ඔබේ ශරීරයේ පිළිකාවක් වැඩෙමින් පවතින බව පෙන්වන රෝග ලක්ෂණ

වයස සහ සෞඛ්‍ය තත්වය කුමක් වුවත් පිළිකාවක් වර්ධනය වන බවට ඔබට පෙන්වන රෝග ලක්ෂණ ගැන අවදානයෙන් සහ අවබෝධයෙන් සිටීම ඉතාම වැදගත් වන්නේ පිළිකා තත්වයන්, මුල් සහ පැතිරී නොයා ඇති අවධියේදී හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත් වන නිසයි. 

අන්න ඒ නිසා ඔබේ ශරීරයේ පිළිකා තත්වයක් වර්ධනය වෙමින් පවතින බවට ඔබට ඉඟි කරන සංඥා සහ රෝග ලක්ෂණ ගැන කතා කරන්නයි මේ ලිපිය හරහා smart lady අපි අද සූදානම් වන්නේ. 

නමුත්, මේ රෝග ලක්ෂණ ඇතිවෙන්න එකම හේතුව ඔබේ ශරීරයේ පිළිකාවක් වර්ධනය වීම පමණක්ම නොවෙන නිසා මේ රෝග ලක්ෂණයක් හෝ කීපයක් දුටු හෝ දැනුනු පමණින් අනවශ්‍ය ලෙස බියක් හෝ කලබලයක් ඇතිකර නොගෙන හැකි ඉක්මණින්  සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබා ගැනීම අනිවාර්‍ය බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

හොඳයි, මුලින්ම අපි බලමු කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදුව ඇතිවෙන රෝග ලක්ෂණ මොනවද කියල?

පොදු රෝග ලක්ෂණ

වේදනාව

හේතුවක් නොමැතිව හෝ ප්‍රතිකාර සහ වේදනා නාශක වලින් සුව නොවී දින ගණනක් පවතින ශරීරයේ යම් යම් ස්ථානවල වේදනා තත්වයන් පිළිකා රෝග ලක්ෂණයක් වීමේ ඉඩකඩක් පවතිනවා. 

සමහර මොළයේ පිළිකා තත්වයන් නිසා සුව නොවන සහ දරාගැනීමට අපහසු හිසරදය වගේම අස්ථි පිළිකා තත්වයන් වලදී මුල සිටම ඇතිවෙන ශරීරයේ යම් යම් ස්ථානවල වේදනාවනුත් දැකගන්න ලැබෙනවා. 

ඒ නිසා, ඇතිවීමට හේතුව නොදන්නා හෝ සුව නොවන වේදනා තත්වයන් වලදී වෛද්‍ය උපදෙස් ගැනීම අත්‍යාවශ්‍යයි කියල අපි ඔබට මතක් කරන්න කැමතියි. 

උත්සහයකින් තොරව ශරීරයේ බර අඩුවීම

පිළිකා රෝගීන්ගෙන් 50% ක ප්‍රතිශතයක් ශරීරයේ බර කැපීපෙනෙන ලෙස අඩුවීමේ රෝග ලක්ෂණය පෙන්නුම් කරන බව සඳහන් වෙනවා. 

ඒ නිසා ව්‍යායාම, ආහාර පාලනය හෝ ඔබ දන්නා සහ හඳුනාගත් රෝගී තත්වයක් හෝ ප්‍රතිකාර ක්‍රම නිසා හැර ශරීරයේ බර අඩු වෙනවා නම් ඒ සම්බන්ධවත් හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. 

තෙහෙට්ටුව

ලියුකේමියා හෝ බඩේ සහ බඩවැල් ආශ්‍රිත රෝගී තත්වයන් වලදී බොහෝ දුරට තෙහෙට්ටුව ඇතිවීම දකින්න ලැබෙනවා. 

ඒ නිසා, ඔබ දවසේ වැඩි වේලාවක් එහෙමත් නැත්නම් මුළු දවසම තෙහෙට්ටුවෙන්, වෙහෙසෙන් කල් ගෙවනවා නම් සහ විවේකයක් ගැනීමෙන් වත් තෙහෙට්ටුව අඩු නොවේ නම් ඒ සඳහාත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

උණ

අධික උණ සහ දින තුනකට වඩා පවතින උණ තත්වයනුත් පිළිකා රෝගී තත්වය ඔබට හඟවන රෝග ලක්ෂණ වීමේ ඉඩකඩක් පවතින නිසා ඒ ගැන සැළකිලිමත් වීමත් ඉතාම වැදගත්. 

විශේෂයෙන්ම, රුධිරය ආශ්‍රිත lymphoma වැනි පිළිකා තත්වයන් වලදී සති ගණනක් දක්වා පවතින උණ හඳුනාගන්න පුළුවන්. 

සමේ වෙනස්වීම් 

ඔබේ සමේ ඇතිවෙන අසාමාන්‍ය සහ ඇතිවීමට පැහැදිලි හේතුවක් හඳුනාගත නොහැකි අලුත් සලකුණු, පැල්ලම්, ගැටිති, සුව නොවන තුවාල සහ ඉවත්ව නොයන පැල්ලම් පිළිබඳ ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනීම අනිවාර්‍යයි. මොකද, ඒ සමහර සලකුණු සමේ පිළිකා ගැන ඉඟි පලකිරීම සිදුකිරීමට හැකි නිසයි. 

ඒ වගේම වකුගඩු, ඩිම්බකෝෂ වගේ ශරීරයේ වෙනත් ස්ථානවල වර්ධනය වෙමින් පවතින පිළිකා තත්වයන් ගැන සමේ ඇතිවෙන යම් යම් වෙනස්වීම් වලින් ඔබව දැනුවත් කරනවා. ඒ අතර සම අඳුරු වීම, රතු හෝ කහ පැහැ වීම, කැසීම සහ සමේ රෝම වර්ධනය වැඩිවීම හඳුනාගන්න පුළුවන්. 

ඒ වගේම මුඛ පිළිකා වල ආරම්භය කටේ තුවාල ඇතිවීමෙන් හඳුනාගන්න පුළුවන් නිසා ඒ ගැන අවදානයෙන් සිටීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම, ඔබ දුම්පානය කරන හෝ දුම්කොළ හපන කෙනෙක් නම් ඒ අවදානම වැඩි බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

පහව නොයන කැස්ස හෝ ගොරෝසු බව

පහව නොයන කැස්ස පෙනහළු පිළිකා වල එක් රෝගී ලක්ෂණයක් ලෙස හඳුනාගන්න පුළුවන් වගේම ඉවත්ව නොයන උගුරේ සහ කටහඬේ ගොරෝසු ගතිය කටහඬ ඇතිවෙන ප්‍රදේශයේ හෝ තයිරොයිඩ ග්‍රන්ථියේ පිළිකාවක් ගැන ඉඟි සපයනවා වෙන්නත් පුළුවන් නිසා හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. 

අසාමාන්‍ය රුධිර වහනය 

ඔබේ ශරීරයේ රුධිරය නොතිබෙන තැන් වලට පවා රුධිරය ගමන් කරවීමේ හැකියාවක් පිළිකා වලට ඇතිබව ඔබ දැනන් හිටියද?

මළපහ වල රුධිරය මහ බඩවැලේ හෝ ගුද මාර්ගයේ පිළිකා ගැන සංඥා කිරීමත් මුත්‍රා සමඟ පිටවන රුධිරය මුත්‍ර මාර්ගය ආශ්‍රිත පිළිකා ගැනත් ඉඟි ලබාදීම සිදුකරන්න පුළුවන් නිසා එවැනි තත්වයන් වලදීත් ඉක්මන් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යාවශ්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

රක්තහීනතාවය

ඔබේ ඇට මිඳුළු වල සෑදෙන රතු රුධිර සෛල ප්‍රමාණවත් නොවීම මෙයට හේතුව ලෙස හඳුනාගන්න පුළුවන්. 

ලියුකේමියා, ලිම්ෆෝමා (lymphoma) සහ මයිලෝමා (multiple myeloma) වැනි පිළිකා තත්වයන් වලදීත් රක්තහීනතාවය ඇතිවෙන්න පුළුවන් වගේම, ශරීරයේ වෙනත් ස්ථාන වල ඇතිවෙන පිළිකා එම ස්ථාන ආශ්‍රිතව ඇති සාමාන්‍ය රතු රුධිරාණු ඉවත් කරන නිසාත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන් නිසා ඒ සම්බන්ධවත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. 

හොඳයි, දැන් අපි බලමු පිරිමි පුද්ගලයන් අතර හඳුනාගන්න පුළුවන් පිළිකා රෝග ලක්ෂණ මොනවද කියල?

පිරිමි පුද්ගලයන් අතර හඳුනාගත හැකි රෝග ලක්ෂණ

පිරිමි පුද්ගලයන් අතර පුරස්ථි ග්‍රන්ථි පිළිකා, පෙනහළු සහ මහ බඩවැලේ පිළිකා තත්වයන් වැඩි වශයෙන් දකින්න ලැබෙන බව සඳහන් වෙනවා. 

පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම නිසා මුත්‍රා කිරීමේ අපහසුව සහ නිතරම මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා නිතරම මුත්‍රා කිරීමේ අවශ්‍යතාව දැනෙනව නම්, මුත්‍රා කිරීමේදී වේදනාවක් දැනෙනව නම් හෝ මුත්‍රා සමඟ ලේ පිටවීමක් දකින්න ලැබෙනව නම් ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්‍යයි.

ඒ වගේම, වෘෂණ කෝෂයේ ගැටිත්තක් හෝ වේදනාවක් තිබේනම් එය වෘෂණ කෝෂ පිළිකාවක් ගැන ඉඟි සපයනවා වෙන්න පුළුවන් නිසා ඒ ගැන සැළකිලිමත් වීමත් වැදගත්.  

කාන්තාවන් අතර හඳුනාගත හැකි රෝග ලක්ෂණ

කාන්තාවන් අතර බහුලවම හඳුනාගත හැකි පිළිකා රෝගී ලක්ෂණ ලෙස පියයුරු, පෙනහළු, මහ බඩවැලේ, ගර්භාෂය, එන්ඩ්‍රොමෙට්‍රියම්, ගැබ්ගෙළ සහ යෝනි මාර්ගය ආශ්‍රිත පිළිකා හඳුනාගන්න පුළුවන්. 

ඔසප් වීම් වලදී හැර යෝනි මාර්ගය ආශ්‍රිතව ලේ ගැලීමක් හෝ යම් ගන්ධයකින් යුතු ශ්‍රාවයන් පිටවේ නම්, 

ඔසප් වීම් අතරතුර හෝ ආර්ථවහරණයෙන් පසුව ලේ පිටවීමක් දකින්න ලැබේ නම්, 

හේතුවක් හඳුනාගත නොහැකිව දීර්ඝකාලීනව ආහාර අරුචිය, අජීර්ණ හෝ ඔක්කාර තත්වයන් ඇතිවේ නම්, 

බඩේ වේදනාවක් හෝ බඩ පිපුමක් ඇතිවේ නම් හෝ  

පියයුරු වල ගැටිත්තක්, වේදනාවක්, හැඩයේ වෙනස් වීමක් දකින්න ලැබෙනවා නම් ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

කාන්තාවන්ට ඇතිවෙන පිළිකා වර්ග සහ ඒවාගේ රෝග ලක්ෂණ ගැන smart lady අපේ https://smartlady.lk/article/31936/cancers/ ලිපියෙන් හොඳ අවබෝධයක් ලබාගන්න ඔබට පුළුවන්. 

මේ ඕනෑම රෝග ලක්ෂණක් දකින්න ලැබුණු පමණින්ම ඔබේ සිරුරේ පිළිකාවක් ඇතිබව සහතික කර පැවසිය නොහැකි නිසා අනවශ්‍ය ලෙස කලබල නොවී නිසි වෛද්‍ය උපදෙස් ලබාගන්න කියලත් අපි ඔබට නැවත මතක් කරන්න කැමතියි. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles