කපුටු සාස්තර

හැම දෙයක්ම හරි පිළිවෙලකට අස් කරලා ඉවර වුණාට පස්සේ මට දැනුණේ වචන වලට නගන්න බැරි තරම් සැනසිල්ලක්.කැඩපතක් තරමට ඔප වැටුණු ගෙබිම,අලුත්ම දොර ජනෙල් රෙදි වල සුවඳ එක්ක මං හිටියේ සන්තෝසෙන්. විරාජ්ගේ මුළු දවසක්ම ගත වුණේ එක කාමරයක් අස් කරන්න. කසාදෙන් පස්සේ මේ අපි පදිංචියට ආව තුන්වෙනි ගේ.මේ ගෙදර තුන් දෙනෙකුට හින්දා විරාජ් මුළු දවසක්ම කරේ දෝණිට වෙන් කරපු කාමරේට ඉර එළිය වැටෙන හැටි පරීක්ෂා කරන්න.ආයේ ආයේ ගලවමින් තොටිල්ල සවි කරන්න වගේ වැඩවලට. ඒ අතරේ කාමරෙන් ඔලුව එළියට දාලා 

“සකූ, මහන්සි වෙන්න එපා ඔච්චර.. මං ඩොක්ටට කෝල් කරනවා හරිද? “

කියලා තර්ජනයකුත් කරන්න අමතක කරන්නේ නෑ. අම්මලා නම් කියන්නේ මේ හදිසියේ ගෙවල් මාරු නොකර දෝණි ලැබුණම මහ ගෙදර එන්න කියලා.විරාජ්ගේ අම්මත් ඒ පණිවිඩය ඒ විදියටම දහදොළොස් පාරකට වඩා කියන්න අමතක කළේ නෑ.

ඒත් ජීවිතේ බෙදා ගන්න ඕන අපි.මං ඒ හිතුවක්කාර තීරණයේ ම හිටියා.අම්මා ඇවිත් උදව් වීම බාර ගන්න සිද්ධ වුණත් අම්මලාට මුණුබුරෙක් බලා ගන්න දීම අනිවාර්ය රාජකාරියක් කිරීම කමකට නැති වැඩක්.

“ඔයා දැන් ඔෆිස් එකෙන් ලීව් ඉල්ලා ගන්න.වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න උනත් මහන්සී දැන්. සති දෙකකින් විතර හොස්පිටල් යන්න තිබ්බට මේ මහන්සියේ හැටියට මට අද වුණත් විස්වාස නෑ..”

විරාජ් උදේ එළියට බැස්සේ එහෙම කියන ගමන්.බයක් හිතුණත් ආයේ හිත හයිය කර ගන්න මං තීරණය කළා.

අලුත් ගෙදර වටපිටාව ගැන හොයලා බලන්න මට හිතුණේ උදේ දහයත් පහු වෙලා.ඔෆිස් එකට අත්‍යවශ්‍ය ඊ මේල්ස් කිහිපයක් යවලා ඉවර වෙනකොට චූටි දෝණි දඟර නැටුමක් නටන ගමන් “ඔය ඇති අම්මි වැඩ කළා” කියන්න පටන් අරන්.ඉතින් අපි දෙන්නා බැල්කනියට ඇවිත් පහළ බලන්න තීරණය කළා.

“යට තට්ටුවේ ඉන්නේ පොඩි පවුලක්. මිස්ට විරාජ්ලට කරදරයක් නෑ..”

නිවසේ හිමිකාරයා හත් අටවතාවක්ම කිව්ව හැටි සිහි ගන්වමින් මම පහත මාලය දිහා බලන් හිටියා. හිසකෙස් අවුල් කරගෙන නයිට් ගවුමේ කුණු තවරා ගත්තු තරුණ අම්මාගෙයි ජංගි කොටයක් ගහ ගත්තු පොඩි හාදයාගෙයි මහා ධාවන තරගය පටන් ගත්තේ හරියටම ඒ වෙලාවේ.බේබි සෙන්ටර් ඇප් එකේ සහ සෙසු වෙබ් අඩවිවලින් දැන් තියාම ඉගෙන ගන්න ළමා සංවර්ධනය ගැන හැම කාරණාවක්ම මතක් කරමින් මම ඒ දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා.

බත් කටක් දෙකක් පොඩ්ඩාගේ කටට කොටාගත්තට පස්සේ අම්මාට උඩ බලද්දී හිනාවක් හුවමාරු කරගන්න ඒ හැටි වෙලාවක් ගන්න ඕන යැ.කලින් හිටිය පළාත,රස්සාවක් කරනවද,දවස් ළඟයි නේද වගේ කාරණා අටෝරාසියකට උත්තර දෙන ගමන් මං පුංචි හාදයා දිහා බලන් හිටියේ ආසාවෙන්.දෝණිට සෙල්ලම් සගයෙක් ඉඳීම ඇත්තටම අපූරු දෙයක්.

“නංගි කන්න ආස මොනවද..මං දවල්ට උයලා දෙන්නං..”

ධාවන තරගය ආයේ පටන් ගත්තු අතර ඇය කියනවා.උයමන් අහවර නිසා ඒ ඉල්ලීම පසු දවසකට කල් දාන්න මං ඇයට යෝජනා කරද්දී ආයෙම හිනාවක් පා වෙලා එනවා.

“මේ ලේන් එකේ හැමෝම හරි හොඳයි. මං ප්‍රෙග්නන්ට් කාලෙත් හැමෝම කෑම හද හදා දුන්නේ. නංගිටත් හම්බෙයි..”

ඇය පඩියක් දෙකක් නැගගෙන උඩට එන්නේ රහසක් බෙදා ගන්න වගේ.

“ඒත් මෙතනින් ගෙවල් තුනකට එහා ගෙදර ගෑනු කෙනා දෙන ඒවා කන්න එපා හොඳේ..”

රහ නැති කෑමක මතකයක තවම ඉන්න ඈ ගැන හිනාවක් නැගෙන්න එද්දී මට හේතුව අහන්න හිතෙනවා. ඒත් හේතුව රහ නැති කෑමක් නෙවෙයි, තිත්ත රස කල්පිතයක්. 

“එයාට බබාල නෑනෙ. අපෝ ඔහොම ගෑනු හරි මූසලයි නංගි.අපේ මහත්තයා නම් කියන්නෙ උදේකට මුලිච්චි වෙන්නවත් හොඳ නෑ කියල. ඉස්සර ජොබ් එකකුත් කරා.දැන් මිනිස්සුන්ට මූණ දෙන්න බැරුවද කොහෙද රස්සාවට යන් නෑ.වැඩිය එළියට එන්නෙත් නෑ..මෙයා ටිකක් ලොකු වුණාම මං නම් ආයෙ රස්සාවට යනවා..”

වේගයෙන් පියඹාගෙන ආපු කපුටා මොකක්ද කුණු ජරාවක් හොටින් ඇන ඇන කන්න පටන් ගත්තේ තාප්පේ උඩ තියාගෙන.උදේ කෑම සේරම දෝණි ආපහු හරවලා එවන්න හදන නිසාම මම ධාවකයාටයි එයාගේ අම්මාටයි සමු දීලා ගේ ඇතුළට ආවා.

දවස පුරාම පුංචි ධාවකයාගේ මර හඬ තැලීම් එක්ක එයාගේ අම්මා කෑගහන සද්දේ හිතටත් කන් දෙකටත් කරදරයක් වෙද්දී අම්මාට පුතාව පාලනය කර ගන්න බැරි වීම ගැන මට කේන්තියක් දැනෙන්න පටන් අරන්.ඒත් ඇය ගැන තීරණ ගන්න මට තියෙන අයිතිය මොකක්ද?

“දරුවෙක් කියන්නේ සම්පතක් නංගි. ඔය කාලෙට වඳ ගෑනුන්ගෙ ඇහැ නොගැටී ඉන්න..”

දරුවෙක් හදන්න කලින් ගෙදර හදන්න මහන්සි වෙන විරාජ්ගේ අක්කා,දරුවෙක් නොඑන බව දැනගෙන හිත හදාගෙන ළමා නිවාස පුරා යමින් හදා ගන්න දරුවෙක් හොයන්න මගේ මිතුරිය ප්‍රසාදි  මම ගර්භනී බව දැනගෙන සතුටු වුණු ආකාරය මට ආයේ ආයෙම මතක් වෙන්නේ මූසල ලේබලය ගැන උපන් හිනාවකින්.

රෑ අඳුර පායන්නේ පුංචි ධාවකයා දොයියන්න බෑ කියලා සටන අරඹනකොට. “ගයමූ දවසක ජීවිතේ තාලේ” කියලා සද්දෙට ඇහෙන ටෙලි නාට්‍ය සින්දුවට වඩා ඉහළින් ධාවකයා නිදා නොගන්නවට එයාගේ අම්මාට තාත්තා බනින සද්දේ ඈතින් ඇහෙනවා.මං රිලැක්සින් මියුසික් අහන අතරේ දෝණිට ඇහෙන්න කතන්දර පොතක් කියවද්දීම තමයි විරාජ්ගේ හිනා වෙන ඇස් දොරෙන් එබෙන හැටි මට පෙනුණේ.

“මගේ කලින් ඔෆිස් එකේ සුභාෂ් අයියා ඉන්නේ මේ ගෙවල් දෙකක් එහායින් සකූ..දැන් එන ගමන් දැන ගත්තේ”

විරාජ් කියන්නේ සතුටකින්.ඉරිසියාව පිරුණු ගැහැනිය ගැන පුංචි ධාවකයාගේ අම්මාගේ ඕපාදූපය එක්ක විරාජ්ගේ සතුට සමපාත කරමින් මම විරාජ් අරන් ආව කෑම පාර්සලයේ සුවඳට ඉව අල්ලනවා.

“අක්කා මේ දවස්වල ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් එකක වැඩලු. ඒ උනාට එයා වැඩ කරන්නේ ගෙදර ඉඳන් නිසා ඔයාට හදිසියක් වුණු ගමන් කියන්න කිව්වා.ඒ වැඩේ ඉවර වුණු ගමන් ප්‍රෙග්නන්සි එකක් ගැන හිතන්න ඕන කියලා ඔන්න අපේ ඩොක්ටගෙ විස්තරත් ගත්තා..හෙට දිහාට ඔයාට මොනවා හරි හදාගෙන මේ පැත්තේ එයි.”

කවුළුවට එහා පැත්තෙන් එන අමුතු ගන්ධය දවල් කපුටා ගෙනාපු කුණු ගොඩ වෙන්නත් ඇති. කොහොමටත් මේ දවස්වල ගඳ සුවඳට මං වැඩිපුර සංවේදී නිසා මම කවුළුව වැහුවේ ඒ ගඳ අපේ ගේ ඇතුළට නොඑන්න.

“මිනිස්සු අනිත් අයව විනිශ්චය කරන්න මොනතරම් ඉක්මන් ද.”

More Stories

Don't Miss


Latest Articles