වෙලාව මධ්‍යම රාත්‍රියත් පසුව හෝරාවකට ආසන්න කාලයක් ගතව තිබිණ. එහෙත් කිසිවෙකුට නිදි මතක් හෝ සාදය නිමා කරන්නට උවමනාවක් වූයේ නැත.තරු පන්තියේ හෝටලයේ උඩුමහල විවිධ පැහැගත් විදුලි බුබුළු වලින් වර්ණවත් වී තිබිණ. හසාරා සේවය කළ ලොව පුරා ශාඛා ගණනාවක් වූ දුරකථන සමාගමේ දෙවසරකට වරක් පවත්වන මෙම සාදය සේවකයන්ට සුවිශේෂී වූ එකකි. එය සම්මාන ප්‍රධානය කිරීමේ උළෙලකින්ද සමන්විතය.සේවක උසස් වීම් සහ දිරි ගැන්වීම් සඳහා ලබා දෙන තිළිණපත් , කුසලාන ලබාදෙන්නේත් මෙම සාදයේදීමය. හසාරා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන දුරකථන සමාගම් ශාඛාවේ ප්‍රධානියා ලෙස උසස්වීම් ලැබුවාය.මේ වසර ගණනාවක් පුරා ඇගේ කැපවීමේත් , අප්‍රතිහත ධෛර්යයේත් ප්‍රතිඵලයක් බව විශ්වාසය.විනාඩි කිහිපයක් පුරා ලැබුණු සුභ පැතුම් , සිප වැළඳ ගැනීම් වලින් මිදුණු ඈ ධනංජයව සොයා ආවේ ඔහු ශාලාවේ කොතැනකවත් පෙනෙන්නට නොවූ නිසාය.ශාලාව පුරාත් සඳැල්ලෙහිත් අවසන මනාව තණකොළ කපා නඩත්තු කොට තිබූ ගෙඋයනේත් ඇවිද කියා ඇයට ආපසු ශාලාව තුළට ඇතුළු වීමට සිදුවූයේ ඉටු නොවූ බලාපොරොත්තු වලින්ය.
මිතුරිය අසල තබා ගිය රන් පැහැති කුඩා අත්බෑගයෙහි වූ ජංගම දුරකථනය සිය දකුණතින් අල්ලා ගත් හසාරා යළිත් ශාලාවෙන් පිටතට පැමිණියේ ඝෝෂාකාරී ශබ්දයෙන් මිදී දුරකථන ඇමතුමක් ලබා ගන්නට සිතාගෙනය.ඒ සුබ පැතුම් වර්ෂාව මැද සැමියා තමා හමුවට නොපැමිණීම ඒ සිතෙහි කනස්සල්ලක් උපද්දවන්නට සමත්ව තිබිණ. හත් අට වරක්ම නාද වූ ජංගම දුරකථනයෙන් පිළිතුරක් ලැබුණේ නැත.නොසන්සුන් වූ හසාරා යළිත් ශාලාව තුළට ඇවිද ආවේ අත්බෑගය ගෙන එතැනින් පිටවන්නට සිතාගෙනය.ඔහුට කුමක් වූයේදැයි සොයා බලන්නට සිතා ගෙනය.
“ ඔයා ධනංජයවර්ධ හොයන්නේ?….”
හසරා අසලට ආ වසර ගණනක් තිස්සේ ඇයට සමීපව උන් මිතුරිය නිර්මිතා ඇසුවේ එවේලෙහිය.
“ අනේ ඔව් නිර්මි..බලන්නකෝ මේ මනුස්සයා කොහේ ගිහිල්ලද මන්දා.ඉස්සර වෙලාත් මම හෙව්වා.ඒ වෙලාවේ මීඩ්යා වලින් මාව වටකර ගතපු හින්දා මට එහෙම්මම අමතක වුණා.එයා හිටියේ සමීරලා, දිමුතුලත් එක්ක…දැන් පේන්න නෑනේ..””
හසාරා පැවසූයේ නොසන්සුන් ස්වරූපයෙන්.තමා වසරේ හොඳම විධා යක නිළධාරිනිය ලෙස සම්මානය ලබා ගද්දී පවා වේදිකාවේ සිට ඔහු සෙව්වා ඇයට මතකය.එහෙත් ශාලාවේ පෙනෙන තෙක් මානයක ඔහු වූයේ නැත.සිය ගණනක් මිතුරන් හිතවතුන් සේවකයන් මැද ඇයට මහත් වූ තනිකමක් දැනුනේත් එනිසාය. වෙනදානම් තම ජයග්‍රහනයන්වල මුල්ම සුබ පැතුම ඔහුගෙන්ය.
“ ධනජය ගෙදර ගියා…”
නිර්මිතා ඉවත බලාගෙන මුමුණද්දී හසාරාගේ දෑස් රැඳී තිබුණේ ඈ අත වූ වයින් වීදුරුව මතය.පමණට වඩා ආලේපන උලා තිබූ යෙහෙළියගේ මුහුණේත් දෑස් වලත් වූයේ මත් බවකි.
“ ගෙදර ගියා….ඇයි ඒ…”
හසාරාගේ වදන්වල වූයේ පුදුමයකි.
“ මටත් නොකියා….”
ඇය අඩකින් නතරකල වාක්‍ය සම්පූර්ණ කලේ ඒ පුදුමයෙන්මය.
“ හෙඩේක් එකක් කියලා කිව්වා.මං හිතන්නේ ඔයාට කියලා යන්න ට්‍රයි කරා. ඒ උනාට කට්ටිය ඔයාව වටකරගෙන හිටියනේ.එයාට ලං වෙන්න බැරි වෙන්න ඇති…”
“ අනේ ඉතින් කිව්වනම් මමත් යනවනේ. ඇයි තනියම ගියේ….”
“ සමහරවිට ඔයාට ඩිස්ටර්බ් කරන එක හොඳ මදි කියල හිතෙන්න ඇති.”
“ ඒත් ධනංජය කවදාවත් මාව මෙහෙම තනියම දාලා යන්නේ නෑ. අනිත් එක මේ රෑ..ඇත්ත කියන්න එයාට අමාරුයිද…”
“ නෑ නෑ එහෙනං මං ඔයාට නොකියා ඉන්නවද…එයා ඔයාව තනියම දාලා ගියා නෙමෙයි.මට ඇවිල්ලා කිව්වා.මමයි කිව්වේ මම ඔයාව ඩ්‍රොප් කරන්නම් ධනංජයට යන්න කියලා.හෙඩේක් එකක් තියෙන මනුස්සයෙකුට මේ සද්ද බද්ධ මැද ඉන්න එක ලේසි නෑ…”
“ එයාගේ ෆෝන් එකත් ඕෆ් නේ..”
“ බැට්‍රි ඩෙත් වෙලා කිව්වා තියෙන්නේ..ඒ හින්දා ඔෆ් ඇති…”
“ අනේ නිර්මි මමත් එහෙනම් ගෙදර යනවා.ඔයා කවුරුහරි ඇහුවොත් කියන්න මම ගියා කියලා..”
“ පිස්සුද ඔයාට…ඔයා කොහොමද තනියම යන්නේ”
“ මට ටැක්සි එකක් කතා කරගන්න පුලුවන්.”
“ විකාර කරන්නේ නැතුව තව ටිකක් වෙලා ඉන්න අද ඔයාගේ දවස.මේ හැමෝම හොයන්නේ ඔයාව මිසක් මාව නෙමෙයි.අනික… ඒක තේරුම් ගන්න බැරි තරම් ධනංජය පොඩි බබෙක් නෙමෙයිනේ.එයාට ඉන්නම බැරි තැන එයා ගියාට එයා මට ඔයාව බාර දීලා ගියේ ඒකයි.තව පැය දෙක තුනකින් පාටි එක ඉවරයි.ධනංජය ගෙදර ගිහිල්ලා නිදාගනියි.ආයි ඔයාට මේ වගේ දවසක් එන්නේ නෑ…”
“ අනේ නිර්මි එහෙම හොඳයිද..මං මෙතන ඉන්න ඕන තමයි.එයා දරාගන්නම බැරි හෙඩේක් එකක් නැත්නම් මාව දාලා යන්නේ නෑ. මට බය හිතෙනවා….”
“ දරාගන්නම බැරි හෙඩේක් එකක් තිබුණේ නැහැ. පේන් කිලර්ස් දෙකකුත් බිව්වා.ධනංජය කිව්වෙ මේ සද්ද බද්ධ මැද තව ටිකක් වෙලා හිටියොත් එයාට අමාරු වෙයි කියලා..ටිකක් ඩ්‍රිරින්ක්ස් අරගෙනත් වැඩියි වගේ.ඒ නිසා ඔයාව පරිස්සමෙන් එක්කන් එන්න කියලා මට බාර දීලයි ගියේ.අනිත් එක මේ වෙලාවේ ඔයා මේ පාටි එක දාලා ගෙදර ගියොත් ඒකට ධනංජයට රිදෙයි…ගෙදරට ගිහින් මට මට කතා කලා ඔයාට කියන්න කියලා..ෆෝන් ඕෆ් කරන් නිදි ඇති…”
හසාරා යෙහෙළිය අසලින්ම අසුන් ගත්තේ ඈ එසේ පැවසූවාට පසුවය.මිතුරිය පවසන්නේ සැබෑවකි.එහෙත් මෙවේලෙහි ඔහුව තනිකර සිටින්නට තරම් සිතක් ඇයට වූයේ නැත.තවත් දෙතුන් වරක්ම ඔහුගේ දුරකථනයට ඇමතුම් ලබා ගැනීමට උත්සාහ දැරූ හසාරා අවසන නිවසේ ස්ථාවර දුරකථනයට ඇමතුමක් ලබා ගත්තාය.වාසනාවකට මෙන් එහා පසින් ඔහුගේ හඬ ඇසිණ.ඇගේ දකුණත ගැහෙන පපුව මත නතර වූයේ නිරායාසයෙන්මය.
“ අනේ ධනා මොකද ඔයාට උනේ.මං එන්නද කැබ් එකක් කතා කරගෙන.කොහොමත් මේක ඉවරවෙන්න තව පැයක් දෙකක් යයි.”
“ නෑ… නෑ ඔයා එන්න එපා.ඔයානෙ අද ඔතන මේන් කැරැක්ටර් එක.ඔයා එන්න ඕනෙ නෑ.මට පොඩි හෙඩේක් එකක් ආවා.එච්චරයි..”
“ දැන් කොහොමද..”
“ පේන් කිලර්ස් බිව්වා. දැන් ටිකක් අඩුයි.මම ටිකක් නිදා ගන්නම්.කී එක ඔයාගේ හෑන්ඩ් බෑග් එකේ තියෙනවා නේද.නිර්මිතා ප්‍රොමිස් උනා.. ඔයාව එක්කරගෙන එන්නම් කියලා.”
“ මාව එක්කන් එන එක කෙසේ වෙතත් මට එයාව එක්කන් යන්න වෙයි වගේ.අනේ ධනා ඔයා කෑවද…”
“ ඔව් මං ගැන වද වෙන්න එපා. ඔයා ඔයාගේ වැඩ ටික කරගන්නකෝ.”
“ ඒ උනාට මගේ හිතට මොකක්ද වගේ..ඔයා ලඟ නැති උනහම..”
“ පිස්සු කියවන්න එපා හසාරා.වැඩකට නැති දේවල් වලට මොකටද කාලේ නාස්ති කරන්නේ.මම නිදාගන්නවා.ඔයා ඔයාගේ වැඩ ටික කරගෙන ගෙදර එන්න.”
දුරකථනය මුලින්ම විසන්ධි වී ගියේ එහා පසින්ය.ඒ හඬ දැඩි හඬක් යැයි ඇයට සිතුනේ විනාඩි ගණනාවක් ගෙවී ගියාට පසුවය.දිගු සුසුමක් මුදා හල ඈ නිර්මිතා දෙස බලද්දී නිර්මිතා සිටියේත් ඈ දෙස බලාගෙනය.ඒ දෑස් මත් බවින් අඩවන්ව තිබිණ.
“ ඇයි මොකද….”
“ එයා නිදාගන්නවා කිව්වා.අනේ මන්දා මහා මොකක්දෝ දෙයක් දැනෙනවා.ඒක මොකක්ද කියන්න තේරෙන්නේ නෑ.එයා කේන්ති අරන්ද මන්දා….”
“ පිස්සු.. පිස්සු…ඔය සතුට වැඩිකමට හිතෙන ඒවා…බොනවද….”
නිර්මිතා එවේලෙහි ඇසුවේ වයින් වීදුරුව ඈ දෙසට දිගු කරමින් ය.
“ එපා….ඔයාටත් දැන් ඇති ඈ…”
“ මැඩම්…ගෘප් ෆොටෝ ගන්න කට්ටිය මැඩම් හොයනවා..”
ආයතනයේ සේවකයෙකු පැමිණ පැවසූයේ එවේලෙහිය. අත් බෑගය නිර්මිතා අසලින් තැබූ හසාරා නැගී සිටියේ ජංගම දුරකථනය පමණක් සිය දකුණතට ගුලි කරගෙනය.යෙහෙළිය කුමක් කීවත් ඇගේ සිත නිරවුල් වූයේ නැත.ධනංජය සමඟ විවාහ වී ගෙවී ගිය කාලය වසර හයකට ආසන්නය.මිතුරන් වී සිටි කාලයත් පෙම්වතුන් වී සිටි කාලයක් තවත් වසර හයකට ආසන්නය.ඒ ගෙවී ගිය අතීතයේ කිසිදු දිනක ඔහු මේ අයුරින් තමාව තනි නොකළ බව විශ්වාය.ඔහු ගැන හසාරා මෙතරම්ම බිය පත් වූයේත් එනිසාය.
කොහොමටත් කණ්ඩායම් ඡායාරූප ලබා ගැනීම සඳහා තමා අනිවාර්‍යයෙන්ම එතැන සිටිය යුතු බව හසාරා දනී..එනිසාම ඔහු මහත් ආයාසයක් දරමින් සිතෙහි වන බියත් දුකත් අමතක කරන්නට වෙහෙස වූවාය.කොහොමටත් ඈ සිය රාජකාරිය දේවකාරිය සේ ඇදැහූ අයෙකි.ඉතා කෙටි කාලයක් තුළ මේසා උසස් තනතුරකට පැමිණියේත් එනිසාය.මේ සියලු ජයග්‍රහණ පිටුපස ධනංජයගේ අපිරිමිත කැපකිරීමත් සහයත් වේ.ජීවිතයේ වැඩ රාජකාරි බොහෝ වුවත් ඇය ගෙවෙන සෑම තත්පරයකම ඔහු ගැන සොයා බලන්නට වෙහෙස වූවාය.
හෝරාවකටත් වඩා වැඩි කාලයක් ගත වූයේ ඡායාරූප ලබා ගැනීම සඳහාය.ඒ අතරේම විවිධ රූපවාහිනී ගුවන් විදුලි නාලිකා සහ පුවත්පත් සඳහා හඬ අවදි කිරීමටද ඇයට සිදුවිය.අවසන යළිත් හසාරා නිර්මිතාව සොයා ගියේ සිතිනුත් ගතිනුත් හොඳටම හෙම්බත් වූවාට පසුවය.
“ ඉවරද…..”
“ ඔව් අනේ මට නං මාර මහන්සි.කොච්චර අර්ජන්ට් උනත් තවත් නම් මට ඉන්න බෑ අපි යමු නිර්මි.අනේ ධනංජය පව්.”
“ ධනජය කතා කළා..”
“ මොනවද කිව්වේ? දැන් අඩුයි කිව්වද.”
“ එයා නිදාගන්නවා ඔයාව පරිස්සමට එක්කන් එන්න කියලා කිව්වේ.”
නිර්මිතා එක් පසෙකට ඇල වූයේ එසේ පවසා නැගී සිටියදීය. බමන මතින් උන් ඇයට පියවර තබා ඉදිරියට ඇවිද යාම ලෙහෙසි පහසු වූයේ නැත
“ මරු ගෑණිට මාව බලාගන්න කියලා බාර දුන්නේ..ඉන්න මං කැබ් එකක් කෝල් කරන්නම්.ධනාට තිබුණා කාර් එක මට තියලා කැබ් එකක් දාගෙන යන්න.මේ වෙලාවට වාහන හොයන එක ලේසි නෑ..”
හසාරා එසේ පැවසූයේ සිය ජංගම දුරකථනය මත ඇඟිලි තුඩු දුවවමින් ප්‍රසිද්ධ ප්‍රවාහන ආයතනයකට දුරකථන ඇමතුමක් ලබා ලබාගන්නට උත්සාහ දරනා අතරේය.
( යළිත් හමු වෙමු……..)
ReplyForwardAdd reaction |