පාන් පිටි වෙනුවට බොහෝ අවස්ථා වලදී පාවිච්චි කරන්න පුළුවන් ඉතාම හොඳ විකල්පයක් විදිහට හාල් පිටි හඳුන්වන්න පුළුවන් කියල අපි දන්නව.
ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්න, හදවතේ නීරෝගී බව පවත්වා ගන්න, ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න, අක්මාවේ සහ අස්ථි වල මනා ක්‍රියාකාරිත්වය පවත්වා ගන්න වගේම ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් අවශ්‍ය කරන පෝෂණ සංඝටක අඩංගු වෙලා තියෙන හාල් පිටි කියන්නෙ නීරෝගී සිරුරක් වෙනුවෙන් ආහාර ගැන වැඩිපුර හිතන ඔබට තියෙන ඉතාම හොඳ තෝරාගැනීමක්.
හාල් පිටි වලින් කේක්, පාන්, කුකීස් වගේ බේක් කරන ආහාර වගේම පාන් පිටි වලින් වගේම රසම රස තෝසෙත් හදන්න පුළුවන් කියල ඔබ දැනන් හිටියද?
නැත්නම් එන්නකෝ අපි අද බලමු හාල් පිටි වලින් රසම රස තෝසෙ හදාගන්නෙ කොහොමද කියල?
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි කෝප්ප 01 ½ ක්
රුලං කෝප්ප ½ ක්
ලුණු කුඩු තේ හැඳි ¾ ක්
වතුර කෝප්ප 04 ක්
කුඩා කොටු හැඩයට කපාගත් ලොකු ලූණු ගෙඩියක්
සිහින්ව ගාගත් කැරට් අලයක්
සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 02 ක්
සිහින්ව ලියාගත් කරපිංචා ඉත්තක්
සූදුරු තේ හැන්දක්
තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මුලින්ම, තරමක් විශාල භාජනයක් ගෙන එයට හාල් පිටි, රුලං සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.
ඊළඟට, එයට වතුර එකතු කර විස්ක් එකක් හෝ හැන්ඳක්, ගෑරුප්පුවක් ආධාරයෙන් කැට නොසිටින සේ හොඳින් කලවම් කරගන්න.
දැන් එයට කුඩාවට කපාගත් ලොකු ලූණු, ගාගත් කැරට් සහ සිහින්ව ලියාගත් කරපිංචා, අමුමිරිස් එක්කර නැවත හොඳින් කලවම් කරගන්න.
දැන් මේ භාජනය පියනකින් වසා විනාඩි 20 ක් පමණ තබාගන්න.
විනාඩි 20 කට පසු බැටර් එක තරමක් උකු ගතියක් පෙන්වයි නම් වතුර ටිකක් එකතු කරල තරමක් දියාරු කරගන්න ඔබට පුළුවන්.
දැන් තෝසේ තැටියක් හෝ නන්ස්ටික් තැටියක් ලිපතබා තැටිය රත්වන විට මේ පිටි බැටර් එකෙන් ස්වල්පයක් තැටියට වත්කරගෙන ඊට උඩින් තෙල් තේ හැන්දක් පමණ දමා පිටි මිශ්‍රණය හැන්දෙන්ම රවුමට තුනී කරගන්න.
විනාඩි 02 කට පසු අපේ හාල්පිටි තෝසෙ එක තැටියෙන් පහසුවෙන් ගැලවෙන ක්‍රිස්පි ගතියට පන්වී රන්වන් පාටට හැරෙනව ඔබට දැකගන්න පුළුවන්.
මේ වෙලාවෙදි තෝසේ එක තැටියෙන් ඉවත් කරගෙන උණුසුම්වම රසවිඳින්න ඔබට පුළුවන්.
එහෙනම්, මේ විදිහටත් තෝසෙ හදල බලමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |