ඥාණකතා හදමු

Smart lady අපි අද ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ හරිම ඉක්මණින් වරදින්නෙ නැතුව ගෙදරදිම ඥාණකතා හදාගන්නෙ කොහොමද කියලයි. 

මුලින්ම, අපි අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

මාගරින් / බටර් 50g ක් 

පාන් පිටි 225g ක් 

බේකින් පවුඩර් තේ හැඳි 01 ¾ ක් 

කුඩුකරගත් සීනි 120g ක් 

වැනිලා රසකාරකය තේ හැඳි 01 ක්

බිත්තර 01 ක් 

තවරාගැනීම සඳහා වැඩිපුර සීනි 

තෙල් කඩදාසියක් අතුරා සූදානම් කරගත් බේකින් තැටියක්

දැන් අපි බලමු, කොහොමද ඥාණකතා හදාගන්නෙ කියල.

සාදාගන්නා ආකාරය

මුලින්ම, පාන් පිටි වලට බේකින් පවුඩර් එකතු කරල පෙරනයක් ආධාරයෙන් දෙපාරක් තුන්පාරක් විතර හලාගෙන හලාගත්ත පිටි මිශ්‍රණය පසෙකින් තියාගන්න.

දැන් තරමක් ලොකු ගැඹුරු වීදුරු භාජනයක් අරන් වීදුරු භාජනේට බටර් ටික දාල බටර් ටික හොඳින් බීට් කරගන්න ඕන.

දැන් මේ බටර් වලට සීනිත් එකතු කරල සීනි සහ බටර් හොඳට එකතු වෙනකන් ආයෙ බීට් කරන්න ඕන.

සීනි සහ බටර් හොඳින් කලවම් වුනාම පස්සෙ බිත්තරෙත් එකතු කරල නැවතත් හොඳින් බීට් කරගන්න ඕන.

මේ විදිහට බීට් කරද්දි භාජනේ වටේ ගෑවිලා තියෙන මිශ්‍රණයත් මැදට එකතු කරල බීට් කරගන්න අමතක කරන්න එපා.

මේ වෙලාවෙදි අවන් එක සෙල්සියස් අංශක 180 ට රත්වෙන්න තියාගන්න ඕන.

දැන් වැනිලා රසකාරකෙත් මේ මිශ්‍රණයටම එකතු කරල නැවත හොඳින් බීට් කරගන්න ඕන.

දැන් අපි හලල තියාගත්ත පිටි මිශ්‍රණයත් මේ බීට් කරගත්ත මිශ්‍රණයට ටිකෙන් ටික එකතු කරමින් පැතලි හැන්ඳකින් ආයෙ කලවම් කරන්න ඕන.

දැන් අතේ නොඇලෙන තරමේ පිටි ගුලියක් අතින් අනමින් අපි හදාගන්න ඕන.

මේ පිටි ගුලිය ලෑල්ලක් වගේ පැතලි මතුපිටක තියල රෝල් කරල එක සමාන ප්‍රමාණයේ කොටස් වලට වෙන් කරගන්න ඕන.

ඔබ කැමති තරමක් ලොකු ඥාණකතා හදන්න නම් ලොකු කොටස් වලටද පොඩි ඥාණකතා හදන්න නම් පොඩි කොටස් වලටද වෙන් කරගන්න පුළුවන්.

දැන් මේ කොටස් අතින් ලස්සනට බෝල හදාගන්න ඕන.

හදාගත්ත පිටි බෝල අඟල් එක හමාරක් දෙකක් ඈතින් අපි සූදානම් කරගත්ත බේකින් තැටියේ අතුරා ගන්න ඕන.

උඩින් පොඩ්ඩක් අතින් තදකරල යන්තම් පැතලි කරගන්නත් පුළුවන්.

දැන් මේ පිටි බෝල වල උඩ සීනි ඇතිරූ පිඟානේ තදකරල එහෙමත් නැත්නම් සීනි උඩින් ඉහල ආයෙත් බේකින් තැටියෙ අතුරාගන්න ඕන.

දැන්, ඥාණකතා ටික යට දුඹුරු පැහැයට හුරු රන්වන් පාට වෙලා උඩ ඉරි තැලුණු ස්වභාවයෙන් බේක් වෙනකන් කලින් රත්කරපු අවන් එකේ විනාඩි 20 ක් 30 ක් අතර කාලයක් බේක් කරගන්න ඕන.

එහෙනම් මෙන්න මේ විදිහට ඥාණකතා හදල ඕනෑම වෙලාවක රස විඳින්න ඔබටත් දැන් පුළුවන්.

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles