පාට සේදුනු වත්සුණු – 38

1
1037

ඇතැම් විට අම්මා අසංක සමගින් කතා බහ කරන්නට ඇත. මට කී දේ, ඔහු ඇය ව විවාහ කර ගත්තේ ව්‍යාජ විවාහ සහතිකයක් මත බව අම්මා ටත් ඔහු පවසන්නට ඇත. ලජ්ජාව නිසා හෝ දරා ගැනීමට අසීරු වේදනාව නිසා ඕ තනිව හා නිහඬව ඒ ආරංචිය විඳ දරා ගන්නට ඇතැයි මම සිතමි. අනාගතයට කෙසේ මුහුණ දෙන්නදැයි ඇය සිතන්නට ඇත්තේ එනිසාවෙනි.

සුළු කොට තැකිය නො හැකි ප්‍රශ්නයක් අම්මා ඉදිරියේ – පවුලක් වශයෙන් අප සැම ඉදිරියේ වන බව සැබැවි. නමුත් දුෂ්කරයි කියා කිසිවෙකුට ජීවිතය හැර යා නො හැකි ය. කුමක් හෝ මාවතක් අප හැමකෙකුට ම විවර වනු ඇත්තේ ය. එක පාරක් වැසෙත්දී තව පාරක් විවර වන බව මම අසා ඇත්තෙමි. එය සොබා දහමේ සදා කාලික නියතයකි. 

ජීවිතය ඉදිරියට එන සැඩ සුළං හා කුණාටු ඉදිරියේ සැලී යාම හුදු මිනිස් ගතියයි. නමුත් එම කුණාටු තත්වයට හුරු වීමෙන් පස්සේ අපි ඒ සමග ම ජීවිතය ඉදිරියට ගෙන යා හැකි ආකාරයක් සොයන්නෙමු. එහිදී නිරායාසයෙන් අපේ හිත් වල බාධක සඳහා ප්‍රතිරෝධයක් ඇති වන්නේ ය. එය හරියට ශරීරය තුළ වෛරස හා බැක්ටීරියා සඳහා ප්‍රතිශක්තියක් ඇති වන්නා බඳු තත්වයකි. 

“මේ දරුව නිසා මං රස්සාවකටවත් යන්නෙ කොහොමද කියන එකයි ගයා ප්‍රශ්නෙ. වැඩ කරන්න සැලොන් එකක්වත් හොයා ගත්තනං හරි. දැං ඉතිං ශොප් එකක් රෙන්ට් අවුට් කරගෙන ආයෙ සැලෝන් කරන්න හිතනව බොරු”

අම්මා ගැන මසිත් හි උපන්නේ දුකකි. අනිත් අතට සිහින් සතුටක් නො දැනුණා කීවත් මුසාවකි. ඒ සතුට, ඇය ජීවිතයේ යථාර්ථයට එළඹ ඇති එක ගැන ය.

“අත්තම්මයි සීයයි ගැන බලං ඉන්න බෑ කියල මට තේරෙනව ගයා. ඒ දෙන්න පෙන්ෂන් එකෙන් ජීවත් වෙන මිනිස්සු. ඔයාගෙ වගකීම ගත්ත වගේ ඒගොල්ලො මේ පොඩි එකාගෙ ඕන එපාකනුත් බලන්න ඕන නෑනෙ”

“එක දෙයක් නැති වෙනව කියන්නෙ හැම දේම නැති වෙනව කියන එකට නෙවෙයිනෙ අම්මෙ. මෙයා ගැන අපි කවුරුත් බලනව. ඒක වෙනම දෙයක්. ඒත් අම්මා ජීවිතේ අතර මගකදි කඩං වැටෙන්න ඕන නෑ. ජොබ් වලට යන්න කරදර වෙන්නත් එපා”

“ඒත් මට එහෙම පුරුදු නෑ ගයා. ඔයා දන්නවනෙ. තාත්ත ඩිවෝස් වුණත් මං ඔයාව හදාගෙන ජීවත් වුණා”

“ඒක තමයි මං කියන්නෙ. අපි ඒ ධෛර්ය නැති කර ගන්නෙ නැතුව ඉමු. අම්ම තාම හයිය තියෙන තරුණ කෙනෙක්. අපි මොකක් හරි කරන්න බලමුකො”

කලින් අසංක කරන්නට තැත් කළ පරිදි පාර අයිනෙන් කඩ කාමරයක් තනා ගන්නට ඇත්නම් යයි මට සිතිණි. නමුත් එහෙම දෙයක් ගැන කතා කරන්නට යාමේදී අත්තම්මලා මා ගැනත් වැරදියට හිතන්නට බැරි නෑ නොවේ ද? සිතින් ළත වෙවී සිටියදී අත්තම්මා ම මට කතා කළා ය.

“දැං ඔය කෝසලා මොකක් කරන්නද හිතං ඉන්නෙ ගයා…”

“ම් මේ…අත්තම්මා …මං…මං..කොහොම හරි…මං අම්මවයි බබාවයි බලාගන්න ඕන අත්තම්ම”

“ඒක හරි ගයාත්මියා. ඒත් ඔයත් තාම ජීවිතේ පටං ගත්ත විතරයි. අනික ඔයා යුතාන්ත පුතාව බැඳල ඒ ගෙදරට ගියාට පස්සෙ…හැමදාම හැම දේම එකම විදිහට තියෙයි කියල හිතන්න බෑනෙ දරුවො. කෝසලා දැං ඉතිං අර පොඩි එකාව හදා ගන්න ඕනෙ. තාත්ත කපටි වංචාකාරයෙක් වුණයි කියල…අම්මා කෙනෙක්ට බෑනෙ දරුවංව විසි කරල දාන්න”

කියවන්න :  පාට සේදුණු වත්සුණු - 20

“බබා නිසා ජොබ් එකකට යන්න විදිහක්වත් නෑනෙ කියල අම්මත් කියව කියව ඉන්නෙ”

“හ්ම්”

අත්තම්මා දිගු සුසුමක් හෙළුවා ය. මේ වයසේදී නිසංසලේ හිඳිනු වෙනුවට ඔවුන් ගේ වියපත් හිත් වලට මේවා බර වැඩි බව මම දනිමි.

“දරුවනං බලා ගන්න අපිටත් උදවු වෙන්න බැරියැ. ඒත් ඉතිං රස්සා වලට උදේ ගිහිං හවස එනකල් මේ නාකි මට ඒක කරන්නත් බෑනෙ”

“ඔව් අත්තම්මා”

“මං මේ සීය එක්කත් කතා වුණේ ගයා..අපි අපේ ළමයි දෙන්නටම යුතුකම් ඉෂ්ට කරල ඉවරයි තමයි. ඒත් ඉතිං මේ තියන දෙයක් වුණත් කවදහරි මැරෙනකොට අපි අරං යන්නෑනෙ. ඒක නිසා…මේ මෝඩිට ඔය පාර අයිනට වෙන්න සැලොන් එකක් දාගන්න කඩ කාමරයක් හදල දෙමු කියලයි මං කිව්වෙ”

“අනේ අත්තම්ම”

මම අත්තම්මා ගේ දෑත් වැළඳ ගතිමි.

“මට අත්තම්මලට කියන්න ඕන වෙලා තිබුණ…ඒත් කියා ගන්න බැරුව හිටිය දේ..අත්තම්මටයි සීයටයි පිං සිද්ද වෙනව අත්තම්මෙ. අම්මා මෝඩයි තමයි. ඒත්…ඒත් මංකොහොමද එයාව අත්අරින්නෙ අත්තම්මෙ…”

මා හැඬුම්බර වූයේ ඇයි කියා මට ම වුව වැටහුණේ නැත. ඇතැම් විට ඒ හුදු ගැහැනු ගතිය නිසා විය හැක.

