අවතක්සේරුව 

ගෙදර සීනුව නාද වෙනවා එක්කම රංග දොර ඇරියා. බලාපොරොත්තු වුන විදියටම දොරකඩ හිටියේ අම්මයි අක්කයි.

” ඔයාලා කලින්ම ඇවිල්ලානේ ” 

රංග එහෙම කියලා අම්මටයි අක්කටයි වාඩි වෙන්න ආරාධනා කරා

” සෙනසුරාද නිසා ට්‍රැෆික් අඩුයි මල්ලි. කෝ නදී ? ” 

සුලෝචනා වටපිට බැලුවේ විමසිල්ලෙන් 

” එයා කුස්සියේ ” 

” අපි එන හින්දා කෙල්ල එහෙනම් උයනවා ඇති ” 

වජිරා එහෙම කිව්වේ තමන්ගේ ලේලිය ගැන උපන්න හැබෑම ආදරයකින් 

” අපෝ නැහැ. මම කෑම ඕඩර් කරා. එයාට බෑනෙ අපි ඔක්කොටම උයන්න ” 

රංග එහෙම කියනකොටම දුරකථනය නාද උනා. දුරකථනයක් අරගෙන රංග මිදුලට බහින කොට නදී හෙමින් සීරුවේ කුස්සිය පැත්තට ආවා

” නංගී ” 

පිඟන් වගයක් හෝදමින් බර කල්පනාවක හිටපු නදී සුලෝචනා ගේ හඬට ගැස්සුනා. 

” ඔයා ගැස්සුනා ” 

සුලෝචනා නදී හෝදපු පිඟානක් අතට ගත්තා

” මං වෙන කල්පනාවක හිටියේ අක්කේ . ඉන්න මම ඔයාලට බොන්න මොනවා හරි හදන්නම් ” 

නදී එහෙම කියලා හැරෙනකොටම සුලෝචනා ඇගේ අතකින් අල්ලගත්තා 

” ඔයා හොඳින්ද ? ” 

ඒ ප්‍රශ්නෙට නදීගේ මුහුණේ ඇඳුන තිගැස්ම සුලෝචනා හොඳටම දැක්කා 

” ඔව් අක්කේ. මම හොඳින් ” 

ඒ වචන අස්සේ ඇත්තටම හොඳක් නෑ කියලා නදීට වඩා අවුරුදු හතර 5ක් වැඩිමල්  සුලෝචනා ට තේරුනත් ඇය එතනින් එහා ප්‍රශ්න අහන්න ගියේ නැහැ. 

දවල් කෑම ගන්න අතරතුරදිත් සුලෝචනා ගෙ ඇස් තිබුණේ නදී ලග. කෑම මේසෙ වාඩි වෙලා හිටපු නදීගේ හිත තියෙන්නෙ වෙන කොහේදෝ ඈතක කියලා සුලෝචනාට වැටහෙමින් තිබුණා.

” හෙලෝ මල්ලී ” 

සතියෙ මැද දවසක රංගට සුලෝචනා ගෙන් කෝල් එකක් ආවේ කාර්යාලයේ ඉන්නකොට 

” නදී ගෙදරද ? ” 

” ඔව් අක්කේ. ඇයි අක්කා එයාගේ ෆෝන් එකට ගත්තෙ නැද්ද ? ” 

” එයාට ගන්න කලින් තමයි ඔයාට ගත්තේ. මං එයත් එක්ක එළියට ගියාට කමක් නැද්ද ? මට ඇඳුම් වගයක් ගන්න තියෙනවා ” 

” අපෝ කමක් නෑ. එයා ගෙදර නිකංම නේ ඉන්නේ ” 

” හ්ම් ” 

වැඩිය උත්තර දෙන්න නොගියපු සුලෝචනා දුරකථන ඇමතුම අවසන් කලේ ඒ තරම් හිත හොඳකින් නෙමෙයි.

” ඔය ඩෙනිම් එකට ගැලපෙන්නේ plain colour shirt එකක්. ඉන්නකො මම අක්කට හොයල දෙන්න ” 

නදී හරි අපූරුවට ඒ ඒ විලාසිතා වලට ගැලපෙන විදියට පාට තෝරලා ඇඳුම් ගලපන හැටි සුලෝචනා බලන් හිටියේ පුදුමයෙන් 

” අම්මෝ ඔයා මාරයිනෙ නංගී. මට කවදාවත් ෂර්ට් එකක් මෙහෙම අඳින්න හිතිලා නැහැ ” 

සුලෝචනා ෆිටෝන් රූම් එකෙන් එලියට ආවේ නදී කියපු විදිහට ඇඳලා බලපු ඇඳුම තමන්ට කොච්චර වෙනසක් ගෙනැල්ල දීලද කියල හිතන ගමන්

” ඔයා වැඩිය මහත නැති නිසා ඔයාට මෙහෙම ලස්සනයි ” 

නදී සුලෝචනා වටේ කැරකි කැරකි හැඩ බැලුවා 

” ඔයා කොහොමද අනේ මෙහෙම ඇඳුම් තෝරන්න පුරුදු වුණේ ? ” 

සුලෝචනා ආයෙමත් ඇහුවේ හිතේ හැටියට ඇඳුම් අරගෙන සතුටින් ආපහු ගෙදර එන ගමන් 

” මං ෆැෂන් ඩිසයිනින් කරලා තියෙනවා ?” 

නදී කිව්වේ ඉවත බලාගෙන 

” මොකක් ? ” 

” හ්ම්ම් ” 

” ඉතින් ඇයි ඔයා ඒකෙන් වැඩක් ගන්නෙ නැත්තෙ ? ” 

සුලෝචනා ඒ ප්‍රශ්න ඇහුවේ නදීගේ හිතේ මොකක්ද දුකක් තියෙනවා කියලා දැනුන නිසා 

” රංග කැමති වුණේ නෑ මම බැන්දට පස්සේ මොනවත් කරනවට ” 

ටික වේලාවක් නිහඬව හිටපු නදී ඇහෙන නෑහෙන ගානට උත්තර දුන්නා 

” එතකොට එයාට ඕනේ ඔයා ගෙදර බත් තම්බ තම්බ ඉන්නවා බලන්නද ? ” 

සුලෝචනා හිතට ආපු කෝපය සඟව ගත්තා 

” එහෙමත් නැහැ. එයා හිතන්නේ මට ගෙදර වැඩත් බැහැ කියලා “

සති අන්තයේ දවසක තමන් අම්මා එක්ක රංගගේ ගෙදර යනකොට නදීට හැමෝටම උයන්න බැහැ කියලා රංග පිටින් කෑම ඇනවුම් කරලා තිබුන හැටි සුලෝචනා ට මතක් උනා. 

” එතකොට එයා හිතන් ඉන්නේ ඔයාට මොනවා පුළුවන් කියලා ද ? ” 

” එයා හිතන්නේ මට මුකුත්ම බෑ කියල. කට ඇරියොත් කියන්නේ ඔයාට බෑ , ඔයාට ඕව පුරුදු නෑ , ඔයාට ඔව්වා කරන්න බැරි වෙයි කියලා විතරයි ” 

නදී තමන්ගේ ඇස් වල පිරුණ කඳුළු වැටෙන්න නොදී හිරකරගෙන ඉන්න හැටි දැක්ක සුලෝචනාට රංග ගැන දැනුනේ තරහක් 

” එයා ගෙදර නිකංම නේ ඉන්නේ ” 

දවල් නදීව එලියට එක්කගෙන යන්න අහපු වෙලාවේ රංග දීපු උත්තරයත් සුලෝචනාට මතක් උනා. ඒ සැනින්ම දුරකථනය අතට ගත්ත සුලෝචනා රංගට කෙටි පණිවිඩයක් යැව්වෙ හවසට මහ ගෙදරට එන්න කියලා.

” අම්මෝ මෙයා කාලෙකට පස්සේ හොඳ ඇඳුම් ටිකක් අරගෙන තියෙන්නේ. වෙනදට ගන්න ඉතින් එළ හරකයි මී හරකයි වගේ කිසිම ගැලපීමක් නැති ඇඳුම් නේ ” 

රංග හිනාවෙවී කිව්වෙ සුලෝචනා මිලදී ගත් ඇඳුම් එහෙ මෙහෙ කරන ගමන් 

” ඕවා ඔක්කොම තෝරලා දුන්නේ මගේ නෑනා ” 

සුලෝචනා උත්තර දුන්නේ ආඩම්බරයෙන් . ඒ එක්කම රංගගෙ මුහුණේ ඇඳුන සමච්චල් සහගත හිනාවත් සුලෝචනා දැක්කා 

” එයාට පුළුවන්ද අනේ මෙච්චර හරියක් කරන්න ? ” 

” මේ. ඔයා උදේට ඔෆිස් යනකොට නදී ඔයාට තේ එකක්වත් හදලා දෙනවා ද ? “

” ඔව්. ඇයි ? ” 

” එතකොට බත් උයලා දෙනවාද ? ” 

” ඔව් ” 

සුලෝචනා කවදාවත් නැතුව අහන ප්‍රශ්න ගැන රංගගෙ මුහුණේ තිබුණේ කුතුහලයක්

” එතකොට ඔය දෙන්නා ඉන්න ගෙදර අස් කරන්නේ කවුද ? ” 

” නදී තමයි. මට කොහෙද අක්කේ ඒවා කරන්න වෙලාවක් “

” එහෙනම් ඔයා කොහොමද කියන්නේ නදී ගෙදර ඉන්නේ නිකන්මයි කියලා ? එයාට අරක බෑ මේක බැහැ කියලා කියන්නේ කොහොමද ? ” 

සුලෝචනා එක එල්ලේම එහෙම අහනකොට රංග නිහඬ වුණා 

” තව මාස තුනකින් වගේ වෙඩින් එක. ඔයා ආසද මම බැඳලා ගිය දවසට මයන්ත මට ඔය විදියට සලකනවා ට ? තමන්ගේ ගෙදර මිනිසුන්ගෙන් ඈත් වෙලා කෙල්ලෙක් කසාද බැඳලා තවත් ගෙදරකට එන්නේ කවුරුත් ඉස්සරහා අවතක්සේරු වෙන්න නෙමෙයි. ” 

අක්කට දෙන්න ඕන උත්තරේ මොකක්ද කියලා රංගට ඒ මොහොතේ හිතාගන්න බැරි වුණා .

” ඒ ළමයා ඉගෙන ගත්ත දෙයක් තියෙනවනම් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න දෙන්න. හැමෝම ඉස්සරහ එයාට කිසි දෙයක් බැහැ කියලා කියන එක නෙමෙයි වැඩේ , එයාට පුළුවන් දේ කරන්න ඉඩ අරින එක ” 

” මට ඔයා කියන දේ තේරෙනවා අක්කේ ” 

රංග උත්තර දුන්නේ පහත් හඬින් 

” ඒ ළමයා ඉවසන ඉවසීම කවදාවත් මම නං ඉවසන එකක් නැහැ. ඒ වගේ ඉවසන ගෑනියෙක් ඔයාට කොහෙන්වත් හොයාගන්න හම්බ වෙන එකකුත් නැහැ ” 

තමන්ගේ අතින් වුන වැරැද්ද සුළු පටු එකක් නෙමෙයි කියලා තේරුම් ගත්ත රංග මහ ගෙදරින් එළියට බැස්සේ නදී ආසම කෑම මිලදී ගන්න අවන්හලක් හොයාගෙන යන ගමන්.

More Stories

Don't Miss


Latest Articles