සඳ ගංතෙර – 08

“මට වෙනස් වෙන්න ඕන හලෝ.”

ඒ හඬ පැමිණියේ මල්ලීගෙන්මදැයි තාරකාට පුදුම සිතිණ. දියණියක පවුලට ලැබෙන්නට යන මොහොතක තමන්ගේ චර්යා රටා වෙනස් කරගන්නට සඳරැස්ට සිතෙන්නට ඇති බව ඇය අනතුරුව සිතුවා ය. ඒ හැරෙන්නට ඔහුට වෙනත් හේතු තිබෙන්නට නුපුළුවන.

“ඔයා රිද්මිට ආදරේ කළේ ඇත්තටමද?”

ඒ පැනය අක්කාගෙන් නොව වෙන කිසිවෙකුගෙන් මතු වූයේ නම් සඳරැස් ලබා දෙන්නේ අසංවර පිළිතුරකි. නමුත් අක්කාට එවැනි කතා කියන්නට නොහැකි බව ඔහු දනියි.

“මං ඔයාටයි තාත්තටයි ඇරෙන්න කාටවත් ආදරේ නෑ. දුලාජ් අයියා මගේ කියල හැඟීමක් හිතේ තියනවා. කෙලි පොඩ්ඩ ආවම ඒකිට පැලෙන්න ආදරේ වෙනවා. එච්චරයි. ආදරේ කියන වචනේ ගැන මම විශ්වාස කරන්නෙ නෑ අක්කා එතනින් එහාට”

තාරකා මල්ලී දෙස බලා සිටියේ වේදනාවෙනි. අම්මාගේ නික්ම යාමෙන් පසු ඔහු ඉල්ලමින් හඬා වැටුණු කුඩා සඳරැස් ඇයට සිහි වේ. අම්මා මිය ගිය බව වැනි අසත්‍ය ඔහුට කියන්නට තාත්තාගේ කැමැත්තක් නොවී ය. ඇයට වෙනත් පවුලක් ඇති කතාව තාත්‍තා සඳරැස්ට පැහැදිලි කළේ ය. මේ වෛරය එතැනින් පැන නැඟිණ.

“බූට් පනහක් හැටක් කාපු මනුස්සයෙක් වගේ ආදරේ දිහා අප්‍රසන්න තාලෙට බලන්න එපා මල්ලි. මං දුලාජ් අයියාට ආදරේ කරන තරම අයියා මට ආදරේ කරන තරම දැක්කමවත් ඔයාට පවුලක් ගැන ආසාවක් එන්නේ නැද්ද?”

සඳරැස් නිහඬ සිනාවක් නැඟී ය. අක්කා පවා අම්මාගේ පාරේ යන්නට ඉඩ ඇති බව ඔහු සිතන්නට වූයේ තේරෙන වයසට එද්දී ය. එහෙත් අක්කා ප්‍රථම ප්‍රේමයම විවාහය දක්වා රැගෙන ආවා ය. ඇගේ ආදර කතාව බලා හිඳින්නට ආසා හිතෙන එකක් බවට පත් කර ගත්තා ය.

“මට ඔයා දිහා බලන් ඉන්නකොට පවුලක් ගැන ආසාවක් එන්නේ නෑ.සැනසීමක් එනවා. ඔයා අම්මා ගිය පාරේ ගියේ නෑනේ.”

අම්මාට ද ඇගේ ගමන සඳහා හේතු තිබෙන්නට ඉඩ ඇති බවට මල්ලීට කියන්නට තාරකා මනාප නැත. ඔහු ඒ කතාවට හේතු රහිතව කිපෙන බව ඇය දන්නී ය.

“ආදරේ ගැන අවිස්වාස කරන හැම කොල්ලෙක්ම කෙල්ලෙක්ගෙන්ම රැවටුණු අය නෙවෙයි. සමහරු තමන්ගේ අම්මාගේ ආදරේ ඉස්සරහ රැවුණු තනි වුණු බිඳුණු ළමයි. ඒක කාට නැතත් අක්කාට තේරුම් ගන්න පුලුවං වෙන්න එපැයි.”

මල්ලී එසේ කියද්දී තාරකා ශෝක වූවා ය. මේ සංවාදයට දුර යන්නට ඉඩ දිය යුතු නොවේ.

“මොකද කෙල්ලේ මං දිහා නොබලා එහෙ මෙහෙ යන්නේ?”

සඳරැස් පුළුස් සිනාවක් ද සමඟ එසේ ඇසුවේ දුලන්‍යා ඔහුගේ දෑස් ඉදිරිපිට සක්මන් කරන මොහොතක ය. මේ කුඩා සමයංකාර කෙල්ල හිත ඕනෑවටත් වඩා සොලවන බව ඔහුට දැනෙයි. ඔහුගේ දරා ගැනීමේ සීමාව ඈ ඕනෑවටත් වඩා පරීක්ෂා කරන ගාණ ය. අක්කාගේ පෙම්වතාගේ නිවසට ගිය මුල්ම ගමනේ හිනැහෙමින් සිටි කුඩා පාසල් ශිෂ්‍යාවට මේ තරම් හැඩකාර කෙල්ලක වන්නට හැකි වීම කාලයේ අපූරු කාර්යයකි.

“මං හිතුව අයියා වැඩක් කියල.”

දුලන්‍යා එහෙම කියන්නේ බොරුව ය. අයියා ඔහුට අකමැති බව සිතද්දී ඔහු කෙරෙහි ආසක්ත වන්නට ඇයට බියක් දැනේ. නමුත් ඇය ඈට ඇසුණු දෙයක් ඔහුගෙන් විමසුවා ය.

“අයියා ඇයි වෙන කම්පැනි එකක් හොයන්නෙ? ජොබ් එක ස්ට්‍රෙස් ද?”

ඉගෙන ගන්නා කාලයේ දරුවන්ගේ අවසාන නැවතුම වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙකු බවට පත් වීම විය යුතු බව දෙමාපියන් සහ ගුරුවරුන් පැවසුවාට එය සෑමවිටකම සුවපහසු තීරණයක් නොවන බව සඳරැස් පැවසුවේ මෘදු කටහඬකිනි. ඉංජිනේරුවෙකු වීම ඔහුට සුවපහසු කලාපයන්ම ඇති කරන්නේ නැත.

“මටත් දැන්මම වෙලාවකට මහන්සි හිතෙනවා.”

වෙන කාටවත්ම නොකී කතාවක් කියන්නට දුලන්‍යාට සිතිණ. ඇය වෛද්‍යවරියක වන්නට සැරසෙමින් හිඳීම පවුලට අභිමානයකි. ඒ හන්දා ඇයට අධ්‍යාපනය ගැන ඇති පීඩා පවුලේ අයට කියන්නට අසීරු බව දුලන්‍යා පැවසුවා ය.

“ඉතිං මාත් ඔයාගෙ පවුලෙ කෙනෙක්නෙ.”

එය අමතකව යාම නරක ය. ඔහුගේ හිත රිදුණාදැයි ඇය විස්සෝපයට පත් වූවා ය. ඇත්තටම එහෙම වන්නට ඉඩ දිය යුතු නොවේ.

” ඒ වුණාට කමක් නෑ. මං හොඳ යාළුවෙක් කියලා හිතන්නකො. තියන අවුලක් මට කියන්න.”

ඔහු එසේ කියද්දී ඇය හිස වැනුවා ය. සඳරැස් අයියාට කෙල්ලන් ඉහේ කෙස් ගාණට බව දුලන්‍යාට පැවසුවේ නිවසේ අත්උදව් කාරිය ය. අක්කාත් අයියාත් නැති මොහොතක ඔහු සමඟ ඕනෑවට වඩා භජනයට යන්නට ඕනෑ නැති බව ඈ පැවසූ අන්දම සිහි කළ දුලන්‍යාට සිනාවක් ඉපදිණ.

“මොකද හිනාවෙන්නේ? මං කෙල්ලන්ට හොඳ ලවර් කෙනෙක් නොවුණට ඕන මනුස්සයෙක්ට හොඳ යාලුවෙක් වෙන මනුස්සයෙක්.”

එසේ පැවසූ සඳරැස් අනවසරයෙන්ම ඇගේ නළලට ඇඟිල්ලකින් තට්ටුවක් කළේ ය. ඒ ඔහු පැවසූ කාරණාව අවධාරණය කරන්නට වන්නට ඇත. එහෙත් ඔහු තමන් ගැන එතරමට අවතක්සේරුවට ගැනීම දුලන්‍යාගේ කෝපයට හේතු විය.

“ඔයා දන්නවනම් හොඳ ලවර් කෙනෙක් නෙවේ කියලා ඇයි බලෙන් නරක් වෙන්නේ?”

මිත්‍රත්වයට ඇරයුම් කළ මොහොතේම පොඩි කෙල්ලක ඔලුවට අත හෝදන්නට පැමිණීම ඔහුට කෝපයක් ගෙන ආවේ නැත. ඒ වෙනුවට ඔහු හිනැහී ය.

“ආදරේ කියන්නේ මාරම ලස්සන දෙයක් නෙවෙයි කියලත් ඔයාට තේරෙන දවසක් එයි.”

සඳරැස් ඒ හිනාව සමඟ පැවසී ය.

“මම මාර ලස්සනට ආදරේ කරන්න කැමති කෙනෙක්. මං විතරක් නෙවෙයි, හැම ගෑනු ළමයෙක්ම එහෙමයි. අයියට මුණ ගැහුණු අය එහෙම නැතුව ඇති.”

දුලන්‍යා ඒ පැවසූ කතාව ගැන දෙවතාවක් නොව විසි තිස් වාරයක් සිතන්නට ඔහුට සිතිණ. අම්මාට වෛර කිරීම එක් කාරණාවකි. නමුත් සහකාරියකගෙන් අම්මා සොයන්නට ඔහුට උවමනා වූයේ නැත. නමුත් සෙල්ලකාර සහ වගකීම් විරහිත කෙල්ලන්ගේ කාලය කා දමන යන්ත්‍රයක් වන්නට යාම තමන්ට තව දුරටත් තමන්ව අහිමි කරමින් ඇති බව ඔහුට සිතිණ.

එය වේදනාවකි!

ඔවුන්ව පාවිච්චි කරන්නට ගොස් තමන් ද පාවිච්චි වී තිබේ. ඒ හන්දාම ආදරය මෙතරමට අප්‍රියජනක වන්නට ද ඉඩ ඇතැයි සඳරැස්ට ජීවිතයේ පළමුවරට සිතෙන්නට පටන් ගෙන තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles