ නැහැ.බොහෝවිට මේ දරාගැනීම් වලට මා ඒ කාලයේ සිටම පුරුදු වන්නට ඇති.විභාගයට යන්නට පෙර දිනය උදා වුණා.සුධාරකගේ රස්සාව හැටියට ඔහුට ඕනෑ ඕනෑ ආකාරයට තීරණ ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මගේ එකම බලාපොරොත්තුව බොඳවී යමින් තිබුණා.ඒත් එදා සවස් යාමයේ බොහොම පිලිවෙලට පිරිසිදුවට හැඳගත් මගේ ආදරය ගේ දොරකඩ පෙනී සිටියා.ඒත් අම්මලාගේ දැඩි විරෝධය මධ්‍යයේයි.

“ඇයි ඔයා මෙහේ ආවේ. අපි කිව්වනේ අපි මේකට කැමති නෑ කියලා”

කිසිදා තමාට කොපමණ දොස් කීවත් මගේ දෙමාපියන්ට මුවින් එකදු වචනයක් නොකී සුධාරක කලේ අහිංසකව සිනාසීම පමණයි.නමුත් මේ සම්බන්ධය නතරකරන්නට කතාකරගන්නට යැයි එවේලේ ඔහු පැවසුවේ අප දෙදෙනාට කතාකරන්නට අවස්ථාවක් හදාගන්නටයි.එදා ඔහු පිටව යද්දී ඔහුගේ නික්ම යාමත් සමග අනිවාර්යයෙන්ම ගුටිකන්නට සිදුවන බව දැන දැන මා දෙමාපියන් ඉදිරියේම සුධාරකගේ දෙකකුල් අල්ලා වැන්දා. ආදරයෙන් මා දෙවුරෙන් අල්ලා නැගිට්ටවූ ඔහු

“විභාගේ හොඳට කරන්න.ඔයාට පුලුවන් ඔයා දක්ෂයි”කියා පවසා ගේට්ටුවෙන් ඈත නොපෙනී ගියා.

ඊටත් දෙවසරකට පසු මා උසස්පෙළ විභාගයට යන්නට සූදානම් වනවිට ද මා සුධාරකට කල එකම ඉල්ලීමද එයමයි

“මට ඔයාට වැඳලා විභාගයට යන්න ඕනෑ”

ඒත් කලින් වගේම ඔහුගේ පැමිණීමක් ගැන මට බලාපොරොත්තුවක් නොතිබුණේ ඔහූගේ රාජකාරී ස්වභාවය මා දැනසිටි නිසා.ඒත් ආදරයක් වෙනුවෙන් කල හැකි සියල්ල කිරීමට එකලත් මැලි නොවුණු සුධාරක විභාගයට පෙර දිනයේ මා දකින්නට පැමිණියා.එවරත් ඔහු නිදහසට පැවසුවේ මේ සම්බන්ධය නතරකරන්නට කතාකරගන්නට පැමිණි බවයි.මා එදා ද ඉතා සෙනෙහසින් ඔහුගේ දෙපා අල්ලා වැන්දා.සුපුරුදු ලෙස මා නැගිටුවා මගේ හිස අතගෑ ඔහු

“මගේ පුංචි කෙල්ල දක්ෂයි.ඔයාට පුලුවන් ” යැයි මා ධෛර්යමත්කොට ඈතින් නොපෙනී යනු මා බලා සිටියා.

මට මේ සිද්ධි ඔහුගේ මරණය අභියසදී මැවි මැවී පෙනුණා. ඔහු එදා යන්නට ගියේ ආයේ එන්නට වුණත් හෙට ඔහු යන මේ ගමන යන්නේ ආයේ කවදාවත් එන්නට නොවේ.කවුරු කුමන කතා කිව්වත් ඔහු මා ලඟට ඉල්ලාගෙන ආ ජීවිතය මා ඔහුට දුන්නා.ඔහු වෙනුවෙන් කල ඒ කැපකිරීම හමුවේ සමාජයේ කතා මට දුහුවිල්ලක් පමණයි.ඔහුගේ දේහයට වැඳ මේ භවය නිමවනතෙක් විරාමය තබනු සඳහා මම යනවාමයි.මාව නවත්තන්නට කිසිවෙකුටත් බැහැ.මම ගොඩක් දේ දරාගෙන ආ ගැහැණියක් ගොඩක් අසීරු අවස්ථා නින්දා අපහාස දරා ගනිමින් ආ ගැහැනියක්.මේ වනවිට මම ලෝකය දකින විදිය බොහෝ වෙනස්.සුධාරක ගෙන් සමුගන්නට ඔහුගේ අනුරාධා ඊට පසු දා ගියා.

ජීවිතයේ ඕනෑතරම් වෛවර්ණ සාරි වලින් සැරසී ඇති මා මගේ ජීවිතයේ මෙතෙක් හැඳි මුල්ම සුදුසාරිය ඔහු වෙනුවෙන් ඇඳගෙන යන්නට අතට ගත්තා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles