තාදී -11

0
761

ගජනායක උන්නේ අමුතු සතුටකිනි. ඒ නිසා ජයමිණි පෙර මග නොසිටීම ගැන ගැටලුවක් ඔහුට ඒ මොහොතේ තිබූයේ නැත.

” ඔය කතාව ඉවර කරලා දෙන්නම මාව හම්බ වෙමුකෝ කෑම කන වෙලාවට ” 

කියමින් ගජනායක කාමරයෙන් පිටවූයේ ය. ධීරත් ජයමිණිත් මුහුණට මුහුණ බලා ගත්තේ ගජනායකගේ සතුටට හේතුව කුමක්දැයි හරියාකාරව හඳුනා ගැනීමට නොහැකිව ය.

ගජනායක වෙනදාටත් කලින් කෑම මේසයට විත් වාඩි වූයේය.නිවසේ සේවිකාව වූ පුෂ්පා කෑම මේසය සකස් කරන අතරතුර ජයමිණි සහ ධීර ඇවිදින් මේසයට වාඩි වුයේ ගජනායක කියූ පරිදි ය.

” ජයමිණි ට මතකද රූපසිංහ ව ? “

ගජනායක කථාව ආරම්භ කරේ ඉඳි ආප්ප කිහිපයක් පිඟානට දමා ගන්නා අතරතුරය.

” මොන ? ” 

රූපසිංහ කවුරුන්දැයි කියා එක්වරම ජයමිණි ගේ මතකයට ආවේ නැත.

” ජුවෙලරි ශොප්ස් කරන්නේ ? මගේ ඉස්කෝලේ යාළුවා රූපේ ? ” 

” ආ. එයාද ? ඉතින් ?” 

” මිනිහා අද මාව හම්බවෙන්න හොටෙල් එකට ආවා. බොහොම වැදගත් කාරණාවකට ” 

ගජනායක ඒවදන් කීවේ සතුටෙනි. ධීර නිහඬවම කන්නට පටන් ගත්තේ මෙය දෙමව්පියන්ගේ කතා බහක් යැයි සිතාගෙනය.

” මිනිහා යෝජනාවක් ගෙනාවා ” 

” මොකද්ද වසන්ත ? ” 

ජයමිණි බැලුවේ පුදුමයෙනි. එකත් එකටම එය ව්‍යාපාර කටයුත්තක් සම්බන්ධ දෙයක් වන්නට ඇතැයි ඇය අනුමාන කළාය.

” මිනිහගේ දුව හිටියේ කැනඩාවේ නෙ. කෙල්ල ඩිග්‍රි එක ඉවර කරලා ලංකාවට ඇවිල්ලා. ඉතින් රූපේ ගෙ අදහසක් තියෙනවා ධීර ගැනයි එයා ගේ කෙල්ල ගැනයි ” 

ධීර කෑම නතර කර බැලුවේ ගජනායක දෙසය. එහෙනම් තම පියා සතුටින් සිටින්නේ තමාට විවාහ යෝජනාවක් පැමිණීම නිසාය.

” ඔයා මොකද්ද වසන්ත කිව්වේ රූපසිංහට ? ” 

” වෙන මොනවා කියන්නද?මිනිහගේ ඔය ජුවෙලරි ශොප්ස් , දේපල ඔක්කොම අයිති වෙන්නේ ඔය කෙල්ලට. හොඳ ඉගෙන ගත්ත ළමයෙක් වෙච්ච එකේ මට අකමැති වෙන්න හේතුවක් තියෙනවද ? ” 

කිසිවෙකුගෙන් නොඅසා වසන්ත මෙසේ තීරණය කිරීම ගැන ජයමිණි ට තරමක අමනාපයක් දැනුනත් විවාහ වූ දිනයේ සිටම  මේ නිවසේ හැම තීරණයක්ම වසන්තගේ කැමැත්ත අනුව සිදු වූ නිසා ජයමිණිට කියන්නට කිසිවක් ඉතිරිව තිබූයේ නැත. 

” තාත්තා කිව්වද කැමතියි කියලා ? ” 

ධීර ඇසුවේ යටපත් කරගෙන හුන් කෝපයකිනි.

” නැතුව? ඒ මිනිස්සු ලබන සතියේ මෙහෙ  එනවා කියලා කිව්වා.” 

” ඉතිං තාත්තා මං ඒ කෙල්ල කලු ද සුදු ද කියලවත් දන්නේ නැහැනේ ? “

ධීර කියන්නේ ඇත්ත ය. මෙවැනි දේවල් මෙසේ හදිසියේ තීරණය කළ යුතු දේවල් නොවන බව කීමට උවමනා වුවත් ජයමිණි වචනයක් හෝ කියන්නට ගියේ නැත.

” ලබන සතියේ ආවම බලා ගන්න බැරියෑ ඒ ළමයා කළුදු සුදුසු කියලා. රට යන්න කලින් නම් ඒ ළමයා හොඳ ලස්සනට හිටියා මට මතකයි. දැන් කියලත් වෙනසක් නැතුව ඇතිනේ. රූපේ ඔහොම යෝජනාවක් කරපු එකත් හොඳයි. ඔයාගේත් දැන් වයස හරියාගෙනනේ එන්නේ ” 

ධීර අත සෝදා ගෙන මේසයෙන් නැගිට්ටේ ය.

” පුතා ඔය කාලා ඉවරද ? ” 

ධීර ඉන්නේ කෝපයෙන් බව හඳුනාගන්නට ජයමිණි ට අපහසු වූයේ නැත.

” ඔව් අම්මා ” 

ධීර නිහඬවම තරපු පේළිය නගන ආකාරය බලා සිටි ජයමිණී ද අත සෝදා ගත්තා ය. ධීර ගේ සිතේ තාදී ලැගුම් ගෙන ඇති බව දැන දැනම මෙවැනි යෝජනාවකට කැමැත්ත පළ කිරීම සඳහා හිත හදා ගැනීමට නොහැකි කමක් ජයමිණි ට දැනුනි.

” පුතා මේ කටයුත්තට කැමතිද කියලවත් පොඩ්ඩක් අහල හිටියනං හොඳයි නේද වසන්ත ? ” 

ජයමිණි කීවේ පිඟාන කුස්සියෙන් තබා විත් වසන්තට තවත් ඉඳිආප්ප දෙකක් බෙදන අතරතුරය.

” මිනිහ අකමැති වෙන්නෑ.මොනවැයින් කියලා අඩුපාඩුවක්ද ඒ ළමයට ” 

වසන්ත උන්නේ ඔහුගේ මතයේ ම එල්ලී ගෙනය. එය පහසුවෙන් වෙනස් කළ නොහැකි එකක් බව ජයමිණි අත්දැකීමෙන්ම දැන උන්නාය. එහෙත් ධීර ගේ අකමැත්ත පිට මෙම කටයුත්ත ගැන තීරණයක් ගැනීමට ඉඩ නොතබන බව පමණක් ජයමිණි ඒ මොහොතේ තරයේම සිතා ගත්තා ය.

ධීර උන්නේ බොහෝ සේ නොසන්සුන්වී ය. ඔහු දෙවරක් නොසිතාම තාදී ට දුරකථන ඇමතුමක් ගත්තේය.

” ධීර. මං ඔයා ගන්නකම් බලාගෙන හිටියේ ” 

ධීර ගේ හිතට සතුටක් දැනුනේ නිරායාසයෙනි.

” ඇයි තාදී ? ” 

” අම්මා මොකද කිව්වේ කියලා අහන්න. මොකක් හරි අවුලක් උනාද? ” 

” මොකටද අවුලක් වෙන්නේ ? ” 

” අම්ම ආපු වෙලාවෙ ඔයා මගේ ශොප් එකේ හිටපු එක අවුලක් නෙමෙයිද ? ” 

ධීර මොහොතක් නතරව කල්පනා කළේය. මේ වන විට තම පියා තමා පිළිබඳව ගෙන ඇති තීරණයට අනුව ඔහු යමක් කිරීමට කලින් තමා ඉක්මන් විය යුතු යැයි ධීර සිතුවේය.

” මං අම්මට ඔයා ගැන කිව්වා ” 

ඕනෑම දෙයකට මුහුණ දීමට සූදානමින් ධීර කියා දැම්මේය. 

” මං ගැන ?මං ගැන මොනවද ධීර ? ” 

” ඔයා දන්නවා තාදී මං කතා කරන්නේ මොකක් ගැනද කියලා ? ” 

තාදී නිරුත්තර වූවාය. ධීර යනු තමාට ළං විය හැකි තරමේ පුද්ගලයකු නොවන බව තාදී මුල සිටම දැන උන්නාය. එසේ දැන දැනත් මෙවැනි ප්‍රශ්නයකට දිය යුතු පිළිතුරු කුමක්දැයි සිතමින් තාදී ඒ මොහොතේ තැවුනාය.

” නේද තාදී ? ඔයා දන්නවා නේද ? ” 

” න්..නෑ ධීර.ඔයා මොකක් ගැනද කියන්නේ? ” 

” මගේ හිතේ ඔයා ගැන අදහසක් තියෙනවා කියලා ඔයාට පොඩ්ඩක්වත් දැනුනේ නෑ කියලද ඔයා මේ කියන්න හදන්නේ තාදී  ? ” 

ධීර කොයි මොහොතේ හෝ තමාගෙන් මේ පිළිබඳව විමසන බව දැන් හුන් නිසා තාදී පුදුම වූයේ නැත. 

” කියන්න තාදී ? ඔයා කියන්නේ ඔයාට එහෙම දෙයක් දැනුනේ නෑ කියලද ? ” 

ධීර නැවත වාරයක් සෘජුවම ඇසුවේය.

” දැනුනා ” 

තාදී ඇහෙන නෑහෙන ගානට පිළිතුරු දුන්නාය. මින් පෙර කෙදිනකවත් මෙවන් දෙයකට තමා මුහුණ දී තිබුණේ නැත. එහෙත් දැන් ධීර නිසා එවැන්නකට මුහුණ දිය යුතුව ඇත.

” සමහර විට අපේ අම්මා හෙට අනිද්දට ඔයාව හම්බවෙන්න එන්න ඉඩ තියෙනවා ” 

” අනේ ධීර ” 

” අපේ අම්මා කවදාවත් එහෙම පටු විදිහට හිතන ගෑනියෙක් නෙමෙයි තාදී. මම දන්නවා එයා කවදාවත් එයාට වෙච්ච දේ මට වෙන්න ඉඩ නොතියන බව ” 

තාදී නිහඬව අසාගෙන උන්නාය. 

” මගේ තාත්තා කොහොම වුණත් මගේ අම්මා ඔයාට අකමැති වෙන්නේ නෑ කියලා මට විශ්වාසයි ” 

” ඒත් ධීර ? ” 

” මං ඔයාට මේ දේවල් මේ තරම් ඉක්මනින් කියන්න හිතුවේ නැහැ තාදී. ඒත් එක හේතුවක් නිසා මට ඒක මේ වෙලාවේ ඔයාට කියන්න සිද්ධ වුණා ” 

” මොකද්ද ධීර ? ” 

” තාත්තාගේ හොඳම යාළුවෙක් මට proposal එකක් ගෙනල්ල තියෙනවා එයාගේ දුව ගැන. ඒක කෙරෙනවා කියලා මගේ තාත්තා තීරණය කරලා තිබ්බත් කසාදෙ කියන්නේ එහෙම වෙන කාටවත් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි තාදී. ඒක ගැන මට ඕන හැටියේ තීරණයක් ගන්න මට අයිතිය තියෙනවා කියලා මම හිතනවා “

තාදී ගේ හදවත කඩා වැටුණේ ධීර ට ගෙනවිත් තිබෙන මංගල යෝජනාව ගැන ඇසූ විටය. එසේ නම් මෙම සම්බන්ධය කෙරෙන තැනට වඩා නොකෙරෙන තැනට වැඩ සිද්දවනු ඇති බව තාදී සිතුවාය.

” මට ඕනෙ ඔයාගේ උත්තරේ විතරයි තාදී. එතනින් එහාට හැම දෙයක්ම මට බලාගන්න පුළුවන් ” 

තාදී සිතුවිලි අතර සිරවී උන්නාය. තමා පිළිබඳව තීරණ ගත යුත්තේ තමා වුවත් ධීර පිළිබඳව තීරණ ගැනීමට ඔහුගේ දෙමාපියන් සිටින නිසා කිසිවක් කීමට තාදීට සිතුනේ නැත.

” කියන්න තාදී ? ඔයාට පුළුවන්ද මට ආදරේ කරන්න ? මුළු ජීවිත කාලෙම ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here