ඒ මන්දිරයෙහි සේවයට සේවිකාවන් කිහිප දෙනෙකු ම සිටිනා බව සියපත් ට දැක ගත හැකි විය. මදිරා ගේ පිරිසිඳු කිරීම් හා ආහාර සැපයීම් වෙනුවෙන් මැදි වියෙහි කාන්තාවක සිටියා ය. ගෙදර පවිත්‍රතා කටයුතු ද ඉහුම් පිහුම් ද වත්තේ පාලනය ද වෙනුවෙන් වෙන වෙනම සේවිකාවෝ සිටියහ. ඔවුන් සියලු දෙනා හැඳින ගත හැකි වූයේ ලා නිල් පැහැති නිල ඇඳුම නිසා ය. සැහැල්ලු කලිසමකින් හා කමිසයකින් සමන්විත ඒ නිල ඇඳුම දුටුවන සියපත් ට සිහි වූයේ රෝහල් කාර්ය මණ්ඩලය ය. ඉහුම් පිහුම් කරනා තැනැත්තිය නිල ඇඳුමට මත්තෙන් ඒප්‍රන් එකක් හැඳ සිටියා ය. මදිරා වෙනුවෙන් වෙන් වූ සේවිකාව නිතර ම කාමරයෙන් පිටත පුටුවක සිටි අතර, මදිරා ගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් සීනුවක් නාද කරන පමාවෙන් දිව ආවා ය. හෙදියන් ගේ හා සියපත් ගේ අවශ්‍යතා සැපයීම භාර වී තිබුණේ ද ඇයට ය.
ඒ සේවිකාවන් පවා කෙතරම් පිරිසිඳුවට සිටින්නේ ද කියා සියපත් ට සිතිණ. ඔවුහු එහි සේවය කළේ සාමාන්‍ය මෙහෙකාරියන් සේ නොව ගෞරවනීය වෘත්තිකයන් සේ ය. ඒ අනුව අනුමාන කළ හැක්කේත් පැහැදිලි වනුයේත් ගෘහ පතීන් ගේ යහපත් කම ය. නමුත් කිසිවක් හෝ කිසිවෙකු ගැන තීන්දු තීරණ ගන්නට හෝ විනිශ්චය කරන්නට තවමත් කල් වැඩි බව සියපත් සිතා ගත්තා ය.
මදිරා ගේ සෞඛ්‍ය තත්වය විමසා බලන්නට නිරන්තර ඇය පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරනා බව ද, ඖෂධ හා භෞත චිකිත්සක ප්‍රතිකාර ද ශාරීරික ව්‍යායාම ද හෙදියන් විසින් සිදු කරනා බව ද ලලිතා ගුරුගේ සියපත් දැනුවත් කරමින් කීවා ය.
“ඔයා කොච්චර වාසනාවන්තද…ඔයාව ආපහු නැගිට්ටගන්න කරන්න ඕන හැම දේම සිද්ද වෙනව උපරිමයෙන්ම. මෙහෙම ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සෙ වෙන කරන්න දෙයක් නෑ කියල එක්තැන් වෙන ලෙඩ්ඩු මොන තරං මේ රටේ ඇද්ද මිස්…මට වුණත් එහෙම තමයි. ඒක නිසා මුලින්ම මිස්ගෙ වාසනාව ගැන හිතන්න. ඒ වාසනාව…හුඟක් අයට කරගන්න බැරි වෙන දෙයක් වුණත් කරල දෙයි කියල විශ්වාස කරන්න. විශ්වාසය තරං බලවත් දෙයක් නෑ මිස්. අපි තදින් විශ්වාස කරන ඕන දෙයක් දවසක අපේ ඇස් ඉස්සරහ හැබෑවක් කර ගන්න පුළුවන්. ඒ නිසා නිතරම හිතන්න මිස් ආයෙ කකුල් දෙකෙන් ඇවිදිනව කියල. හිතෙන් ඒ දර්ශන දකින්න. ඒ බලාපොරොත්තුට බූවල්ලෙක් වගේ අඬු පඬු විහිදල වැඩෙන්න අරින්න. අපි ඇවිදිමු මිස් ආයෙ. මට විශ්වාසයි ඔයා එහෙම කරනව කියල”
මදිරා ළඟින් හිඳගෙන සියපත් ඒ දීර්ඝ කතාව කළේ ඇගේ භෞත චිකිත්සක ප්‍රතිකාර වලින් පස්සේ ය. ඒ වෙත්දී සියපත් සිය දෑසින් දුටු දේවල් ද ලලිතා විසින් පවසන ලද කෙටි අදහස් ද ඇසුරෙන් ඇගේ ම වූ යම් අදහසකට එළඹ සිටියා ය.
මදිරා මුලින් ම සියපත් ගේ අතක් තද කොට අල්වා ගත්තා ය.
“අංක එක. මට මිස් කියන්න එපා. එතකොට ඔයා දුරයි වගෙයි මට දැනෙන්නෙ. මෙතන්ට ඔයාව ගෙනත් තියෙන්නෙ මගෙ යාළුව හැටියටනෙ. නැතුව මගෙ සර්වන්ට් කෙනෙක් හැටියට නෙවෙයි. මුලින් ම…ඔව් ඔක්කෝටම කලින් අපි හොඳ යාළුවො වෙලා ඉන්න ඕනනෙ. ඒක නිසා මං ඔයාට සියපත් කියන්නං. ඔයා මට මදිරා කියන්න”
“අනේ මිස්…”
“හරි එහෙම බැරිනං අක්ක කියන්න පුළුවන්නෙ”
“අනේ මන්දා. මේ ගෙදරට ඇතුල් වුණ වෙලාවෙ ඉඳල තේරුං ගන්න බැරි මොකද්ද දෙයක් දැනෙනව මට. ඕගොල්ලො ඔක්කොම හරිම හොඳ අය වෙන්න ඇති. මේ ගෙදර වැඩකරන අය පවා සර්වන්ට්ස්ල නොවී මේඩ්ස්ල වෙන්නෙ ඒකනෙ. ඒත්…අනේ මන්දා…මාව මෙහෙට ගත්ත සර්…එයත් හරි අමුතුයි වගේ. මට මුණගැහුන තැන් දෙකේදි එයා දෙවිදිහකට හැසිරුණේ”
මදිරා දෙතොල් තද කර ගෙන සිනහවක් පෑවා ය.
“සියපත්. තේරුං ගන්න අමාරුයි වගේ දැනෙන දේවල් බලෙං තේරුං ගන්න යන්නෙපා. ඒව ඉබේට තේරුං යනකල් අපිට කාලෙ ගන්න සිද්ද වෙනව. තේරුං ගන්න බැරි මේ ජීවිතේත් මං අත් ඇරල දාල ඉන්නෙ ඒකයි”
මදිරා ගේ වත මත වූ සුදුමැළි බව මඳක් තුනී වී ඇති බවක් ලලිතා පවා දුටුවා ය. ඇය කාමරයට එන හැම වතාවක ම මදිරා සියපත් සමග කතා කරමින් සිටියා ය. මීට පෙර සියපත් ගේ තැනට ගත් කිසිවෙකු සමග ඇය වචනයකට දෙකකට වඩා කතා කළේ නැත. ලලිතා මේ ගැන සතුටු වූවා ය. මදිරා ට ගැලපෙන ම මිතුරියක සොයා දීම නිසාවෙන් ඇය ට ගෘහ පතීන් ගෙන් වරප්‍රසාද වැඩි වැඩියෙන් ලැබෙනු ඇත. වැටුප් වැඩි කොට ඉල්ලන්නට ද ඇය සිතා ගත්තා ය.
“අපිට එහෙම ජීවිතේ අත් ඇරල දාන්න බෑ නේද මිස්…සොරි…අක්ක…”
එවර තරුණියෝ දෙදෙනා ම සිනහ වූහ.
“හැම දේම පාලනය වෙන්නෙ සොබා දහම යටතෙ. එයා ආපහු අපිට කතා කරගන්නකල් ජීවිතේ අත් අරල දාන අයිතියක් අපිට නෑ. එහෙනං එහෙම කරන්න ඕනෙ ඕගොල්ලො වගේ අය නෙවෙයි. අපි වගේ මිනිස්සු. ජීවිතේ එක්ක හෙම්බත් වෙන්න පුළුවන් උපරිමේටම මගෙ අම්මයි තාත්තයි එහෙම කරන හැටි අපි පොඩි කාලෙ ඉඳලම බලං හිටිය. මට ඕනෙ කොහොම හරි ඒගොල්ලොන්ට ඊට වැඩිය ටිකක් පහසු ජීවිතයක් දෙන්න. මට මේ ජොබ් එක මහ මෙරක් වගේ දැනෙන්නෙ ඒකයි. අපි හැමෝටම වැටෙන්නැතුව අල්ලං ඉන්න හේතුවක් තියනව මිස්. මොකක්ම හරි”
“මිස් නෙවෙයි අනේ”
“අනේ ඔයා මගෙ ඇස් වලට කඳුළු ගේනව. මනුස්සයෙක්ට ආදරණීය වෙන එක මොන තරං ලස්සන දෙයක්ද…අපි අද පොඩ්ඩක් එළියට යං. ඔයා සෑහෙන කාලෙකින් ගාඩ්න් එකට ගෙනියන්නවත් දුන්නෑ කියල මට මිසිස් ගුරුගේ කිව්ව”
මදිරා ඒ යෝජනාව සිනහවකින් ඉවසුවා ය. හෝරා කිහිපයක් තුළ තමන් මේ පුංචි කෙල්ලට අවනත වෙමින් සිටිනුයේ කෙසේද කියා ඇයට සිතා ගත නො හැකි වූ තරමි. රෝද පුටුවෙහි තබා ගෙන සියපත් ඇයව ගෙවත්තට ගෙන ගියා ය. එය ඒ තරම් විසල් මිදුලක් නොවේ. නිවසට සාපේක්ෂව ගෙමිදුල වඩාත් කුඩා ය. නමුත් යම් කිසි ඉඩ කඩක් එහි විය. මනාව කප්පාදු කරනා ලද මැලේෂියන් තණ පලසකින් සමන්විත වූ එහි එක කොනක, දම් පාට රෙද්දක් එළුවා සේ මල් දරා ගත් නියොන් පඳුරක් විය. එහි අතු තාප්පයෙන් පිටතට ද එබී මල් සිනහ පාමින් සිටියේ ය. ගෙමිදුල ඇය ආසා ම තැන සේ සියපත් ට දැනුණේ එතැනයි.
“සියපත්ගෙ ගෙදර කවුද ඉන්නෙ…”
සිය සේවිකාවක ගේ පෞද්ගලිකත්වය ගැන මින් පෙර කිසි දාක ප්‍රශ්න කොට නෑ නේද කියා මදිරා ට සිහි වූයේ ඒ ප්‍රශ්නය නැගුවාට පස්සේ ය.
“අම්මයි තාත්තයි නංගියි මායි. නංගි ලබන අවුරුද්දෙ ඒලෙවල්ස් කරනව. අම්මයි තාත්තයි කඩයප්පන් හදන එක තමයි අපේ ගෙදරට තියන ආදායම් මාර්ගෙ. ඉස්කෝලෙ ගිහිං ඉවර වුණාට පස්සෙ ඊයෙ රෑ වෙනකල්ම මාත් කළේ එයාලට උදව් වෙන එක තමයි”
ඔවුන් ගේ ජීවනෝපාය මාර්ගය බත්, ඉඳිආප්ප, ආප්ප, පාන් සමග පරිප්පු, වඩේ, තෝසේ යනාදී ලෙස විවිධ වේ. ළඟ අහල පහල ඉදිකිරීමක් කරන කාලයක් වී නම් ඒ කාලයට ශාන්ත හා සුජීවා බත් මුල් බැන්දෝ ය. ළමයින් ට ද බඩ කට පුරා කන්නට දිය හැකි නිසා එහෙම කාලයක ඔවුන් සිටියේ සතුටෙනි. වෙනදාට වැඩි මුදලක් අතට ද ආවේ ය. නමුත් හැමදාම එහෙම කාල පවතින්නේ නැත. ළඟ කඩ වලට ඉඳිආප්ප මුල් හදා දැමීමත්, ආප්ප දැමීමත් බොහෝ විට සිදු විය. හවසට එයින් ඉතිරි වී තිබෙන ප්‍රමාණය මත ඔවුන් ගේ රාත්‍රී ආහාරය තීරණය වේ. ටික කාලයක් ඔවුහු හන්දියේ කඩ කෑල්ලක් කුළියට ගෙන එහි කෑම කඩයක් කළෝ ය. එය වසා දැමුණේ පාඩු ලබා නොවේ. කඩයට පාරිභෝගිකයන් වැඩි වෙත්දී කඩ හිමියන්ට ඉක්මනින් ම එය ඕනෑ විය. ශාන්ත ගෙන් ආපසු ගැනීමෙන් පස්සේ ඔවුහු එහි ආප්ප කඩයක් දැමූ මුත් එය දවසට දෙකට වැසී ගියේ ය. කඩ කුළී හෝ අත්තිකාරම් මුදල් ගෙවා කඩයක් ගන්නවා කියන එක ම, එදා වේල අසීරුවෙන් උපයා ගන්නා මිනිසුන් වූ ඔවුන්ට පහසු වූවක් නොවේ. දාන මාන වලට කෑම පිසින්නට යාම ද මේ යුවළ එක්ව කළ දෙයකි. රෑ නිදි වරා ගෙන දාන වලට උයා අතට කීයක් හෝ ගන්නට ද නිතර අවස්ථාව ලැබෙනවා නොවේ. ඒ අනුව ඔවුන් ගේ ජීවිතේ ගෙවුණේ තනිකර ම එදා වේල මත ය.
“අපි මේ ඉස්සරහ පොඩ්ඩක් හදාගෙන අපිම කඩයප්පං විකුණමුකො තාත්තෙ”
යනුවෙන් සියපත් යෝජනාවක් ගෙනාවේ මීට මාස කිහිපයකට පෙර ය.
“මෙතන හන්දියක් නෙවේනෙ පුතේ. සෙනග ගැවසෙන හන්දියක තමයි ඔය වගේ කඩේකට බිස්නස් තියෙන්නෙ”
ශාන්ත අදිමදි කළේ ය. නමුත් සියපත් ගේ පෙරැත්තය මත ඔවුහු එසේ කළහ. ඒ තරම් ලොකු සෙනගක් නොවී ද එහි ආප්ප ඉඳිආප්ප වලට අලෙවියක් තිබිණ. සුජීවා ඉඳහිට තෝසේ හැදුවා ය. කුඩා පරිප්පු වඩේ වලට අනිත් කෑම වලට නැති අලෙවියක් තිබුණේ හැන්දෑවට ඇඟ පතේ විඩා නිවා ගන්නට රහ මෙර පාණය කරන්නන්ට පින් සිදු වන්නට ය.
“උඹල අපේ මිනිස්සුන්ට බයිට් එක හදල තියද්දි අපි කොහොමද උංගෙ බීම නතර කර ගන්නෙ”
යනුවෙන් අහල පහල බවලත්හු ඊට ද ඔවුන්ට දොස් කීහ.
“අනේ..”
මදිරා ගේ මුවින් කෙඳිරියක් සේ ඒ හඬ පිට වෙත්දී සියපත් සිනහවකින් රෝද පුටුව ළඟ පහත් වූවා ය.
“ඒක තමයි මං කියන්නෙ. මිනිස්සු සපත්තු නැති එක ගැන දුක් වෙන්නෙ කකුල් නැති මිනිස්සු දකිනකල් විතරයි. මෙච්චර දේවල් කරල ගෙදර අය ඔයාව සනීප කර ගන්න ට්‍රයි කරද්දි…ඒකට හිත හදා ගන්න එකයි ඔයාට කරන්න තියෙන්නෙ. ඒක කොච්චර ලේසි දෙයක්ද…”
“අවුරුදු තුනක් තිස්සෙ ඇඳට සීමා වෙලා ගෙවන මේ ජීවිතේ කොච්චර වෙහෙසක් ද කියල ඔයා දන්නෑ සියපත්. එහෙම ජීවත් වෙනවට වඩා මැරෙන එක සනීපයි කියල දන්නෙ එහෙම ජීවිතයක් ගෙවන කෙනෙක් විතරයි”
රෝලර් ගේට්ටුව විවර වී සුඛෝපභෝගී මෝටර් රථයක් ගෙවත්තට ඇතුළු විය. ඉන් බැස ඔවුන් වෙත පැමිණෙමින් සිටියේ සදාතන කහවණුගොඩ ය. ඒ ගමන පෞරුෂයෙන් පිරි එකකි. ඒ බැල්ම ආඩම්බරයෙන් බර වූ එකකි. සියපත් ඔහු දෙස බලා සිටියේ ගිලින්නට මෙනි. නමුත් සදාතන ඇස් කොනකින් හෝ ඇදෙස බැලුවා නොවේ. මදිරා අසලට ම පැමිණි ඔහු රෝද පුටුව ළඟ නතර වී ඇගේ අතක් අල්වා ගත්තේ ය. අහංකාර දෙතොල් පෙති ලිහී සිනහ පොහොට්ටුවක් ඇහැරිණ.
“ඇති යන්තං ඔයා එළියට ආව”
මදිරා සිනහ වතකින් හිස නගා සියපත් දෙස බැලුවා ය. ඇය ගෞරව සම්ප්‍රයුක්තව එකත්පස් වූවා ය. ඒ අනුව සදාතන ද හිස නගා සියපත් දෙස බැලුවේ ය.
“තෑන්ක්ස්”
අහංකාර බැල්ම අතරින් කියවිණ.
“යුවා මෝස්ට් වෙල්කම් සර්”
සිරිතක් ලෙස එසේ කීවාට සියපත්ට නො තේරුණේ මොහුගේ වෙස් පෙරළීම කුමක් ද කියා ය. උදේ අච්චර ලස්සනට සිනහ වූ ඔහු ගේ මූණේ මේ මොහොතේ සිනහ පොදකුදු නොමැත. ඇතැම් විට ඒ වෙහෙස නිසාවෙනැයි ඇය අනුමාන කළා ය.
“මං එහෙනං වොශ් එකක් දාං එන්නං. බී හැපී ඕකේ”
යනුවෙන් කියා මදිරා ගේ හිස් මුදුන සිප ගත් ඔහු ඇතෙකු ගේ ආඩම්බර ගමනෙන් පිය නගා මැදුර දෙසට ගියේ ය.
“සියපත්ටත් ඕෆ් වෙන්නත් වෙලාව හරියාගෙන එනව නේද…අපි එහෙනං ඇතුළට යං”
හිත වූ දෙගිඩියාවෙන් ම සියපත් රෝද පුටුව තල්ලු කරගෙන ඇතුළට ගියා ය. පිය ගැට පෙළ බැස ගෙන ඉතා කෙළිලොල් ලෙස පහළට එන යෞවනයා දුටු යුවතිය ගේ ඇස් උඩ ඉන්දවිණ. මේ තරම් ඉක්මනින් ඔහු දිය නෑවේ කොහොමද? මේ තරම් ඉක්මනින් ඔහු අර ආඩම්බර මූණ ප්‍රීතිමත් සිනහවකට හරවා ගත්තේ කෙසේ ද?
“සනාතන…”
“මං වොශ් එකක් දාං රූම් එකට එන්න හිටියෙ. සදාතන කිව්ව ඔයා ගාඩ්න් එකේ කියල”
“ඔයා කලිං ආවද…”
“ඔව් අක්ක”
උගුර කට වියළී යන සෙයක් සියපත් ට දැනෙමින් තිබිණ. එසේ නම් ඒ මායාකරුවන් දෙදෙනා නිවුන්නු ය. සදාතන කහවණුගොඩ හා සනාතන කහවණුගොඩ! උදේ ඔහු ඇගේ සැමියා ලෙස හඳුන්වත්දී මදිරා ට ගිය සිනහවේ අරුත ද සියපත් ට දැනෙන්නේ දැන් ය. පොළොව පළා ගෙන හැංගෙන්නට තරම් ලැජ්ජාවක් ඇය පෙළමින් තිබිණ.
“අපේ කෙල්ල එහෙනං ලේසි නෑ නේ…පළවෙනි දවසෙම ඔයාව ගාඩ්න් එකට ගෙනියල…වෙල්ඩන් සියපත්”
ඔහු ඇය දෙසට සිය මිත්‍රත්වයේ සුරත පෑවේ ය. සියපත් එය අල්වා ගත්තේ හද ගැස්ම හොඳට ම වැඩි වී තිබියදී ය.
“මුං දෙන්න හරියට තාපසාරාමෙට වැටිච්ච ගිරවයි හොර කල්ලියට වැටිච්ච ගිරවයි වගේ ගතිගුණ වලින් වෙනස්නෙ”
ඇගේ හිත එහෙම මුමුණමින් තිබිණ.
💜️මගේ අලුත් නවකතා වන ප්‍රේම ගාථා, නිබ්බුත ගීත හා අහස තරු සහ කළුවර ඔබ ඉන්නා තැනකට ගෙන්වා ගැනීම සඳහා 0788376053 අංකයට වට්සැප් පණිවිඩයක් තබන්න.