තුන්කොන් ප්‍රේමයක මළගම

“උඹ මාව දාලා ගියොත් මම උඹව මරල මාත් මැරෙනවා”

මහ පාරෙ බයිසිකලේ නවත්තල අසංග එහෙම කෑගැහුවෙ නිශානිට.

නිශානි එක්ක අසංගගෙ තියෙන සම්බන්ධෙට දැන් අවුරුදු එකහමාරක් වෙනවා. ඒක නිකන්ම සම්බන්ධයක් කියල මම කිව්වෙ ප්‍රේමය වගේ ලස්සන දෙයක් ගැන කියවෙන විශේෂණ පදයක් ඒ නීරස සම්බන්ධෙට වැඩක් නැති නිසා.

නිශානිට අසංගව හම්බුණේ ඒ ලෙවල් ඉවර කරාට පස්සෙ කම්මැලිකමට ගියපු කම්පියුටර් ක්ලාස් එකේදි.

අසංග කියන්නෙ නිශානිගෙ ගුරුවරයා.

තමන්ට වඩා අවුරුදු පහ හයක් වැඩිමල්, කඩවසම් අසංග සර්ට හිතෙන් ආදරේ කරපු අය ඕන තරම් ඒ පංතියෙ හිටියත් සර්ගෙ හිත ගියේ නිශානිට විතරයි.

ලස්සන මල් ගවුම් අඳින, හුරුබුහුටි නිශානිට “මහමෙරක් තරම් ආදරෙයි” කියල කිව්වට මොකද අසංගට ඕන වුණේ නෑ මේ සම්බන්දෙ ගැන පංතියෙ කවුරුවත්ම දැනගන්නවට.

“මම ක්ලාස් එකේ ළමයෙක් එක්ක යාලුයි කියල දැනගත්තොත් මට අනිත් ළමයිව කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා නංගි”

“ඉතින් අපිට පුලුවන්ද හැමදාම ඔය ගැන හංගගෙන ඉන්න? මිනිස්සු කවදහරි දැනගන්නවනෙ?”

“ඔව් ඒ වුණාට තාම ඔයා මගේ ක්ලාස් එනවනෙ. ඒක හරි නෑනෙ ඒකයි මම කියන්නෙ. අපි මේ ගැන ගෙවල්වලට කිව්වට පස්සෙ ඔයා මගෙ ක්ලාස් එන්නෙ නැති කාලෙක දැනගත්තට කමක් නෑ”

අසංග කිව්ව හේතුව ඇත්ත හින්දා නිශානි ඔය ගැන වැඩිය හිතන්න ගියේ නෑ.

ඒත් ඉතින් ඒ වයසෙ ආදරේ කරන ඕනම කෙල්ලෙක්ට වගේ තමන්ගෙ යාලුවො එක්ක තමන්ගෙ පළවෙනි ආදරවන්තය ගැන විස්තර බෙදාගන්න ආසාවක් නිශානිටත් තිබුණෙ නැතුව නෙවෙයි.

ඒත් ආදරේ එන්නෙ එක එක විදියටනෙ.

හදිස්සි වෙනවට වඩා අසංග සර් කිව්ව වගේම හිමින් සැරේ මේ ගමන යන එක හොඳයි.

නිශානි අන්තිමට හිත හදාගත්තෙ එහෙම හිතලා.

මුල් මාස කීපය නම් ලස්සනට ගෙවිල ගියාට මොකද ප්‍රශ්න පටන් ගත්තෙ හැමදාම උදේට හවසට ගෙදරට හොරෙන් ගන්න කෝල් එකකට, ඉඩ තියෙන වෙලාවක දාන මැසේජ් එකකට, ක්ලාස් එකේදි අනිත් හැමෝටම හොරෙන් බලන බැල්මකට එහා යන්න අසංගට උවමනා වුණ හන්දා.

“මම ආසයි ඔයාගෙ ලස්සන බලන්න”

ඒ ඇරයුම ආවෙ නිශානි හිතුවෙවත් නැති මොහොතක ප්‍රතික්ෂේප කරන්න බැරි වචන කීපයක් අස්සෙ හැංගිලා.

කළින් ප්‍රේම සම්බන්ධයක් තිබුණෙත් නැති නිශානිගෙ හිතේ මේ ගැන බයක් වගේම ආසාවක්, කුතුහලයකුත් නොතිබුනා නෙවි.

ඒ ආසාවයි කුතුහලයයි එක්ක තමයි නිශානි මිල අඬු අඳුරු කාමරේක අසංග ඉස්සරහ නිරුවත් වෙන්නෙ.

සමහර දේවල් තියෙනවනෙ ඇබ්බැහියක් වගේ වෙන. ඉන් පස්සෙ ඒ වගේ අඳුරු කාමරවල තනිවෙන්න අසංග නිශානිගෙන් අහන පරක්කුව විතරයි තිබුණෙ.

කුලී කාමර වලට දෙන්න සමහර දවස්වලට ගෙදරට බොරු කියල සල්ලි ඉල්ල ගෙන ආවෙත් නිශානිමයි.

කෝම කෝමින්හරි සම්බන්ධෙ දුර දිග යද්දි අසංග එක එක විදියෙ තහංචි දාන්නත් පටන් ගන්නෙ හරියට නිශානිගෙ සියලුම දේවල්වල භාරකාරයා අසංග කියල හිතාගෙන.

“පොඩ්ඩක් සැර කරන්නේ, කොටට අඳින්න එපා කියන්නේ, තරහ ගියාම බණින්නෙ ආදරේට හන්දා. එහෙම ආදරයක් දාලා යනවනම් ඒක මෝඩකමක්” කියල ෆේස් බුකේ එකේ කොහෙදෝ මන්දා ලියල තියෙනව දැකපු හන්දා නිශානි හිතුවෙත් අසංග මේ හැම තහංචියක්ම දාන්නේ ආදරේ නිසා කියලා.

ඔය අතර වාරෙ තමයි කම්පියුටර් ක්ලාස් එකට අලුතෙන් ආව තිසරගෙ හිත අස්සෙ නිශානි ගැන ආදර හැඟීම් පහළ වෙන්න ගත්තෙ.

හැමෝම එක්ක හිනා වෙලා කතාබස් කරන, වැඩටත් දක්ෂ තිසරව අසංගගෙ හිතටත් ඇල්ලුවා.

පංති ඉවර වුණාට පස්සෙ වැඩිපුර පැයක් දෙකක් නතරවෙලා ළමයින්ගෙ පැවරුම් චෙක් කරන්න, පෝස්ටර් ගහන වැඩවලටත් තිසර අසංගට අත් උදව් දුන්නේ තිසරගෙ තිබුණ මනුස්සකමට.

ඒත් ගුරා එක්ක මොනතරම් හිතවත් වුණත් ගෝලයෙක් ගැන හිතක් පහල වෙලා තියෙනව කියල ගුරාට කියන්න බෑනෙ. ඒ නිසා තිසර “මම ඔයාට කැමතියි” කියල නිශානිටම කිව්වා.

මොන තරම් හොඳ කොල්ලෙක් වුණත් තමන්ව දැන් අයිති වෙන කෙනෙක්ටනෙ කියල නිශානිට අමතක වුණේ නම් නෑ.

“එහෙම කිව්වට තැන්ක්‍යු. ඒත් මම වෙන කෙනෙක් එක්ක යාලුයි”

“සොරි මම ඒක දැනගෙන හිටියේ නෑ” කියල තිසර උත්තර දුන්නෙ හරි පුදුමෙන්.

පංති ඉවරවෙලා තනියම ගෙදර යන නිශානි, පංතියෙදි වුණත් බොහොම අවිහිංසක විදියට ඉන්න ළමයෙක් නිසා තිසර විශ්වාස කරේම නෑ නිශානිට කොල්ලෙක් ඇති කියල.

ආදරේ එක්කමනෙ විපරම් කිරීමත් එන්නෙ. ඉතින් තිසර නිශානිට හොරෙන් නිශානි ගැන හොයන්න හිතුවෙ ඒ නිසා.

අසංග එක්ක හොටෙල් එකකට ගියපු දවසක හයියෙන් වැස්ස නිසා ගෙදර යන්න ත්‍රී වීල් එකක් හොයාගන්න පුලුවන් වුණේ නෑ.

අනෝරා වැස්සෙ තමන් එක්ක එකට ඉන්න කෙල්ලව මග දාලා නොයන මනුස්සකම අසංග ළඟ තිබුණා.

අසංගගෙ බයික් එකේ නැගලා නිශානි කිරිල්ලියක් වගේ පියාඹන් ගිහින් ගෙවල්වලට පොඩ්ඩක් එහායින් බැස්සා.

හැමෝටම හොරෙන් හැමදේම වුණා කියල හිතුවට තිසර හැමදේම දැක්කා.

“මේ අවුරුද්ද අන්තිමට මගෙයි තාරිකාගෙයි එන්ගේජ්මන්ට් එක ගන්න ඉන්නෙ මල්ලි. දැන් එයාගේ ටීචර්ස් ට්‍රේනිං එකත් ඉවරයි” කියල පෝස්ටර් අලවන්න ගිය වෙලාවක අසංග සර් කිව්ව බවත් තිසරට මතක් වුණා.

