සියක් සියපත් 22

තද නිල් පාට අහස මැද්දේ ලා සුදු පාට සඳ කිනිත්තක් මුදුන් වී තිබිණ. සියපත් සඳපිනි සූරියගොඩ අත් දෙක ඉණ මත තබා ගෙන අහස දෙස බලා සිටි දෑස් එහෙම ම කහවණුගොඩ මැදුර වෙත ගෙන ආවා ය. පවිත්‍රතා කටයුතු මුළුමනින් අවසාන වී තිබේ. කහවණුගොඩ පවුලට අලුතෙන් සම්බන්ධ වීමට යන ජයකොඩි පවුල පිළිගැනීම සඳහා ඉතාමත් හරසරින් සූදානම් විය යුතු බව සියපත් ට දැනුම් දුන්නේ මයිකල් කහවණුගොඩ ය. ඒ සඳහා ගෙදර සිදු විය යුතු වෙනස්කම් සොයා බලා අදාල සේවකයන් ලවා ඒ සියල්ල අකුරට ම ඉටු කළ යුතු බවට ඔහු ගෙන් උපදෙස් ලැබිණ. අවශ්‍ය නම් අලුත් ගෘහ භාණ්ඩ මිල දී ගැනීමට හැකි බව ද ඔහු කීවේ ය. 

වර්ග අඩි දහසක් තරම් නොවෙන ගරා වැටෙමින් පවත්නා පැරණි කුඩා ගෙයකින් පැමිණෙන සියපත් ට, ධවල මන්දිරය වාගේ දැවැන්ත හා නවීන මැදුරක ගෘහ පාලන කටයුතු හොබවනවා කියන්නේ ම අසිරිමත් අත්දැකීමකි. මදිරා සුවෙන් සිටි කාලේ ඇය රිසි පරිදි සැකසුණු මන්දිරය, ඇය ගිලන් යහනකට සීමා වීමෙන් පස්සේ ගෘහ පාලිකා අමදෝරු මැතිණිය ගේ රුචිකත්වය පරිදි විය. ආලින්දය විචිත්‍ර කිරීමට ඇය විසින් යොදා ගෙන තිබූ කෘතීම වූ මල් ද වෙනත් සැරසිලි ද සියල්ල ම සියපත් මුලින් ම ඉවත් කළා ය. ගෘහ භාණ්ඩ වලින් ද අනවශ්‍ය ලෙස පිරී තිබූ ඒවා ඉවත් කොට, මදිරා සමග දියත පරිශ්‍රයෙන් ගෙනෙනා ලද ගෘහස්ථ ශාක හා පැළෑටි වලින් ආලින්දයට ජීවී බවක් එක් කළා ය. මේ කලඑළි කිරීම් සිදු වන්නේ සදාතන ගේ අනාගත සහකාරිය පිළිගන්නට බව දැන සිටියත් ඒ ගැන අනවශ්‍ය ලෙස කම්පා නොවී සිටින්නට සියපත් ට හැකි විය. ඔහු කාගේ කවුරුන් වුව ද හදවතේ චමත්කාරය ඇයත් සමග වීම පමණක් ඇය බලාපොරොත්තු වූවා ය. කිසි දා දැක නැති වියානා කෙනෙකු ගැන ඊර්ෂ්‍යාවෙන් සිතන්නට හෝ ඇයට හැකි නොවීම ගැන විටෙක සියපත් පුදුම වූවා ය. වියානා එක්ක සටනකට එළඹෙන්නට කොහෙත් ම සියපත් ගේ බලාපොරොත්තු ද නොවී ය. අනිත් අතට එවන් සටනකින් ලෝකය බිහි වූ දා පටන් ම දිනුම හිමි වූයේ තමන්ගේ පන්තියට නොවන බව ඇය දැන සිටියා ය. සදාතන ගේ ජීවිත අහසේ මතු යම් දිනයෙක වියානා කෙනෙකු සඳක් සේ පෑයූවද තමන් ගේ පුංචි තරු කැල්මට ඔහු දැක්වූ සංවේදී බව ඇයට කිසි දා අමතක කළ නො හැකි ය. ඒ ඇගේ ප්‍රථම ප්‍රේමයයි. ප්‍රථම ප්‍රේමය කිසි දා හිමි කර ගත නො හැකි  හදවතක් වෙනුවෙන් වෙන් කිරීම කියන්නේ ම මරණීය වේදනාවකි. නමුත් ඇය මේ බිමට පය තබන්නටත් පෙර ඔහු වියානා වෙනුවෙන් වෙන් වූ වස්තුවක් බව සියපත් දනී. 

“ආ…යාල වනෝද්‍යානය වගේනෙ දැන්”

ගෙට ගොඩ වූ ගමන් සදාතන විහිළුවක් කළේ ය. සියපත් තොල් පිට පෙරළුවා ය.

“හොඳ නැද්ද…මං හිතුව ආටිෆිශල් දේවල් පුරෝනවට වැඩිය…පැළ නිසා ලයිව් ගතියක් එයි කියල. සර් කැමති නැත්තං…”

“නෑ නෑ මෙහෙම හොඳයි. මං විහිළුවක් කළේ”

“සර් කැමති විදිහටයි ඔක්කොම වෙන්න ඕනෙ…”

සදාතන අත් දෙක පපුව මැද බැඳ ගෙන සියපත් වෙතට අඩ බැල්මක් හෙළුවේ ය. 

“සර්ගෙ ෆියොන්සි පිළිගන්නනෙ මේ හැම දේම කරන්නෙ”

සියපත් ගේ තොල් පෙති මත අඩ සිනහවක් විය. ඒ සිනහවේ තේරුම පළි දැරීමේ චේතනාවක් ද කියා ඇයට ම තේරෙන්නේ නැත. වියානා ගැන කිසිදු අමනාපයක් නො දැනෙතත්, ඇය ගැන කියා සදාතන ගේ හිත කොනිති ගැසීමේ සිතිවිල්ලක් කොහෙන් ඇය වෙත එළඹ තිබේ දැයි සිතා ගත නො හැක. 

“මං වියානා ගැන ප්‍රපෝසල් එකට කැමති වෙන්නෑ”

එදා මැදියම් රැයෙහි දී දුරකතනය ඔස්සේ නැඟුණු සදාතන ගේ වදන් මේ මොහොතේත් සියපත් ගේ මනස තුළ ප්‍රතිරාව නැගේ.  ඔහු එහෙම කළ යුතු යයි මේ මොහොතේත් ඇය නො සිතයි. නමුත් ඔහු එහෙම කිව් එක ගැන ඉසියුම් මිහිරකින් මේ මොහොතේත් ඇගේ හද නැහැවෙයි. එ් දුරකතන ඇමතුමෙන් පස්සේත් සදාතන ඇතැම් විට හැසිරුණේ පරණ පුරුදු විදිහට ම ය. එවන් විටෙක ඔහු එසේ කතා කළේ මඳ මත් බවකින් ද කියා සිතී ඇය නො සන්සුන් වෙයි. නමුත් සමහර තනිව ඇය හමු වෙන වෙලාවක ඔහු ගේ ඇස් වල තියෙනා බැල්ම එදා රාත්‍රියට අතිශයින් සම්බන්ධ හා සමීප වූවකි. ඒ බැල්ම පාමුල දී සියපත් ගේ අර මුලින් කී සිතිවිලි සියල්ල අහෝසි වී ඇය පළපුරුදු ප්‍රේමියක ගේ තත්වයට පත් වෙයි. දැන් මේ මොහොතේ ‘සර්ගෙ ෆියොන්සි පිළිගන්නනෙ මේ හැම දේම කරන්නෙ’ කියා කියත්දීත් ඇගේ ඇස් වල වූයේ ඇයට වසංගා ගත නො හැකි ව දෝරෙ ගලනා ස්නේහයකි. සදාතන ඒ බැල්මට ඇස් වලින් ම පිළිතුරු දුන්නේ ය. කිසියම් තරවටුමය ස්වභාවයක් ඔහු ගේ බැල්මේ විය. ඒ මිස කිසිදු වාචික පිළිතුරක් නොවී ය. නමුත් සියපත් ඉන් ඕනවටත් වැඩි තරමින් සෑහීමට පත් වූවා ය. 

ජයකොඩි පවුල පැමිණීමට නියමිත වූයේ දිවා ආහාරය සඳහා ය. කෑම මේසය සූදානම් කිරීම සඳහා මුළුමනින් උපදෙස් සැපයුණේ මදිරා ගෙනි.

“දැං මොකක් වෙයිද…”

සනාතන අඩ සිනහවකින් යුතුව සදාතන විමසී ය. ඔහු කළේ ඔලොක්කු සිනහවක් නගා ගන්නා එක ය. 

“ඇවිත් ගියාවෙකො. මට මොකෝ”

“තමුසෙට මොකෝ කියන්නෙ…ඒකි ෆෝන් එකෙන් කතා කළේ මාත් එක්කනෙ. අන්තිමට මට කරේ එල්ලගන්න වෙයි”

“අකමැත්තකුත් නෑනෙ තමුසෙගෙ”

“අනේ මේ…බඳින්නෙ කාවද කතා කරන්නෙ කාත් එක්කද කියලවත් අයිඩියා එකක් නැති කෙල්ලෙක් මට ඕන්නෑ”

මතු මහල වෙත දොඩම් යුෂ වීදුරු දෙකක් ද ගෙන සියපත් පැමිණියේ ඒ වෙලාවේ ය. සාමාන්‍යයෙන් ඒ වාගේ වැඩ ඇයගෙන් අපේක්ෂා නොකෙරුණ ද සියපත් මදිරා ට සේ ම නිවුන් සහෝදරයන්ට ද සංග්‍රහ කටයුතු කළේ කැමැත්තෙනි. සදාතන වෙනුවෙන් ලං වී යමක් කිරීමේ ආශ්වාදය විශේෂයෙන් ම එවැන්නක යටි අරමුණ වේ.

“අපේ ගෙදර වැඩට පොඩි කෙල්ලෙක් ගත්තද…”

සනාතන දොඩම් යුෂ වීදුරුව අතට ගන්නට පෙර විහිළුවක් කළේ ය.

“සීනි වැඩියෙන් දාල තියෙන්නෙ මේ දෙකෙන් කෝකටද දන්නෑ නේ…”

“ඇයි දෙන්නගෙන් කාට හරි ඩයබිටික් තියනවද…”

ඇය ද ඒ විහිළුවට විහිළුවකින් ම ප්‍රතිචාර දැක්වූයේ මඳක් සිනහ වෙමිනි. සනාතන ඇගේ කොණ්ඩ කරලෙන් ඇද්දේ ය. වෙනදාටත් වැඩි සහෝදරාත්මක හැඟීමක් ඇයට ඔහු ගැන දැනෙමින් තිබිණ.

“සියපත්ට වැඩ වැඩිවෙන්න යන්නෙ නේ…අලුත් මනමාලි කෙනෙක් පිළිගන්න වෙලානෙ”

යුවතිය මඳහසක් පෑවා ය. ඒ මඳහස ඇතුළේ හැංගුණ, පිටතට එන්නට අවසර නැති සංවේගයක් හැඳින ගන්නට සේ සනාතන ඇගේ මූණට එබුණේ ය.

“මනමාලය ඒ මනමාලිව රිජෙක්ට් කරනවලුනෙ සියපත්”

ඒ කතාවටත් ඇය කළේ බිම බලා ගෙන සිනහ වෙන්නට උත්සාහ කරනා එක ය.

“අපි බලමු ඉතිං මොකද වෙන්නෙ කියල නේ…එක හීනෙං එළි වෙන්නෙ නෑනෙ සියපත්. හිනා වෙලා සතුටෙන් ඉන්න ඕන හරිද…”

සනාතන එසේ කියත්දී සියපත් ට දැනුණේ අඬන්නට හිටි ඇගේ ඇසට ඔහු ගේ ඇඟිලි පහර වැදුණා සේ ය. සනාතන බීම වීදුරුව ද ගෙන කාමරයට ගියේ හිතා මතා ම සදාතන ට යුවතිය සමග කතා කිරීමේ අවස්ථාවක් ලබා දෙමිනි. 

“ඔය එන අයට සංග්‍රහ කර ගන්න වැඩ අදාල අය කරයි. ඕන එකයි එපා එකයි ඔක්කොම බදාගෙන කරන්න යන්න ඕන නෑ…”

ඔහු අවධාරණය කළේ ය. සියපත් පපුව පිරෙන්නට හුස්මක් ගත්තා ය. ඒ හුස්ම පුරා ම වූයේ ආදරය කියා ඇයට දැනිණ. ඇස් වලට පුංචි කඳුළක තෙත උණා ආවේ ය. සදාතන ගේ වචන වල ආදර බර බවක් නොවූවාට ඔහු ගේ හදෙහි වූයේ ආදරය සේ ඇයට දැනිණ. 

“අනේ වැඩනං මොනාද සර්…අනික එහෙම වැඩක් කළා කියල මගෙ මොනා අඩු වෙනවද…අනිත් එක…වියානා මිස් කියන්නෙ තාම ඇහැටවත් දැකල නැති වුණාට මගෙ හිතට පුදුම විදිහට දැනෙන කෙනෙක්. එයා හරි හොඳ ඇති. දැක්කට පස්සෙ සර් වුණත් එයාට කැමති වෙයි”

සදාතන සියපත් සමීපයට ම පැමිණියේ ය. හිස් කළ බීම වීදුරුව ඈ අත වූ බන්දේසිය මත තබමින් ඇගේ මූණට එබුණේ ය.

“ඔළුව කොහෙ හරි හැප්පුණාද මල් පෝච්චියක් උස්සනකොට එහෙම…”

ඒ වෙලාවේ ඔහු පෑ අඩ සිනහව, තව ආත්ම හතක් වුව ඔහු නැතිව ඔහු එක්ක ජීවත් වන්නට ප්‍රමාණවත් හැඟීමකින් සියපත් ගේ ගැහැනු හද පුරවා ලන ලදී.

ඔවුන් ආවේ මධ්‍යහ්නය එළඹි පසු ය. මදිරා අසලින් සිටිය යුතු වූ නිසා සියපත් ට ද ඒ පිළිගැනීම වෙනුවෙන් ආලින්දයේ රැඳෙන්නට සිදු විය. ගේ දොරකඩ නතර වූ රියෙන් මුලින් ම බැස්සේ රියදුරු අසුනට යාබද ව හිඳ උන් ජිතේන්ද්‍ර ජයකොඩි ය. සුදු ජාතිකයෙකු තරම් පැහැපත් හා උස මහතකින් හෙබි ඔහු සැබෑ කඩවසම් පුරුෂයෙකි. හිස කේ අළු වර්ණ වී තිබිණි ද අත් හැර යන්නට ලෝභ කමෙන් වැළඳ ගෙන ඉන්නා තරුණ බවක් ඔහු ගේ ශරීරය අරක් ගෙන තිබිණ. කළු රාමුවක් සහිත උපැස් යුවළ ඔහු ගේ තේජස්වී පෙනුමට තව දුරටත් අලගු තැබුවේ ය. පිටුපස දොර හැරගෙන පිටතට බට සිහින් උස් කාන්තා සිරුර ලා පැහැති සාරියකින් සැරසී තිබුණ අතර වසර ගණනාවක් තිස්සේ විදෙස් රටක දිවි ගෙවූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ගේ බිරිඳකට තිබිය හැකි යයි බලාපොරොත්තු විය නො හැකි තරම් සන්සුන් හා වැදගත් පාටක් ඇයට විය. කොණ්ඩය කොටට කපා තිබූ ඕ සාරි පොටින් උරහිස වසා ගනිමින් කහවණුගොඩලා දෙස බලා මඳහසක් පෑවා ය. සියපත් ට සිහි වූයේ බාලිකාවේ දී උසස් පෙළට භෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරියයි.

ප්‍රධාන චරිතය රියෙන් බසින්නේ අවසානයට ය. ඇය දකින්නට පෙරුම් පුරා ගෙන උන් සියපත් ගේ දෑස්, ඇය දුටු වන කුමක් දැයි කිව නො හැකි හැඟීමකින් පිරී ගියේ ය. දොරකඩ බලා උන් කහවණුගොඩ පවුලේ සාමාජිකයන් අතරින් වියානා ජයකොඩි ගේ ඇස් ද මුලින් ම නතර වූයේ සියපත් ළඟ ය. ඒ ඇස් හතර උනුන් හා සිනහ වූහ. වියානා හැඳ සිටියේ ලස්සන කෙටි ගවොමකි. ඇගේ සුසුදු දෙපා නිරාවරණය වී තිබිණ. ඇය වූ කලී බෝනික්කියකට පණ ආ අවස්ථාවක් සේ සියපත් ට සිතිණ. සනාතන ලා සිනහවකින් සදාතන දෙස බැලී ද ඔහු බැල්මකින් හෝ වෙනසක් හැඟවූයේ නැත.

උනුන් වැළඳ ගෙන පවුල් දෙකේ අය උනුන් ට ආදර ගෞරව දැක්වීමෙන් පස්සේ අමුත්තෝ ගෙතුළට ප්‍රවේශ වූහ. 

“එතකොට කවුද මේ ලස්සන චූටි කෙල්ල…”

සියපත් වෙනුවෙන් ඒ මුල් ම ප්‍රශ්නය ජිතේන්ද්‍ර ගෙනි.

“ඒක තමයි. මාත් අහන්න හැදුවෙ. හව් ස්වීට් ෂී ඉස්…”

“අ…ඒ අපේ දුව මදිරාගෙ යාළුව. ඇත්තටම කියනවනං බෙඩ් එකෙන් වීල් චෙයා එකටවත් ගන්න බැරුව හිටිය මදිරා මාස දෙක තුනක් ඇතුළෙ මේ වගේ තත්වෙකට ආවෙ අපේ මේ සියපත් දුව නිසා. ඇත්තටම දැං මදිරාව  විතරක් නෙවෙයි මේ මුලු ගෙදරම මැනේජ්මන්ට් එක අපි බාර දීල තියෙන්නෙ එයාට. කොටිංම අපිවත් දැන් බලා ගන්නෙ එයා”

මයිකල් ගේ ඒ කතාවට හැම කෙනෙක් ම සිනහ වූහ. සියපත් ඇස් දෙක බිමට හරවා ගත්තා ය. සනාතන ගේත් සදාතන ගේත් ඇස් මඳහසකින් සියපත් වෙතට දැල්වී ගෙන තිබිණ.

“වෙරි ඉම්පෝටන්ට් මැටර් එක…දැන් මං මේ දෙන්නව වෙන් කරල අඳුරගන්නෙ කොහොමද..”

සනාතන හා සදාතන ඉදිරියේ නතර වී වියානා එය ඇසූ තාලයට නැවත ද ලොකු සිනහවක් නැගුණේ ය.

“ඒකනං සෑහෙන ප්‍රශ්නයක් තමයි වගේ නේ…”

“හරි අපි මේ දුවට චාන්ස් එකක් දෙමුකො අඳුරගන්න නේද…ටික කාලයක් ඕවර් ද ෆෝන් හරි කතා කරපු කෙනාව අඳුර ගන්න පුළුවන් වෙන්න එපැයි”

ඒ අභියෝගය මයිකල් ගෙනි. වියානා දෙතොල් සපා ගෙන නිවුන් සොයුරන් දෙස මාරුවෙන් මාරුවට බැලුවා ය. සියපත් ගේ හදවත වේගයෙන් ස්ඵන්දනය වෙමින් තිබිණ. සදාතන ට දැනුණේ නො රිස්සුමකි. ඔහු ගේ ඇස් සියපත් වෙත යොමු වූයේ ද නිරායාසයෙනි. එකෙනෙහි වියානා සනාතන දෙසට ඇඟිල්ල දිගු කළා ය.

“මෙයා”

මදිරා හා මයිකල් හඬ නගා සිනහ වූ අතර සදාතන ගේ මුවට පැමිණියේ මඳහසකි. සනාතන නෙත් බැමි ඉහළ නැංවූයේ ය.

“ඇයි අරයද…ඉතිං අනේ මට පොඩි හින්ට් එකක් දෙන්නෙපැයි. ඇයි අනේ…මං කිව්ව එන්න කලිංම…මට මේ දෙන්නව වෙන් කරල අඳුරගන්න බැරි වෙයි කියල”

වියානා වඩාත් හුරතල් වූවා ය.

“මේක කරන්න බෑ. මං එන වෙලාවට අදාල කෙනා ඇඳුමෙ ඉස්සරහින් නම ගහං ඉන්න වෙයි හොඳේ”

ජයකොඩි මැතිණිය ඉතා සන්සුන් ලෙස සිනහ වෙමින් සිටියා ය. ඒ තරම් සන්සුන් අම්මා කෙනෙකු ගේ දියණියක මේ වාගේ කටකාර දඟකාරියක වූයේ කොහොමද යන පැනය සියපත් තුළ ජනිත නොවුණා ම නොවේ. අමුත්තන්ට ශීත කළ තැඹිලි වලින් සංග්‍රහ කරනා ලෙසට ඇය මුළුතැන්ගෙට දැනුම් දුන්නා ය. ඒ දිවා ආහාර සඳහා තව වැඩි වෙලාවක් ඉතිරි වී නො තිබුණ බැවිනි. සියපත් මදිරා අසලට වී සිටියදී, අත වූ තැඹිලි වීදුරුව සමගින් ම ඇය වෙත ආ වියානා,

“ඉතිං කොහොමද ඔයාට…”

කියමින් ඇගේ අතක් අල්වා ගත්තා ය. අතට දැනුණ ඒ ස්පර්ශය හෝ සිතට දැනුණ ඒ හැඟීම තෝරා බේරා හැඳින ගන්නට කිසි සේත් සියපත් ට පහසු වූයේ නැත. නාස් පුඬු දැවිල්ල ගෙන ඇස් වලට ගිනියම් කඳුළක් ඉනුවේ ඇයිද කියාත් ඇයට තේරුම් ගත හැකි වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles