පසු ප්‍රසව විෂාදයෙන් පීඩා විඳි තරුණ අම්මා කෙනෙකුගේ කතාව

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“තමුසෙට නම් පිස්සු ඕයි”

කෙශාන් කෑගැහුවෙ දරුව නැගිටීවි කියලවත් හිතන්නෙ නැතුව. කෙශාන් ඉන්නෙ පුදුම කේන්තියකින්. දෙව්මිනි දෙවනි බබාව අරගෙන ඉස්පිරිතාලෙ ඉඳල ගෙදර ආව දවසෙ ඉඳන් මහම මහ කන්කෙදිරි ගාන ගෑණියෙක් වෙලා කියල තමයි කෙශාන්ට හිතෙන්නෙ. කොයි වෙලාවෙ බැලුවත් කන් කෙඳිරි ගානව විතරයි.

“ඇයි කෙශාන් ඔයාට මංමොනව කිව්වමත් තරහ යන්නෙ? මම ඔයාට කිව්වෙ මට නිකන් මහම මහ එපා වීමක් දැනෙනව කියල විතරනෙ. දෙයියනේ මගේ අමාරුකමක් කාටවත් තේරෙන්නෙ නෑනෙ. මං ඔයාට ඇරෙන්න වෙන කාටද දෙයක් කියන්නෙවත්?”

දෙව්මිනි කෙශාන්ගෙන් එහෙම ඇහුවෙ අඬ අඬ උනත් දුකෙන් වගේ. මේ දෙවනි දරුව බව ඇත්ත. මීට කලින් දරුවෙක් හම්බෙලා තියෙන බව ඇත්ත. ඒ උනාට කවදාවත් නැති විදියට දෙව්මිනීට මේ වතාවෙ ඇඟට විතරක් නෙවෙයි හිතටත් මහ අමාරුවක් වගේ දැනුනෙ.

“දැන් තමුසෙ නිකන් කතාකරන්නෙ ඕයි මේ පලවෙනි ලමය වගේනෙ. තමුසෙට විතරක් නෙවෙයි මේ ලෝකෙ තව ගෑණුන්ට ලමයි හම්බෙනව. තමුසෙ නිකන් මේ පිස්සු කියවනව. පිස්සුද ඕයි?”

“අනේ මං කියන්නෙ ඇත්ත කෙශාන්. ඇයි ඔයාට බැරි පොඩ්ඩක් මාත් එක්ක හොඳින් ආදරෙන් කතා කරන්න. ඇයි හැම තිස්සෙම මගෙ ඇඟට කඩං පනින්නෙ”

“කොහොමද ඕයි හොඳින් කතා කරන්නෙ, මහන්සිවෙලා ගෙදර ආව ගමන් තමුසෙ නහෙන් අඬාගෙන එනවනෙ”

දෙව්මිනිට තේරුනේ නෑ තමන්ට ඇත්තටම තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියල. ඒ උනාට මෙහෙම දුකෙන් අඬ අඬ ඉන්න එක තමන්ට වගේම දරුවන්ටත් හොඳ නැති බව දන්න හන්දමයි දෙව්මිනී මං ලඟට ආවෙ.

“මට ඇත්තටම තේරෙන්නෙ නෑ මම මොකද්ද කරන්න ඕන කියල. මට හැමදේම එපා වෙලා වගේ දැනෙන්නෙ. මම කොච්චර කෙශාන් එක්ක මගෙ ප්‍රශ්නෙ කතා කරන්න හැඳුවත් එයා හිතන්නෙ මට ප්‍රශ්නයක් නැති නිසා මම බොරුවට ප්‍රශ්නයක් මවාගන්න හදනව වගේ කියල. ඒ උනාට මට ඇත්තටම ඔලුවට මොකක් හරි ලොකු වේදනාවක් දැනෙනවා. මට ඒක කියන්න තේරෙන්නෙ නෑ.

කොටින්ම මට පලවෙනි බබාව හම්බුවෙච්ච වෙලේ එහෙම ප්‍රශ්නයක් දැනුනෙ නෑ. කෙශාන් ඒ නිසාම හිතන්නෙ මම බොරුවක් කරනව කියල”

දෙව්මිනී එක්ක ටිකක් කතාකරගෙන යද්දි මට තේරුනා දෙව්මිනී ඉන්න පසු ප්‍රසව විශාදයේ එහෙම නැත්තම් Post partum depression වල පලමුවන අවදියේ කියල.

මානසික අවපීඩනය වගේ, පශ්චාත් ප්‍රසව විෂාදය (PPD) කියනෙ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන බරපතල මානසික සෞඛ්‍ය ගැටලුවක්. පසු ප්‍රසව විෂාදය කියන්නෙ දරුවෙක්ගෙ උපතෙන් පස්සෙ මවකට ඇතිවන මානසික අවපීඩන තත්ත්වයක්. දරු ප්‍රසූතියෙන් පස්සෙ අම්මා කෙනෙකු මේ වගේ පසු ප්‍රසව විෂාදය තත්ත්වයකට මුහුණ දීම අසාමාන්‍ය නැහැ.

