රන් මල් දම් – 47

නිම්නාවී දිනය පුරාම එහෙට මෙහෙට වෙමින් උන්නාය. අම්මා පස්සෙන් ඇවිද ගියාය. පසන් පසුපසින් ඇවිද ගියාය.ඔවුන් පවසන්නේ කුමක් වුවද, එයට එකඟ වූවාය. කිසිවෙකුට වෙනසක් නොපෙනෙන්නට උන්නාය.

සවස සූදානම් වී පසන් සමඟ පිටත් වූවාය. ඇගේ දෙමාපියන් වෙනම රියක පිටත් වූහ. මෝටර් රියට ගොඩවූ මොහොතේ පටන් නිම්නාවී කල්පනා කලේ, තමා සෙත්ට කෙතරම් ද්‍රෝහී වන්නේදැයි කියාය. ඒ ද්‍රෝහී වීම නිසාම තමා මේ විඳවීමට සුදුසුයැයි ඕ සිතුවාය.

හදවත තුල ඉතා බරැති  යමක් සිරව ඇති බව දැනෙන්නේය.  වචනයක් පිට කිරීමද ඇයට ඉතා අපහසු බව හැඟේ. මෝටර් රියට ගොඩවූ මොහොතේ පටන් පසන් ඇමතුමක යෙදී සිටීම ඇයට සහනයක් විය. ඇය ඔහුගේ සැහැල්ලු හැසිරීම් දෙස බලා යළි තමා ගැන විස්සෝප වූවාය. ඔහු තමා මැදි කරගෙන ඔහුට අවැසි ලෝකය තනාගෙන ඒ ලෝකයේ ජීවත් වන්නේය. තම දෙමාපියන්ද පසන්ගේ ලෝකය මැදට තමා ඇද දමා ඔවුන්ට අවැසි ලෝකය තෝරාගෙන ඇත. තමා… තමාට වන්නේ කුමක්ද ?

නිම්නාවී එක් මොහොතක එලෙසින් සිතුවාය. එහෙත් ඊළඟ මොහොතේ ඕ උන්නේ සියල්ල අතැර පසන්ට සහ අම්මලාට අවැසි විදියෙන් සියල්ල වන්නට දී බලා හිඳින මානසිකත්වයක් එක්කය.  ඇය අතිශය අපහසු ලෙසින් ඒ මේ අතට විසි වෙමින් උන්නාය. දිලුම්ට පවා ඇගේ මේ විපරීත මානසිකත්වය සම්පූර්ණයෙන්ම වටහා ගන්නට ඉඩ ලැබුනේ නැත.

පසන් මෝටර් රියට ගොඩ වූ මොහොතේ පටන්ම ඇමතුමක උන් නිසා නිම්නාවී කලේ, සෙත් ගේ ඇහිපිල්ලම් ගානේ තම මතකයේ වූ තැන් ස්පර්ෂ කරමින් විඳීමය. ඒ සැනින් යලි විඳවීමය. පසන් වැන්නෙකු හමුවේ සටන් වදින්නට සෙත්ට ඇති හැකියාව කිරා මැන බැලීමය. සැනින් තමා වැන්නියක නිසා සෙත් එතරම් අවධානමක් නොගත යුතු බව තරයේ වටහා ගැනීමය.

පසන් ඇමතුම විසන්ධි කර නිම්නාවී දෙස බැලුවේය. ඕ ඉන්නේ ඉවත බලාගෙන වෙනමම කල්පනාවකය. පසන්ට මින් පෙර  නුදුටු සුන්දරත්වයකින් ඇය පෙනෙයි. ඇය තමා සතු වස්තුවක් ය යන ප්‍රහර්ෂණීය හැඟීමෙන් පසන් ළය පුරවා ගත්තේය. කල් නොදමා, හැකි ඉක්මනින් ඇය විවාහ කර ගත යුතු බව සිතුවේය.

නිම්නාවී එක්වරම තිගැස්සී පසන් දෙස බැලුවේය. පසන් තමා වෙත හෙලමින් සිටින බැල්මෙන් ඕ අපහසුවට පත් වූවාය.

” ඉස්සරහ බලාගෙන වාහනේ අරගෙන යන්න …”

” දැන් නම්, බිස්නස් පාර්ටි ඕනිත් නෑ හිතෙනවා…”

නිම්නාවී ඇස් අකුලවාගෙන පසන් දෙස නොරිස්සුම් බැල්මක් හෙලුවාය. ඔහු හා කිසිඳු කතා බහකට අවැසි නොවන බව හැඟවූවාය.

” උස්සගෙන යන්න හිතෙනවා නිම්නාවී ….”

” පිස්සුද අප්පා …ඔන්න ඔය වාහනේ හරියට අරගෙන යන්න … විකාර නොකියා…”

ඇගේ සිත තුල වූ පීඩනය ඇයට වෙනදා මෙන් පසන්ට අවැසි ලෙසින් සිදුවීම් ගලා යන්නට අවස්තාව හැදුවේ නැත. එක්වරම නිම්නාවී එලෙසින් ඇමතීම පසන් තුල කෝපයක් සැදුවේය. මෙතෙක් කල් ඕ තමාට එකඟ නොවූ තැණ් තිබුණා වුවද, මෙහෙම කෑ ගසන්නට ඉඩ හදාගෙන තිබුනේ නැත.

” මොකද සද්දේ ..?”

පසන් කෝපයෙන් විමසුවේය. නිම්නාවී දෑස් වසාගෙන, නළලත අතැඟිලි වලින් පිරිමැදගත්තාය.

” මොකද්ද අවුල නිම්නාවී ….”

පසන් කලබලයෙන් විමසුවේය. නිම්නාවීගේ හදවත තුළ ගිණි ඇවිලෙමින් තිබුණි. පසන්ට මුහුණ දෙමින් ඔහුට පැවසිය යුත්තේ කුමක්දැයි ඇයට වැටහුනේ නැත.

” කතා කරනවා ඕයි …”

නිම්නාවි පසන් දෙස බැලුවාය. පසන්ගේ ගින්දර විසි වෙමින් තිබූ දෑස් වල වැදී ඕ පසෙකට විසි කර දැම්මේය.

” එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැ.. මල්ලිගේ අවුලක් නිසා මම පොඩ්ඩක් කලබලෙන් උන්නේ …”

” උගේ අවුල් වලට තමුසේ අවුල් වෙන්නේ මොන මඟුලක් හින්දාද නිම්නාවී .. ඌ පොඩි එකෙක් නෙවෙයිනේ .. අනෙක තමුසේ උගේ අම්මා නෙවෙයිනේ … තමුසේ මගේ ගැන හිතන්නේ නෑනේ ඔච්චර .. මටත් කොච්චර නම් අවුල් ප්‍රශ්න තියෙනවාද ? තමුසේට ඒවා ගැන වගක්වත් නෑනේ … ඉන්නවාකෝ මම ආන්ටිට කියන්න .. මේක හරියන සෙල්ලමක් නෙවෙයි ….”

” අනේ කලබල කරන්න ඕනි නෑ පසන් … මම අද මල්ලිගේ වැඩකට එලියට යන්නත්නේ  හිටියේ …ඔයා නොකියාම ආව එකෙන් ඒ ගමනත් ඇරුනානේ ..මම ඒක ගැනත් කල්පනා කර කර උන්නේ …”

නිම්නාවී ඕ සතු සියලු ශක්තීන් තවරා අයැද්දාය. එහෙත් පසන් උන්නේ ඇය තලාපෙලා දමන්නටම සූදානමින්‍ ය.

” දැන් තමුසේට වැඩිය වටින්නේ ඌද මාවද කියනවකෝ ..තමුසේගේ  මිනිහා වෙන්න ඉන්නේ ඌද මමද ?….”

පසන් ඉතා  කෝපයෙන් කෑ ගසමින් උන්නේය.

” කෑ ගහන්න එපා පසන් …. ඒ මගේ මල්ලිනේ ..”

” අනේ මේ … හරි .. නටනවකෝ තව.නටනවකෝ.. මේක මතක තියාගන්නවා ……වහාම .. ලෑස්ති වෙනවා .. මම ආයෙම ආව ගමන්ම අපි මැරි කරනවා…”

නිම්නාවි  තිගැස්සි බැලුවාය.  පසන් සමච්චල් සහගත බවක් රඳවාගත් සිනහවක් සමඟින් ඉදිරිය බලාගෙන මෝටර් රිය ධාවනය කලේය. නිම්නාවී තමාට ඇසුනේ කුමක්දැයි යලි කල්පනා කර බැලුවාය. පසන් දැන් ඔහුගේ උගුලේ තමා පටලවා ගැනීමට හැකි සියලුම දේ කරන බව නිම්නාවී වටහා ගත්තාය.

මන්දාරම් සහ චානක වෝටර්ස් ඒජ් පරිශ්‍රයට ඇතුළු වූයේ සවස හතට පමණය. එදින සවස දිලුම් තමා හමුවන්නට පැමිණෙන වග කීවද, මේ හමුව වෙනුවෙන් මන්දාරම්ගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය වූ නිසා මන්දාරම් දිලුම් අමතා හමුව පසුදිනට සැලසුම් කරගත්තේය.

අතරමඟදී චානකද ගමනට එක් වූයේ මන්දාරම් එතරම් රෑ බෝවී තනිව මෝටර් රිය තනිව ධාවනය  නුසුදුසු බව පවසමිනි.

” යමං … මම චාරු ට කිව්වා අද ආන්ටිව බලන්න කියලා… මාත් එන්නම් උබ එක්ක … පාස් එකක් දා ගනින් මටත් එක්ක …”

” උඹට පිස්සුද බං .. මට පුලුවන් යන්න …”

” කමක් නෑ..ඔතන ගිහින්, උබ බේබද්දා වගේ බොන්න තියාගත්තම මට උබ ගෙදර එනකල්, පපුවේ බිත්තර තම්බන්න බැහැ…”

මන්දාරම්ගේ ආයතනය නියෝජනය කරමින් සහභාගී වූ කිහිප දෙනාද සමඟින් ඔවුන් දෙදෙනාද වෙන් කර තිබූ මේසය වටා හිඳගෙන උන්හ. මන්දාරම්ගේ සිත වූයේ මෙවන් සාදයක් රස විඳින සැහැල්ලුවක නොවේය. එහෙත් මේ රැය මේ සාදය වෙනුවෙන් වෙන් කිරීම ආයතනයට වැදගත් බව මන්දාරම් දනී.

මන්දාරම් ජංගම දුරකතනය ගෙන නිම්නාවීගේ අංකය ඇමතුවේය. එහෙත් එය වූයේ විසන්ධිවය.

” මට හිතාගන්න ඹෑ බං .. ඒකි කොහොමද මෙච්චර හිතුවක්කාර කියලා…”

මන්දාරම් ඇපල් කැබැල්ලක් මුව තුලට රුවා ගනිමින් උන් චානක වෙත නැඹුරු වී කීවේය.

” ඒක අපිට ළඟදීම දැනගන්න ලැබෙයි .. එතකල්, ඔලුව කාගන්නේ නැතුව, මෙන්න මේ තියෙන දෙයක් බලලා කාලා හිටහං …..”

මන්දාරම් හිස සැලුවේය. එහෙත්,, ඔහුගේ කලබලය නිම වූයේ නැත. සිත තුල ඇති කලබලය දැන් කියන්නේම තමා නොසිතන යමක් තමා වටා සිදුවන බවය.

ගතවුණ දින කිහිපය තුල සිදුවූයේ  ජීවිතය තුල සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූ දේවල් ය. එහෙත්, තමා ඒ සියල්ල පිළිගෙන ඉදිරියට යෑමට සූදානම් ය. මෙවර සිදුවන දෙය දරාගන්නට තමා ශක්තිමත්දැයි මන්දාරම් තමාගෙන්ම විමසුවේය.

” මන්දාරම් … අර ජේකේ හෝල්ඩින්ග්ස් ඕනර්ගේ පුතායි, වෙන්න ලේලියි .. සල්ලි ගස් දෙකක් ඈ …”

මන්දාරම්ගේ පසෙකින්  සිටි කාර්‍යාලයීය සගයා එලෙස පවසද්දී මන්දාරම් සහ චානක දෙදෙනාම මදකින් ඃඇරී ඒ දෙස බැලුවෝය.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles