ඔබේ දරුවා කියන දෙයක් අහන්නෙම නැද්ද? මෙන්න විසඳුම් 10 ක්

කියන දෙයක් අහන්නෙම නැති දරුවන්ට ඔබ මොකද කරන්නේ? කෝටු පාරක් දෙන්න ද ලෑස්තිවෙන්නේ. මොහොතක් ඉවසන්න. ඔබේ ම දරුවන්ට ඔබ කොහොමද එහෙම කරන්නේ? මේ විදියට ඔබ වෙනස් වෙලා බලන්න.

  • දරුවාට හොඳින් සවන් දෙන්න.

දරුවා තවමත් දන්නේ වචන ටිකයි. එයින් ගොඩක් ලොකු දේවල් කියන්න දරුවා නිතරම උත්සාහ කරනවා. දරුවාට ඔබේ අවධානය ඇතිබව, ඔබ දරුවා සමග සන්නිවේදනයට කැමති බව දරුවාට දැනෙන්නේ හොඳින් සවන්දීමෙනුයි. ඔබ දරුවාගේ හිතිවිලි අවබෝධ කරනොගෙන වෙනත් විදියකට කටයුතු කරනවිට දරුවා හිතන්නේ ඔබ අකීකරු බවයි.

  • ඉහළින් අගය කරන්න.

දරුවන් නිරන්තරයෙන්ම අගය කිරීම බලාපොරොත්තු වෙනවා. දරුවාගේ ආත්මාභිමානයත් පෞරුෂයත් වර්ධනය වෙන්නේ අගය කිරීමෙනුයි. දරුවා කරන ඉතා කුඩා හොඳ දෙයක් වුණත් ඉහළින් අගය කරන්න. ප‍්‍රශංසා කරන්න. හැකි සෑමවිට ම දරුවා අගය කරමින් පුංචි පුංචි තෑගි ලබාදෙන්න.

  • දරුවා අවබෝධ කරගන්න.

දරුවාගේ වයස සහ මානසික වර්ධන අවධීන් ගැන මවක් හැටියට ඔබ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. පරිත්‍යාගශීලීබව, බෙදාහදාගැනීම, සවන්දීම ආදී සංකල්ප නිසිලෙස ගොඩනගාගන්නට දරුවා වසර කිහිපයක කාලයක් ගන්නවා. මේ කාලයේ දී දරුවා හිතන්නේ තමන්ගේ සතුට ගැන පමණයි. මෙය දරුවාගේ වර්ධනයේ එක්තරා අවධියක්. ක‍්‍රමයෙන් වැඩෙනවිට ඒ ගති ස්වභාවයන් ඉබේම වෙනස් වෙනවා.

  • අනික් දරුවන් සමඟ සංසන්දනය කිරිමෙන් වළකින්න.

ඔබේ දරුවා මේ ලෝකයේ සුවිශේෂී කෙනෙක්. රූපයෙන්, ගතිලක්ෂණවලින්, දක්ෂතාවලින් හැකියාවන්ගෙන් හැම දරුවෙක් ම එකිනෙකාට වෙනස්. දරුවාගේ නියම සුවිශේෂීබව මතු කරගැනීම ඔබේ වගකීමයි. දරුවා අනෙක් දරුවන් හා සංසන්දනය කරන්නට යාමෙන් ඔබ නැතිකර දමන්නේ ඔබේ දරුවාගේ ආත්මවිශ්වාසයයි.

  • අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙන්න.

නිදිමත, පිපාසය, කුසගින්න, වෙහෙස, ආදරය දරුවාට ඔබ සමග නිවැරදිව සන්නිවේදනය කරගන්නට සමහරවිට නොහැකිවේවි. දරුවාගේ අවශ්‍යතා ගැන හොඳ ඉවක් හැම මවකට ම තිබිය යුතුයි. ඔබ ඒ අවශ්‍යතා නිවැරදිව ප‍්‍රමාද නොවී අවබෝධ කරගන්නා විට දරුවා ඔබ ගැන විශ්වාසය ගොඩනගාගන්නවා. සමහර දරුවන් අකීකරු වන්නේ මේ විශ්වාසය මව්පියන් සමග ගොඩනගාගන්නට නොහැකි වූවිටයි.

  • දරුවාට නිරන්තර අවධානය, රැුකවරණය නොඅඩුව ලබාදෙන්න.

අතීතයට වඩා අද මව්වරුන් කාර්යබහුලයි. ගෙදරදොර කටයුතු රැුකියාවේ කටයුතු සියල්ල අතරෙ දරුවන්ගේ කටයුතු කරනවිට අතපසුවීම් සිදුවීමේ වැඩි ඉඩක් තිබෙනවා. ඒත් දරුවන් සම්බන්ධයෙන් කිසිම අතපසුවීමක් නොවන්නට ඔබ වගබලාගතයුතුමයි. දරුවන් ඔබේ ජීවිතයේ වටිනාම වස්තුවයි. දරුවන් අනතුරකට ලක්වුණොත් අවදානමකට මුහුණ දුන්නොත් ඔබ අනික් සියල්ලම පරෙස්සම් කළත් වැඩක් වෙන්නේ නැහැ. බොහෝ දරුවන් අකීකරුවන්නේ ඔවුන් වෙත දෙමව්පියන්ගේ අවධානය නොලැබෙන විටයි.

