දෙහිතක කතාවක් 24

“ප්‍රභාත් කිව්ව ඒව ගැන හිතල හිත අයේ නරක් කරගන්න එපා පුතේ. දෙයක් වෙන්න තියෙනම් අපිට ඒක වලක්වන්න විදියක් නෑනෙ. අනික පුතා හිතන්න එපා කිසිම වෙලාවක පුතා තනිවෙලා වග”

සිත තිබෙන්නේ පුදුමාකාර වේදනා ආගාධයක ගිලී බව අමුතුවෙන් කිව යුතු නොවේ. ප්‍රභාත් විසින් එවන් දෙයක් කියනු ඇතැයි බලාපොරොත්තුවක් තුන් හිතකවත් නොවූ බව කැළුමිණීට ස්තිරය. එහෙත් ජීවිතය කරන්නෙත්, ගෙනවිත් දෙන්නෙත් අප සිතූ හෝ පැතූ දේම නොවේ?

“ප්‍රෙග්නන්ට්?” ප්‍රභාත් මහ හඬින් ඒ ප්‍රශ්නය ඇසුවේ ඇත්තටමය. ඒ දරුවා තමාගේ නොවන වග කියන්නට තමාට පුලුවන් කමක් නැති බව ප්‍රභාත් දැන උන්නේය. අනෙක් අතට බීමතින් ආ රාත්‍රීන් කිහිපයකදිම්ම තමා උදෑසන අවදි වූයේ කැළුමිණීට එහා පසින් නිරුවතින් වග ප්‍රභාත්ට අමතක කරන්නට හැකියාවක් තිබුනේ නැත.

ඉතින් ඒ අතීතය අමතක කාර මෙන් “ඔය දරුවා කාගේදැයි” කියා අසන්නට නොහැකි බව ප්‍රභාත් දැන උන්නේය.

“තමුසෙට ලැජ්ජ නැද්ද ඕයි?” ප්‍රභාත්ට එසේ අසන්නට හේතුවක් තමා විසින් ඇති කරාද යන කුකුස හිත තුලින් නැගී එද්දී කැළුමිණී සිත ඇතුලතින්ම ඒ කුකුස බිඳලනු පිණිස පිළිතුරු සොයන්නට කටයුතු කලාය.

“මේ දරුව ඔයාගෙ නෙවෙයි කියල කියන්න හදන්න එපා ප්‍රභාත්. ඔයයි මමයි හොඳටම දන්නවා නේද මේ දරුව ඔයාගෙ බව. ඒ හන්දා ඒ කැත කතාව විතරක් කියලා පව් පුරවගන්න එපා”

ඒ සා දෙයක් කියන්නට තරම්වත් තමාට ශක්තියක් ධෛර්‍යයක් ආවේ කොහෙන්දැයි කියා කැළුමිණිට සිතාගන්නට පුලුවන්කමක් තිබුනේ නැත. අනෙක් අතට වෙනදාක මෙන් හඬා වැලපී යමක් ප්‍රකාශ කල කෙල්ලකගේ චරිතයෙන් මිදී ශක්තිමත් ගැහැණියක ලෙස කියූ ඒ වදන් හමුවේ ප්‍රභාත් ද උන්නේ දෙදරා ගොසිනි.

ඒ ශක්තියත් බිය නැතිකමක් කැළුමිනී විසින් සොයාගනු ලැබුවේ පසුගිය කාලයේ ඇයට මුහුන දෙන්නට සිදු වූ සිදුවීම් මාලාව නිසාවෙන්ද නොඑසේනම් හදිසියේම දැනගන්නට ලැබුන මාතෘත්වය නිසාවෙන්ද?

“දරුවා මගේ බව මම දන්නව. තමුන් මම බීල එන වාරවල හොඳ ගෑණි වගේ මාව නම්ම ගන්න හැදුවෙ ඔය දේ කරගන්න කියල මට තේරෙන්නෙ නෑ කියලද හිතාගෙන ඉන්නේ?”

ඒ වූ කලී ප්‍රභාත්ගේ මුවින් අසන්නට සිදුවෙතැයි කියා තමා සිතූ දෙයට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් බව කැළුමිණීට නොතේරුනානොවේ. තමා කිසිසේත්ම කිසිම විටක ප්‍රයෝගයෙන් ප්‍රභාත් නම්මාගෙන ඒ ඔස්සේ දරු ගැබක බන්ධනයක ප්‍රභාත් සිර කරන්නට නොසිතුව බව මතක් වෙද්දී මෙතෙක් වේලා සිත තුල තිබූ ශක්තිවන්ත බව දියවෙමින් සුපුරුදු වේදනාව හදවත වෙලාගන්නා අයුරු කැළුමිණීට දැනුනාය.

“මොනවද ප්‍රභාත් ඔයා මේ කියවන්නේ?”

ඒ වදන් පිටවුණේ ඒ හැඬුම්බර වේදනාව මැද්දෙනි.

“කියවන්නේ? කියවන්නෙ වෙච්ච දේවල්. තමුන් ප්ලෑන් කරල මං බීලා සිහිය නැතුව ඉන්න වෙලාවක ළමේක් හදාගත්තේ ආපහු එන්න නම් මෙන්න මේක හොඳට මතක තියාගන්න කැළුමිණී. මට තමුන්ව ඕන නෑ. මාව රවට්ටල කරගත්ත කසාදයක් වගේම මාව රවට්ටල හදාගත්ත දරුවෙක්වත් මට ඕන නෑ. තමුන් ඕන දෙයක් කරගන්න එකයි ඇත්තෙ. හැබැයි…හැබැයි මට ඩිවෝස් එක දීලා”

කෝපයෙන් පිරුණු හඬින් එසේ කියා ප්‍රභාත් දුරකතනය තබද්දීත් මෙතෙක් වේලා හිත අස්සේ හිරකරගෙන උන් කඳුලු බිංදු රෑණක් දෙනෙත් අස්සෙන් ගිලිහී කම්මුල් දිගේ පහලට රූටා වැටුනහ. තමා තවමත් හුස්ම ගන්නවාද කියා පවා කැළුමිණීට සැකය.

“තාත්තා කෙනෙක්ට පුලුවන්ද දරුවෙක්ට එහෙම කියන්න? මූණවත් දැකපු නැති දරුවෙක් ගැන” කැළුමිණී එසේ ඇසුවේ තමාගෙන්‍මය.

දුරකතනය ඇඳ මතට විසිකර, නිවසේ පිටුපස කොටසට යද්දීත් කැළුමිණී උන්නේ ප්‍රභාත්ගේ කෝපාන්විත වදන්වලින් දෝංකාර දෙන සවන් වලිනි. නැන්දා උන්නේ පිටිපස කොටසේ නිවසින් එලියේ තනා ඇති රෙදි වැල් වල වූ වේලුණ රෙදි එකතු කරමිනි.

පිටුපස මිදුලට බසින්නට ඇති නිවසේ දොරකඩ අසල හිඳ ඉඳිමුණු දෑසින් තමා දෙස බලා හිඳින කැළුමිණී කියන්නට තනන කතාව ලිහා ගන්නට පබෝධා අසමත් වූයේ නැත.

එහෙත් “දරුවෙක්ව එපා කියන්න තාත්තා කෙනෙක්ට පුලුවන්ද?” කියන කතාව තම සිතෙන්ම නොඅසා හිඳින්නට පබොධාට වුව හැකියාවක් තිබුණේ නැත.

“ප්‍රභාත් මොනවාද පුතේ කිව්වේ?” කියා පබෝධා ඇසුවේ ඒ හැඟීම සැක හැර දැනගනු පිණිසය. හැඬීම නිසා ඉදිමුණු දෙනෙත් කුමක් කිවද කැළුමිණීගේ මුවින්ම ඒ බව අසා දැනගන්නා තුරු පබෝධා උන්නේ කුතුහලයෙනි. 

“ප්‍රභාත් මොනව කිව්වත් කමක් නෑ නැන්දෙ. මං මේ දරුවව හදනවා. ප්‍රභාත් ඉල්ලන දික්කසාදෙත් මම දීලා දානවා. ප්‍රභාත්ට මම ඒ කියපු දේවල් අමතක කරන්න බෑලුනෙ. අනික එයා හිතන්නෙ මම එයාව රවට්ටල කසාද බැඳගත්තා වගේම එයාව රවට්ටල බීල උන්නු වෙලාවක තමයි මේ දරුවව හදාගත්තෙ කියල.

එහෙම මනුස්සයෙක් ගෙන් කතා අහ මම මොකටද නැන්දෙ ජීවත් වෙන්නෙ. මම රස්සාවක් කරනවනෙ.මට මේ දරුව හදාගෙන හොඳට ජීවත් වෙන්න ඒකෙන් හම්බෙන පඩිය ඇති. මදි නම් තව වැඩ හොයාගන්න බැරිය.

මගෙන් කිසිම වරදක් වෙලා නැතුවත් එයා මට ඔහොම කරේ. හරිනම් මම නේද නැන්දේ ඩිවෝස් එක ඉල්ලන්න ඕන කසාදෙ තියෙද්දි වෙන ගෑණියෙක් එක්ක යාලු වෙච්ච එක ගැන කියල? මං එයාව නොදන්නවත් කාලෙ වෙච්ච දෙයක් වරදක් විදියට අල්ලගත්ත මනුස්සයෙක් මාව කසාද බැඳල ඉද්දි වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඒක මට ඇවිත් කිව්වට පස්සෙ ඔක්කොම පව් සුද්දයි කියල හිතුවෙ කොහොමද කියල මම දන්නෙ නෑ.

ජීවිත කාලෙම එයා මටයි මම එයාටයි බැනගෙන රණ්ඩු වෙවී ඉන්නවට වඩා එකාතකින් මේ වෙච්ච දේ හොඳයි නැන්දෙ. මම අසරණ වෙලා නෑනෙ. මේ මගේ බඩේ ඉන්නෙ ප්‍රභාත්ගෙම දරුවෙක් බව කවුරු නොදන්නව උනත් මම දන්නවනෙ. ඒ විශ්වාසෙ මට හොඳට ඇති. 

මට දරුව හම්බෙච්ච දවසට එයත් කෙල්ලෙක් උනොත් මම කියල දෙනවා මට වෙච්ච දේ එයාට නොවෙන්න. ප්‍රභාත් හිතනවනම් එයා නැතුව මම අසරණ වෙයි කියල නෑ නැන්දෙ මම කොහොමහරි ජීවිතේ හදාගන්නවා. මගෙ දරුවට කාගෙන්වත් කතාවක් අහන්නෙ නැතුව ඉන්න පුලුවන් විදියට”

එක හුස්මට කියාගෙන ආ වචන ගංගාව නතර කල කැළුමිණී එතනම බිම පඩිය උඩ වාඩි වූයේ ගත අප්‍රාණිකව යන බව දැනෙද්දීය. උදෑසන සිට හරියාකාර කෑමක් නැති බව මෙනෙහි වුවද කැළුමිණී උන්නේ කිසිවක් ආහාරයට ගත හැකි මානසික තත්ත්වයක නොවේ.

අනෙක් අතට පබෝධා උන්නේ පුදුමයෙනි. ප්‍රභාත් විසින් කුමක් කියන්නට යෙදුනද ඒ හොඳ දෙයක් නොවන බව වටහාගන්නට පබෝධාට අපහසු වූයේ නැත. කැළුමිණීගේ ඉදිමුණ දෙනෙතද, රත් පැහැ ගැන්වුණ කම්මුල්ද කියූ කතාව කුමක් වුවද නොසිතූ පරිද්දෙන් කැළුමිනීව ශක්තිවන්ත ගැහැණියක කරන්නට ප්‍රභාත් විසින් කියු දෙය ඉවහල් වී ඇති බව පබෝධා තේටුම් ගත්තාය.

නිහඬවම ඉන්නට තිබුනා නම් හොඳ වුණත් කාත් කවුරුවත් නැති අසරණ කෙල්ල වෙනුවෙන් කිසිවක් නොකියා ඉන්නට හැකියාවක් පබෝධාට තිබුණේ නැත.

“සමහර තැන් එනවා පුතේ අපිට ජීවිතේදි හිත හදාගන්නම වෙන. ඉන් එහා වෙන කිසිම දෙයක් අපිට කරන්න බැරි තැන්. එහෙම තැනක නොවෙන දේවල් වෙනකම් බලාගෙන ඉන්නවට වඩා හිත හදාගෙන යන්න හදන මිනිස්සුන්ට යන්න දෙන එක පුතේ අපේ හිතට නිස්කාංසුයි. පුතා දුර්වල දරුවෙක් නෙවෙයිනෙ පුතේ. තරුණ වයසෙදිම අම්මා තාත්තා නැතිවෙලා තියෙද්දිත් තනියම හොඳට ඉගෙන ගෙන, හොඳ රස්සාවල් කරන්න පුලුවන් වෙච්ච පුතාට අද මේ මූන දෙන්න වෙලා තියෙන ප්‍රශ්නෙටත් ඒ විදියටම හයියට මූණ දෙන්න බැරිකමක් නෑ.

පුතා ඔය කිව්ව තීරණ ගත්තේ හොඳට හිතල බලල නම් මට බොහොම සතුටුයි පුතේ. මං පුතා උනානම් මං උනත් ගන්නෙ ඔය තීරණේම තමයි.

පුතා ඩිංගක් හිත නිස්කාංසු කරගන්න එලියට වෙලා ඉඳල එන්න. මම රෑට බත් කන්න ලූණු සම්බලයක් හදල එන්නම්”

“මට තමුන්ව ඕන නෑ. මාව රවට්ටල කරගත්ත කසාදයක් වගේම මාව රවට්ටල හදාගත්ත දරුවෙක්වත් මට ඕන නෑ” වසර ගණනක විවාහයක් අමතක කර දමා තමාටත්, ඔහුගේ ලෙයින් තම කුස තුල ජනිත දරුවාටත් අපහාස කරන්නට සමත් මිනිසෙකු සමග තමන් තව දුරටත් වාසය කල යුතුද යන ප්‍රශ්නය තමාට මේ තීරණය ගන්නට උදව් වූ බව ඇත්තකි. 

සිත හදාගන්න බව කීවත්, ජීවිතයට මුහුණ දෙන්නට පුලුවන් බව කීවත් එය කියන තරම් පහසු කාරනාවක් නොවන බව කැළුමිණී දනී. එහෙත් මේ ඒ අභියෝගයට මුහුණ දිය යුතු කාලය බව කැළුමිණී උන්නාය.

පබෝධා උන්නේද මානසික වියවුලකය. දරුවෙක් සමග තනිවන්නට වීම ගැහැණියකට පහසුවෙන් දිනිය හැකි අභියෝගයක් නොවන බව පබෝධා දනී. එහෙත් මේ ඒ අභියෝගයට මුහුණ දිය යුතු කාලයක් බව ද දනී.

සැමියෙකු නොමැතිව, නොඑසේනම් සැමියාගෙන් දික්කසාද වී දරුවෙකු සාද ගන්න ගැහැණියක දෙස මිනිසු බලන්නේ යහපත් ඇසකින් නොවේ. අනෙක් අතට සුන්දර රුවක් හිමි කැළුමිණී දරුවෙකු සිටින තනිකඩ අම්මා කෙනෙකුවිම ඇය වෙත බොහෝ බඹර තුඩු එල්ල කරගැනීමටද හේතුවක් විය හැක. 

එහෙත් කැළුමිණීට මෙවන් ජීවිතයකට මුහුනදෙන්නට සිදු වීම ඇයගේවරදකින් සිදු නොවූවක් බව දන්නෝ ඇය සහ තමන් පමණක්ම නොවේද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles