මෙනුක උන්නේ ඔස්ට්‍රේලියානු පොලිසිය භාරයේය. හදිසිය කෝපය නිසාවෙන්, ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ රමිත් වාසලතන්ත්‍රී ව ගෙල සිරකර මරා දැමීමේ චෝදනාවට ඔස්ට්‍රේලියානු රජය විසින් මෙනුකව අත් අඩංගුවට ගන්නා ලදී.
ඔස්ට්‍රේලියානු පොලිසිය රමිත්ගේ ඝාතනය සම්බන්දව අදාල පරීක්ශණ කටයුතු සිදුකරමින් ඉද්දී කිමල් ඇතුලු හිතවත් පිරිස උන්නේ සර්ට් ආයතනය හා එක්ව මෙනුක විසින් මුහුණු පොත පුරා පලකරන්නට යෙදුණ ව්‍යාජ පෝස්ටුව සම්බන්දයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගනිමිනි.
මෙනුක විසින් රමිත්ව මරා දමා ඇති වග යන පණිවිඩය ආරියරත්න නිවස බලා ආවේද ඒ මොහොතේය. සමලිංගික ඇසුරක් පවත්වමින් එක නිවසේ වාසය කරමින් හුන් තරුණයාව මරා දැමීම සම්බන්දයෙන් ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් මෙනුක පීරිස් නම් ශ්‍රී ලාංකික තරුණයාව අත් අඩංගුවට ගත් බව හැඟවෙන පණිවිඩය ප්‍රවෘත්ති ඔස්සේද සමාජ මාද්‍ය ඔස්සේද සිසාරා යන්නට වූයේ මෙනුක විසින් අරුණලී ගැන කියන්නට වූ සියලු බොරු එකින් එක සියල්ලන් ඉදිරියේ හෙලි කර දමමිනි.
විවාහ කරගන්නට සිටි තරුණිය තමා විදේශගත වී හිඳියදී වෙනත් ඇසුරක පැටලී ඇතැයි යන මෙනුකගේ පෝස්ටුවට යටින් අරුණලීට බැණ වදින්නට කටයුතු කල පිරිසම කෙල්ලෙක්ව රවට්ටා කොල්ලෙක්ව මරා දැමූ වංචාකාරයෙක් සහ මිනීමරුවෙක් ලෙසට මුහුණු පොත තුලම මෙනුකව හංවඩුගසමින් උන්නහ. ඒ ජීවිතයේ ඇත්ත පැත්ත ගැනත්, මිනිසුන්ගේ ඇත්ත ස්වරූපය ගැනත් අපූරු කතාවක් සියල්ලන්ටම පාඩමක් කර දෙමිනි.
මෙනුක විසින් කරගන්නට යෙදුණා වූ අකල් ක්‍රියාව ආරියරත්න නිවසේ හිත්වලට සැනසීමක් ගෙන නොදුන්නා යැයි කියන්නට නොහැක.
“කොහොමහරි වෙලා ඒ ප්‍රශ්නෙත් එහෙම විසඳිච්ච එක හොඳයි” කියා ආරියරත්න කිව්වේ ඒනිසාමය. එහෙත් සුබා එය භාරගත්තේ එතරම් පහසුවෙන් නොවේ.
“අනේ මන්ද මට නම් එහෙම හිතන්න බෑ ආරි. මොන දේ උනත් අපෙ ගෙවල්වල ඇවිල්ල කාලා බීල ගිය කොල්ලා. මෙහෙම දෙයක් කරගනීවි කියල කවුද හිතන්නෙ? ඒ පව් අපේ අත්වල ගෑවෙන එකක් නෑ කියල හිතන්නෙ කොහොමද?”
“ගෙවල්වල ඇවිල්ල කාල බීල ගිය එක ඇත්ත. ඒ උනාට උට ඒව මතක තිබ්බද පස්සෙ පස්සෙ ප්‍රශ්න ඇති කරද්දි?”
“අනේ මන්දා පීරිස්ල කොහොම මේව දරාගෙන ඉන්නවද කියල? කීයක් දේවල් උනා කියලද ඒ මිනිස්සුන්ට” සුභා කියන්නේ අම්මාවරුන්ටම වෙන් දූ දරුවන් ගැන වේදනාවකිනි. කැක්කුමකිනි. එහෙත් ආරියරත්න මේ සියල්ල දෙස බැලුවේ එයට වඩා පුලුල් ඇසකිනි.
“ඒ අම්මලගෙත් වරද. දරුවව සුද්ද කරන්න හැදුවනෙ ඌ මොනව කරත්. කොටින්ම අපි එන්න කියල ඔෆිස් එකට ගිහින් මෙනුක නටපු ප්‍රශ්නෙ ගැන කියද්දි උනත් නන හිතන්නෙ නෑ ඒ මිනිස්සු ඒව හිතට ගත්ත කියල. එයාලට තිබුන ප්‍රශ්නෙ වෙච්ච ලැජ්ජාව වහගන්නෙ කොහොමද කියන එක මිසක්ක උන්ගෙ ලමයට බේතක් හේතක් අරන් දෙන්න අවවාදයක් දෙන්න ඕන කියල නෙවෙයි. ඔක්කොම ඒව මෙච්චර දුරදිග යන්න ඉතින් ඒ මිනිස්සුත් හවුල් උනා”
“මම ඛේමාට කතාකරල බලන්නද? මොන දේ උනත් කාලයක් දැන අඳුනගෙන උන්නු මිනිස්සු අපි කොහොමද සද්ද නැතුව ඉන්නෙ මෙච්චර කරදරයක් වෙලා තියෙන වෙලාවක”
සුභා ඛේමා පීරිස්ව ඇමතුවේ දුක බෙදාගන්න අදහසකටත් වඩා මවක් ලෙස තවත් මවක් දරුවෙකුගේ ව්‍යසනයකදී දුක් විඳින ආකාරය ගන ඕනවටත් වඩා අත්දැකීම් පසුගිය කාලේ ලැබූ නිසාවෙනි. මෙනුක නිසා අරුණලී සහ තමන් ඇතුලු සියල්ලන්ම වැටුණු වලෙන් සෙමෙන් සෙමෙන් ගොඩ එන්නට තනමින් හිඳිද්දී මෙනුක ඒ වලටම වැටී ගොඩ එන්නට බැරිව දුක් විඳින ආකාරය ගැන සුභා වරෙක කම්පා වුණාය. තවත් වරෙක කල කම් පල දෙන බව සිතට කියා දුන්නාය.
“අනේ බලන්න සුභා අපිට වෙච්ච දේ. අරුණලීට කරදර කරන්න ගිහින් මේ ලමය කරගත්ත විනාසෙ බලන්න දෙයියනේ” කියා දුරකතනය ඔස්සේ ඇසෙන ඛේමාගේ හඬ හිත වේදනාවෙන් පිරවූයේ නැතැයි කියන්නට නොහැක. අම්මලා ඉපදී හිඳින්නේම දරුවන් වෙනුවෙන් දුක් උහුලන්නටය.
“ඔයාලා දැන් යනවද ඛේමා පුතාව බලන්න”
“අනේ පීරිස් දහ අතේ නටනව සුභා යන්න විදියක් හොයාගන්න. මෙහෙම දෙයක් උනා කියල අපිට ලේසියෙන් එහෙ යන්න විදියක් නෑ. අනික යන්න හේතුව විදියට ඇත්ත කිව්වම මිනිස්සු අපි දිහා බලන විදිය දැක්කම මට දැන් මැරෙන්න හිතිල තියෙන්නෙ. කෙල්ලට දුන්න වද ගින්දර තමයි සුභා අපේ එකා මේ අද විඳවන්නෙ.ඒකා විතරක් නෙවෙයි දෙයියනේ අපිත් කොච්චර ගින්දරකද ඉන්නෙ කියන්නකො”
අම්මලාගේද හිත් ගිනි තබන්නට වැඩ සිද්ද කරගනිමින් මෙනුක උන්නේ හෙමින් සැරේ තමන් විසින් අතීතයේ කරන්නට යෙදුණ සියලු අකුසල් ක්‍රියාවන් ගැන පශ්චත්තාප වෙමිනි. මේ සියලු ව්‍යසනවල ඇරඹුව තමා කුඩාවට සැලකූ, රමිත් හා එක්ක අරුණලීව රැවටීම නොවේද කියා මෙනුක නැවත නැවත සිතුවේය. ඉන් නොනැවතී තමාට කිසිත් වරදක් නොකල කෙල්ලකගෙන් පලිගන්නට තමා කල කී සියලු දේ ගැන මෙනුක පොලිස් භාරයේ හිඳිමින් බොහෝ ලැජ්ජා වූවේය. විඳෙව්වේය.
තමාට තිබුණේ එක්කෝ රමිත් හා එකතු නොවී ඉන්නය. නැතිනම් සියල්ල හසු වූ දින අරුණලීට තමාගෙන් ඈත්වෙන්නටද හිත හදාගන්නටද ඉඩ දෙන්නටය. එහෙත් තමන්ට උවමනා උනේ හොඳින් හෝ නරකින් අරුණලීව තමා ලඟට ගන්නටය. එය බැරි වූ තැන ඇගෙන් පලිගන්නටය. අවසානයේ අරුණලී සමාජය ඉදිරියේ ලැජ්ජ වීමෙන්ද, රමිත් ජීවිතයෙන්ද වන්දි ගෙව්වෙ තමන් විසින් කරන්නට යෙදුණු අකල් ක්‍රියාවන් නිසාවෙනි.
ඒ හැඟීම මෙනුක වෙත ආවේ දරාගන්නට අපහසු පශ්චත්තාපයක් විලසිනි.ලැජ්ජාවක් විලසිනි. එයින් මිදෙන්නට තමන් කල යුත්තේ කුමක්ද කියා කිසිදු අදහසක් මෙනුකට තිබුනේ නැත. තමා තවත් තීරණ නොගන්නා තරමට හොඳය. තමා තීරණ ගන්නා තරමට තමාද තමාට ආදරය කරන මිනිසුන්ද විනාශ වනු ඇත.
මෙනුක එසේ හිර භාරයේ හිඳිමින්, මානසික ව්‍යාකූලතාවයක් ඇති උම්මත්තකයෙකු ලෙස සැලකෙමින්ද දින ගෙවෙද්දී කිමල් සහ අරුණලී අතර වූ දුරස්ත බව වඩ වඩාත් ලංවෙමින් තිබුණි. අරුණලී සේවයට ගොස් මාස හයක් ගෙවී නොතිබුණ නිසාවෙන් “අනේ මං කොහොමද ආයෙ රස්සාවට එන්නෙ? මං කොහොමද ආයෙ ඒ මිනිස්සුන්ට මූණ දෙන්නෙ” කියා ඇය විමසද්දී ආයතනයේ කලමණාකාරීත්වය සමග කතා බස් කර ඇයට ආයතනයෙන් නික්මෙන්නට අවසර ගන්නට කිමල්ට හැකිවුණි.
අරුණලී නිවසට වී නිකම් හිඳිනවා වෙනුවට වෙබ් සයිටයක ෆ්‍රීලාන්ස් කන්ටෙන්ට් රයිටර් කෙනෙක් ලෙස සේවය කරන්නට ඇයට ඉඩ හදා දුන්නේද කිමල්මය.
කාර්‍යාලයේ රාජකාරි හැකිතාක් ඉක්මනින් අවසන් කර හැකි හැමදිනකම හැන්දෑවේ අරුණලී බලන්නට එන කිමල්ගේ රුව ආරියරත්න නිවසට හුරුපුරුදු දසුනක් වෙන්නට ගියේ බොහෝ ටික දවසකි. “අයියෙ ඔන්න මට ඉන්ටර්න්ශිප් එකක් හදාගන්න සපෝට් කරන්න ඕන හොඳේ” කියමින් ඔහුව අක්කාටත් ඉහල සහෝදරත්වයක තබාගන්නට සියල්ලටම පෙර කටයුතු කරේ සඳලිනීය.
“නොකා හෙම ගෙදර යන්නෙ නෑ” කියන සුභාගේ තරවටුද “ගෑණු තුන් දෙනාට නොපෙනෙන්න පොඩි ශොට් එක දාමුද”? කියන ආරියරත්නගේ රහස් හඬ ද කිමල්ව වඩාත් හොඳින් විශ්වාසයෙන් ආදරයෙන් ආරියරත්න නිවසට පිලිගත්තේය.
එදා සැඳෑවේ කිමල් එද්දී අරුණලී උන්නේ මිදුලේ උඳුපියලිය ගොන්න මත රෙද්දක් එලා වැතිරී නංගී විසින් ගෙන ආ නවකතාවක් රස විඳිමිනි. රෑට නෙට්ෆ්ලික්ස් බලද්දි කන්න යැයි සිතා අරුණලී වෙනුවෙන් රන්ස්ක්‍රිප් වෙතින් ගත් කරපිංචා දැමූ කජු පාර්සලය සමග විත් කිමල් අනවසරයෙන්ම වාඩි වුණේ වටපිට බලමින් කවුරුත් නැති බව සැක හැර දැනගෙන වඩා මුදුව කම්මුලක් සිප ගනිමිනි.
“දැක්කෙත් නෑ එනව”
“කොහෙද ඉතින් පොතක් අතට ගත්තට සිහියක් නෑනෙ”
“ආසාවට පොතක් කියවන්නෙ නැති මිනිහ කියන කතා බලන්නකො”කියමින් හෙමින් සැරේ ඇල වී උන් තැනින් නැගිට පහසුවෙන් වාඩි වූ අරුණලී නිදහසේ මුදා හැර උන් කෙස් කලඹ උඩට කර බැඳ ගත්තාය.
අරුණලීගේ මුවඟ තිබුණේ මද සිනාවකි. ඒ වර්තමානයට අයිති අතීතයේ දුක් කම්කටොලු වලින් මිදුණු බව කියාපාන සිනාවකි. එහෙත් ඒ සිනාව තව දුරටත් දෝරෙ ගලායන රහසක් හිත අස්සේ ඇති නිසාම කිමල් උන්නේ පුදුම සතුටකිනි.
“දෙයක් කියන්නයි අහන්නයි තියෙනව” කිමල් කියන්නේ සිනාව සඟවාගෙන වඩා බැරෑරුම් වය. අරුණලී ඒ හැඟීම් හංගාගෙන හිඳින මුහුණ දෙස බැලුවේ කුතුහලයෙනි.
“මොකද්ද?”
“හැබැයි ඔන්න අවුල් ගන්න බෑ හොඳේ”
“කියන්නකො ඉතින්”
“මට නෙක්ස්ට් මන්ත් ඉඳල ටූ ඉයර්ස් වගේ යනකම් මෙහෙ එන්න වෙන්නෙ නෑ” කිමල් කියා දැම්මේ කිසිම වගක් නැතුවාක්
මෙනි. අරුණලී උන්නෙව් අසන්නට ඕන සියලුම දේ අසන්නට බැරිවය. හිත අස්සෙන් උඩට පැන ආ යමක් වචන කරගන්නට බැරුව උගුරේ සිරවී තියෙනවාක් බඳුය.මෙතෙක් දිනක් සියල්ල ශක්තිමත්ව දරාගන්නට කියාදුන්නේද ඒ හැම මොහොතකම ලඟින් උන්නේද කිමල් ය. ඔහු තමා වෙතින් නික්ම යාම ජීවිතයේ පහසුවෙන් මකාලන්නට නොහැකි හිඩැසක් ඇති කිරීමක් බව අරුණලී දැන උන්නාය.
“ඇයි ඇයි ඒ…”
“ක්‍රියේටිව්ස් එකේ මැලේශියාවල ඔෆිස් එකේ ඩිජිටල් ටීම්
හෙඩ් විදියට මාව ප්‍රමෝට් කරලා. ඉතින් ලබන 15 මම එහෙ ගිහින් වැඩ භාරගන්න ඕන”
“මං කොහොමද ඔයා නැතුව ඉන්නේ” කියා අහන්නට තිබුණා නම් හොඳය. ඒත් ඒ වදන් කරන්නට සම්මුතියක් තවමත් ඇති වී නැති තැන එය අහන්නේ කෙසේද? එහෙත් වචන වලට කලින් කම්මුල් දිගේ කඳුලු රූරා හැලුණාය.
“කියනව කිව්වේ දේ විතරනෙ ඇහුදෙ. අහනව කියන දේ කියනකම් උන්නෙ නෑ” කිමල් ඇසුවේ ඒ කඳුලුවල ලියැවී ඇති කතාව දන්නා නිසාය.
“මොකද්ද අහන්නෙ?”
කිමල් වඩා සුන්දර සිනාවක් නැගුවේ අරුණලීගේ දෙනෙත් තම දෙනෙත් මතම අලවා ගනිමිනි.
“මං තාත්තා එක්ක කතා කරන්නම්. මං යන්න කලින් පොඩියට එන්ගේජ්මන්ට් එක ගමු? මට බෑ ඔයාව දාලා යන්න”
හා කියා කියන්නට වචන නැමුනේ නැත. බැස යන හැන්දෑ ඉර එලිය වඩා සිහිලැල්ව සිරුරු මත පතිත වෙද්දී අරුණලී කිමල්ට තුරුලු වී බොහෝ වේලාහැඬුවාය.
“ඔයාට මාව එච්චර වටිනවද?”
“සමහර මල් වල වටිනකම තියෙන්නෙ පමා වෙලා පිපිච්ච තරමට”
ඉතින් සමුගන්න අවසරයි!
මෙතෙක් දිනක් ඔබ දුන් ආදරයට, සොඳුරුතම ප්‍රතිචාරවලට බොහොමයක්ම ස්තුතියි. පෙඟුණු මල් පෙති කතාවෙන් ඇරඹුණ මගේ Smartlady නවකතා චාරිකාව වඩාත්ම ලස්සන එකක් කරේ ඔබේ ආදරය සහ වචනයි. ඒ වෙනුවෙන් ඔබට හැමදාමත් මගේ ස්තුතියි!