“මම දන්නවා ඔයා යාලුවෙලා ඉන්නෙ අසංග සර් එක්ක බව. මම දැක්ක ඔය දෙන්න සී වීව් එකේ ඉඳල බයික් එකේ යනවා”

පංති ඉවර වුණ වෙලාවක නිශානිට ළං වුණ තිසර එහෙම කිව්වෙ කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්න නිශානි ගැන අමනාපෙන්.

“ප්ලීස් කාටවත් මේ ගැන කියන්න එපා. අපි දෙන්න යාලුවෙලා දැන් ගොඩක් කල්. ගෙවල්වලට තාම කිව්වෙ නෑ මම තාම ක්ලාස් එන නිසා”

“ගෙවල් වලට කිව්වෙ නෑ? වෙන කෙල්ලෙක්ව බඳින්න ඉන්න කොල්ලෙක් එක්ක යාලු වුණා කිව්වම ඔයාගෙ ගෙදරින් ඕකට හා කියාවිද?” අසංග එහෙම ඇහුවෙ සමච්චලේට වගේ.

“වෙන කෙල්ලෙක් එක්ක?”

“ඔව් ඇයි දන්නෙ නෑ වගේ කියන්නෙ. සර් බඳින්න ඉන්න තාරිකා අක්කව මටත් හම්බෙලා තියෙනවා”

වචනයක්වත් කියන්නෙ නැතුව ඇස් වලින් කඳුලු වක්කරපු නිශානි, තාරිකා ගැන මුකුත් දන්නේ නෑ කියල තිසර දැනගත්තෙ ඉන් පස්සෙ.

“මම හිතුවෙ ඔයා ඒ ගැන දැනගෙනයි යාලු වෙලා ඉන්නෙ කියල”

“මම හිතුවෙ මේක හංගගෙන ඉමු කියන්නෙ මට තියෙන ආදරේට කියලා. දෙයියනේ! ඇයි මාව මෙහෙම රැවැට්ටුවෙ?”

අසංග රවට්ටල තියෙන්නෙ තමාව විතරක් නෙවෙයි කියල දැනගත්තම ආදරේ පිළිකුළකට හැරුණෙ දන්නෙම නැතුව.

ඒ වහාම අසංගව අතාරින්න නිශානි හිතාගත්තෙ මොන දේ වුණත් තව කෙල්ලෙක්ට එහෙම වරදක් කරන්න හිත හදාගන්න බැරි නිසා.

බයිසිකලේ හප්පගෙන මැරෙන බව අසංග කීප සැරයක්ම කිව්වෙ තමන්ව ඒ පැත්තට නම්මගන්න බව නිශානි දැනගෙන උන්නා.

“මම ඔයාව රැවැට්ටුවෙ නෑ නංගි”

“මම තාරිකාව බඳින්නෙ මට වෙන කරන්න දෙයක් නැති නිසා. ඔයා තරම් මට කවුරුවත් ආදරේ කරේ නෑ. මට ඔයා නැතුව බෑ නංගි”

“ඔයා නැතිවුණොත් මාව පිස්සෙක් වෙයි නංගි” කියල අනුකම්පාවෙන් පටන් ගත් කන්දොස්කිරියාව තර්ජන වෙන්න ගියේ දවස් කීපයයි.

“උඹ මාව දාලා ගියොත් මම ඔක්කොම පින්තූර ෆේස්බුක් දානවා. උඹේ ගෙදරට මම ඔක්කොම පින්තූර තැපැල් කරල එවනවා”

“උඹ හෙට එළියට බැහැල බලපන් උඹේ පින්තූර තාප්පවල ගහල තියෙනවා”

බය නොහිතුනා නෙවි. ඒත් නිශානි ආපස්සට හැරෙන්න හිතුවේ නෑ.

“උඹ මාව දාලා ගියොත් මම උඹව මරල මාත් මැරෙනවා”

අසංග අන්තිමට කතා කරලා තර්ජනය කරේ එහෙම.

“කමක් නෑ. ඔයා වගේ මනුස්සයෙක් එක්ක දිගටම ඉඳියොත් මට ඉන්න වෙන්නෙ මැරිල වගේ තමයි. මාව රවට්ටපු කෙනෙක් එක්ක මට ලස්සන සම්බන්ධයක් තියාගෙන ඉන්න බෑ. ඒ නිසා ඔයා මාව මරල දාවි කියන බයට ඔයා එක්ක මට ඉන්නත් බෑ”

අන්තිම මැසේජ් එක ඒ විදියට යවල නිශානි කාමරෙන් එළියට ආවෙ අම්මටයි තාත්තටයි හැමදේම කියල ඉස්සරහට එන ඕන ප්‍රශ්නෙකට මූණ දෙන්න හිත හයිය කරගෙන.

-උදතාරී-

More Stories

Don't Miss


Latest Articles