මේ වගේ රෝගයකින් පීඩා විඳින කාන්තාවකගෙන් අපිට දකින්න ලැබෙනවා දැඩි දුක, මානසික අවපීඩනය, කාංසාව, කෝපය, නොසන්සුන් බව, බිය සහ ආක්‍රමණශීලී සිතුවිලි වගේ රෝග ලක්ෂණ. ඊට අමතරව හැඬීම, තෙහෙට්ටුව, ආහාර රුචිය නැතිවීම, බර අඩු වීම හෝ බර වැඩිවීම, සහ නින්ද නොයාම ද පොදු රෝග ලක්ෂන විදියට දකින්න පුලුවන්.

දෙව්මිනී මුහුන දීල තිබුනෙත් ඒ වගේම තත්ත්වයක. වාසනාවකට ඇය හිටියෙ ඒ රෝගි තත්ත්වයේ පලමුවන අදියරේ. මානසික උපදේශනය ඔස්සේ සුව කරන්න පුලුවන් මට්ටමේ තැනක.

පසු ප්‍රසව විශාදය පලමු දරු උපතේදි පමනක් ඇතිවන දෙයක් නෙවෙයි. පලමු දරු උපතේදි ඉතාම හොඳින් සාමාන්‍ය විදියට ඉන්න මවකට වුනත් දෙවන දරු උපතේදී මෙවන් රෝගී ලක්ශන පෙන්නුම් කිරීම සාමාන්‍යයි.

 තමන්ගෙ බිරිඳ, එහෙම නැත්තම් දියණිය හෝ ලේලිය මෙවන් රෝගී තත්ත්වයකින් පෙලෙනවනම් සමීපතමයන් විසින් කරන්න ඕන දෙයක් තමයි ඇයව උපදේශනයට යොමු කිරීම. හැබැයි උපදේශනයෙන් විතරක් අපිට මේ තත්ත්වය සහමුලින්ම සුවපත් කරන්නෙ නෑ. ඒකට පවුලෙ අයගෙ ආදරය, රැකවරණය සහ Care කිරීම ඉතාම වැදගත්.

ඇය අපහසුවෙන් ඉන්න අවස්තාවක යමක් අහද්දි උනත් ඒකට හොඳින් සවන් දීම, ආදරයෙන් පිලිතුරු දීම මෙවන් තත්ත්වයකින් ඇයව මුදවාගන්න ලොකු උදව්වක් වෙන්න පුලුවන්.

ශරීරයේ ලොකු වේදනාවක් තියෙන මනුස්සයෙක්ගෙන් අපි දෙයක් ඇහුවොත් එයා ඒකට පිලිතුරු දෙන්නෙ නිසි මානසික තත්ත්වයක ඉඳගෙන හරි සිහියකින් නෙවෙයිනෙ. මේ රෝගි තත්ත්වයත් ඒ වගේ. නිසි ආදරය, සවන් දීම සහ රැකවරණය ඉතාම වැදගත්.

මේ පසු ප්‍රසව විශාදය කියන රෝගී තත්ත්වය මවට විතරක් නෙවෙයි දරුවට වුනත් බලපෑම් ඇති කරන්න හේතු වෙනවා.

භාෂා සංවර්ධනයේ ප්‍රමාදයන් සහ ඉගෙනීමේ ගැටළු, මව සහ දරුවා අතර බැඳීම පිළිබඳ ගැටළු, හැසිරීම් ගැටළු

වැඩිපුර ඇඬීම හෝ කලබල වීම,උස අඩුවීම සහ පෙර පාසල් දරුවන්ගේ තරබාරු වීමේ වැඩි අවදානම, ආතතිය සමඟ කටයුතු කිරීමේ ගැටළු සහ පාසලට සහ වෙනත් සමාජ තත්වයන්ට හැඩගැසීමේ ගැටලු දරුවන්ට මේ වගේ අවස්තාවක ඇති වෙන්න පුලුවන්.

ඉතින්, මෙවන් වෙලාවක පසු ප්‍රසව විෂාදයෙන් පෙලන ඇයව ආදරයෙන් දරාගන්න. ඇයට සවන් දෙන්න. කාරුණික වෙන්න. ආදරයෙන් වචනයක් කියල ඇයව සනසන්න ඔබට වියදමක් යන්නෙ නෑ. නමුත් ඒ වචන වලින් ඇයට කරන්න පුලුවන් ධනාත්මක බලපෑම ඉතාම ඉහලයි.

අමතක කරන්න එපා, අලුත උපන් දරුවෙකුට වගේම ඒ දරුවගෙ අම්මටත් මහමෙරක් තරම් ආදරය, රැකවරණය, කරුණාව අවශ්‍යයි.

ඒ ආදරය ඇයට දෙන එක අපේ යුතුකමක් සහ වගකීමක්.

අම්මා කෙනෙක් වීම කියන්නෙ ශාරීරිකව සහ මානසිකව විශාල වගකීමක්. ඒ වගකීම දරාගන්න ඇයට උදව් වෙන එක ඔබේ වගකීමක්!

Related Articles

Don't Miss


Latest Articles