සාම්ප්‍රදායික කුරක්කන් තලප හදමු 

ඉහළ පෝෂණ ගුණය සහ ඊටම ආවේණික රස නිසා කුරක්කන් කියන්නෙ ධාන්‍ය වර්ග අතර ඉතාම සුවිශේෂි ස්ථානයක් හිමිකර ගන්න ධාන්‍ය වර්ගයක් කියල අපි කවුරුත් දන්නව. 

ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්‍රේට සහ ෆයිබර් වලට අමතරව කැල්සියම්, විටමින් A, තයමීන්, සින්ක්, මැග්නීසියම්, පොටෑසියම්, පොස්පරස්, යකඩ වගේ පෝෂක අඩංගු කුරක්කන් අස්ථි වල ශක්තිමත් බව වැඩි කරන්න, රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරන්න, හිසකෙස් සහ සම දීප්තිමත් කරන්න වගේම හානිවූ මාංශපේෂි පිළිසකර කරන්නත් ශරීරය සැහැල්ලු කරන්නත් උපකාරී වෙන කුරක්කන් ඉතාම හොඳ ප්‍රෝටීන සහ ඇමයිනෝ අම්ල ප්‍රභවයක් වගේම ළදරු ආහාරයක් ලෙසත් ඉතාම සුදුසු ධාන්‍ය වර්ගයක් බවයි පෝෂණවේදීන් හඳුන්වා දෙන්නේ. 

Smart lady අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ කුරක්කන් වල මේ රස ගුණ ආරක්ෂා කරමින් දකුණේ සාම්ප්‍රදායික රසට ප්‍රසිද්ධ ආහාරයක් වෙන කුරක්කන් තලප හදාගන්නෙ කොහොමද කියලයි. 

මුලින්ම අපි අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු 

අවශ්‍ය ද්‍රව්‍ය 

කුරක්කන් පිටි කෝප්ප 01 ක් 

වතුර කෝප්ප 02 ක් 

ලුණු කුඩු ස්වල්පයක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ලිප තබා එයට වතුර කෝප්ප 02 එකතු කර වතුර රත්කරගන්න. 

වතුර රත්වන විට ලුණු කුඩු තේ හැඳි ½ ක් පමණ එකතු කර වතුර නටන තුරු තබාගන්න. 

නටන වතුර වලින් කෝප්පයක් පමණ ඉවත් කර පසෙකින් තබාගෙන ලිපේ ගින්දර අඩුකර කුරක්කන් පිටි වලින් ස්වල්පය බැගින් එක්කර හැඳි ගා ගන්න. 

කුරක්කන් පිටි ටිකෙන් ටික එකතු කර හැඳි ගා ගන්න අතරතුර පසෙකින් තබාගත් වතුර ස්වල්පය බැගින් එකතු කරමින් ගුලියක් ආකාරයට හැන්දේ ඇලෙන පදම වනසේ හොඳින් කලවම් කරගන්න. 

වතුර එකතු කිරීමේදී මිශ්‍රණය දියාරු නොවීමට සැළකිලිමත් විය යුතුයි. 

ගුලියක් ආකාරය වෙන තෙක් සකසා ගත් පසු ලිප නිවා හැන්දකින් ගුලියේ කොටසක් ගෙන අතේ වතුර ගාගෙන වෙන් කරගත් කොටස බෝලයක් ආකාරයට සකසා ගන්න. 

මේ ප්‍රමාණයෙන් ලොකු ගුලි 03 ක් 04 ක් පමණ සාදාගන්න පුළුවන්. 

ඔන්න අපි කුරක්කන් තලප හදාගෙන අවසන්.

කරවල, මාළු, පරිප්පු හොද්දක්, මුං ඇට ආනම, මාළු ආනම, තිත්ත තිබ්බටු ආනම, කලවම් එළවළු ආනම වගේ ඔබ කැමති ඕනෑම ව්‍යාංජනයක් පිළියෙල කරගෙන උණුසුම්වම කුරක්කන් තලප රස බලන්න අමතක කරන්න එපා. 

එහෙනම්, හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles