විදාරණය වීමට නියමිත ගිනි කන්දක් මුදුනේ ඉඳ ගෙන සිටිනා ප්‍රාණියෙකු සේ මට මා දැනෙන්නට ඇත. එය ඒ තරම් දෙගිඩියාවෙන් ද හද ගැස්මෙන් ද යුත් මොහොතකි. මා කිසි සේත් හොඳ සිහියෙන් සිටින්නට බැරි වී ද වෙනදාටත් වැඩිය මම තියුණු සිහියකින් සිටියෙමි. වැහි ගතිය නිසා පාරේ වාහන තදබදයක් වූයේ ය. ඉඩ ඇති තැන් වලින් රිංගමින් ද වේගය උපරිම ව පවත්වා ගනිමින් ද මම රිය පැදවීමි. මේ වෙලාවේ ජීවිතය ගැන ආශාවක් හෝ බියක් නැත්තට නැති වී තිබුණා සේ ය. ඇතැම් විට රියෙහි මා පසෙකින් අක්කා සිටින බව පවා අමතක කරන්නට මට සිදු විය. මගේ භයානක වූ රිය පැදවීම දෙස ඇය තැති ගෙන බලා සිටියා ය.
“පරිස්සමෙන් නංගි”
කියා විටෙක මිමිණුවා ය. ඇගේ හිතේ ජීවිතය ගැන බියක් ද ඇගේ ඇස් වල මරණීය භීතිකාවක් ද තිබුණාට සැක නැත.
“හෙමිහිට යං. අපි කලබල වෙලා බෑ”
අක්කා ගේ වචන වෙව්ලා යන බවක් මට දැනිණ. ඒ වෙලාවේ මට ඕන වී තිබුණේ හැකි ඉක්මනින් විදුර ගේ ගෙදරට යන්නට ය. ඔහු ගේ අම්මා ගේත් අක්කා ගේත් නංගිලා ගේත් හිත් හදන්නට මොනවා කියන්න ද කියා මා දැන සිටියේ ම නැත. කාලයක් තිස්සේ ඔවුන් මේ බිය දරා ගෙන සිටියහ. මේ ව්‍යසනයෙන් විදුර ව කෙසේ හෝ රැක ගත්හ. අවසන ඔහු ගේ ජීවිතයට මම ආවෙමි. ඉනික්බිති ඔවුන් රැක ගෙන උන් ඔවුන් ගේ වස්තුව අපරාධකාරයින් ට බිලි විය.
දෙවියනි මා ඔවුන් ට මූණ දෙන්නේ කෙසේ ද? නිදහසට කියන්නට කාරණා කිසිවක් හෝ මට තිබේ ද? ඔවුන් මා ගෙදරින් පන්නා ගත හොත් ඒත් මම කුමක් නම් කරම් ද? විදුර හැරෙන්නට මා තේරුම් ගත් වෙනත් කිසිවෙකු මේ මිහි පිට ඇත්තේ නැත.
“විදුර අතුරුදන්වෙලා විතරයි නංගි. එයාට කරදරයක් නැතුව ඇති කියල අපි හිතමු. මේ වෙලාවෙ කලබල නොවී කල්පනාවෙන් වැඩ කරමු. අපි විදුරව හොයා ගන්න බලමු”
“අපිට පුළුවන් වෙයිද අක්කෙ එයාව හොයා ගන්න…”
එදා දවසේ මගේ හදවත බලාපොරොත්තුවෙන් පණ ගැන්වූවා වූ එක ම වචනය එයයි. අක්කා ගේ ඇස් වල අධිෂ්ඨානයේ දීප්තිය විය.
“අපි පුළුවන් තරං ට්‍රයි කරමු. එකම දේ හොඳ සිහියෙන් ඉඳන් කරන්න පුළුවන් හැම දේම කරන එක. ඒකයි මං කියන්නෙ ඔයාට කලබල නොවී ඉන්න කියල”
“මාව පිච්චෙනව වගේ අක්කෙ. මං කොහොමද ඔයාට ඒක තේරුං කරල දෙන්නෙ..මෙහෙම දෙයක් නිතරම එයා බලාපොරොත්තුවෙන් හිටිය තමයි. ඒත් මේක වුණේ එයා මට ආදරේ කරපු නිසා කියන ඇත්ත මං ඉස්සරහට එනකොට…ඒක දරා ගන්න හරි අමාරුයි…”
මා හුස්ම ගත්තේ මුව ද මඳක් විවර කොට ගෙන ය. නමුත් ඇතුළාන්තයේ වූ ගිනි රස්නය නිවා ලන්නට හැකි වූවා නොවේ. අප විදුර ගේ ගෙදරට එන විට ඒ ගෙදර මළ ගෙයක් සේ වී තිබිණ. ගේට්ටුව ඉදිරියේ පාරේ ද වත්ත ඇතුළේ ද ගෙතුළ ද කාණ්ඩය කට්ටි ගැසී සිටියහ. ඒ හැම මුහුණක ම තිබුණේ බිරාන්තියකි. මාත් අක්කාත් ගෙට ඇතුළු වී කෙළින් ම විදුර ගේ අම්මා වෙතට ගියෙමු. ඕ තොමෝ සෝෆාවෙහි වැතිරී සිටියා ය. ඇගේ ඇස් කඳුළු පොකුණු සේ විය. හැඬීමෙන් විඩාපත් බවක් මට ඇගෙන් දකිත හැකි විය.
“අම්මෙ..”
ඇය වෙතට පහත් වී මම මෘදු ලෙස කතා කළෙමි. අම්මා විඩාපත් නෙතින් මදෙස බැලුවා ය. මා හැඳින ගන්නට ඇයට තත්පර කිහිපයක් ගත වෙන්නට ඇත. ඒ තත්පර වීමෙන් පසු ඇය විලාප තබා ගෙන අසුනේ හිඳි ඉරියව්වට ආවා ය.
“අනේ දුවේ මගෙ පුතා…මොන නස්පැත්තියක්ද දෙයියනේ මේ වුණේ…කොල්ල ජීවිතේ පටං ගන්න හැදුව විතරයි. එදා දුවත් එක්ක ගෙදර ආපු වෙලේ මං දැක්ක ඒකාගෙ ඇස් වල තිබුණ සතුට. එහෙම සතුටක්වත් බලාපොරොත්තුවක්වත් මීට කලින් කවදාවත් මං පුතාගෙ මූණෙ දැකල නෑ. ඇත්තටම කොල්ල හිටියෙ සතුටෙන්. අපි ඇඟිලි ගැන ගැන හිටියෙ මනමාලයෙක් වෙනකල්නෙ දෙයියනේ. මගෙ ඇස් දෙක පියවෙන්න කලින් මේ දුවට පින් සිද්ද වෙන්න මට මුණුපුරෙක්ගෙ මූණත් බලන්න පුළුවන් වෙයි කියලයි මං හිතුවෙ. මොන අපරාදයක්ද මේ කළේ දෙයියනේ…සාප වෙනව නේද මෙහෙම කරපු එවුන්ට…”
ඇය සිය පරඬැල් දෑතින් වැහැරුණු පපුවට ගසා ගත්තා ය. මම මගේ දෑතින් විදුර ගේ අම්මා ව වැළඳ ගතිමි. ඇස් තෙත් වන්නට වූයේ ය. නමුත් මම නාඬා හිඳීමේ උත්සාහයක් ගතිමි.
“අපි කොච්චර මේ ළමයව පරිස්සං කළාද නංගි…”
විදුර ගේ අක්කා ද එදා මා දුටු පොඩි නංගී ද මා දැක නො තිබි ලොකු නංගී ද විත් මා වට කර ගත්හ. ඔවුන් ගේ ඇස් ඉදිමී, මුහුණු තඩිස්සි වී, නාස් රතු වී තිබිණි.
“අපි කොහොම හරි එයාව හොයා ගමු”
මා එසේ කීවේ ගැහෙනා හඬකිනි.
“අනේ බුදු බව අත් වෙයි දුවේ මට මගෙ කොල්ලව හොයල දීපල්ල. මේ නාකි මං මොනව කියල කරන්නද…කාගෙං කියල මගෙ අසරණයව ඉල්ලන්නද…අත පය හයිය තියනකං ඇහැක් විදිහට මං ඒකව බලා ගත්ත. ගිය සැරේ මර න් න ම හොයදදි නොවඳිනා වැඳුං වැඳල රට යවා ගත්ත. මේ සැරේ මට කලින් උං ඉස්සර වුණා”
අම්මා මගේ අතේ එල්ලී ගත්තා ය. මොන බාධක පැමිණියත් විදුර සොයා ගැනීම වෙනුවෙන් සටන් කරනා බවට මා මට ම සපථ වූයේ ඒ වෙලාවේ ය. ඒ කොහොමද කියා මා දැන සිටියේ නැත. යුක්තිය ඉල්ලා සිටිය හැකි ඕනෑ ම තැනකට මේ අම්මා ද සහෝදරියන් තිදෙනා ද සමගින් ගොස් විදුර ව ඉල්ලා සිටිනා බවට මම තදින් අදිටන් කර ගතිමි.
මගේ අම්මා වජිරපාණී වික්‍රමබාහු බවත්, මා ගැන කතා කරන්නට ඔහු අපේ ගෙදරට පැමිණි බවත්, අම්මා ගේ කැමැත්ත ලැබී තිබුණේ නැති බවත් ඔවුන් දැන ගත්තේ මා කී පසු ය. ඒ අම්මා හිසේ අත ගසා ගත්තා ය.
“දෙයියනේ මගෙ කොල්ල ඉඳල ඉඳල කළු ගලක ඔළුව හප්ප ගත්ත නේද එහෙනං…”
අම්මා සිහිසන් වූවා ය. අපි ඇයව හාන්සි කොට විදුලි පංකාව දමා වතුර ඉසිමින් ප්‍රථමාධාර දුන්නෙමු. මා කාගේ කවුදැයි දැන ගත්තා ට පස්සේ විදුර ගේ සොයුරියන් ද කැළඹුණා කියා මම සිතමි.
“මගෙ අම්ම කවුරු වුණත් මං ඉන්නෙ විදුරගෙ පැත්තෙ. මේ වෙලාවෙ මං ඉන්නෙ ඕගොල්ලො එක්ක. ඕගොල්ලොන්ට වගේම මටත් එයා ඕනෙ. අනේ ප්ලීස්…මාව හතුරෙක් විදිහට හිතන්නෙපා. මාව ඕගොල්ලොංගෙ කෙනෙක් විදිහට පිළිගන්න. එයා වෙනුවෙන් මට තනියම සටන් කරන්න බෑ ඕගොල්ලො නැතුව”
මේ සිදුවීමේ ප්‍රථම වතාවට මට හැඬුණේ ඒ වෙලාවේ ය. විදුර ගේ පොඩි නංගී මා වැළඳ ගත්තා ය. මා නිර්දෝශී වග ඔවුන් වටහා ගන්නට ඇත.
රැස්ව සිටි අසල්වැසියන් ද ඥාතීන් ද මා ගැන උනන්දු වන්නට වූයේ පසුව ය. මෙතෙක් කාලයක් තනිකඩව සිටි විදුර ගේ ළාබාල පෙම්වතිය දැකගැනීමට ඔවුන් ගේ ඇස් වල වූයේ උනන්දුවකි. මා වූ කලී වජිරපාණී වික්‍රමබාහු ගේ දියණිය කියා දැන ගැනීම ඒ කුතුහලය තීව්‍ර කරවන්නට ඇත.
විවිධ මාධ්‍ය ආයතන වලින් ද එතැනට නියෝජිතයන් පැමිණ සිටියහ. විදුර ගේ අම්මා සමග කතා කිරීමෙන් පසු මා සමග ද කතා කරන්නට ඔවුන්ට උවමනා විය. රූපවාහිනී ප්‍රවෘත්ති තුළ විදුර වෙනුවෙන් මා කතා කරනු අම්මා බලා සිටියේ තැතිගෙන ය.
“මොනවද තිසුරි ඔයා මේ කරන මෝඩ වැඩ…මුළු රටම දැන් මගෙ දිහා සැකෙං බලන්න පටන් ගන්නව මේකට. අම්මට වැඩිය ඔයාට අනිත් දේවල් ලොකු වුණාද…”
ඇය කෝපයෙන් මට දෝෂාරෝපණය කරන්නට ද වූවා ය. මගේ මුහුණ ට සමච්චල් සිනහවක් නැගෙන්නට ඇත.
“වැරැද්දක් කළානං ඒකට දඬුවම් විඳින්න ලෑස්ති වෙලා ඉන්න. ඔයා විතරක් නෙවෙයි අම්ම කෙනෙකුට ඉන්නෙ. අර පොළොවෙ පස් කන්නෙත් අම්ම කෙනෙක්. ඔයා කියන විදිහට මං ඔයාගෙ ගෞරවේ රකින්න ඕනෙ. ඔයාට මොකද්ද එතකොට තියන අයිතිය ඒ අම්මගෙන් එයාගෙ පුතාව උදුරගන්න…”
මම අම්මා අභියස හිඳ කෙළින් ඒ ඇස් දෙස බලා ගෙන ප්‍රශ්න කළෙමි. මගේ ඇස් වල ගිනි පිට වෙනා අභියෝගයක් තියෙන්නට ඇත. නමුත් ඉවසිය යුතු බව ද මම දැන සිටියෙමි. ඇතැම් විට කෑ කෝ ගසා රණ්ඩු කොට දිනා ගත නො හැකි දේවල් සන්සුන් ව කර ගන්නට පුළුවන.
“වැඳල කියන්නං අම්මෙ. ඒ අහිංසකයව ඉන්න තැනකින් නිදහස් කරන්න. අනේ ඔයා කියන දෙයක් කරන්නං. එයාගෙ ජීවිතේ නැති කරන්න එපා. මං ඕනෙ දෙයක් විඳෝගන්නං අම්මෙ. එයාට ගහල වද දෙන්න එපා කියල ඔයාගෙ අළුගෝසුවන්ට කියන්න. හැබැයි එයාට මොනා හරි වෙලා තිබුණොත්…ඊට පස්සෙ ඔයාට මාව වළදාන්න වෙයි. මේ පාපකර්මෙ කර ගන්න එපා. විදුරට මොනා වුණත් මං ඔයා කියන කෙනෙක් බඳින්නෑ. එයාගෙ ආදරේ මරණෙංවත් කෙළවර වෙන්නෑ. එයා ගියොත් මාත් යන එක නවත්තන්න ඔයාට තියා සක්කරයටවත් බෑ. ඔයාට මාව දුවෙක් විදිහට නොමැරි ඉන්නව දකින්න ඕනනං එයාව නිදහස් කරල එවන්න”
එය යාදින්නකි. බැගෑපත් වීමකි. වැඳ වැටීමකි. කණ්ණලව්වකි. දේශපාලනයේ හිරිකිත නිරුවත ඉදිරියේ වැඳ වැටෙන්නට මා සූදානම් නැති වී ද විදුර වෙනුවෙන් කරන්නට බැරි දෙයක් වූයේ ද නැත.
අම්මා පුන පුනා කීවේ විදුර ගේ අතුරුදන් වීමට ඇගේ සම්බන්ධයක් නැති බව යා. ඒ නිසා ම ඇයට කළ හැකි යමක් නැති බවට ස්ථාවර මතයක සිටියා ය.
“වෙලාවකට හිතෙනව ඇත්තටම අම්ම මේක කරල නැද්ද කියලත්”
අක්කා ද එහෙම කියන තත්වයකට පත් වූවා ය. මම ඇයට රැව්වෙමි.
“නෑ මං කියන්නෙ…විදුරට තව දේශපාලන හතුරො ඕන තරං…පක්ෂ බේධයක් නැතුව හුඟක් පොලිටීශියන්ස්ලව විදුර විවේචනය කරල ලිව්ව. අම්ම කියන්නෙ එයින් එක්කෙනෙක් විතරයි”
“ඒත් විදුරට හිටිය ආසන්නම හතුරා අම්ම. එයා ගෙදරටම ඇවිත් කතා කළත් අම්ම කිසි දෙයක් කිව්වෙ නෑ. මට ගෙයින් එළියට බහින්න දුන්නෙත් නෑ. හැබැයි විදුර අතුරුදන් වෙනකොටම මට ගේට්ටු ඇරෙනව. මං මුලින්ම සැක කරන්නෙ අම්මව”
ජංගම දුරකතනය හැඬවිණි. එය හැඬවෙත්දී දැන් මගේ පපුවේ නැගෙන්නේ ක්ෂණික ගින්නකි. විදුර ගැන ආරංචියක් ද යන උනන්දුව ද බිය ද එක වර හිතේ පැන නගී.
“අක්කෙ. අම්මට අමාරුයි”
ඇමතුම විදුර ගේ පොඩි නංගී ගෙනි. කුමක් කියන්න ද කුමක් කරන්න ද කියා එක වර මට සිහි එළවා ගත හැකි වූයේ නැත.
“අ..අමාරුයි කිව්වෙ…”
“පපුවෙ අමාරුවක් වගේ. හුස්ම ගන්නෙත් අමාරුවෙන්. ඇම්බියුලන්ස් එකට කෝල් කළා”
“හරි නංගි. හෝපිට්ල් එකට ගෙනියන්න. මං එතනට එන්නං”
හිස මත මහමෙර පැටවුණා වන් බරක් මට දැනිණ. විදුර වෙනුවෙන් ඒ අම්මා ගැන වගකීම දැන් මගේ හිස මත ද පැටවී තියේ. මම වහ වහා රාගම රෝහල වෙත යන්නට පිටත් වීමි.