  • දරුවාට දැනෙන්න ආදරය කරන්න.

ආදරය අවශ්‍යතාවක් සපුරාලීමකට වඩා බර හැඟීමක්. දරුවාට ඔබේ ආදරය අවශ්‍යතාවක් පමණක් නොවේ. දරුවාගේ අවශ්‍යතාවන් පමණක් ඉටු කිරීම මවක් හැටියට ඔබට ගැළපෙන්නේ නැහැ. හැකිතරම් දරුවා සුරතල්කරන්න. ආදරයෙන් සිපගන්න. දරුවා සමග සෙල්ලම් කරන්න. දරුවාගේ ඇස් දෙස බලාගෙන ඇස්මට්ටමේ සිට කතාකරන්න. මෘදුව ආදරයෙන් දරුවාට කතාකරන්න. කැමති සහ අකැමති දේවල් හඳුනාගන්න. දරුවාට ඔබේ ආදරය හොඳින් දැනෙන විට ඔබ කියන  ඕනෑම දෙයකට දරුවන්  එකඟකරවාගන්න පුළුවනි.

  • දරුවා වැඩිහිටියෙකු නොවන බව මතක තබාගන්න.

වැඩිහිටි ඔබ දන්නා සියලූ දේ දරුවා දන්නේ නැහැ. ඔබට ඇති අත්දැකීම්, දැනුම, සමාජ අවබෝධය තවම දරුවාට ලැබී නැහැ. ඔබ දන්නා සියලූ දේ දරුවා දැනගත යුතු බව සිතමින් දරුවාට මැසිවිලි නගන්න එපා. එයින් ඔබට අවශ්‍ය අයුරින් දරුවා කිසිවිටෙකත් ක‍්‍රියාත්මක වන්නේ නැහැ.

  • දරුවාට තනිව තීරණ ගන්න ඉඩ දෙන්න. බලපෑම් කිරීමෙන් වළකින්න.

දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනැගෙන්නේ තනිව තීරණ ගන්නට ඔබ ඉඩ දුන් විටයි. ඔබ ඊට විරුද්ධවනවිට දරුවා තවත් වරක් එය කරන්නට පෙළඹෙනවා පමණක් නොවෙයි, දරුවාගේ තීරණවලට ඔබ දිගින්දිගටම විරුද්ධවන බව පෙනීගියොත් එතැන් සිට දරුවා ඔබට අකීකරු වෙමින් ඔබ වෙනස් කරන්නට උත්සාහ ගනීවි. සියල්ලට ම එපා එපා යයි පවසනවාට දරුවන් කැමති නැහැ. උදාහරණයක් හැටියට පුටුවක් උඩට නගින්නට උත්සාහ කරන දරුවෙක් එයින් වළක්වන්නට එපා එපා වැටෙයි කියනවාට වඩා පරෙස්සමින් වැනි වචනයක් දරුවා හසුරවාගන්නට උදව් වේවි.

  • අනතුරුවලින් පරිස්සම් කරගන්න. නීති රීති වෙනුවට අවදානම පැහැදිලි කරදෙන්න. 

උස් තැන්, ජලය ඇති තැන්, ගින්දර, උණුවතුර, රසායනික ද්‍රව්‍ය, ආයුධ සහ උපකරණ, විදුලිය ඇති තැන් හැම ගෙදරකම වැඩියි. මේ තැන්වල අනතුරු සහිතබව දරුවාට තේරුම්කරදෙන්නත් එතරම් පහසු නැහැ. විශේෂයෙන් ම දරුවන් විවිධ දේ පරීක්ෂා කර බලන්නට යන නිසා ඔබේ ඇසිපිය ගහන තත්පරයක දී පවා දරුවෙක් යම් අනතුරකට ලක්වන්නට ඉඩ තියෙනවා. ඉවසීමෙන් සහ ආදරයෙන් දරුවා අනතුරු සහිත ස්ථානවලට යෑම වළක්වා ගන්න. අනතුරු සිදුවිය හැකි අවස්ථා ගැන ඔබ හැමවිටම දැඩි අවධානයෙන් පසුවීම මෙහි දී අත්‍යවශ්‍යයි. නීති දමා වළක්වන්නට යාමෙන් දරුවා ඒවා රහසිගතව පරීක්ෂා කරබලන්නට ඉඩ තිබෙනවා. මේ නිසා අනතුරුවල භයානකකම දරුවාට සරලව තේරුම් කර දෙන්න.

– නිරංජලා –

 

Related Articles

Don't Miss


Latest Articles