පෝෂණය ගැන ඔබ හිතන හැටි හරිද ?

0
1717

මවක් හැටියට ඔබට ඇති වගකීම් ගැන අපි පසුගිය ලිපියෙන් බොහෝ ‍තොරතුරු ඉදිරිපත් කළා. මේ වගකීම් ගැන එකින් එක තවදුරටත් පැහැදිලි කරගැනීම ඔබේ කටයුතු තවත් පහසු කරගන්නට ‍හැකිවේවි.

පවුලේ පෝෂණය සම්බන්ධයෙන් මවක් හැටියට ඔබේ කාර්යභාරය සාර්ථක ඉටු කරනවාද? නිවසේ සාමාජිකයින්ට සෞඛ්‍යාරක්ෂිත සහ රසයෙන් සහ ගුණයෙන් පිරිපුන් ආහාර ලබාදීම ගැන මවක් බොහෝ කල්පනාකාරී විය යුතුයි. ඔබ රැකියාවක යෙදුණත්, එසේ නොවුණත් පවුලේ පෝෂණය ගැන අඩුවෙන් හිතන්න ඔබට පුළුවන්කමක් නැහැ. නිරෝගී ජීවිතයක වටිනාකම ගැන පවුලේ කාටත් වඩා වැඩි ම අවධානය යොමු කළ යුත්තේ ඔබයි. හේතුව ආහාර පිළියෙළ කිරීම, ආහාර මිලදී ගැනීම, ඇතුළු සියල්ල වැඩි වශයෙන් සිදුවන්නේ මවක් හැටියට ඔබේ මූලිකත්වයෙන් වීමයි. ඒ නිසා මෙවර ලිපියෙන් පවුලේ පෝෂණය ගැන ඔබ සැලකිලිමත් විය යුතු අන්දම දැනගන්නට ඔබටත් හැකියාව ලැබේවි.

පෝෂණය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ කෙනෙකුගේ කුඩා කාලයේ දී පමණක් බවට සමහර අය අතර මතයක් තියෙනවා.  එහෙත් එය සම්පූර්ණයෙන් ම අසත්‍යයක්. ජීවිත කාලය පුරාවට ම හැම‍ කෙනෙකුට ම නිසියාකාර පෝෂණයක් අත්‍යවශ්‍යයි.  නිරෝගී ක්‍රියාශීලී ජීවිතයක්  අපේක්ෂා කරන හැම කෙනෙක් ම නිසි පෝෂණයක් පවත්වා ගත යුතුමයි.

මවකගේ පෝෂණය

මවක් තමන්ගෙ පෝෂණය පිළිබඳව අවධානය යෙදිය යුත්තේ දරුවා මවගේ කුස තුළ සිටියදීමයි. ගර්භණී මවගේ පෝෂණය නිසි පරිදි සිදු නොවූ විට කලල අවස්ථාවේ සිටම දරුවාගේ වර්ධනය අඩාළ වෙනවා. එයින් සිදුවන්නේ අඩු බර දරු උපතක් සිදුවීමයි.

එසේ අඩු බරැතිව උපදින දරුවන්ගේ මොළයේ හා ශරීර වර්ධනයේ පැහැදිලි අඩුවක් දැකිය හැකියි. වයසට සරිලන උස නැති වීම හෙවත් මිටි බව,  නිසි බර නොමැති වීම, ළමා කාලයේ අධික ලෙස තරබාරු වීම, නව යොවුන් අවධියේ වර්ධනය බාල වීම, බුද්ධි වර්ධනය හීන වීම වැනි සංකූලතාවනට එවැනි දරුවන් ගොදුරු වීම වැළැක්විය නොහැකියි.

එවැනි දරුවන් වැඩි වියට පත් වූ විට හෘද රෝග, දියවැඩියාව,  අධි රුධිර පීඩනය,  ඇදුම,  දිගු කාලීන වකුගඩු රෝග, සම්බන්ධ පටක ආශ්‍රිත රෝග සන්ධි ප්‍රදාහය වැනි ආබාධ, ආතරයිටිස්,  පිළිකා,  වයස්ගත වීමේ දී අස්ථි දිරා යාම, ඔස්ටියෝපොරෝසිස්, ඇසේ සුද මතුවීම,  හදිසි අනතුරු සහ මානසික රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් දරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු අනුව අපේ රටේ වයස අවුරුදු පහට අඩු දරුවන් ගෙන් 21.6 %ක් අඩු බරැති දරුවන් බව ඔබ දන්නවා ද? වයස අවුරුදු හයට අඩු දරුවන්ගෙන් හතරෙන් එකක් ම අඩු බරැති දරුවන්.

වයසට සරිලන උස නැති මිටි දරුවන් 18‍% ක්,  මොවුන් කාලීන මන්දපෝෂණයට හසුවූ දරුවන්, උසට සරිලන බර අඩු දරුවන් හෙවත් තීව්‍ර  මන්ද පෝෂණයට ගොදුරු වූ දරුවන් සංඛ්‍යාව  15%ක්.  අඩු බරැති දරුවන් ගේ ඉගෙනීමේ ශක්තිය සෙසු අයට වඩා 22% කින් අඩුයි. යකඩ ඌණතාව හේතුවෙන් බුද්ධි වර්ධනයත් දරුවන්ගේ ක්‍රියාශීලී බවත් අඩු වෙනවා.

පෝෂණය අතිශයින් ඉල්ලන බිළිඳු විය

දරුවකුගේ ජීවිතයේ මුල් වසර කිහිපය කායික වර්ධනය මෙන්ම මානසික වර්ධනය ඉතා ශීඝ්‍රයෙන් සිදුවෙනවා. එම අවධියේ දරුවාට අවශ්‍ය පෝෂණය නොලැබුණොත් එය ඔවුන්ගේ අනාගත නිරෝගීභාවයට අහිතකර ලෙස බලපානවා. කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නිසා ඔවුන් පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා.  මේ නිසා ලෙඩ රෝගවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට ද නිසි පෝෂණය වැදගත්.

කියවන්න :  කේන්තිය පාලනය කරගන්න දරුවන්ට කියාදෙන්න

කුඩා දරුවන්ට ඉපදී මුල් පැය බාගය ඇතුළතම කොලෙස්ට්‍රම් සහිත මවුකිරි දීම ඇරැඹිය යුතුයි. උපතේ සිට මාස හයක් යනතුරු මවුකිරි පමණක්ම දිය යුතුයි. මාස හය සම්පූර්ණ වන විට අමතර ආහාර හඳුන්වා දිය යුතුයි.

මාස හයේ දරුවකුට වේලකට තම්බා පොඩි කරගත් බත් එළවළු පොල් කිරි හෝ බටර් මිශ්‍ර  තලපය තේ හැඳි 2 – 3 ක් පමණ හොඳට ම ප්‍රමාණවත්.  මාස අටේ දී තේ කෝප්ප 1/2 ක් ද මාස 9 – 11 දක්වා කාලයේ දී කෝප්ප 3/4 ක් ද වසරකදී කෝප්පයක් පමණ ද ප්‍රමාණවත් වෙනවා.  ප්‍රධාන ආහාර වේල් දෙකකට අතරමැද එක වේලක් හෝ දෙකක් අමතර ආහාර එකතු කළ යුතුයි.  කෑම වේල් දෙකක් අතර අවම වශයෙන් පැය 2 ක වත් ඉඩක් තැබිය යුතුයි.

අමතර ආහාර දෙන අතරට අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කාලයක් මවුකිරි දීම ද සුදුසුයි. දරුවාගේ වර්ධනයේ අඩුවක් ඇත්නම් මව රැකියාවක නියුතු නම් වෛද්‍ය උපදෙස් මත මාස 4 සම්පූර්ණ වූ පසු අමතර ආහාර දුන්නාට වරදක් නැහැ. දරුවාට වැඩි ශක්ති ප්‍රමාණයක්  හා පෝෂණයක් ලබාදීමට අමතර ආහාර හඳුන්වා දෙන මුල් අවස්ථාවේ සිට උකු ස්වභාවයක් දැරීමත් තෙල් එකතු කිරීමත් වැදගත් වෙනවා.

සත්ත්වමය ආහාර

දරුවාගේ ශක්ති වර්ධනය සහ ක්‍රියාකාරීත්වය උදෙසා මුල සිටම සත්ත්වමය ආහාර ද එක් කළ යුතුයි. කුඩු කරගත් හාල්මැස්සන්, සියුම්ව කපා ගත් මස් මාළු, හොඳින් තම්බා ගත් බිත්තර කහ මදය දරුවාගේ ආහාරයට එක්කිරීමෙන් එම අවශ්‍යතා සම්පූර්ණ වෙනවා.

සත්ත්වමය ආහාර නොගන්නා දරුවන් සඳහා දිනපතා ම පරිප්පුල මුං ඇට, කඩල,  කව්පි වැනි පියලි ආහාර හෝ තම්පලා, සාරණ, ගොටුකොළ මුරුංගා කොළ,  බීට් කොළ හෝ කොළ ගෝවා වැනි පලා වර්ගයක් ද එක්කළ හැකියි. මේ ආහාර පිළියෙල කළ පසු දෙහි ඇඹුල් එක් කිරීමෙන් ඒවායෙහි ඇති යකඩ සිරුරට උරා ගැනීම පහසු කරවනවා. ආහාරයෙන් පසු පලතුරු ලබා දීමෙන් ද එම අවශ්‍යතාව ඉටු වෙනවා.

පියලි ආහාර අවශෝෂණය පහසු වීමට පිළියෙල කිරීමට පෙර පෙඟවීම මෙන්ම පැළවෙන්නට හැර පිළියෙල කිරීම ද කළ හැකියි.

මාශ බෝග රනිල බෝග සහ ඇට වර්ගවල දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය පෝෂක බහුලව තියෙන නිසා එවැනි ආහාර ක්‍රමක්‍රමයෙන් දිනපතා ආහාර වේලට එක් කරන්න. දරුවාගේ ඇස් පෙනීම වර්ධනයට,  ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට තද කොළ පැහැ,  තැඹිලි පාට එළවළු සහ පලතුරු වර්ගයක් හෝ කීපයක් දිනපතා ආහාරයට එක් කරන්න.  වට්ටක්කා කැරට් බතල ඕනෑම පලා වර්ගයක්,  අඹ ගස්ලබු ලාවුලු වැනි පලතුරු ඉතා සුදුසුයි.

දරුවා වේගයෙන් වැඩෙන නිසා ක්‍රමයෙන්  දිනකට දෙන ආහාර වේල් ගණන වැඩි කරන්න. මාස 6 – 8 දී දිනකට ආහාර වේල් 2 – 3ක්  සමඟ අතරමැදට මවුකිරි මාස 9 – 11 දී දිනකට ප්‍රධාන වේල් 3 – 4 සහ කෙටි වේල් එකක් සමඟ මවුකිරි මාස 12 – 24 දී ප්‍රධාන වේල් 3 – 4 ක් කෙටි වේල් 2 ක් සහ ආහාර වේලෙන් පසු මවුකිරි දෙන්න.

සතුටින් ආහාර ගන්න දරුවන්ට කියාදෙන්න

වැඩෙන දරුවකුට ක්‍රමයෙන් ආහාර ප්‍රමාණය වැඩි කළ යුතුයි. දරුවාට බඩගිනි දැනෙන විට ආහාර දෙන්න. වෙනම හැන්දක් සහ කෝප්පයක් ලබා දී දරුවාට තනිව ආහාර ගැනීමට අවස්ථාව ලබා දෙන්න.

ආහාර ගැනීම සඳහා වෙනම ස්ථානයක් තිබීම වැදගත්. දරුවාගේ ඇසට ඇස යොමු කර ආහාරයේ පාට, හැඩය, රසය සහ පිළියෙල කර ඇති ආකාරය ගැන කතා කරමින් දරුවාට ආහාර දෙන්න.

කියවන්න :  ගෙදරට කොටු වුණු පොඩිත්තන්ට ක්‍රියාකාරකම්..

දරුවා හොඳින් ආහාර ගන්නා විට ඔහුට හෝ ඇයට ආදරයෙන් කතා කර ප්‍රශංසා කරන්න. ආහාර ගැනීම විනෝදජනක අත්දැකීමක් බවට පත් කරන්න. දරුවන් රෝගී වූ විට රෝග කාරක විෂ බීජවලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වැඩිපුර පෝෂණයක් අවශ්‍යයි. අසනීප අවස්ථාවකදී  මවුකිරි සහ දියර ආහාර ලබා දෙන වාර ගණන වැඩි කරන්න. මෘදු, රස වැඩි සහ ගිලීමට පහසු ආහාර ලබා දෙන්න. වැඩි වාර ගණනක් පුරා කුඩා ප්‍රමාණවලින් ආහාර ලබා දෙන්න. අසනීප තත්වය සුව අතට හැරුණත්,  දරුවාගේ බර යථා තත්ත්වයට පත්වන තුරු වැඩිපුර ආහාර වේලක් ලබා දිය යුතුයි. ආහාර පිළියෙල කිරීමේ දී ඔලිව් තෙල් එකතු කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් අත්කරගත හැකියි.

දරුවන්ගේ බර කිරන්න

මසකට වරක් දරුවාගේ බර කිරා බැලිය යුතුයි. වර්ධනයේ වෙනසක් ඇත්නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ සුව සේවා නිලධාරිණියගෙන් හෝ වෛද්‍ය නිලධාරියාගෙන් විශේෂ උපදෙස් ලබාගත යුතුයි.

දේශීය එළවළු පලතුරු හා ධාන්‍ය වර්ග පලා වර්ග සහ මාළු සහිත පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමෙන් මන්දපෝෂණය සම්පූර්ණයෙන්ම වළක්වා ගන්නට පුළුවන්.

සීනි සහ ලුණු භාවිතය ගැන

පළමු වැනි අවුරුද්ද තුළ දරුවාගේ ආහාරයට සීනි සහ ලුණු එකතු නොකිරීමෙන් සීනි සහ ලුණු සඳහා දරුවා තුළ ඇති ඇල්ම අඩු කෙරෙනවා. අධික සීනි සහ ලුණු භාවිතය අද බෝ නොවන රෝග බොහොමයකට මුල් වන බව ඔබ දන්නවා ඇති. සීනි සහ ලුණු මෙන්ම තෙල් සහ මේද හැකිතාක් සීමා කිරීමෙන් ද බෝ නොවන රෝග අවදානම අඩු කරගන්නට පුළුවනි.  මස් වර්ගවලට වඩා මාළු කෑම ශරීරයට හිතකරයි.  විශේෂයෙන් ම මස් සහ මාලු මිළ දී ගැනීමේ දී ඒවායේ අලුත් බව ගැන ඔබ දැඩි අවධානය යොමු කළ යුතුයි. පැරණි වූ මස් සහ මාලු ශරීරයට අහිතකර බලපෑම් ඇති කරනවා. ශීතකරණයේ අධික කාලයක් තබාගෙන මස් මාලු භාවිතයත් කොහෙත් ම සුදුසු නැහැ.

වස විස නැති ආහාර ගැන හිතන්න

විටමින් හා ඛණිජ ලවණවලින් පිරි කොළ වර්ගයක් පලතුරක් ඔබේ ගෙවත්තේ පෝච්චියක පොහොර උරයක හෝ වැහි පිහිල්ලක වවා ගතහොත් දෛනික ආහාර වේලට කෘමිනාශක හෝ කාබයිට් යොදා නොගත් නැවුම් පලතුරු හෝ එළවළුවක් නොමිලේම එක්කර ගන්නට පුළුවනි.

පෝෂණයෙන් ඉහළ යැයි සිතා වෙළෙඳපළින් මිලදී ගන්නා සොසේජස් වැනි මස් මාංශවලින් තැනූ කෘතිම ආහාර හා පලතුරු යුෂ හෝ ශක්තිජනක පාන ඇත්තෙන්ම ඔබගේ සෞඛ්‍යයට සිදු කරන්නේ අයහපතක් මිස යහපතක් නොවෙයි.  අද ලංකාවේ දරුවන් අතර මන්දපෝෂණය වගේම අධි පෝෂණයත් තදබල ගැටලුවක් බවට පත්වන්නට මේ අහිතකර ආහාර රටාවන් බලපාන බව ඔබ දැනගත යුතුමයි.

නිසි පෝෂණය යනු ආහාරපාන පමණක්ම නොවෙයි.  පුද්ගලයාගේ මානසික සෞඛ්‍යය මෙන්ම ජීවත්වීමට සුදුසු පරිසරයක විසීම වැනි සමාජයීය කරුණුත් ඒ සඳහා බලපානවා. බුද්ධිමත් ක්‍රියාශීලී සෞඛ්‍යසම්පන්න අනාගත පරපුරක් බිහිකර ගැනීමට පදනම සකස් වන්නේ පෝෂණය මඟින්. එහි මූලික අඩිතාලම දැමිය යුත්තේ ඔබේ නිවසේ මුළුතැන්ගෙයින්. ඒ සඳහා විශාලතම වගකීම පැවරෙන්නේ මව්වරුන්ටයි.

රසයත් ගුණයත් රැකගෙන ගෙදර හැමදෙනා ම වෙනුවෙන් ආහාර පිළියෙළ කරන හැටි අපි ඊ ළඟ ලිපියෙන් දැනගනිමු.

-නිරංජලා-