“අපිටත් වෙලා තියෙන්නෙ ඒක තමයි කෙල්ලෙ. මොනා වුණත් ගයා අම්මා වගේ නොවී කල්පනා කරල වැඩ කරන ගෑනු ළමයෙක් වුණ එක ලොකු දෙයක්”

යුගාන්ත ගේ ගෙදරින් යම් යම් ප්‍රශ්න තිබුණත් ඔහු මා විවාහ කර ගන්නා ස්ථිර තීරණයක සිටියි. විවාහය කෙසේ වී ද දැන් මට මා ගැන බලා ගත හැකි බව මම දනිමි. අම්මා ගැන බලන්නට බැරි කමක් ද මට නැත. නමුත් මා යම් කිසි ස්ථාරත්වයක් ගොඩ නංවා ගන්නා තුරු හෝ අම්මා ද ජීවනෝපාය මාර්ගයක නිරත වන එක වඩා හොඳ ය. අනික, අපේ ජීවිත වලට කොයි මොහොතේ මොන දේ සිදු වේවි ද යන්න අභිරහසකි. අපි ඒ අවදානමත් එක්ක ජීවත් වන මිනිසුන් වෙමු. එසේ හෙයින් අප කාටත් සුරක්ෂිත ව පැවතිය හැකි මාර්ගයක් විය යුතු ය. අසංක නික්ම ගිය කල අම්මා මෙපමණ අසරණ වූයේ ඔහු නිසාවෙන් ඇය තමා සතු සියලු වටිනාකම් විනාශ කර ගත් බැවිනි.

“හිතේ තිබිච්ච ලොකු බරකින් නිදහස් වුණා වගේ දැනෙනව අයියෙ. මට හිතාගන්න බෑ අත්තම්මල මට ඕනකරල තිබුණ දේම කරන්න කැමැත්ත දීපු එක ගැන”

හිතේ සතුට යුගාන්ත ඉදිරියේ වාං දැමුවේ ය.

“ඒක තමයි මං හැම තිස්සෙම කියන්නෙ. අපිට ඇත්තට ම ඕන දේවල් අපිට ලැබෙනව කියල. වැදගත් වෙන්නෙ ඕනකමයි ඒක ලැබෙයි කියන විශ්වාසයයි විතරයි”

“ඔයාගෙං මං දෙයක් අහන්නද අයියෙ…”

“අහන්න”

“ඔයාගෙ අම්මල අපිට කැමැත්ත දෙයි කියන විශ්වාසෙංද දැං ඔයා ඉන්නෙ…”

ඔහු තත්පර කිහිපයක් මගේ මුහුණ දෙස බලා ගෙන ම සිටියේ ය.

“මන්දා”

“මොකද්ද…”

මගේ දෑස් විසල් වූයේ ය. යුගාන්තට සිනහ ගියත් මට නම් එය සිනහ වෙන්නට හැකි පිළිතුරක් වූයේ නැත.

කියවන්න :  පාට සේදුනු වත්සුණු -1

“ළමයො. මං ඔයාව මැරි කරනවමයි කියන විශ්වාසෙ මට තියෙනව. අනිත් දේවල් වෙන්න නියමිත විදිහට වෙයි”

“ඒ කියන්නෙ අම්මලගෙ කැමැත්ත ඔයාට ප්‍රශ්නයක් නෙවෙයිද…”

“ප්‍රශ්නයක් තමයි. හැබැයි මට වැදගත් දේ මං ඔයාව මැරි කරනව කියන එකයි. මං හොය හොය හිටියෙ ඔයාව කියන එකයි. ඔයාව අත්ඇරගෙන ආයෙ හිස් මිනිහෙක් වෙන්න මට ඕන නෑ කියන එකයි”

මා දිය යුත්තේ කෙබඳු පිළිතුරක් දැයි මම නො දැන සිටියෙමි. අම්මා කෙනෙක් දහ දුක් විඳ හැදූ පුතෙක් ව බලහත්කාරයෙන් තමන්ගේ කර ගන්නට හිතන ගැහැනු හිතකට දිනක ඒ පාපකර්මයට වන්දි ගෙවන්නට සිදු විය නො හැකි ද? 

“හරි හරි මේ. හැම දේම හොඳට වෙයි කියල හිතමු. දැං ඔයාගෙ අම්මට සැලෝන් එක දාල දෙන එන ගැන කතා කරමුකො”

ජීවිතය දෙස ඒ තරම් සරල ලෙස බලන්නට ඔහු ට හැකි වූයේ කෙසේද කියා මට සිත ගත නො හැකි ය. ඇතැම් විට ඒ ඔහු ලබා ඇති ජීවිතාවබෝධය නිසා විය හැකි ය.

“මේ..බැරි වෙලාවත් තමුසෙ යුගාන්තව අතඅරිනවනං එහෙම මට කලිං කියනව”

මා කී සියල්ල අසා උන් තුෂී කීවේ එවැනි කතාවකි.

“ඇයි…”

“තමුසෙ බඳින්නැත්තං මංවත් බැඳගන්න”

මම තුෂී ට කොට්ටයකින් දමා ගැසුවෙමි. ඇය සිනහ වෙවී මගේ ප්‍රහාරය වැළැක්වූවා ය.

“හම්බ වෙලා තියන කොල්ලගෙ වටිනකම තාම ඔයා තේරුං අරං නෑ කියල හිතෙන නිසයි මං එහෙම කිව්වෙ. යුගාන්ත නියම පිරිමියෙක් වගේ හිතන කොල්ලෙක්. එහෙම කොල්ලෙක්ට මුළු විශ්වයම ආශිර්වාද කරනව ගයා. අම්මල කැමති වෙයිද කිය කිය ඒ කොල්ලට වද දෙන්න එපා. දවසක එයා ඒ කැමැත්තත් අර ගනී”

“සැලොන් එක හදාගන්න යුගාන්ත උදව් කරන්නං කිව්ව. සීයත් සල්ලි ටිකක් දෙයි කියල අත්තම්මා කිව්ව. මගෙ ළඟනං ලොකු ගාණක් නෑ ඉතිං”

“ඒත් වෙන්න තියෙන දේ හොඳිං වෙයි”

සියල්ල විනාශ වී බලාපොරොත්තු සුන් ම වී ගිය අවස්ථා වලදී පවා නැවතත් ජීවිතය අලුත් මුහුණුවරකින් අප ඉදිරියට එන බව මට පසක් වෙමින් තිබුණේ ය. සොබා දහම කිසි දා සිය දරුවෙකු ගේ විනාශය අපේක්ෂා කරන්නේ නැත. එය යළිත් අවස්ථාවක් දී බලන්නට හිතන්නේ ය. නමුත් දෙන දෙන අවස්ථාව මග හැර ගන්නා අසරණයන්ට පාඩම් උන්වන්නටත් එය නො පැකිළෙන්නේ ය. ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලැබීමට අම්මා තර ව සිතා ගත යුතු ය.

“මේ එක අවුරුද්දක් මට ජීවිත කාලෙන්ම ඉගෙන ගන්න බැරි වුණ පාඩම් කියල දුන්න ගයා. මං හිතන්නෙ ආයෙ මං වරද්දගන්න එකක් නෑ”

කඩ කාමරය හදන්නට මුල් ගල තබන මොහොතේ අම්මා කඳුළු පිරි දෑසින් කීවා ය. මම ඇගේ අත් බාහුවක් පිරිමැද්දෙමි.

“දුවෙක් නෙවෙයි. අම්ම කෙනෙක් විදිහටයි මට වැරදුණ වෙලාවෙ ඔයා මං ළඟ හිටියෙ. කිසිම දෙයක් මට අමතක වෙන්නෑ ගයා”

“අනේ…මේ හොඳ වෙලාවෙ අඬන්නෙ මොකද…හැම දේම වෙන්නෙ හොඳම විදිහටනෙ”

අම්මා සනසනු වස් මා එහෙම කීවත්, මා එහෙම කියා නිම වෙන්නටත් පෙර සිදු වෙමින් පැවතියේ කිසි සේත් හොඳ දෙයක් හොඳ විදිහට නොවේ!

4.6 5 votes
Article Rating
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Saman kumari Kulasuriya
Saman kumari Kulasuriya
1 month ago

I know you before reading this novel in the last covid time I saw one of these episodes but failed to find the others
I Love this story I wish you all the besr