ශ්‍රී ලාංකීය අපේ එදිනෙදා ජීවිතය එක්ක හරි අපූරුවට බැඳිල තියෙන තේ, කෝපි, කිරි තේ එහෙම නැත්තන් කිරි කෝපි කෝප්පයකට ගතේ විඩාව වගේ හිතේ විඩාවත් හරි අපූරුවට නිවන්න තියෙන්න හරිම පුදුමාකාර හැකියාවක්නෙ.
හැබැයි ඒ තේ කෝප්පය ටිකක් වෙනස් රසකට රසවිඳින්න ඔබට ඉඩකඩ ලැබුනොත් ඒකත් අලුත්ම අත්දැකීමක් වෙයි නේද?
ඔන්න එහෙනම් අද අපි කියල දෙන්න කැරමල් රසට කැරමල් සුවඳට රස විඳින්න පුළුවන් රසම රස තේ කෝප්පයක් හදාගන්නෙ කොහොමද කියලයි.
ඉන්දියානු ආභාෂය ලැබුණු මේ කැරමල් තේ හදාගන්න අවශ්‍ය මොනවද කියල අපි මුලින්ම බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය
කැරමල් සඳහා
සීනි මේස හැඳි 01 ½ ක්
වතුර මේස හැඳි 01 ½ ක්
තේ සඳහා
උණුසුම් කිරි කෝප්ප 1 ⅓ ක්
වතුර කෝප්ප ¾ ක්
තේ කුඩු මේස හැඳි 01 ½ ක්
තලාගත් කරදමුංගු 02 ක්
එහෙනම් අපි කැරමල් තේ හදන්නෙ කොහොමද බලමු
සාදාගන්නා ආකාරය
මුලින්ම කැරමල් මිශ්‍රණය හදාගෙන ඉමු. ඒ සඳහා භාජනයක් ලිපතබා එයට සීනි සහ වතුර මේස හැඳි 01 ½ ක් එකතු කර අඩු ගින්දරේ ලා දුඹුරු පැහැති කැරමල් මිශ්‍රණයක් සෑදෙන තුරු තබාගන්න ඕන.
කැරමල් මිශ්‍රණය ලා දුඹුරු පාට වෙද්දි ලිප නිමල අපි සූදානම් කරගෙන තියෙන උණුසුම් කිරි ටික ඒ භාජනයටම එකතු කරල හොඳින් කලවම් කරගෙන අඩු ගින්දරේ විනාඩි 02 ක් 03 ක් පමණ රත්වෙන්න තබාගන්න ඕන.
ඊළඟට මේ කිරි මිශ්‍රණයට වතුර කෝප්ප ¾ ක්, තේ කුඩු සහ කරදමුංගු එකතු කරල හොඳට කලවම් කරගෙන භාජනයේ පියන වහල විනාඩි 05 ක් විතර අඩු ගින්දරේ රත් කරගන්න ඕන.
ඔන්න අපි කැරමල් තේ හදාගෙන ඉවරයි.
උණුසුම්වම කෝප්පයකට පෙරා ගත්ත කැරමල් තේ මිල්ක් කුකී එකක් එක්ක රසවිඳල බලන්නකෝ.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |