දරු නැළවිල්ලක මිහිර

කුඩා දරුවන් නළවා ගැනීම මව්වරුන් බොහෝ පීඩාවට පත් කරන කාරණයක් වී හමාරයි. නිතර හඬා වැටෙන, නින්ද ප්‍රතික්ෂේප කරන ඔබේ දරුවා දරු නැළවිලි අසමින් පහසුවෙන් නින්දට යන්නට ඉඩ ඇති බව ඔබ සිතුවා ද?

සුවබර නින්ද දරුවන්ගේ මොලයේ වර්ධනයට මෙන්ම ශරීරයේ අස්ථි වර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන බැවින් සුව නින්දකට පූර්ව සැලසුමක් මවට තිබීම වැදගත්.

දරුවෙකු තම මවගේ කටහඬ අසන්නට බොහෝ ප්‍රිය කරනවා. ඇයට හොඳ ගායන හැකියාවක් තිබුණත් නැතත් දරුවා මවගේ ගායනය ගැන අවධානය යොමු කරමින් සිටියදී පහසුවෙන් නැළවෙන්නට ඇති හැකියාව ඉතා වැඩියි. දරුවා මවගේ කටහඬ අසමින් නින්දට යන්නේ සතුටින්. මෙය දරුවාගේ මානසික වර්ධනයට ඉතා වැදගත්. මව සහ දරුවා අතර බැඳීම වර්ධනය කරන්නටද හැකියාවක් දරු නැළවිලි ගීයට තිබෙනවා. එසේම දරුවා නිර්මාණශීලි හා සංවේදී දරුවෙකු වන්නට ඇති හැකියාව ඉතා ඉහළයි . දරුවා නව වචන හා රිද්මය පිළිබඳ සංකල්පද දරු නැළවිලි හරහා ඉගෙන ගන්නවා. එසේම යහපත් සවන් දෙන්නෙකු හා ධාරණය කරගන්නෙකු වීමටත් දරු නැලවිලි දරුවාට උදව්වක් සපයනවා.

මව්වරුන් දැන් බොහෝ විට පෙළඹී තිබෙන්නේ සංගීත නාදයක් ඇසෙන්නට සලස්වමින් දරුවාට නින්දට යන්නට ඉඩ හැරීම. මේ ක්‍රමය අත්හදා බලනවා නම් ජංගම දුරකථනයේ ගීත වාදනය කර දරුවා අසල තබන්නට එපා. එවිට දරුවා ඒ මෙවලම් හා තදින් බැදෙනවා. එනිසා සීඩී තැටියක් ප්ලේ කිරීම සුදුසුයි. මේ සංගීත නාද සඳහා දරු නැළවිලි කවි, ළමා ගීත හෝ ඉතා සන්සුන් සංගීත නාදයක් යොදා ගන්න. ඝෝෂාකාරී සංගීතයට දරුවා හුරු කිරීමෙන් දරුවාගේ මානසික සමබරතාව අවුල් වී යා හැකියි.

අලුත් මව්වරුන් දරු නැළවිලි ගී දන්නේ ඉතා අල්පව. ඔබට අන්තර්ජාලය තුළින්ම දරු නැළවිලි ගී සොයාගැනීමට හැකියාව තිබෙනවා.

මේ ඉතා ප්‍රචලිත දරු නැලවිලි කිහිපයක්..

දොයි දොයි දොයි දොයි දෙය්යෝ
බයි බයි බයි බයි දෙය්යෝ
දොයි දොයි බයි බයි දෙය්යෝ
නින්දක්‌ නිදි ගන් දෙය්යෝ

කන්දක්‌ ගිනි ඇවිලෙන්නේ
හැන්දක්‌ කිරි බීපන්නේ
නැන්දත් නුඹ නලවන්නේ
නින්දක්‌ නිදියා ගන්නේ

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා

පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක්‌ පඩි කනවා
ඉන් පවුමක්‌ මට දෙනවා

උඹෙ අම්මත් ඉතා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි

අතට වෙරළු ඇහිද ගෙනේ
ඉණට පළා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ

පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ සෙනේ එහි නිම්මා
නිදන්න පුත දොයියම්මා..

අත්තනගලු ගල මුදුනේ
සිරිසඟබෝ රජ එමිනේ
හිස දන් දුන් එදැන ගෙනේ
සාදු කියාපන් පුතුනේ

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles