සුහදිනී -30

“මේ වෙලාවේ උඹට ලව් එකක් ඕන නෑ.”

සියුම් එසේ පැවසුවේ අහස්ගේ ආදර කතාව ගැන අසා සිටීමෙන් අනතුරුව ය.දැන් එය ආරම්භ වී අවසන් ය.නමුත් කරදර සහ හිරිහැර ආරම්භ වන්නට පටන් ගන්නේ තව නොබෝ දිනකින් වග ඔහුට සිතෙන්නට විය.එහෙත් ඒ ගැන ඕනෑවට වඩා කතා කරන්නට ද සියුම්ට අපහසු ය.

“මට ලව් එකක් ඕන නෑ.ඒත් සකීව ඕන.ජීවිත කාලෙටම එයා ළඟින් ඉන්න ඕන.”

අහස්ගේ හඬ අධිෂ්ඨානයට ළං වී තියේ.මේ මොහොතේ කරන්නට ඇත්තේ ආදරය කරමින් සිටීමට වඩා අනාගතය වෙනුවෙන් වෙහෙසීම බව පමණක් සියුම් ඉතා කෙටියෙන් මිතුරාට පහදා දුන්නේ ය.

“ආයේ ආයේම උඹ ෆේල් වෙන්න ගත්තොත් ආයේ චාන්සස් නෑ.අන්න ඒක අමතක කරන්න එපා.”

නමුත් ජීවිතය තුළ පැරදීම ගැන අහස්ට ඊට වඩා ඇත්තේ බියකි.ඒ බිය ජීවිතයෙන් පහව නොයන බව ඔහු දනියි.ඔහු හිඳින්නේ ඕනෑම මොහොතක අසමත් විය හැකි වෘත්තියක් තෝරාගෙන ය.ඒ අසමත්වීම් දරා ගන්නා හෙවණක් ඕනෑම බව සිතෙද්දී නැවත සිතා බලන්නට ඔහුට නොහැකි ය.

“කොහොමටත් දැන් ආපහු හැරෙන්න බෑ.මම මේ නිකමට වගේ ආදරෙයි කිව්වා.ඒක නවත්තමුද අහන්නද? ඒක මේ ලෝකෙ කිසිම කෙල්ලෙකුට අහන්න නොලැබෙන්න ඕන කතාවක්.”

සියුම් තනිව කියවාගෙන යයි.අහස්ට එය එතරමට අසා හිඳින්නටවත් ඕනෑ නැති තරම් ය.ජීවිතයේ උපයා ගත් සියලු වටිනාකම් සහ සකී අතරින් එක් දෙයක් තෝරා ගන්නට යැයි කිවහොත් ඇය තෝරා ගන්නා තරමට ඇයට බැඳී සිටින්නේ ඇයිදැයි ඔහුට නොවැටහේ.

නමුත් එක් දෙයක් පැහැදිලි ය.මේ ප්‍රේමයට නැවතීමක් නොවේ.

“අහස්,උඹ ජීවිතේ ගත්ත ඕනෑම තීරණයක් හරි වුණත් වැරදි වුණත් මම උඹ එක්කම හිටියා.ඒක ඉස්සරහට කියලා වෙනසක් නෑ.සමහර වෙලාවට මම කරන්නේ ලොකු වැරැද්දක් කියලා අනිත් අය කියද්දී පවා මම උඹව අත් ඇරියේ නෑ.ඒකත් ඉස්සරහටත් වෙනසක් නෑ.උඹ වැඩිහිටි මනුස්සයෙක්.ජීවිතේට වැඩියෙන්ම වැදගත් මොකද්ද කියලා තෝරාගන්න එක අයිති උඹට.ඒක වැරදියි කියලා පස්සෙ හිතුණොත් මං එළිවෙනකන් දුක් අහන්න ලෑස්ති.”

මිත්‍රත්වයේ නාමයෙන් අවසන් තීන්දුවක් සියුම් ට තිබිණි.නමුත් මේ තමන්ගේ ජීවිතයේ අවසන් ආදර කතාව බව දන්නා අහස් මේ කතාව තුළ මී බඳුන් හිස් කරමින් මිතුරා සමග බෙදාගන්නට දුකක් තිබිය නොහැකි බව සිතන්නට කැමති ය.ඇය ඔහුගේ ජීවිතයට වසන්තිය රැගෙන එන්නිය ය.ඒ වසන්තයේ ලතැවුල් සෝ සංකා නොමැති බව සිතීම පවා සැනසිල්ලකි.

“මේ ලෝකේ ඕනෑතරම් මල් තියෙනකොට අපි සූරියකාන්ත මල් වලටම ආස ඇයි කියලද අයියට හිතෙන්නේ?”

නින්දට පෙර ඔහු සකීගේ ඒ පණිවිඩය කියවූයේ ය.ඔහුට හොඳ නින්දක් අත්‍යවශ්‍ය ය.නමුත් ඇය හොඳ නින්දක් ලැබිය යුතු කාලයක් පසු කරන්නේ නැත.අවදි වී පාඩමෙහි යෙදෙන තරමට තමන්ගේ ප්‍රතිඵල සාර්ථක වන බව සකී පවසන්නේ සිනාවකිනි.ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වයට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් වෙනුවෙන් නින්ද අත්‍යවශ්‍ය සේම ඇය නොනිදා සිටින තරමට ප්‍රතිඵල සාර්ථක වනු ඇත.එහෙත් වෙහෙස වීමෙන් තොරව දෙදෙනාටම අනාගතයක් නැති බව අහස් සිතී ය.

“මං ෆ්ලවර්ස් බයි පර්සනැලිටි ටයිප් ගැන බ්ලොග් ආටිකල් එකක් කියෝලා තියේ.කොහොමහරි දිනන්න කැමති මිනිස්සු,මොන දුකේදි වුණත් සතුටින් ඉන්න මිනිස්සු,අනිත් අයට සතුට බෝ කරන මිනිස්සු සන් ෆලවර්ස් වලට කැමති කියලයි ඒකෙ තිබුණේ.”

ඒ කතාවට සකීට තිබුණේ දඟකාර පිළිතුරකි.ඔහු කොහොමටත් දිනුම වෙනුවෙන් සටන් වදින්නෙකු වග ඇය දනියි.එපමණක් නොවේ.ඔහුගේ සිනාවම රටේ බහුතර යුවතියන්ගේ සතුට ය.එනිසා ඒ කතාව සත්‍යයක් වන්නට ඉඩ තිබේ.නමුත් ඔහු මේවා කියවන්නට වෙලාව සොයා ගැනීම ම සකීට පුදුමයකි.

“ඒකෙනම් එච්චර පුදුමයක් නෑ.ඔය කීබෝඩ් විචාරකයො කියන විදියට මං ප්‍රැක්ටිස් කරනව ඇරෙන්න අනිත් සේරම කරනවනෙ”

ඔහු සම්බන්ධයෙන් මෙවැනි කතා පළ වෙද්දී ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකසාගෙන ගොස් අත් රිදෙන තුරු වාද කළ අන්දම සකී සිහි කළේ මඳහසකිනි.සැබෑ මුහුණින් ඔහු වෙනුවෙන් සටන් වැදීමට ඇයට බියක් නොමැත.නමුත් එවැනි තැනක ස්ත්‍රීත්වයට නිගා දිය හැකි ඉතා පහත් කාරණා අල්ලාගන්නා මිනිසුන්ගේ නිහීන කතා අසා සිටින්නට ඇයට ධෛර්යයක් නොතිබුණු තරම් ය.

“මං මේක දැන් ඇන්දේ.”

ඇය එක් සූරියකාන්ත මලක සිතුවමක් අහස්ට යැවුවා ය.ඒ අද දවසේ ඔහු නරක සිහිනයකින් වළක්වන ඇගේම මන්තරයකි.එය සාර්ථක වේදැයි ඇයට ලොකු විශ්වාසයක් නැත.නමුත් ප්‍රේමය සියල්ලටම ඉහළින් ඇතැයි සිතන්නට ඇය කැමති ය.

“ඔයා මුලින්ම දුකින් ඉන්න එක බය වෙන එක නවත්තන්න.ඒක මේ ළඟදි ඉඳන් ඔයාට වුණු දෙයක්.”

සකී එසේ පැවසුවේ අහස් සම්බන්ධයෙන් ඇය අවබෝධ කරගත් කාරණා කිහිපයක් නිසා ය.ඔහු සෑම මොහොතකම කණ්ඩායමට සතුට බෝ කරන්නා බව නායකයාම පැවසූ අන්දම සකීට මතක ය. ඔහු නොමැති තරග සංචාරය ඉතා පාළු දැනෙන එකක් බවත් ඊළඟ සංචාරය ඔහු සිටිය යුතුම එකක් බවත් ඔහුගේ කණ්ඩායම් සගයෙකු ඉන්ස්ටග්‍රෑම් සටහනක තබා තිබූ බව ඇය සිහි කළා ය.

ඔහු සතුට බෝ කරන්නෙකි.

එහෙව් පුද්ගලයෙකු අපහාස සහ පැරදීම් හමුවේ ඇද වැටිය යුතු නොවේ.

“ඔයාට මොනතරම් මඩ ආවත් වෙන හොඳ දෙයක් මම හොඳට දැකල තියනවා.”

සකී ඒ බව ඔහුට නොපවසා ඒ ගැන සිතන්නට වූවා ය.ඉතා නරක තත්ත්වයක් පැතිර යද්දී පවා අහස්ට ඒ නිසා කුමක් හෝ යහපතක් සිදු වේ.සමහර නරක ආරංචි අතර පවා ඔහු කළ වඩා යහපතක් ඉස්මතු වේ.කළ යුතු වන්නේ ද එයට ඉඩ දීම බව සකී සිතුවා ය.වඩා අයහපත මැද පවා සතුට සොයා ගත යුතු වේ.

“ඔයාගේ යහපත වෙනුවෙන් මට ඕනෑම දෙයක් කරන්න පුලුවන්.ඕන අමාරු කාලෙක අමාරුකම දරා ගන්නත් පුලුවං.මං අහලා තියෙන විදියට සන් ෆ්ලවර් පර්සන් කෙනෙක් කියන්නෙත් එහෙම කෙනෙකුට.”

සකී නිදි නොමැතිව සිතුවා ය.ආදරය වෙනුවෙන් බොහෝ දේ කළ හැකි වේ.මේ ආදරය වෙනුවෙන් තමන්ට ද උසුලා ගන්නට අප්‍රමාණ දේ ඇති බව ඇය දනියි.පැහැදිලි අහසත් ඝණ කළුවර වළාකුළු ඇති අහසත් එක ලෙස දරා ගන්නට තමන්ට ශක්තිය ඇති බව ඇය සිතුවා ය.ඇය ඇයව බොහෝ විශ්වාස කළා ය.

ප්‍රේමවන්තියක ලෙස ඇය නින්දට වැටුණා ය.මේ රාත්‍රියේ දකින සිහිනය නරක නපුරු එකක්ද නැතහොත් සුන්දර එකක් ද දැන ගන්නට සකීට ඕනෑ විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles