යෝගට් වලින් පුඩිං හදමු

පුඩිං, වටලප්පන්, අයිස්ක්‍රීම් කියන්නෙ ශ්‍රී ලංකාවෙ හරිම ජනප්‍රිය අතුරුපසනේ.

සාම්ප්‍රදායික රසෙන් මිදිල වෙනස් රසට වෙනස් ක්‍රමයට අද වෙද්දි මේ අතුරුපස වර්ග පිළියෙල වෙනව ඔබ දැකල ඇති.

අන්න ඒ වගේ ටිකක් වෙනස් ක්‍රමයකට පුඩිං හදාගන්නෙ කොහොමද කියල ඔබට කියන්නයි smart lady අපි මේ සූදානම් වෙන්නෙ.

අපි අද හදමු යෝගට් වලින් පුඩිං.

මුලින්ම, අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි 375ml ක් (කෝප්ප 01 ½ ක්)

සීනි 50g ක් (කෝප්ප ¼ ක්)

බිත්තර 02 ක්

යෝගට් කෝප්ප ½ ක් (137g ක්)

වැනිලා රසකාරක තේ හැඳි 01 ක් 

ලුණු කුඩු තේ හැඳි ⅛ ක්

කැරමල් සඳහා 

සීනි 50g ක් (කෝප්ප ¼ ක්) 

වතුර මේස හැඳි 02 ක් (30ml)

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ලිප තබා එයට කිරි සහ සීනි කෝප්ප ¼ එකතු කර හොඳින් හැඳිඟාමින් නටවා ගන්න.

මේ කිරි ටික මඳගින්නෙ මුල් කිරි ප්‍රමාණයෙන් භාගයක් වනතුරු නටවා ගන්න ඕන.

කිරි කැටි ගැසීම වැළැක්වීමට සහ සීනි හොඳින් දියවීමට නොකඩවා හැඳිගාන්නත් අමතක කරන්න එපා.

දැන් මේ විදිහට නටවාගත් කිරි ටික ලිපෙන් ඉවත්කර සම්පූර්ණයෙන් නිමෙනතුරු පසෙකින් තබාගන්න ඕන.

ඒ අතරතුර අපි කැරමල් මිශ්‍රණය සූදානම් කරගමු.

ඒ සඳහා තවත් භාජනයක් මඳගින්නේ ලිපතබා එයට සීනි සහ වතුර එකතු කර හැඳිගාමින් සීනි ටික දියවී රන්වන් පාට පැණි මිශ්‍රණයක් ලැබෙන තුරු රත්කරගන්න ඕන.

මේ වෙලාවෙදි අඩු ගින්දර භාවිතා කරොත් පැණි කැටි ගැසීමත් වැඩි ගින්දර භාවිතා කරොත් පැණි කරවෙන්නත් පුළුවන් නිසා මඳගින්නේ තබාගැනීම අනිවාර්‍යයි.

ඒ වගේම පැණි ටික ළා රන්වන් පාටක් ලැබෙන තුරු තබාගැනීම ප්‍රමාණවත් වෙන්නෙ වැඩි වෙලාවක් තිබ්බොත් පැණි වල තිත්ත රසක් එන්න පුළුවන් නිසයි.

මේ කැරමල් මිශ්‍රණය අපි පුඩිං හදන මිශ්‍රණයට වත්කරල භාජනයේ අඩිය පුරාම එක සමාන මට්ටමට විසිරිලා යනකම් භාජනය කරකවමින් අතුරාගෙන ඒ භාජනයත් පසෙකින් තියාගන්න.

දැන් තරමක් විශාල භාජනයක් අරන් එයට බිත්තර, යෝගට්, වැනිලා සහ ලුණු කුඩු එකතු කරල විස්ක් එකක් හෝ ගෑරුප්පුවක් ආධාරයෙන් හොඳින් කලවම් කරගන්න ඕන. 

දැන් මේ කලවම් කරගත්ත මිශ්‍රණයට හොඳින් නිමී ඇති නටවාගත් කිරි මිශ්‍රණය එකතු කරල නැවත හොඳින් කලවම් කරගන්න ඕන.

ඊළඟට මේ මිශ්‍රණය කැරමල් තට්ටුවක් දැමූ පුඩිං සාදන භාජනයට ප්‍රවේශමෙන් වත්කරගෙන ෆොයිල් එකකින් භාජනයේ වාෂ්ප ඉවතට නොඑන විදිහට හොඳින් සීල් කරල වහගන්න ඕන.

පැතලි අඩියක් සහිත භාජනයක් ලිපේ තියල ඒ භාජනයේ පතුලට kitchen paper / ඝනකම් පේපර් සර්වියට් එකක් දාගෙන ඊට උඩින් අපි පුඩිං සාදන භාජනයේ උසෙන් භාගයකට යන්තම් වැඩියෙන් වතුර එකතු කරගන්න ඕන.

දැන්, මේ කිචන් පේපර් එක උඩ පුඩිං මිශ්‍රණය දැමූ භාජනය තියල ලිපේ තියෙන භාජනයේ පියන වසාගෙන විනාඩි 30 ක් 35 ක් පමණ වසා තබාගන්න ඕන.

දැන් පුඩිං භාජනය ඉවතට අරන් උඩ ෆොයිල් ආවරණය ඉවත් කරල සම්පූර්ණයෙන් නිමුනට පස්සෙ අවම වශයෙන් පැය 03 ක් ශීතකරණයේ තබාගෙන රසවිඳින්න ඔන්න ඔබට පුළුවන්.

එහෙනම්, යෝගට් වලින් මේ රසම රස පුඩිං එක හදල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.

සටහන – දුලානි නවෝද්‍යා

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles