සඳ ගංතෙර -56

ජීවිතය සියළු සැපතින් පිරී ගිය අතීතය චාන්දනී සිහි කළා ය. කෝටිපතියෙකුගේ බිරිඳක වී ඉන්නා ගමන් ගුරුවරයෙකුගේ බිරිඳක් වී සිටි කාලය සැපතින් පිරී ගිය අතීතයක් බව සිතීම අසන කෙනෙකුට පුදුමයක් වන්නට ඉඩ තිබේ. නමුත් ඒ කාලයේ ජීවිතය පිරී තිබිණ. එහෙත් අඩුවක් ද තිබිණ.

විජිත මල්වැන්න තරමට සාර්ථක ගුරුවරයෙකු එකල නොසිටි තරම් ය. පාසලේ කැපවීමෙන් උගන්වන ඔහුට අමතර පන්ති කරන්නට සිදුවූයේ ඔහුගේ කැමැත්තෙන් නොවේ. යාබද පාසල්වල දරුවන්ගේ දෙමව්පියන්ගේ දැඩි ඉල්ලීම හන්දා ය.

“කමකුත් නෑ අනේ. දූටත් අනාගතයක් හදන්න එපැයි.”

ගුරු වැටුපක් මහ දෙයක් නොවේ. විවාහයට පෙර සංගීත පන්ති පවත්වන්නට චාන්දනී කටයුතු කළත් තාරුකාගේ ආගමනය ඒ සියල්ල වළකා තිබිණ. දරුවා සමඟ රැඳෙන්නට විජිත නිරන්තරයෙන් ඇයට පැවසුවේ ය.

“පුලුවන්නං මං රස්සාවට යන්න නොදී ගෙදරත් තියා ගනීවී.”

චාන්දනී අම්මා සමඟ නෝක්කාඩු කියන්නේ එහෙම වෙලාවට ය.

“හෙනං. එකේ නරකක් තියනවය. ගෑනු ළමයි හදන්න ඕන දෑහේ මූණේ තියාගෙන.”

අම්මා එහෙම කියන්නේ චාන්දනීගේ කෝපය අවුස්සමින් ය.  ඇය චාන්දනිය තැනුවේ ද එහෙම ය. ආදර විවාහයක් කරගන්නටවත් ඉඩක් නොවිණ. ඇත්තටම අම්මා නූල මෙන් පස්සෙන් වැටී සිටි කෙල්ලෙක්ට කොල්ලන් මුණ ගැහෙන්නේ ද නැත. සරසවියට යද්දී එහි ජේෂ්ඨ සිසුවෙකු වූ විජිත යෝජනා වී තිබිණ. ඉතින් ලෝකය කැරකුණේ ඉතා පටු සීමාවක ය.

විජිත කියන්නේ හොඳ මිනිසෙකි. එහෙත් චාන්දනීට ආදරය කරන්නට ඕනෑ විය!

තාරුකාට නිසි වයස් පිරෙද්දී පුතෙකු ඕනෑම වූ දවස් චාන්දනී සිහි කරයි. ජීවිතය ගැන සැලසුමක් ඇති විජිත ද ඒ තීරණයට අකමැති වූයේ නැත. පුතෙකු පැමිණ තිබිණ.පුතෙක්දැයි නොදන්නා නමුත් දරුවෙකු පැමිණ තිබිණ.ඒ සිහිනය රත්පැහැයට සේදී ගිය දා චාන්දනී හැඬුවේ පුදුමාකාර තරම් ය. පළමු දරු සීනය ම බිඳී ගිය අම්මා කෙනෙක් වත් ඒ තරම් හඬන්නේ නැත. නමුත් ඇය ඔහේ වැළපුණා ය.

“මං බස්වල කෝච්චිවල දුක් වින්දත්. මේ ගෙවල්වල වාහන තියෙන්නේ වහලා දාලා තියන්නනෙ. අයිතිකාරයො සල්ලි පස්සෙ දුවනවා.”

එසේ බැන අඬගසද්දී විජිත යෝජනාවක් ගෙන ආවේ ය. සුව වෙනතුරු ත්‍රීරෝද රථයක් පාවිච්චි කරන්නට ය. ත්‍රීරෝද රථයේ සිටි නොහික්මුණු තරුණයාට ජීවිතය උගන්වන්නට ආ ආශාව ඇයට තවමත් තේරෙන්නේ නැත.

“මේ වැඩේ ස්ථිර ද කමල්. තමන් මොකක් හරි දෙයක් කරන එක හොඳයි. ඒත් මේ ත්‍රීවිල් එකත් ඔයාගෙ නෙවේනෙ. ඔයා ඔයාට කියලා මොකක්ම හරි ආදායමක් හොයා ගන්නෝනෙනෙ.”

ඇය අනාගත සිහින දකිමින් කියන්නී ය. ඇයට කිසිවක් කර කියාගන්නට නොහැකි තරුණයෙකුට පාර පෙන්වීමේ මොකක්දෝ උවමනාවක් ඇති වෙමින් තිබිණ.

“මට ඔයා ඉන්නෙ..”

ඔහු ඒ පවසන්නේ සරදමක් බව චාන්දනී සිතුවා ය.තමන්ගේ ආර්ථික මට්ටම ඉතා යහපත් බව සත්‍යයකි. නමුත් ඔහුට දෙන්නේ දෛනික ගාස්තුවකි. අනෙක් අතට එකම ත්‍රීරෝද රථයක ගමන් යන්නට විජිත කීවේ නැත. ඔහු යෝජනාව ගෙනාවේ ගමන් බිමන් ත්‍රීරෝද රියකින් යන්නට ය.

“මගෙන් ලැබෙන ආදායම ඇතිද ළමයෝ ජීවත් වෙන්න.”

එහෙම අසද්දී කමල් හිනැහිණ. කිසිම බයකින් තොරව හිනැහිණ. ඔහු ඉන් අනතුරුව කීවේ පුදුම කතාවකි.

“මට ආදයම වැඩක් නෑ. ඔයාගේ හිනාවක් මදැයි.”

ඔහු ඒ වෙද්දී ටීච යැයි පැවසීම නවතා තිබිණ. ඔයා මෙයා කියන්නට නිර්භීත තරුණයා මෙවැනි කතාවක් කියද්දී චාන්දනීට තිබුණේ ත්‍රීරෝද රිය මඟ හරින්නට ය

එහෙත් ඇයට ආදරය කරන්නට සිතෙමින් තිබිණ.

“මම ඔයාගේ පේන් කිලර් එක විතරයි .සර් කාරයා නොදෙන ආදරේ දෙන මිනිහා මම.මාව මාර මිනිහෙක් කරන්න හදන්නේ මොකද ඔයා මාව කසාද බඳින්නද? මම හුළඟක් වගේ සැහැල්ලු මිනිහෙක් මැණිකේ මට ඔය ලොකු හීන නෑ..”

එසේ පවසන කොලුවාට යන්නට ඉඩ හරින්නට ඇයට ඕනෑ වූයේ නැත. හුළඟක් බව කීවාට කොලුවා කුණාටුවක් වන අවස්ථා ඕනෑ තරමට තිබේ. ඇයට ඔහු කුණාටුවක් කරන්නට ඕනෑ විය.

“තමුසෙට විජිත අයියා හරියන් නෑනම් ඩිවෝස් වෙනවා. වෙලා වැදගත් මිනිහෙක් බැඳගන්නවා.මොකෙක්ද අර පාංකඩයා.”

නැගණිය එසේ බැන වදිද්දී පාංකඩයා සතු ප්‍රේමයත් සරාගයත් ගැන චාන්දනී විස්තර නොකළා ය. නමුත් ඇයට දෙයක් ඕනෑ විය.කමල් පාංකඩයෙක් නොවේ. මහා විශාල ශක්තියක් ඇති කොලුවෙකි. ඔහුට මාර්ගය පෙන්වන්නේ නම් ඔහු යන්නේ දුර ගමනකි. 

මල්වැන්න මහත්මිය නොවී විජේවර්ධන මහත්මිය වීමේ ගමන පහසු එකක් නොවී ය. එහෙත් ඒ ගමන එන්නටම චාන්දනීට ඕනෑ විය.

ආදරේ කියන්නේ කොළවල ලිය ලියා අයිති කර ගන්න ඕන දෙයක් නෙවෙයි කියලා ඔයා කවද්ද තේරුම් ගන්නේ.මං ඔයාට හැමතිස්සෙම කියනවනෙ.මං හුළඟක් වගේ නිදහස් මිනිහෙක්.ඔයා මල්වැන්න ඩිවෝස් කරා කියලා මං ඔයාව කසාද බඳින්නේ නෑ.මට බැඳීම් ඕන නෑ.මගේ ලෙයින් ළමයි මේ කාලකන්නි ලෝකෙට උපද්දන්න ඕනත් නෑ..”

එහෙම කියන්නට ඔහුට හැකි විය. එහෙත් සඳරැස් පැමිණ තිබිණ. සඳරැස් ඇත්තටම ඔහුගේ බව නොකියන්නට ආ ආවේගය තවමත් චාන්දනීට අපැහැදිලි ය.එක අතකට සඳරැස් ඇයට වෛර කරන්නට ඕනෑ නැත. ඔහු රැගෙන කමල් වෙත ආවානම් “ඔය දෙන්නට යන දේපල”පවා සඳරැස්ට හිමි නොවේ.

එහෙම වූවානම් කමල් ඒවා උපයන තරමේ මිනිසෙක් වන්නේ නැත.

(දැන් කතාවේ අවසානයට යා යුතු බව ඔයාලා හිතනවද?)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles