එක ම ඍතුවක් සදාකාලිකව ජීවිතයක් මත නතර වී තිබෙන්නේ නැත. කටුක වූ දීර්ඝ ඉඩෝර වලින් පසුව ද අනෝරා වැහි වහින්නේ ය. හේමන්ත නිද්රාවන්ගෙන් පස්සේ ද වසන්තය කුර ගගා එන්නේ ය. මුළු ළමා විය පුරාවට සිය ජීවිතය හරහා හමා ගිය දුෂ්කර වූ කුණාට සමය හෙමින් පහව යන්නට පටන් ගෙන ඇති බව දැන් පාරුල් ට දැනේ. ඇය වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා උසස් පෙළ සමත් වූ දිනයේ, එතෙක් ගමන් කළ මාවත වෙනස් වන වග දැනිණ. නමුත් ඒ ගමනාන්තය දිගුකාලීන බලාපොරොත්තුවකි. එය ස්ථාවර හා ශක්තිමත් පදනමක් මත ඉදි වන ගොඩනැගිල්ලක් හා සමාන ය. එහි පදිංචි වීමට කාලයක් ගත වනු ඇත. නමුත් නියත වශයෙන් ඒ සිදු වන බව දැන අනාගතය ගැන සිහින මාළිගාව නො බියව තනා ගන්නට පිළිවන.
පාරුල් ට වඩාත් සතුටු ඒ ගැන නොවේ. චන්දුල වෙනුවෙන් විවර වූ හදිසි ස්වර්ණ දොරටුව වෙනුවෙනි. ඒ ඔවුන් ගේ තුන් හිතකවත් තිබූ පැතුමක් නොවේ. දැනටමත් සංදර්ශන වේදිකා වල ගී ගැයුමේ ඇරයුම් චන්දුල වෙත යොමු වෙමින් තිබේ. ඔහු ගේ ජනප්‍රියත්වය වේගවත් ව උදා වෙන අයුරු දකින්නට තිබේ. සැබවින් ඒ වෙනුවෙන් ගී ගැයීම හැරුණ විට ඔහු කළ දෙයක් නොමැති තරම ය. එබැවින් පාරුල් ට සිතෙන්නේ ඉරණම ඇතැම් විට එහෙම විය හැකි බවයි. එය කාලයක් තිස්සේ නියම වෙලාව පැමිණෙන තුරු බලා හිඳිනා බවයි.
දෛවය විසින් ඔවුන් ට බොහෝ දේ අහිමි කොට තිබේ. පාරුල් හා චන්දුල යනුවෙන් දරුවන් දෙදෙනෙකු උපදින්නේ ම රෙදි සෝදන පරපුරකින් පැවතගෙන එන රිදී නමැති ගැහැනියක ගේ කුස යහන කොටගෙන යි. ඒ රෙදි සෝදන පරපුරේ නාමයෙන් දරුවන් ගේ පියා සිසිර ඔවුන් අතැර යන්නේ ය. ඔහු ට එසේ සිදු කරන්නට වෙන තැනට මහා සමාජයෙන් බලපෑම් එල්ල වෙයි. ඒ ගැහැනිය සමග දරුවන් දෙදෙනෙකු තනන්නට තිබූ පිරිමිකම, සමාජයෙන් එල්ල වල බලපෑමට ප්‍රතිරෝධය දක්වමින් ඒ දරුවන් දෙදෙනා හා තමන් විශ්වාස කළ ගැහැනිය රකින්නට සිසිර තුළ ඉතිරි වන්නේ නැත. මේ දුක් කඳෙහි ඇරඹුම එතැනයි. නමුත් ඉරණම හැම විට ම හැම දෙයක ම නරක විතරක් ඉතිරි කරන්නේ නැතැයි දැන් පාරුල් ට සිතේ. චන්දුල ගේ මේ හදිසි වේගවත් ගමනට හේතුවෙහි බිජුවට වලුරා තිබෙනුයේ සිසිර විසිනැයි නො පිළිගත යුතු ද? ඔහු ගේ ගායනා අදටත් ලොන්ඩරි වත්තේ මිනිසුන්ට මතක ය. අඩු තරමින් ඔහු ඒ හැකියාවෙහි බිජුවට චන්දුලට දායාද කොට තිබේ. ගායකයෙකු වන්නට තරම් හැකියාවක් වී ද සිසිර ට ඒ කාලේ ඊට අවස්ථාවක් හෝ පුහුණුවක් ලබා ගත හැකි මගක් නො විණි. නමුත් මේ කාලේ චන්දුල වෙනුවෙන් ඒ දොරවල් විවර කරනා මාවත් ඉදිව තිබිණ. කවරාකාරයෙන් හෝ ඔහු ඒ මග වෙත කැටිව ඒම ඉරණමෙහි බලවත්කමක් නොවේ ය කියා සිතන්නේ කෙසේ ද? දැන් චන්දුල ඉදිරියෙහි වන්නේ වාසනාවේ අවස්ථාවන් ය. ඒ වෙනුවෙන් හැකියාව ඔහු ට ලබා දීම වෙනුවෙන් සිසිර ගැන දයාවෙන් හිතන්නට දැන් පාරුල් ට හැකි ය.
සියල්ල යහපත් ලෙස සිදුවෙමින් තිබේ!
නිර්ධා විජයවීර ගේ දැවැන්ත පෞද්ගලික පුස්තකාලය අභියස හිඳිත්දී පාරුල් ට එවන් බොහෝ දෑ සිහි විය. වෛද්‍ය නිර්ධා විජයවීර විසින් තේ එකක් බොන්නට එන ලෙස පාරුල් ට කළ ආරාධනය තවමත් ඈ හිමයෙන් මුදවා ලූ ගමන් ය. අමාත්‍ය බිරිඳක හා නගරාධිපති මවක වී ද එක දවසක් පමණක් දුටු ලොන්ඩරි වත්තේ කෙල්ලකට එවන් ඇරයුමක් කරන්නට තරම් විසල් හදවතක අයිතිකාරිය වන්නට ඇයට හැකි වී තිබෙන්නේ, ජිිවිත කාලය තුළ පරිශීලනය කළා වූ මේ පුස්තකාලය නිසා විය හැක. පොත් කියවන මිනිසෙකුට එක් ජීවිත කාලයක් තුළ ජීවිත දහස් ගණනක් අතරේ ඇවිද යා හැක!
“පාරො…හරි වැඩේනෙ”
චන්දුල ගේ දුරකතනයෙන් කතා කොට රිදී එසේ කියත්දී පාරුල් ගේ හදවත් බිත්ති දෙදරීමකට ලක් විය.
“අනේ ඇයි අම්මෙ… මොකද වුණේ…”
“රෙදි වැලක් වේලල ගන්නගමං මට හදිස්සියෙම මතක් වුණේ. අර දොස්තර නෝනගෙ කටහඬ කොහේදි හරි අහල පුරුදුයි කියන එක නිතරෝම මගෙ ඔළුවෙ වැඩ කරකරනෙ තිබුණේ. හරි දැං මට මතක් වුණා. එදා ඔයා ඉපදුණ වෙලාවෙ ලයින්හෝම් එකේදි ඔයාට දෙව්රූ කියන නම දැම්මෙ ඒ දොස්තර නෝන. නගරාධිපතිතුමාගෙ අම්ම..ඔව් ඒ එයාම තමයි. ඒ දවස්වල මීට වැඩිය තරුණයි… පොඩි කෙල්ලෙක් වගේ. ඒත් ඒ කටහඬ ඒකම තමයි. ඒ රූපෙත් එයාමයි කියල දැං මට හිතෙනව. ඔව් පාරො. ඒ දොස්තර නෝනා එයා තමයි. ඔයා දේව රූපයක් කියල කිව්වෙ එයා”
පාරුල් ගේ දෙපා පණ නැති වී ගියේ ය. ඇය එහෙම ම එතැන තිබූ කවිච්චියක් මතට වැටුණා ය. මේ සිදු වෙන්නේ මොනවා ද? මෙහෙම දේවල් වෙන්නේ ඇයි?
” තේ ලෑස්තියි. අපි කතා කර කර තේ ටිකක් බොමු දුව”
නිර්ධා ඇවිත් ඇරයුම් කළා ය. දිව කට වියළී ගිහින් වාගේ දැනුණත්, කිලෝ ගණනක් දෙපා වල බර වැඩි වී ඇති සේ දැනුණත්, අසීරුවෙන් දෙපා අද්දාගෙන ඇය කෑම මේසයට ගියා ය. දේශන නිමා වන වෙලාවේ නිර්ධා වෛද්‍ය පීඨය වෙත විත් තේ එකක් බී යන්නට ආරාධනා කරනා විට පාරුල් ට කිසිත් සිතාගත හැකි වූයේ නැත. නිර්ධා ගේ රියට නැගෙනු මිස වෙනත් කිසිදු මාර්ගයක් වූයේ ද නැත. අඩු තරමින් ගඟුල් ට කකා කොට ඒ බව කියාගන්නටවත් අවස්ථාවක් නො විණ. පාරුල් හිතුවේ ඔවුන් ගේ තේ පැන් සාදය අවන්හලකදී සිදු වනු ඇති බවයි. නමුත් නිර්ධා රිය ධාවනය කළේ කුරුඳුවත්තේ ඔවුන් ගේ මන්දිරය වෙතට ය.
“බයවෙලාද අනේ ඔයා ඉන්නෙ… ජස්ට් බී රිලැක්ස්”
නිර්ධා සිනහ වී පාරුල් ගේ අතකට තට්ටු කළා ය. මුලදීටත් වඩා දැන් ඇගේ හිත බර වී තියේ. එදා වත්තේ වෛද්‍ය සායනය පැවති දා හමු වූ වෙලාවේත් ඇය මේ දේව රූපයක් වන් කතාව කීවා ය. නමුත් පාරුල් ට දැනුණු ලෙසට ඒ ගඟුල් පවසනවා කියා ය. නමුත් ඇයට යමක් කමක් තේරෙන දා පටන් අම්මා පැවසූ දෙව්රූ නමේ නිධාන කතාව අනුව නම් ඇය ඉපදුණ ගමන් ම ඒ දේව රූප කතාව කියා තිබෙන්නේ ඒ දොස්තර නෝනායි. ඒ දොස්තර නෝනාත් මේ දොස්තර නෝනාත් දෙදෙනෙකු නොව එක් අයෙකු බව මීට මොහොතකට පෙර රිදී විසින් තහවුරු කරනු ලැබුවා ය.
මේසය මත තිබූ වතුර වීදුරුවක් ගෙන පාරුල් එය බීගෙන බීගෙන ගියේ උගුරට දැනුණ වියළි බව නිසාම යි.
“ඇයි අනේ වතුර බොන්නෙ…මොනාහරි කාල තේ බොමු”
නිර්ධා පාරුල් ගේ පිඟාන මතින් කෙටි කෑම වර්ග දෙක තුනක් තැබුවා ය. මේ ඇය සැලසුම් කළ මොහොතකි. නමුත් ඇයටත් වැඩිය හොඳින් ඉරණම දේවල් සැලසුම් කොට තිබෙනා බව දැන් ඇය දනී. පාරුල් ගේ සම්පූර්ණ නම ඇයට දැනගන්නට ලැබුණේ එදා සායනයේ අවසානයත් එළඹුණාට පසුයි. දෙව්රූ යන නම කවදාවත් ඇගේ සිතින් බැහැර වූවා නොවේ. ඒ දේව රූපයක් වන් බිළිඳිය ද කවදාකවත් ඇයට අමතක නොවිණ. අම්මා බිළිඳිය ද ගෙන රෝහලෙන් නික්ම ගියාට පස්සේත් ටික දිනක් යනතුරු සංකා හැඟීමක් නිර්ධා ට දැනෙමින් තිබිණ. වාට්ටුවට එන හැම මොහොතක ම ඕ ඒ අම්මා උන් යහන දෙස බැලුවා ය. දෙව්රූ දැරිය දේවතා දෑස් වලින් බලා සිනහ වෙන්නා සේ ඇයට මැවී පෙනිණ. පාරුල් දෙව්රූ! ඒ ඇය බව දැනගත් වෙලාවේ නිර්ධා ට මොහොතකට හුස්ම ගන්නට ද අමතක වී තිබිණ. දෛවය කරනුයේ පහසු සෙල්ලමක් නොවේ!
“දෙව්රූ…මීට අවුරුදු විසි ගාණකට කලින් ද සොයිසා එකේ මං වැඩ කරද්දි ඉපදුණ බබෙක්ට මං දෙව්රූ කියන නම දුන්න. එයාගෙ ෆීචර්ස් මට පෙනුණෙ ඇත්තටම දේවතා රූපයක් වගේ. මිනිස්සු හැම වෙලේම මනුශ්‍යත්වයට වැඩිය ඉහළින් දේවත්වය තියල පිදුම් කරල තියනව දෙව්රූ. මොන ජාතියද මොන ආගමද කියන එක ඒකට අදාල නෑ. ඉන්දියානු දේවතා රූප වගේ ම ග්‍රීක දේවතා රූප පරිස්සමට බැලුවත් ඒක පැහැදිලිව පේනව. මිනිස්සු දෙවියන්ට දුන්නෙ තමන්ට වඩා ලස්සන ඇස්. ලස්සන පාට. ලස්සන හිනාවක්. ලස්සන ඉරියව්. මං හිතන්නෑ මිනිස්සු කවදාවත් දෙවියන්ව දැකල තියනව කියල. මං ඒකෙන් කියන්නෙ දේව සංකල්පය මනඃකල්පිතයි කියල නෙවෙයි. හැබැයි මිනිස්සු දේව රූප නිර්මාණය කළේ මිනිස්සු අතරෙම ඉන්න සාමාන්‍ය මිනිස් රූපයෙ ලස්සන ඉක්මවපු මිනිස්සු දිහා බලලයි කියල මට හිතෙනව. ඒ පුංචි ගෑනු ළමය ඉපදුණ වෙලාවෙ මට දැනුණෙත් දේව දරුවෙක් ඉපදුණා වගෙයි. මං නිකමට වගේ ඒ අම්මගෙන් ඇහුව මට මේ කෙලි පැංචි දෙනවද ගෙදර ගෙනියන්න කියල. ඒ අම්ම පැංචිව තුරුල් කරගත්තෙ ඇත්තටම මං උස්සං යයි කියල බයෙන්ද මන්ද. මොන තරං සමාජ ආර්ථික ප්‍රශ්න තිබුණත් දරුවෙක් අම්ම කෙනෙක්ට සම්පතක්. හැබැයි ඒ වගේ දරුවෙක් පවුලකට වාසනාවක්”
නිර්ධා කියවාගෙන යත්දී පාරුල් කළේ පාන් පෙත්තක් ලෑටි ගානා එකයි. ඊළඟ මොහොතේ සිදු වන්නට නියමිත කවරක් ද කියනා එක ඇයට අනුමාන වශයෙන්වත් සිතා ගත හැකි වූයේ නැත.
“දේව රූපයක් වගේ ඒ ගෑනු ළමය ආයෙමත් මගෙ ඉස්සරහට එවන්න තරං ප්ලෑන් එකක් සොබා දහමෙ ලියවිල තිබුණ කියල හිතනකොටත් මගෙ ඇඟ හිරිවැටිල යනව. සොබා දහම කවදාවත් අසාධාරණ නෑ දෙව්රූ. අපිට ලැබුණනං කියල අපි හිතන හුඟක් දේවල් ප්‍රමාද වෙලා හරි එයා අපිට දෙනව. ඒ වෙනකල් බලං ඉන්න එක කොච්චර වටිනවද කියල හිතෙන්නෙ මේ වෙලාවට”
පාරුල් හිටියේ හඬන්නට බලාගෙන නොවේ. කොහොමත් ඇය කඳුළු ඉස්සර කරගන්නා ගෑනු ළමයෙකු නොවේ. නමුත් මේ වෙලාවේ තමන් පාලනය කරගත නො හැකි තරමට ඇයට හැඬිණ.
“අඬන්නෙ මොකටද ඉතිං…මේක හිනාවෙන්න ඕන දෙයක්නෙ. සමරන්න ඕන දෙයක්නෙ. මට ආයෙ ඔයා හම්බුණ එකම කොච්චර සතුටක්ද දරුවො…ඔයා ඒ විදිහට ම ලොකු වෙලා. අර චූටි දේවතා රූපෙ එහෙම ම ලොකු වෙලා. අපේ කොල්ල ඇවිත් ඔයා ගැන කියපු විදිහ හරියටම හරිනෙ. ඉතිං හිනා වෙන්නකො අනේ”
“අනේ මැඩම්…”
පාරුල් ට සිනහ නැගිණ. ඇය සිනහ වෙවී ම කම්මුල් වල කඳුළු පිස දා ගත්තා ය. ඊට පස්සේ ඔවුන් දෙදෙනා තේ බීවේ නිර්ධා වෛද්‍ය පීඨයේ සිටියදී සිදු වූ රසබර මතක ගැන මෙනෙහි කරමිනි.
ගඟුල් ගෙට ගොඩ වූයේ කලබලයෙනි. නිර්ධා කතා කොට වැඩ නිම වූ ගමන් ගෙදර එන්නයි කීවා ය. හේතුව ඇහුවාට ඈ එය කීවේ නැත.
“හදිස්සියක් නෙවෙයි. ඔයා ඉක්මනට එන්නකො ඉතිං”
ඔහු ආවේ දෙගිඩියාවේ ය. කෑම මේසයෙහි හිඳ සිනහ වෙවී තේ බොන පාරුල් දුටු විට දැනුණු හැඟුමන් සමුදාය විශ්ලේෂණය කරගන්නට ඔහු දන්නේ නැත. ගඟුල් පුටුවක් ඇදගෙන මේසය ළඟ අසුන් ගත්තේ ය.
“මෙන්න මේ ගෑනු ළමයව ගෙදරට ගිහින් ඇරලවන්න කියන්නයි මං ඔයාට එන්න කිව්වෙ”
නිර්ධා සැහැල්ලු ලෙස කීවා ය. නමුත් ඇයට ඇත්තට ම ඕන වුණේ ඔවුන් ගේ ගෙදර පාරුල් හිඳිනු දැක ගඟුල් පුදුම වෙනවා දකින්නටයි.
ගඟුල් පාරුල් ව කැටිව යන්නට සූදානම් වූයේ යටි හිතේ කඳු ගැහුණ ප්‍රීතිමත් භාවයකිනි. දිය නා අලුත් වී සුවඳ හලාගෙන ඔහු කාන්තාවන් වෙතට එත්දී ම සුරත් විජයවීර ගේ රථ පෙරහැර පැමිණ නතර විය.